(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ පුරවැසි පනතේ විධි විධාන අනුව නිත්‍යනුකූල සිය ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගෙන ඇතැයි නීතිපතිවරයා අද (02) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මෙසේ දැනුම්දුන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින්, ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බලනු ලැබූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ අද දින අධිකරණය කළ නියෝගය අනුව අදාළ ලියවිලි ඉදිරිපත් කරන්න.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ :
එසේය ස්වාමීනි. ස්වාධීන අයිතම 16 ක් යටතේ තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම්. පළමු අයිතමය යටතේ ආගමන විගමන වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලියකියවිලි තොරතුරු නැහැ. 2007 පසුව එම ආයතනය පරිගණකගත කරලා.
සභාපති විනිසුරු :
ජාතික හැඳුනුම්පත පිළිබඳ තොරතුරු?
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් :
පුද්ගලයන් ලියාපදිංචි කොමසාරිස් සතුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැඳුනුම්පතට අදාළ තොරතුරු තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා :
මීට අදාළ සමහර ලියකියැවිලි විනාශ කර ඇති බවට තොරතුරු දැන ගන්නට ලැබී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් :
කිසිදු ලියකියවිල්ලක් විනාශ කළ බවට තොරතුරු ලැබී නැහැ.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා :
මෙම පෙත්සම පවත්වා ගෙන යන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අපරාධ නඩුවක් ආරම්භ කර තිබෙනවා. අපි ඒ නඩුවේ සාක්කි සටහන් ඉල්ලූවා. පවතින නඩුවක සාක්කි සටහන් දෙන්න බැරි යැයි බලධාරීන් කිව්වා. සාක්කි සහ ඊට සම්බන්ධ ප‍්‍රකාශ නැතිව මෙම පෙත්සම ගෙන යන්න බැහැ.
සභාපති විනිසුරු :
මේ පිළිබඳ සොයා බලා අදාළ ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිට උපදෙස් දෙනවා.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා :
මා මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එකක් වන්නේ නීතිමය වශයෙන් මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකියි යන්නයි. එසේම මෙම පෙත්සමේ අඩංගු කරුණු අධිකරණයෙන් පිළිගත්තත්, ඉල්ලා ඇති සහන නීතියෙන් ලබා දෙන්න බැහැ. තවද මෙම පෙත්සමෙහි අත්‍යවශ්‍ය පාර්ශවයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නැහැ.
දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩුවකුත් පවතිනවා. එම නඩුව අවසන් වනතුරු මෙම අධිකරණයට රිට් අධිකරණ බලය ක‍්‍රියාත්මක කරන්න බැහැ. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙත්සමෙන් ප‍්‍රශ්න කිරීමේ මෙම ක‍්‍රියාවලිය ජාත්‍යන්තර නීතියට පටහැනියි. මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ ද්වේශ සහගතවයි.
මෙම පෙත්සමෙන් ඉල්ලන සහන දුන්නොත් රටේ ජනතාවගේ ඡුන්ද අයිතිය උල්ලංඝනය වනවා. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වසර 15 කට පසුවයි. ඉන් පැහැදිලි වන්නේ මෙය දේශපාලන අරමුණින් කළ දෙයක් බවයි.
සභාපති විනිසුරු :
අපරාධ නඩුව සහ මෙම අධිකරණයේ රිට් අධිකරණ බලය පිළිබඳව නීතිපතිවරයාගේ අදහස් කුමක්ද?
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් :
අපරාධ නඩු විභාගයත් මෙම පෙත්සමත් අතර සම්බන්ධයක් නැහැ. එයින් රිට් අධිකරණ බලයට බලපෑමක් නැහැ.
සභාපති විනිසුරු :
මෙම අධිකරණය කිසිසේත්ම වේදිකාවක් කර ගත යුතු නැහැ. සියල්ලන්ම අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කළ යුතුයි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
පස්වැනි වගඋත්තරකරුවන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය ලබා ගෙන ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්. මෙම සහතිකය ලබා ගන්නාවිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් දිවුරුම් දී නැහැ.
