(කෘතහස්ත සන්නිවේදක , ප්‍රශස්ත ගේය කාව්‍ය රචක ප්‍රේමකීර්ති ද අල්විස්හුගේ 36 වන ගුණ සමරුව නිමිත්තෙනි.)
ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රියතම සන්නිවේදකයා , අප්‍රතිම ගේය කාව්‍ය රචකයා මට මුලින්ම මුණ ගැසුණේ ගුවන්විදුලියේ ළමා ශිල්පියෙකු ලෙසිනි. ඒ 1960 වසරේ මුල් භාගයේය. ඔහුගේ නිසර්ග සිද්ධ ප්‍රතිභා බීජ ප්‍රරෝහණයට සරු තෝතැන්න වූයේ එකල ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වූ 'සරස්වතී මණ්ඩපය' නම් ළමා වැඩසටහනය යනු මගේ හැඟීමයි. ඒ තෝතැන්නෙන් මතුවුණු පෙු්මකීර්ති අංකුරය කෙමෙන් මෝරා සුහුඹුල්ව වැඩී ගියේ තම නිර්මාණ කලාවේ න්‍යායික පක්ෂයට වඩා හුදු ප්‍රායෝගික පක්ෂයේ පෝෂණයෙන් බව නිසැකය. ඔහුගේ උත්පාදක ශක්තිය විමසා බැලීම අරබයා ප්‍රාචීන ප්‍රතිචීන ප්‍රාමාණිකයන් තිදෙනෙකුගේ නිර්මාණ නිර්වචන ත්‍රිකයක් ගුරු කොටගැන්ම මැනවැයි සිතමි.
ප්‍රාග් අනුරාධපුර යුගයේ පටන් අඛණ්ඩව ගලා ආ අපගේ දේශජ සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණාවලියෙන් දැනට අභාවයට නොගොස් ශේෂව ඇති එකම පුරාණතම ග්‍රන්ථය වූකලී 'සියබස්ලකර' කෘතියයි. ශ්‍රීමත් දණ්ඩීන් ආචාර්යවරයා විසින් රචිත සංස්කෘත 'කාව්‍යාදර්ශය' ඇසුරෙන් සිංහල කවියන්ට අදාළ වන පරිද්දෙන් මෙය සියබසට නගා ඇත්තේ 10 වන සියවසේ අනුරපුර රජව සිටි පළමු වන සේන රජු විසිනි. පහළ උපුටා දැක්වෙන්නේ එම කෘතියෙහි එන කාව්‍යෝපදේශයකි.
"නිසග සිදු පිළිබන්
උගත් ගත් විමල් නේ
නොමඳ බියොවුදු හේ වේ
වෙසෙසින් මෙකව් සපුවට ."
(සි.බ.ල - 64 ගීය.)
එහි අරුතයැ මේ.
"කාව්‍ය සම්පත්තියට හේතු වන විශේෂ කරුණු තුනක් ඇත. එනම් සහජ ප්‍රතිභාව , ග්‍රන්ථ පරිශීලනය හා නොනැවතී නිර්මාණයෙහි යෙදීමය"
ප්‍රංශ මහා ලේඛක , 'මැඩම් බොවාරි' නවකතා කතුවර ගුස්ටාෆ් ෆ්ලෝබා තම සම්භක්ත ගෝල ගී ද මෝපසාන්ට්ට දුන් උපදේශයකි මේ.
"If one has not originality it is necessary to acquire it. It is a question of regarding whatever one desires to express long enough and with attention close enough to discover a side which no one has seen and which has been expressed by nobody.
("How to write and speak effective English." - Edward Frank Allen - Pgs:35,36.)
එහි හෙළ බස් අරුත මෙසේය.
"කෙනෙකු තුළ අපූර්ව (Original) දෙයක් බිහිකිරීමේ උත්පාදක ශක්තිය නොමැති නම් එය අත්පත් කරගතයුතුය. මෙය වනාහි තමාට කීමට රිසි දේ කුමක් වුවත් එහි අනික් කෙනෙකු නුදුටු පැත්තක් , නොකියූ පැත්තක් අලුතෙන් හෙළිකිරීමට අදාළ ප්‍රශ්නයකි".
