(රෝහණ සමරවීර)

ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ගොඩකවෙල ඇඹිලිපිටිය හා උඩවලව යන පොලිස් බල ප්‍රදේශවල නිවාස හා වෙළද ව්‍යාපාරවලට මධ්‍යම රාත්‍රියේ සොරකු ඇතුල්වීම හේතුවෙන් එම ජනතාව දැඩි භීතියට පත්වී සිටිති.

මෙම භයානක සොර දෙටුවා අත් අඩංගුවට ගැනීමට අදාල පොලිසි මේ වනවිටත් අපොහොසත් වීම හේතුවෙන් ජනතාවගේ බිය දෙගුන තෙගුන වී ඇතැයිද ප්‍රදේශ වාසීහු පවසති.

එක් පුද්ගලයකු හෝ කණ්ඩායමක්  තනි තනියෙන් සිදු කරනු ලබන මෙම මෙම සිල්ලමට පැමිණෙන පුද්ගලයා සිරුර පිටටත නොපෙනෙන ලෙස ආවරණය කරගෙන කිසිම සැකයකින් හා බියකින් තොරව නිවාස හා වෙළද ව්‍යාපාර තුළට ඇතුල් වන බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම සොරා මධ්‍යම රාත්‍රියේ මුහුණ වසාගෙන අත් ආවරණ පැලැද නිවාස වල ආරක්ෂිත බැම්ම මතින් නිවාස පරිශ්‍රයන්ට ඇතුල්වී සිය කර මත රදවාගෙන සිටින බෑගයෙන් විවිධ උපකරන පිටතටගෙන ජනේල ගලවා නිවාස තුළට ඇතුල්වන අයුරු එහි සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධති වල සටහන්වී ඇති බවද ප්‍රදේශ වාසීහු පවසති.

මෙලෙස ඇතුල් වන්නේ එක් පුද්ගලයකු ද එසේ නොමැතිනම් කීප දෙනකු ද යන්න සැකයක් පවතින බවත් එයට හේතුව වී ඇත්තේ එකම විදියේ ඇදුම් කට්ටලයක් සොරා පැලැදගෙන සිටීම නිසා බවද ප්‍රදේශ වාසීහු පවසති.