මේ අවස්ථාවේදී සියලූ ලිඛිත දේශන අධිකරණ විද්‍යුත් තැපෑලට යොමු කරන ලෙස සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පාර්ශවකරුවන්ට නියෝග කළේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
මෙම ද්විත්ව පුරවැසි සහතිකය ලබා දෙන විට අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයකු පත් කර නැහැ. මෙම ද්විත්ව පුරවැසියන් ගේ නම් අඩංගු නාම ලේඛනය පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරනවා. එවකට පැවති ක‍්‍රියාවලිය අනුව සෑම නමක්ම ඇතුළත් කර ඇත්තේ මුල් අකුර සමඟයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සම්පූර්ණයෙන් ඇතුළත් කර තිබෙනවා. එහි යම් නොගැළපීමක් තිබෙනවා. අනෙක් අතට පරිගණක කර තිබෙන නමත්, මුල් පිටපතේ නමත් අතර වෙනස්කම් තිබෙනවා.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා :
එය පරිගණක ගත කිරීමේ පහසුව තකා සකස්කර ගත් ක‍්‍රමවේදයක්
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
එවකට ජනාධිපති මෙම ලියැවිල්ලට අස්සන් තබන්නේ 2005 නොවැම්බර් 23 වැනිදායි. එවකට ජනාධිපති සිය බලතල ඇමතිවරුන්ට පවරා නැහැ. සාමාන්‍යයෙන් අමාත්‍යාංශයක ලේකම්වරයා කියන්නේ ප‍්‍රධාන විධායක නිලධාරියායි. ප‍්‍රතිපත්ති තීරණ සහ බලතල තියෙන්නේ විෂයබාර අමාත්‍යවරයා යටතේයි. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යවරුන් ගේ බලතල පවරන්නේ 2005 දෙසැම්බර් 08 වැනිදායි. ඒ අනුව ජනාධිපති ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් වන්නේ 2005 දෙසැම්බර් 08 වැනිදායි. ඒ අනුව මෙම ද්විත්ව පුරවැසි සහතිකය නිකම්ම නිකම් හිස් ලියැවිල්ලක්. අනිත් අතට අන්තිමට ආරක්ෂක ලේකම්වරයා බවට පත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂයි.
සභාපති විනිසුරු :
ඔබ කියන්නේ මෙම ලිපියට අත්සන් කළ කාලයේ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂක බලතල නැතැයි කියාද?
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු : ඔව්. ඒ කාලයේ ආරක්ෂක අමාත්‍ය බලයක් නැහැ. එක්සත් රාජධානියේ නඩු තීන්දුවක් අනුව මෙවැනි ලියවිලි හඳුන්වන්නේ හිස් ලිපියක් (බ්ලෑන්ක් පේපර්) හැටියටයි.
සභාපති විනිසුරු :
මෙම පෙත්සම දේශපාලන අරමුණින් ඉදිරිපත් කළා යැයි කියන චෝදනාවට පිළිතුරු දෙන්න.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන අරමුණකින් නොවෙයි. යම් හෙයකින් විදේශ පුරවැසියකු මොහොතකින් මේ රටේ ජනාධිපති, ත‍්‍රිවිධ හමුදාවේ ප‍්‍රධානියා වුවහොත් රටේ ආරක්ෂාවට ඉමහත් බලපෑමක් සිදුවනවා. ඒ තත්ත්වය වැළැක්වීම මෙම පෙත්සමේ අරමුණයි.
සභාපති විනිසුරු :
නාමයෝජනා බාරදීමේදී මෙම ලියකියවිලි පරීක්ෂා කරනවාද?
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
එය හුදෙක් මතුපිටින් පරීක්ෂා කිරීමක් පමණයි. මැතිවරණ කොමසාරිස්වරයාට ලියකියවිලිවල නිත්‍යානුකූල භාවය පරීක්ෂා කිරීමට බලයක් නැහැ. එය වෙනම ක‍්‍රියාවලියක්. නාමයෝජනා අවස්ථාවේදී ඕනෑම අයකුට විරෝධතාවක් ඉදිරිපත් කළ හැකියි.
සභාපති විනිසුරු :
පොදුජන එක්සත් පෙරමුණ පාර්ශවකරුවකු වශයෙන් නම් නොකිරීම පිළිබඳව කරුණු දක්වන්න?
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
මෙය හුදෙක්ම පස් වැනි වගඋත්තරකරුගේ පුරවැසි භාවය පිළිබඳ ප‍්‍රශ්නයක්. මෙය දේශපාලන ගැටලූවක් නොවෙයි.
නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතාගේ කරුණු දැක්වීම් ඉන් අවසන් විණි.