සංස්කෘත 'රසවාදය' පිළිබඳ ප්‍රාමාණිකයෙකු වන ආනන්දවර්ධන ආචාර්යපාදයන්ගේ 'ධ්වන්‍යාලෝක' කෘතියට අභිනව ගුප්ත ආචාර්යතුමා කළ 'ධ්වන්‍යාලෝක ලෝචන' විවරණයෙහි 'ප්‍රතිභා' යන්න විශද කොට දක්වන්නේ මේ විග්‍රහ වාක්‍යයෙනි.
"අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා'
මේ එහි අරුතයි.
"පෙර නුවූ විරූ වස්තුවක් නිර්මාණය කිරීමට ශක්තිය ලබා දෙන ප්‍රඥාව 'ප්‍රතිභා' නම් වෙයි."
ඉහත දැක්වූ තෙවැදෑරුම් ප්‍රාචීන හා ප්‍රතිචීන නිර්වචන අනුව නිර්මාණකරුවෙකු තුළ විශේෂ ගුණාංග තුනක් පිහිටිය යුතුය. ප්‍රතිභාව , අපූර්වත්වය හා චිරපරිචය යනු ඒ ත්‍රිවිධ ගුණාංගයෝ වෙති. ප්‍රේමකීර්ති සන්නිවේදන ක්ෂෙත්‍රයේ අත්‍යන්ත ප්‍රියතමයෙක් වූයේත් ගේය කාව්‍ය ක්ෂෙත්‍රයේ අප්‍රතිමයෙක්
වූයේත් ඔහු එකී තෙවැදෑරුම් ගුණාංග නියත ලෙස උරුම කරගත්තෙකු. නිසා බැව් ඉඳුරා පැවසිය හැකිය.
ප්‍රේමකීර්තිට නමෝ විත්තියෙන් තම ප්‍රතිභාව ප්‍රභාමත් කර දුන් , අපූර්ව කාව්‍ය චින්තා පහළකිරීමට තුඩු දෙන පරිකල්පන ශක්තිය උද්දීපනය කර දුන් , එසේම නිර්මාණ පරිචය අත්පත් කරදුන් ගුරුගෙදර , අභ්‍යාස විද්‍යාලය , විශ්වවිද්‍යාලය හෝ පිරිවෙන වූයේ ගුවන්විදුලිය නමැති තක්සලාව මිස අන් කුමක්ද ?
කෝට්ටේ කාලයේ ලියැවුණු බවට සම්මතව ඇති අඥාත කර්තෘක 'පැරකුම්බා සිරිත' කාව්‍යයෙහි පහත එන පැදිය හමුවෙයි.
කළොත් ගුරු සේවේ
සුවඳ පත නළ සේවේ
නොමැ කැරැ එසේවේ
බැඳුම කව් නළු බස් කෙසේ වේ ?
(පැර: සි: 5 පැදාිය.)
එහි අරුත බලමු .
"නළ නමැති තණ පත් සුවඳ උරාගන්නේ යම් සේද ගුරු ඇසුරෙන් නැණ ලැබගැන්මද එසේය. ගුරු ඇසුර නොලද කල කව් නළු බැඳුම් හා වදන් විස්කම් කෙසේ කරන්නද?"
ප්‍රේමකීර්ති ඉත සිතින් හා බැති සිතින් යුතුව සතතයෙන් සේවනය කළ ගුරුහු ගුවන්විදුලි ගුරුහුය. ඔවුහු බහුශ්‍රැතයෝය. කව් , ගී , නළු බැඳුම්හි හා සුබස් විස්කම්හි හසළයෝය සිංහල ආංගල දෙබස්හිම චතුරයෝය. ඇතැම්හු පෙළ සකු දෙබස්හිද වෙසරදයෝය. එබැවින් එකල මෙලක එකම ගුවන්විදුලිය අසිරි සරසවියක් ලෙස වොරැඳීම කවර අරුමයක්ද !
