මාධ්‍යය , ජන මාධ්‍යය , සන්නිවේදනය , ජන සන්නිවේදනය යන යෙදුම් මෑතදී බටහිරින් ණයට ගත් විද්‍යාංගයකට අයත් පාරිභාෂික පදය. මේ විශේෂ විද්‍යාංගය බටහිර පහළව ක්‍රමානුකූලව වර්ධනය වී විශ්වවිද්‍යාල විෂය ධාරාවක් දක්වා ලෝකව්‍යාප්තව යෑමේ ඉතිහාසය ඉතා කෙටි වූවකි. මෙරට විශ්වවිද්‍යාල පද්ධතියටද මේ විෂය ප්‍රවිෂ්ට වූයේ ඉතා මෑතදීය.
සන්නිවේදනය නමැති බටහිර විද්‍යාංගය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමේදී ඊට අයත් ඉංග්‍රීසි පාරිභාෂික වචන සඳහා සිංහල වචන නිපදවා ගැනීම අනිවාර්ය කාර්යක් විය එහිදී මෙරට සන්නිවේදන විද්වත්තු Mass Media , Communication , Mass Communication යන ඉංග්‍රීසි පාරිභාෂික වචන සඳහා පිළිවෙළින් මාධ්‍යය , ජන මාධ්‍යය , සන්නිවේදනය , ජන සන්නිවේදනය යන සිංහල පාරිභාෂික වචන තනා ගත්හ. මේ වන විට ඒ සිංහල වචන සුලබ ලෙස බහු ජන භාවිතයට පත්ව ඇත.
ජන සන්නිවේදනය නමැති මේ බටහිර අභිනව විද්‍යාංගය අරබයා බටහිර සන්නිවේදන ආචාර්යවරුන් ඉදිරිපත් කර ඇති විවිධ නිර්වචනවල පිණ්ඩාර්ථය පහත දැක්වෙන ඉංග්‍රීසි නිර්වචන පාඨයෙහි ගැබ්ව ඇතැයි මම සිතමි.
"What do we mean by communication? The oldest meaning of the word in English can be summarized as the passing of ideas , information and attitudes from person to person. But later communication came also to mean a line or channel from place to place."
(Raymond Williams -
Communications: Pg:17)
ඒ ඉංග්‍රීසි නිර්වචන පාඨයෙහි සිංහල භාවාර්ථය මෙසේය
"සන්නිවේදනය යන්නෙන් අප අදහස් කරන්නේ කවරක්ද? ඉංග්‍රීසි භාෂාවේ දැක්වෙන පැරණිම තේරුම හකුළුවා කියතොත් සන්නිවේදනය යනු අදහස් , තොරතුරු හා ආකල්ප පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැමිණවීමයි. එහෙත් පසුව සන්නිවේදනය යන්නෙන් තවත් දෙයක්ද අදහස් කෙරුණි. එනම් තැනකින් තැනකට යන වාහකයක් යන්නයි."
බටහිර පහළ වුණු මේ අභිනව විද්‍යාංගය මෙරට විද්‍යාර්ථීන්ට උරුම කරදීමට පුරෝගාමී වුණු ස්වදේශීය ඇදුරු මහැදුරු පරපුර විසින් ගුරුකොට ගන්නා ලද්දේ බටහිර පොත්පත්ය. එසේම ඒ පොත්පත් කළ කතුවරුන්ගේ ඉගැන්වීම්ය. ඔවුන් මේ අභිනව විද්‍යාංගය සැලකුවේ මෙරට ජනයාට කිසි කලෙක උරුම නොවුණු ඔවුන් සිහිනෙන් වත් නොදුටු විරූ ඥාන සම්පත්තියක් ලෙසිනි.
බටහිර ජනයාගේ පැමිණීමෙන් පසු මෙරට බිහි වුණු පුවත්පතින් දේශීය සන්නිවේදන ඉතිහාසය පටන් ගත් බව හිතන්නටත් කියන්නටත් ලියන්නටත් මෙරට සන්නිවේදන ඇදුරු මහැදුරන් ඉදිරිපත් වූයේ ඒ අනුවය. එය එක් අතකින් අරුමයක් නොවේ. මේ අභිනව විද්‍යාංගය අරබයා ලියැවුණු පොත්පත් කියවීමෙන් හා ඒ විද්‍යාංගය සම්බන්ධයෙන් බටහිර පහළ වුණ මත හා සංකල්ප ගුරුකොට ගැනීමෙන් ලත් ශික්ෂණය ඔවුන්ට තම රටේ චිරාගත සන්නිවේදන උරුමයක් ගැන සිතන්නට අනුබල නොදුන් හෙයිනි.
