(විමුක්ති එස් රුද්‍රිගු)

බොලිවුඩ් රංගන ශිල්පිනියක මෙන්ම නර්තන ශිල්පිනියක වන නෝරා ෆතේහි  මහත්මිය ශ්‍රී ලංකානු සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට විරුද්ධව ඉන්දීය රුපියල් කෝටි 200 ක අපහාස නඩුවක් ගොනුකර තිබේ.

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් තම රංගන ජීවිතයට හානි වූ බව නඩුව ගොනු කරමින් නෝරා ෆතේහි මහත්මිය පවසා ඇත. තම රංගන ජීවිතය ගොඩනැගී ඇත්තේ ප්‍රතිරූපය මත වීම හේතුවෙන් ෆර්නැන්ඩස්ගේ අසත්‍ය ප්‍රකාශ නිසා තමාට මූල්‍යමය වශයෙන් සහ සමාජයීය වශයෙන් හානි සිදු වූ බව නෝරා ෆතේහි මහත්මිය පෙන්වා දී තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධව ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් දෙවැනිදා නෝරා ෆතේහිගෙන් සහ ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් මූල්‍ය විමර්ශන ඒකකය ප්‍රශ්න කර තිබේ.

ෆර්නැන්ඩස් සහ ෆතේහි යන දෙදෙනාම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ඔවුන්ගේ ප්‍රකාශ එහිදී ලබා දී තිබුණි.