වත්මන් ලංකාවේ ක්‍රියාත්මක වන විධිමත් අධ්‍යාපන ක්‍රමය තුළ නිශ්චිත නිෂ්ඨාවක් තෙක් අත්පත් කරගත් අඛණ්ඩ ශාස්ත්‍ර ශික්ෂණයක් ප්‍රේමකීර්ති සතුව පැවැති බවක් ඔහුගේ අධ්‍යාපන ගමන් මගෙන් හෙළි නොවෙයි. ඔහු විශ්ව විද්‍යාලයක , ගුරු විද්‍යාලයක හෝ පිරිවෙනක අභ්‍යන්තර හෝ බාහිර විද්‍යාර්ථියෙකු වශයෙන් පශ්චාත් අධ්‍යාපනය ලද බවක් අප්‍රකාශිත බැවිනි.
ගුවන්විදුලි තක්සලාවෙන් විහිද ගිය ආවේශය , ආභාසය හා ආලෝකය ඔස්සේ ස්වතන්ත්‍ර යාත්‍රිකයෙකුගේ වේශයෙන් ජීවන චාරිකාවේ යෙදුණු ප්‍රේමකීර්ති , නර රකුසන් විසින් අකල්හි දිවි අහිමි කරන තෙක්ම , තම මුකරි වදන් විස්කම් පාමින් සහ අසිරි ගී ගොතමින් වෙහෙසුණේ ළදැඩියන් ළඇත්තන් කිරීමට නොවේද ? අරසිකයන් රසිකයන් කිරීමට නොවේද ?
ප්‍රේමකීර්ති බොහෝ කොට ඇගයීමට ලක්වන්නේ වෙසෙස් ගීත රචකයෙකු හැටියටය. එහෙත් , චතුර සන්නිවේදකයෙකු වශයෙන් ඔහුගේ අගය විමසා බැලෙන අවස්ථා වී නම් ඒ ඉතා අල්පයැයි සිතමි. අඳ බාල සන්නිවේදිකයන් හතු මෙන් මතුවෙන අද වගේ කලක ප්‍රේමකීර්ති වැනි කෘතහස්ත සන්නිවේදකයෙකුගේ අගය මැන බැලීම විශේෂයෙන් වැදගත් වෙයි
ප්‍රේමකීර්ති ද අල්විස් නමැති සන්නිවේදකයා ඕපපාතිකයෙක් නොවී , ප්‍රශස්ත හා ප්‍රගල්භ සන්නිවේදන සම්ප්‍රදායක සුජාත උරුමක්කාරයෙක් වී , එසේම සන්නිවේදන මන්ද බුද්ධිකයෙක් නොවී බිහිවීමට ගුවන්විදුලිය ඔහුට නිරුපද්‍රිත දෙවන මව්කුසක් වූ බැව් මගේ ප්‍රාරම්භ විවරණයෙන් ඔබට මනාව විශද වන්නට ඇතුවා නිසැකය.
ගුවන්විදුලි ළමා ශිල්පියෙකු වශයෙන් තම ප්‍රතිභාව ප්‍රභාමත්
කරගැන්මේ කාර්යේදී ඔහුට මහරු ගුරු වූයේ කීර්තිමත් සන්නිවේදකයෙකු මෙන්ම ප්‍රශස්ත කවියෙක් හා ගීත රචකයෙක් වූ කරුණාරත්න අබේසේකරයන්ය. අබේසේකර ගුරු සේවනය
ප්‍රේමකීර්ති තුළ සැඟව සිටි අනාගත සන්නිවේදක අංකුරය සේම ගීත රචක අංකුරයද මෝරා පුබුදු වීමට හිරු රැස් දහරක් විණැයි සිතමි.