පළමුව මෙරට මුද්‍රිත මාධ්‍යය ලෙස පුවත්පත බිහිව අනතුරුව මුල්ම විද්‍යුත් මාධ්‍යය ලෙස ගුවන්විදුලි සන්නිවේදනය ඇරඹුණි. පසු කලෙක රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයද ඊට එක් විය. දැන් අන්තර්ජාලය රජව ඇත.
ශ්‍රී ලංකාවේ සන්නිවේදන ඉතිහාසය ගැන කතා කරන සන්නිවේදන විද්වතුන් මෙන්ම විද්‍යාර්ථීන්ද බහුල වශයෙන් අවධාරණය කරන කාරණය එය නොවේද? එහෙත් සිංහල ජනයා සතු අතීත සන්නිවේදන උරුමය යට කී නූතන සන්නිවේදන මාධ්‍ය බිහිවීමට පෙර මෙන්ම මේ නූතන මාධ්‍ය ඔස්සේ අද දවසේද එක සේ අඛණ්ඩව ගල ගලා එයි.
සිංහල ජනයා සතු මේ අතීත සන්නිවේදන උරුමය කුමක්ද? ඒ වනාහි මීට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට පෙර බුදුන් වහන්සේ විසින් ලොවට පහළ කර වදාළ අනන්‍යසාධාරණ බෞද්ධ සන්නිවේදන උරුමය මිස අන් කවරක්ද?
බුදුන් වහන්සේ වූකලී මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ධර්ම සන්නිවේදකයාණන් බව උන්වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ ලීලාවෙන්ම ප්‍රත්‍යක්ෂ වෙයි. බුදුවීමෙන් සත් සතියක් ඉක්ම යෑමෙන් පසු බුදුන් වහන්සේ මෙසේ සිතූහ.
"මා අවබෝධ කොටගත් ධර්මය ගැඹුරුය. නුවණැති අයට පමණක් වටහා ගත හැක්කකි. මා දෙසන දහම අන් අයට නොවැටහේ නම් මගේ වෙහෙස නිෂ්ඵලය."
පළමුව කාහට දහම් දෙසිය යුතුදැයි කල්පනා කළ බුදුන් වහන්සේට වහා සිහි වූයේ ආලාරකාලාම තවුසාය. ඔහු නුවණැත්තෙකි. කෙලෙස් කෙමෙන් කෙමෙන් හීන කරගෙන ආ කෙනෙකි. එහෙත් ඔහු මිය ගොස් සතියක් ගතව තිබුණි. ඉන්පසු බුදුන් වහන්සේට උද්දක රාමපුත්‍ර තවුසා මතක් විය. නුවණැත්තෙකු මෙන්ම කෙලෙස් තුනී කරගෙන ආ කෙනෙක් වූ ඔහුද පෙර මැදියම් රැයේ මියගොසිනි. අනතුරුව උන් වහන්සේගේ සිහියට නැගුණේ පස් වග තවුසන්ය.
බුදුන් වහන්සේ පස් වග තවුසන් සොයා ගොස් ඔවුන්ට තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව එනම් දම්සක් පැවතුම් සූත්‍රය දෙසා වදාළ සේක. එහෙත් එම දහම අසා සෝවාන් වීමට සමත් වූයේ කොණ්ඩඤ්ඤ තවුසා පමණි. අනතුරුව උන් වහන්සේ වප්ප , භද්දිය , මහානාම , අස්සජි යන අනෙක් තවුසන් සතර දෙනාට වෙන වෙනම එම දහම් සුතුර දෙසා ඔවුන්ද සෝවාන් ඵලයට පැමිණ වූහ. අවසානයේ බුදුන් වහන්සේ පස් වග මහණුන් සියලු දෙනාටම අනාත්ම ලක්ඛණ සූත්‍රය දේශනා කොට ඒ මහණුන් වහන්සේලා සියලු දෙනාම එක විට රහත් ඵලයට පැමිණවූ සේක.
බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමේදී අනුගමනය කර වදාළ ක්‍රියාවලිය දෙස බලන විට මනාකොට ප්‍රකට වන්නේ උන්වහන්සේ සතුව පැවැති සන්නිවේදන කෞශල්‍යයේ මහිමය නොවේද?
තමා විසින් අමතනු ලබන පිරිස පිළිබඳ නියම තතු තම සන්නිවේදන කාර්යයට පෙරාතුව සන්නිවේදකයා මැනවින් වටහාගෙන සිටීම අනිවාර්ය සුදුසුකමක් බවට වත්මන් ජන සන්නිවේදන විශාරදයෝ සිද්ධාන්ත ඉදිරිපත් කරති. බුදුන් වහන්සේ දෙදහස් පන්සිය වසර ගණනාවකටත් පෙර එය ක්‍රියාවට නැගූ බවට උන්වහන්සේගේ මංගල ධර්ම සන්නිවේදන ක්‍රියාවලිය මනා සාධකයකි.
බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට අග තනතුරු ප්‍රදානය කිරීමේදී වාග් සන්නිවේදන ශක්තිය කොතරම් වැදගත් කොට සැලකුවේද යන්න උන්වහන්සේලා අතරින් සත් නමකට එකී ශක්තිය පෙරදැරි කරගෙන අග තනතුරු දීමෙන් ඉඳුරා සනාථ වෙයි.
පොලොන්නරු යුගයට අයත් විශිෂ්ට ලේඛකයෙක් වූ
විද්‍යාචක්‍රවර්තීන් විසින් විරචිත අමෘතාවහ නම් වූ බුත්සරණ ගද්‍ය කාව්‍යයෙහි යට කී ශ්‍රාවකයන් වහන්සේලා සත් නම උත්කර්ෂයෙන් වර්ණනා කොට ඇත්තේ මේ අයුරෙනි.
(1) මිහිරි කටහඬින් බණ කියන්නවුන් කෙරෙහි අග්‍ර වූ කුල සංසාර විෂහරණ ඖෂධ ඝටිකාවක් බඳු ලකුණ්ටක භද්දිය නම් මහ තෙරුන් වහන්සේ.
(2) සිංහ නාද කරන්නවුන් කෙරෙහි අග්‍ර වූ සිහි කළවුන් සිතැ අමා ලන පිණ්ඩෝල භාරද්වාජ මහ තෙරුන් වහන්සේ.
(3) ධර්ම කථිකයන් කෙරෙහි අගතැන් පත් සිතුවන් සිත් සනසන පූර්ණ චන්ද්‍රයක්හු වැනි මන්ත්‍රාණි පුත්‍ර පූර්ණ නම් මහ තෙරුන් වහන්සේ.
(4) සංක්‍ෂේපයෙන් කී දැයෙහි අර්ථ විස්තරයෙන් දන්නවුන් කෙරෙන් අග්‍ර වූ සරණ ගියවුන් මනදොළ පුරන කප්රුකක් වැනි මහකසයින් මහ තෙරුන් වහන්සේ.
(5) මධුර වූ බස් බණන්නවුන් කෙරෙහි අගතැන් පත් වූ බුදු සසුන නමැති ආකාශයට පූර්ණ චන්ද්‍ර මණ්ඩලය බඳු කුටිකණ්ණ සෝණ මහ තෙරුන් වහන්සේ.
(6) ක්ෂණයෙහි යමක් සිතා ගන්නවුන් (ප්‍රතිභා සම්පන්නයන්) කෙරෙහි අගතැන් පත් වූ ශාසන නමැති රුවන් ඇගෑයෙහි අග්‍රමාණික්‍යයක් වැනි වූ වංගීස නම් මහ තෙරුන් වහන්සේ.
(7) විසිතුරු කොට බණ කියන්නවුන් කෙරෙහි අගතැන් පත් වූ බුද්ධ ශාසන නමැති වෘක්ෂ ශාඛාවෙහි බැඳි මධු පටලයක් වැනි වූ කුමාර කාශ්‍යප නම් මහ තෙරුන් වහන්සේ.
බුදුන්වහන්සේ එකී තම සප්ත ශ්‍රාවකයන්ට සන්නිවේදන කෞශල්‍යය ප්‍රමිති කොටගෙන අග තනතුරු පිරිනැමීමේදී සැලකිල්ලට ලක් කළ ප්‍රධාන සාධක දෙකකි. එනම් කටහඬ හා වචන භාවිතයයි. සකල ජන ප්‍රසාදක සන්නිවේදකයෙකුට මධුරස්වරය (මිහිරි කටහඬ) මෙන්ම ගම්භිරස්වරයද (ගැඹුරු කටහඬ) මහාර්ඝ සම්පතකි. වාක්චාතුර්ය
(කථිකත්වය) හා වාක් විස්තාරය (සැකෙවි දේ විස්තර කොට කීම) දුර්ලභ ශක්‍යතාවකි. කල්‍යාණ වාක්කරණය (මිහිරි වචන භාවිතය) හා විචිත්‍ර වර්ණනය (උපමා , රූපක , අනුප්‍රාස සහිත) ආකර්ෂණීය ශූරත්වයකි. නිර්මාණාත්මක ප්‍රකාශනය වූකලී පරම භාග්‍යයකි. මෙවන් අනන්‍යසාධාරණ සන්නිවේදන කෞශල්‍යයන්ගෙන් උපශෝභිත තම ශ්‍රාවක පර්ෂදයට මෙලොව පහළ වුණු පරමාදර්ශී සන්නිවේදන ශාස්තෘවරයාණන් වන බුදුන් වහන්සේගෙන් මෙසේ අග තනතුරු ලැබීම කවර අරුමයක්ද?
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බුදුන් වහන්සේගේ සන්නිවේදන න්‍යාය (1)