ඉන්පසු නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් මෙසේද කීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ රටේ ජනාධිපතිවරයා විධායකයේ ප‍්‍රධානියායි. ඔහු ආණ්ඩුවේ ප‍්‍රධානියා සහ රජයේ ප‍්‍රධානියා. මේ අනුව ඒ ඒ විෂයන් අමාත්‍යවරුන්ට බෙදා දීමට පෙර ඒ සියලූම විෂයන්වලට අදාළ බලතල ජනාධිපතිවරයා සතු වෙනවා. ඒ අනුව මෙම සිද්ධිය වන විට එනම්, අදාළ ලියකියවිලි අත්සන් කරනවිට ආරක්ෂක ඇමතිවරයාගේ බලතල සතුවූයේ ජනාධිපතිවරයාටයි. ඒ අනුව ජනාධිපතිවරයා ලියවිල්ලට අත්සන් කිරීම නීතියට එකඟයි.
අනිත් අතට පුරවැසි පනතේ 19 (2) වගන්තිය අනුකූලව ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය නීතියට එකඟව සිදුවී තිබෙනවා.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය නීතියට එකඟයි.
වැඩිදුර විභාගය අද (3) පස්වරු 1.30 ට කල් තැබිණි
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතිඥ සමාගම මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පෙත්සම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන අතර පළමු පෙත්සම්කරු පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ලෙස ද දෙවැනි පෙත්සම්කරු ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් ද සේවය කරති. ශ්‍රී ලාංකික පුරවැසිභාවය අතහැර ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් බවත්, ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් අගෝස්තු 5 වැනිදා දැන ගන්නට ලැබිණි. ඔහු නිසි ක‍්‍රියාපටිපාටිය අනුගමනය නොකර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇති අතර එය භාවිත කරමින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත‍්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇතැයි පෙත්සම්කරුවන්ට දැන ගැනීමට ලැබී ඇත. එම පුරවැසිභාවය හෝ ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත‍්‍ර හෝ ලබාගැනීමට අදාළ ආයතන මගින් ලිපිගොනු පවත්වාගෙන ගොස් නැත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 92 වගන්තිය සමග කියැවෙන 89 (ඒ) දරන වගන්තිය අනුව ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන අයකුට ජනාධිපති ධුරයට පත්විය නොහැකිය. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා අයදුම්කර ඇති 2005 නොවැම්බර් 18 සහ 24 අතර කාලයේදී අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයකු නොසිටි බව ද මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කර ඇත්තේ නීතියෙන් නියමිත ක‍්‍රමවේදය අනුව නොවේ යැයි ද ඒ නිසා එම සහතිකය නිත්‍යනුකූල නොවන බව ද පෙත්සම්කරුවෝ කියා සිටිති.
එම ද්විත්ව පුරවැසි සහතිකය භාවිත කර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇති අංක 8305500 දරන ගමන් බලපත‍්‍රය සහ අංක 194917210010 දරන ජාතික හැඳුනුම්පත නිත්‍යනුකූල නොවන බව කියා සිටින පෙත්සම්කරුවෝ එබැවින් එම ගමන් බලපත‍්‍රය සහ ජාතික හැඳුනුම්පත බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටිති. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ගමන් බලපත‍්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප‍්‍රකාශයට පත්කරන තුරු එම ගමන් බලපත‍්‍රය හා ජාතික හැඳුනුම්පත ක‍්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා පෙනී සිටි අතර පස්වැනි වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද හයවැනි වගඋත්තරකාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද පෙනී සිටියහ.
වගඋත්තරකාර රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ ශානක ද සිල්වා මහතා පෙනී සිටියේය.
නීතිපති, ආගමන විගමන පාලක හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහබැංකුවේ අධිපතිතුමා වෙන රටක කෙනෙක් දාද්දි මේ අය කොහෙද දන්නේ නැහැ හිටියේ? එතකොට දැන් ඒ සල්ලි ඔක්කොම අවලංගු වෙන්න ඕනනේ... ඔක්කොම මෙන්ටල් විකාර වෙනදේවල් පාලකයින් කරන්නේ. අපිට වෙලා තියෙන්නේ විකාර බල බලා ඉන්න. මෙතුමා රටට නිදහස ලබාදෙන්න කැපකිරීම් කල කෙනෙක්... ගෝඨාභය තමයි දැනට ඉන්න හොඳම අපේක්ෂකයා. මේ ආණ්ඩුවේ ඉන්නේ බාගෙට භාගයක් රට විනාශ කළ මිනිස්සු. මම හිතන්නේ රටේ මිනිස්සු පක්ෂවලට කඩේ යන්නේ නැතුව හැමදේම නුවණින් හිතන්න ඕන ඡන්දයක් මේක.