ප්‍රේමකීර්ති , වරක් , තම ගුවන් විදුලි ගුරු කරුණාරත්න අබේසේකරයන් ගැන ලියූ ලිපියකින් තම ළෙහි ඔහු කෙරෙහි වූ බැති සිත කෘතවේදීව හෙළි කළේය. ඒ ලිපියෙන් උපුටාගෙන මෙහි පහළ බහා ලන කොටසින් ප්‍රේමකීර්තිගේ එම නිමල බැති සිත මෙන්ම කරුණාරත්න අබේසේකරයන්ගේ අගනා ගතිගුණද එක සේ පළ වෙයි.
" කරු අයියා මෙහෙයවන ළමා මණ්ඩපය අවසන් වන්නේ සවස 5.45 ටය. 1962 පමණ එක් දිනක එසේ අවසන් වූ ළමා මණ්ඩපයෙන් සියල්ලෝම ගිය පසු තම අත රැඳී තිබූ ෆයිල් කවරය මට බාර දුන් කරු අයියා කීවේ 'තමුසෙ පොඩ්ඩක් ඉන්නවා' කියලාය. එවිට මට අවුරුදු 15 කි. ටික වේලාවකට පසු පැමිණි කරු අයියා 'යමු නේදැ'යි ඇසීය. මා අත තිබූ ෆයිල් කවරය ඔහු අතට ගෙන ගුවන්විදුලියේ ආලින්දයෙන් මිදුලට බැස්සේය.
"වෙන දා ඔහු එසේ මිදුලට බසින විට එන ඔහුගේම කාර් එක එදා එතන නොතිබුණි. එවක බුලර්ස් පාරේ (දැන් බෞද්ධාලෝක මාවතේ) බොරැල්ලට යන බස් නැවතුම් පොළ දක්වා මා සමග පැමිණි කරු අයියා බස් නැවතුම් පොළේ නතර වන විට මට දැනුණේ පුදුමයකි.
"තට්ටු දෙකේ බස් එකක් පැමිණ නැවැත්වීය. එහි උඩ තට්ටුවේ අන්තිම ආසනයේ වාඩිවූ කරු අයියා. ඊළඟ හිස් තැන මට වාඩිවෙන්නටයි කීවේය.
"මුළු බස් රියේම උඩ තට්ටුවේ සිටි සියල්ලෝම කරු අයියා දෙස බැලූහ. කොන්දොස්තර සල්ලි ගත්තේ නැත. නියමිත ගාස්තුවෙන් දෙගුණයක් තරම් වන මුදලක් ගෙවා ටිකට්පත් ලබා ගැනීමට කරු අයියා උත්සුක වීය. අප පැමිණ බසයෙන් බැස්සේ වැලිකඩ හිරගෙදර අද්දර නැවතුම් පොළේය. එතැන් සිට පා ගමනින් කැම්බල් පෙදෙස හරහා සැලැස්කියට එනතුරු කරු අයියා කීවේ 'අපි මේ
වගේ බස්වලිත් යන්න පයින් යන්න පුරුදු වෙන්න ඕනෙ. තමුසෙ වගේම මමත් සිරි අයියගෙ ළමා පිටියට ආවෙ ගියෙ පයින්. පස්සෙ මං බයිසිකලයක් ගත්තා. මම නිවේදකයෙක් වෙලා ඉන්දැද්දි ඔය බයිසිකලේ පැදගෙනයි වැඩට ආවෙ. කවදාවත් අතීතය අමතක කරන්න එපා.'
"මේ සිදුවීම වන විට 15 වැනි වියේ පසුවූ මා ඉතාමත් පුදුම වූයේ රටේ කීර්තිමත් ප්‍රබල නිවේදකයෙකු හා පහනක් මෙන් බැබළුණු කවුරුත් දන්නා හඳුනන කරුණාරත්න අබේසේකර වැනි ඉතාම වැදගත් මහත්මයෙකු මා සමග පිය මැනීම ගැනය."
ප්‍රේමකීර්ති කීර්තිමත් සන්නිවේදකයෙකුගේ තැනට පැමිණියේ දුකසේ දිගු කලක් තිස්සේ ඇල්මෙන් හා ඇප කැපවීමෙන් ස්වතන්ත්‍රව අධ්‍යයනයෙහි හා අභ්‍යාසයෙහි නිරත වීමෙනි. එක් රැයකින්ම මාධ්‍ය චක්‍රවර්තියෙකු වීමට හැකිය යන අහංකාර කල්පනාවෙන් පිම්බුණු අඳ බාල සන්නිවේදක ඕපපාතිකයන් බහුල මෙකල ප්‍රේමකීර්තිගේ මාධ්‍ය සම්ප්‍රදානය විශේෂ විමසිල්ලට ලක් කිරීම ජන මාධ්‍යයන්ගේ අභිවෘද්ධිය පිණිස හේතු වනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි. ප්‍රේමකීර්තිගේ මාධ්‍ය මෙහෙවරෙහි වැඩි කොටස ගුවන්විදුලිය හා සම්බන්ධ බැවින් විශේෂයෙන් එම මාධ්‍යය පාදක කරගෙන ඔහුගේ මාධ්‍ය සම්ප්‍රදානය විමසා බැලීම වඩාත් යෝග්‍ය යැයි සිතමි.
ප්‍රේමකීර්තිගේ ගුවන්විදුලි මාධ්‍ය සම්ප්‍රදානය අංශ තුනකට වෙන් කළ හැකිය. කථන කාර්ය , රචන කාර්ය හා නිෂ්පාදන කාර්ය ඒ තෙවැදෑරුම් අංශයෝ වෙති. ඔහු ගුවන්විදුලි මාධ්‍ය සේවනය පටන් ගත්තේ ළමා ශිල්පියෙකු වශයෙනි. ගුවන්විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයට ඔහුගේ පළමු ඉඳුල් ගැන්වීම එය විය. භාෂාව ඇසුරු කොට දියුණු කරගත යුතු ප්‍රමුඛ කුසලතා සතර වන කියවීම , ලිවීම , කතාව හා ඇසීම එක සේ ප්‍රගුණ කරගන්නට ළමා මණ්ඩපය ඔහුට හොඳ ගුරුගෙදරක් වූ බැව් නිසැකය. ඔහු සතු සහජ සන්නිවේදන කුසලතා බීජය පැළවී මෝරා පුබුදු වී අවසානයේ මල් පල දැරීමෙන් එය සනාථ නොවන්නේද ?
එදා තමාට කියවීමට ලිවීමට කතාවට හා ඇහුම්කන් දීමට අවස්ථාව උදාකළ ළමා මණ්ඩපය වූකලී ප්‍රේමකීර්ති නමැති අනාගත සන්නිවේදක කෝවිදයාගේ පළමු අභ්‍යාස විද්‍යාලය විය. ඔහු කතාවට කට හුරු කරගත්තේ එහිදීය. කවියට ගීයට හිත සහ අත හුරු කර ගත්තේද එහිදීමය
ළමා විය ඉක්මවූ පසු ඔහු ගුවන් විදුලියේ නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පියෙක් විය. එසේ වුවද ඔහු වඩාත් ඇදී ගියේ නාට්‍ය කාර්ය දෙසට නොව කථන කාර්ය දෙසටය. එය ඔහුගේ සහජ උරුමය විය යුතුය. ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස නැගී ඒමට ඔහු උනන්දු නොවුණේ ඒ නිසා යැයි සිතමි.