මොන තරම් අසික්කිත වැඩක්ද මේ යූඑන්පී ප්රමුඛ මේ එන්ජීඕ නඩය කරන්නේ? එදා යුද්ධය ඉවරකරන්න මේ මනුස්සයා දායකත්වය දෙනකොට කොහෙද මේ උන්දැලා හිටියේ. පරදිනවට බයේද වේ වගේ යටිකුට්ටු වැඩකරලා ප්‍රතිවාදියා අයින් කරන්න දඟලන්නේ...?
නඩු විභාගය අවසන් කරන්නේවත් නැතිව ගෝඨාගේ ද්විත්ව පුරවැසි සහතිකය නීත්‍යානුකූල යැයි කියන්නේ කොහොමද? මේක සම්පූර්ණයෙන්ම සත්‍යය වසන් කිරීමක්. නීතිපතිවරයාගේ ප්‍රකාශයක් මත පමණක් මෙවැනි ප්‍රවෘත්තියක් පළ කළ හැකිද? නීතිපතිවරයාගේ අදහස අවසන් තීරණයද? ඊට ආසන්නතම උදාහරණයක් වන්නේ, දින 52 ආණ්ඩු පෙරළියේ දී, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිවිට එය නීත්‍යානුකූල බව නීතිපතිවරයා කියා සිටියා. නමුත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කිරීමයි.
නීතිපති කිව්ව පාර්ලිමේන්තුව විසුරුවපු එකත් නීත්‍යානුකූලයි කියලා.. අන්තිමට මොකද වුනේ?
කොතරම් පහත් තත්වයකට වැටිලද? පදනමක් ඇති චෝදනාවක් හොයාගෙන ඉස්සරහින් ඇවිත් පහරදෙන්න බලා වැඩකරන්නේ නැතිව...
මේවා කරන්න.. කරන්න.. මිනිස්සු තේරුම්ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි සජිත් පරදින නිසා, තරගයේ අනිකාව ඉවත් කරන්න හදන බව... මිනිස්සු ඉස්සර තරම් මෝඩ නැහැ.. මේකෙන් වෙන්නේ සජිත්ට ලැබෙන්න තියෙන ඡන්දත් අඩුවෙන එක.. රටක නායකයෙක් වෙන්න බලන කෙනෙකුගේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනෑ. එතකොට තමයි වටිනාකමක් එන්නේ... එ්ක බලෙන් ගන්න බැහැ.
නීතිපති පෙනී සිටින්නේ රජයේ මතය වෙනුවෙනි. එය අවසන් තීරණය නෙමේ. අනික ඉතින් සූත්තර කාරයෝ වගේම ජනප්‍රිය ඩීල් කාරයන් දෙන්නෙකුත් මේකේ ඉන්නවා. සමහරවිට ඇමරිකන් පුරවැසියා ඩීල් මතින්ම ගොඩයන්නත් පුලුවන්... කොහොමෙන් කොහොම හරි ඇමරිකන් පුරවැසියාට ඡන්දෙ ඉල්ලන්න පුලුවන් වේවා...!!!
යූඑන්පී එකේ ඉන්නේ මොනතරම් අවංක මිනිස්සු ටිකක්ද? බලන්න එදා මහබැංකු හොරකම වෙලාවේ ඒකේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අල්ලලා පොලීසියට භාර දීලා ද්විත්ව තියා ලංකාවේවත් පුරවැසිභාවයවත් නැහැ කියලා දඬුවම් කලේ නැද්ද? නීතිය නවන්න කඩන්න එපා කියලා දිල්රුක්ෂි ඩයස් මහත්මියට, සුහද ගම්ලත් මහත්වරුන්ට අවවාද කරලා හදාගත්තේ නැද්ද? මේකත් ඒ වගේ අහිංසක අවංක උත්සාහයක්...