ඉන් අනතුරුව ප්‍රේමකීර්ති ගුවන් විදුලියේ නිවේදක තනතුරට පත් විය. ජන්මයෙන් උරුම කොටගත්තකැයි කිය හැකි ඔහුගේ කීමෙහි බිණීමෙහි බුහුටිකම දියුණු තියුණු කරගැන්මට නිසි මග පෑදුණේ ඉන් පසුව යැයි සිතමි. ඔහු විසින් ඉටුකරන ලද ගුවන්විදුලි මාධ්‍ය මෙහෙවරෙහිදී ඔහුගේ කථන කාර්ය ඔහුටම අනන්‍ය වූ අසදිස විලාසයකින් ඔප් නැංවී ගියේ එහි ඉෂ්ට ඵලයක් වශයෙනි. ගුවන්විදුලි නිවේදනය , ප්‍රවෘත්ති ප්‍රකාශනය , විස්තර ප්‍රචාරය , නරඹන්නන් ඉදිරියේ කෙරෙන වැඩසටහන් මෙහෙයවීම වැනි කථන කාර්යට අයත් විවිධ අංශ විෂයෙහි ප්‍රේමකීර්ති ශෛලිය දිනෙන් දිනම ඉස්මතු වී පෙනෙන්නට පටන් ගති. එසේ වන්නට හේතු වූ සාධක තුනක් ඇතැයි සිතමි. ඉන් පළමුවැන්න ඔහු සහජයෙන් උරුම කරගත් කීමෙහි බිණීමෙහි මුකරිකමය. දෙවැන්න ඔහුගේ පුළුල් වචන කෝෂය මෙන්ම විසිතුරු ලෙස හා සංයත ලෙස හසුරුවන බස් වහරය. තුන්වැන්න නම් ඔහුගේම මිස අනිකෙකුගේ යැයි කිය නොහැකි ස්වතන්ත්‍ර ප්‍රකාශන ශෛලියයි.
මෙකල මෙරට සන්නිවේදන කාර්යෙහි නිරන්තරව නිරතව සිටින අඳ බාල සන්නිවේදකයන් නොසලකා හැර ඇත්තේද එකී සාධක තුනමය. මුකරිකම යනු තැනට ඔබින දේ කීමෙහි බිණීමෙහි ශූරකම මිස අනිකක් නොවේ. එය වාක් චාතූර්යයි. එහි විරුද්ධ ලක්ෂණය හැකරකමයි. හැකරකම යනු තැනට නොහොබිනා දේ ඇද බෑමයි. එය අනිකක් නොව වාචාලකම හෙවත් දොඩමලුකමයි. එය වාචසික පාචනය (Verbal Diarrhea) ලෙස හැඳින්වීම කවර වරදද ? සංයත බස යනු සිහි නුවණින් යුතුව වහරන ශික්ෂිත බසය. ඊට ප්‍රතිවිරුද්ධ බස වනාහි කට කැඩිච්ච අසික්කිත කතාබහය. එය සිහි විකල් වූවන්ගේ කන්දොස්කිරියාවට අසමාන නොවන්නකි. තමාටම විශේෂ වූ ශෛලියක් තනා ගැන්මට උනන්දු වන්නේ අනුන් අනුකරණය කිරීම අරුචි කරන අදීන පුද්ගලයෙකි. එය ගැන කිසි සේත් නොසිතන්නා අනුන් අනුකරණයට පෙලඹෙන්නේ ඉබේය. ඔහු වනාහි අනන්‍යතාව යන්නෙහි අගය නොදන්නා අනුවණයෙකි. රටක මාධ්‍යයන් බැබළෙන්නේ මුකරිකම , සිහි නුවණ හා අදීනත්වය ඇත්තන් නිසා මිස හැකරයන් , සිහි විකල් වූවන් හා අනුකාරකයන්
කරණකොටගෙන නොවේ. වත්මන් මාධ්‍ය පරිහානියට එබඳු හැකරයන් , සිහි විකල් වූවන් හා අනුකාරකයන් කොපමණ වගකියයුතුදැයි යන්න සිතන කල ප්‍රේමකීර්ති වැනි ප්‍රශස්ත සන්නිවේදකයන්ගේ අඩුව වඩ වඩා දැනෙන්නට වීම කවර අරුමයක්ද ?