නීතිපතිට අධිකරණ තීන්දු දෙන්න බලයක් නැහැ. තමන්ගේ මතය කියන්න පුළුවන්. ඒක කඩේ යන එකක් වෙන්නත් පුළුවන්. නීතිපති කියන දේවල් පිළිගත්තා නම් එදා ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය වෙලාවේ සිරිසේන අර තරම් කිච වෙන්නෙත් නැහැ. අද එහෙනම් රාජපක්ෂලාගේ රටේ අපි ඉන්නේ...
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කළබව පැහැදිලිව එම රජයෙන් දන්වා තිබෙනවා. එතකොට එතුමාගේ මුල් රටවන ශ්රී ලංකාවේ පුරවැසි බවත් අහිමියි කියා තීන්දුවක් දුන්නොත් එතුමා ලොවේ පළමුවරට පිට සක්වළ ජීවියෙක් බවට පත් වේවි... අරුම පුදුම ශ්රී ලංකාවේ එවැන්නක් සිදුවුවහොත් පුදුමවිය යුතු නැහැ...
ප‍්‍රධාන ශීර්ෂ පාඨය ජනතාව නොමග යවන සුළුයි ..
වාර්තා වන අන්දමට බැසිල් රාජපක්ෂ තම ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2007 වසරේ දී ය. ගෝඨාභය ද තම අයැදුම්පත ඉදිරිපත් කර ඇත්තේ එදිනම වන නමුත් තම අයැදුම්පත 2005 නොවැම්බර් 21 වැනි දින ලෙස ව්‍යාජව ආපසු දිනයක් යොදා ඇත. බැසිල්ගේ සහ ගෝඨාගේ අයැදුම්පත් එකම අයෙකු විසින් එකම දිනයක පුරවා ඇති බව තහවුරු වන කාරණා රාශියක් ඇතැයි එවායේ පිටපත් ඇසින් දුටුවෙක්ප වසයි. අත් අකුරු සමානය. 'ස්පෙලින් මිස්ටේක්' ඇති අතර ඒවාද සමාන ය.
මගේ අදහස නම් මෙම නඩුව බලය අනිසි ලෙස ඒ කාලයේ පාවිච්චි කළ බව පෙන්වීමට නිදසුනක් කියලයි. උසාවිය මොන තීන්දුව දුන්නත් මේ කරපු වැඩේ අයුතු සහගතයි.
දැන් කඩේ යන්නේ ගෝඨාටද?
කළකම් ඵලදේ. ගෝඨාවත්, අනිත් අයටත් මේ අටලෝ දහමින් බේරෙන්න බැහැ.
ඇයි මේ නිවට කතා? රට බේරලා දුන්නා කියලා ගෙදර බිරිඳයි, දරුවන් එක්කයි රාජපක්ෂලත් එක්ක නිදාගන්න දෙන්න තරම් මිනිස්සු මෙච්චර නිවට ඇයි? හෙල්පින් හම්බන්තොට නඩුවෙන් බේරුවා. සරත් නන්ද සිල්වා ජාතියෙන්ම සමාව ඉල්ලුවා හිරේ ඉන්න ඕනේ කෙනෙක් ජනාධිපති කළා කියලා... කොටින්ට සල්ලි දීලා දෙමල ජනතාවගේ ඡන්ද අයිතිය පාගලා ජනාධිපති වුණා. විත්තිකාරයන් හදිසි අනතුරකින් මැරලා නඩුත් නෑ. මාධ්‍ය ආයතන ගිනි තියපු ඒවා, අවේන්ගාර්ඩ් නඩු ඔක්කොම හංගගෙන හිරේ දාන්න බැරිවෙන්න තීන්දු අරගෙන... ඇයි රාජපක්ෂලාට විතරක් මේ රටේ එක නීතියක්? සාමාන්‍ය මිනිස්සුන්ට විතරද මේ රටේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ? කෝ ඇති කළයි කියපු නීතියේ ස්වාධීනත්වය..? බම්බුවේ යහපාලනය. දැන්නම් නීතිය පිළිබඳව කිසිම විශ්වාසයක් නෑ. කියන්නේ නම් පනින්න හිල් තියෙනවලු. ඔව් නඩු පවරන්නේ අන්තිමට අහක වැටෙන්න බලාගෙන. සරත් ෆොන්සේකාව ගිහින් හිරේ දැම්මේ. කමෙන්ට්ස් දිහා බලනකොට අපරාධකරුවන්, මිනීමරුවන්, හොරුන්ව රජකරවන්න අපේ බැලයින්ට පුදුම අමාරුවක් තියෙන්නේ...
අපිට හම්බ වෙන්නේ මහා. පුදුම වීර නායකයෝ රටේ යුද්දය තියෙනකොට ඇමරිකාවේ පුරවැසියෝ යුද්දේ ඉවර වුනාම රටේ නායකයෝ , ලැජ්ජයි ,පුදුමයි දෙක එකට , ඇයි මෙතරම් දගලන්නේ රටේ ජනාදිපති වෙන්න.
නීති මය තර්කය නිවැරදි බව පෙනේ. නමුත් අවසාන නිගමනය ලෙස හැඟවීම නිවැරදි නොවේ.
මෙතන කට්ටිය පටලගෙන ඉන්නේ .මෙතනින් කියන්නේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කියන එක නෙමෙයි .ලංකාවෙයි ඇමරිකාවෙි දෙකේම පුරවැසිභාවය තියෙනවා කියන එක .
ළමයි.. එකක් තේරුම් ගන්න. උසාවි යනවා නම් මේ වගේ ලොකුතැනක ඉඳගෙන යන්න. එතකොට ඕගොල්ලෝ වෙනුවෙන් කඩේ යන්න රොත්ත පිටින් එන්නේ .. බඩට ලුණු කැඳවත් නැතිව හරි කට්ටිය කඩේ යයි. 225ම සුන්නත් ධුලි කරන්න ඕනෑ කියපු කට්ටිය එක්කෙනෙක් වත් දැක්කොත් පොඩ්ඩක් කියන්න.. බේතකට වත් හොයාගන්න බැහැ.
තිලින, යුද්දේ කලේ සහ ඉවර කලේ සරත් ෆොන්සේකා මිසක් වෙන කවුරුත් නෙවෙයි.
මේ රවට්ටන්න හදන්නේ අපේ රටේ මිනිස්සු නේද බොරු නඩු දාලා. නීතිය වල්වැදිච්ච යුගයක් මේක. මොකටඩ මිනිස්සු රවට්ටන්නේ බලය අරගෙන ඉතුරු ටිකත් විකුනලා කන්න නේද?
රාජපක්සලා කරන මොන දෙයක් වුනත් හරිය කියලා පිළිගන්න අම්බරුවන් රැලක් ඉන්න රටක ජීවත්වෙන්න ලැබීමත් පූරුවේ කරුමයක්!
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ... ඉතින් අපි කුමක් කරමුද?
"ද ටර්මිනල්" චිත්‍රපටිය මතක් වෙනවා. නමුත් මේ ප්රශ්නය දැන් ඊටත් එහා ගිය එකක් වගේ...
ඕනෑම කෙනෙකුට ඕනෑම රටක හැකියාවක් ලැබුනොත් විදේශ රටක පුරවැසිකම ලබා ගැනීම තම රට එපා වෙලා හෝ රට අත්හැරීමක් වෙන්නෙ නැහැ, ඊට ප්‍රධානම හේතුව තමා අපේ විදේශ ගමන් බලපතට තියෙන්නේ ලෝකයේ අඩු පිලිගැනීමක්, ඔය මහා සංවර්ධිතයි කියල සම්මත කර ගත්ත රටවල ගොඩක් දෙනෙක් යන්න උත්සාහ කරන විදේශ ගමන් බල පතකට ඕනෑම රටකට යෑමේ හැකියාව සහ වෙනත් විශේෂ වරප්‍රසාද තියෙනවා. මේක තමා විදේශ පුරවැසිකමක් ලබා ගැනීමෙ ප‍්‍රධාන හේතු, එසේ කල පමණින් රට හැර ගිය කෙනෙක්, එපා වෙලා ගිය කෙනෙක් කියල විනිශ්චය කිරීම, මඩ ගැසීම තනිකරම ද්වේශය, කුහකකම, හා ඊර්ෂියාව නූගත්කමින් පිරුණු ක්‍රියාවක්, මෙතනදී ඊට අමතරව තරගයෙන් පැරදීමට ඇති බය. මහ පුටුවට කෑදරකම, අන්තවාදී දේශපාන අන්තවාදය.
කොහොමත් ගෝඨා පරදිනවා .
මෙහෙ ඉදන් ඇමෙරිකාවට බනිනවා පවුලේ ඔක්කොම රිංගගෙන ඉන්නේ ඇමෙරිකාවේ මේ ලංකා භූමියේ පුරවැසි පවුලකින් නායකයෙක් හොයාගන්න බැරි රටක්ද?