ප්‍රේමකීර්තිගේ ගුවන්විදුලි මාධ්‍ය මෙහෙවරෙහි දෙවැනි අංශය රචන කාර්යයි. ගුවන්විදුලි රචන කාර්ය හා සම්බන්ධ විවිධ අංග අතර විචිත්‍රාංග , කතා , කවි හා ගීත ප්‍රධාන තැන් ගනියි. විශේෂයෙන් ප්‍රේමකීර්තිගේ හිත වඩාත් ඇදී ගියේ එම අංග අතර වූ ගීත රචනා කලාව කෙරෙහිය. ළමා ශිල්පියෙකුව සිටි කාලයේ සිටම ළමා ගී ලිවීමට ඇල්මක් දැක්වූ ඔහුට තම ගීත රචනා කෞශල්‍යය භාවිතයට ගැනීමට ගුවන්විදුලි සරල ගී වැඩ සටහන් මගින් මහඟු අවස්ථාවක් උදා විය ගීත රචකයෙකු වශයෙන් ඔහු පළමු වරට සැලකිල්ලට ලක් වන්නට වූයේ ගුවන් විදුලි සරල ගී වැඩසටහන් ඔස්සේ යැයි සිතමි.
ප්‍රේමකීර්තිගේ ගුවන්විදුලි මාධ්‍ය සම්ප්‍රදානයට අයත් තුන් වන අංශය වන නිෂ්පාදන කාර්ය අපගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි. අලුත් දේ කල්පනා කිරීමට ඔහු තුළ වූ අපූරු ශක්තියත් ශ්‍රව්‍ය මාධ්‍යයක් වන ගුවන්විදුලියේ අනන්‍යතාව ගැන සිතා නව්‍ය ශ්‍රව්‍ය ගෝචර උපක්‍රම නිපදවා ගැන්මට ඔහු දැක්වූ නොතිත් ආසාවත් කරණකොට ගෙන ඔහුගේ නිෂ්පාදන කාර්ය අපූර්වත්වයක් උද්වහනය කළේය. ප්‍රේමකීර්තිගේ එම අපූරු ශක්තියත් අර නොතිත් ආසාවත් එකට එක්වීමෙන් උපන් ගුවන්විදුලි වැඩසටහන අලුත් විය. අමුතු විය. වෙනස් එකක් විය. ප්‍රේමකීර්ති ශෛලිය එහි රැඳී තිබූ හෙයිනි. ඊට හොඳම නිදසුන නම් ඔහුගේ 'සැරිසර' නමැති ගුවන්විදුලි පුවත් සඟරාවයි.
අනාගතයේ ගුවන්විදුලි හා රූපවාහිනී උභය මාධ්‍යයන්හිම සන්නිවේදකයන් වීමට බලාපොරොත්තුව සිටින තරුණ සන්නිවේදන විද්‍යාර්ථීන්ට මෙන්ම දැනට ඒවායෙහි සන්නිවේදන කාර්යේ නිරතව සිටින සිහිනුවණින් යුත් අංකුර සන්නිවේදකයන්ටද ප්‍රේමකීර්ති ද අල්විස් නමැති කීර්තිමත් සන්නිවේදකයාගෙන් උගත හැකි දේ බොහෝය. ඔහු නොදන්නා දේ සෙව්වේය. සොයා නිසැකව දැන ගත්තේය. නිසැකව දත් දේ පමණක් තැනට ඔබින ලෙස සිහිනුවණින් යුත් බසින් කියුවේය. මාධ්‍යයට අනුකූල වන ලෙස අලුත් විලාසයකින් කියුවේය. එය ඔහුම නිපදවාගත් විලාසයකි. ප්‍රේමකීර්ති ශෛලියේ උපත එතැනය. ප්‍රේමකීර්ති කීර්තිමත් සන්නිවේදකයෙකු ලෙස ඇගැයෙන්නේද එබැවිනි. ඔහු අතින් ගුවන්විදුලිය හා රූපවාහිනිය යන උභය මාධ්‍යයන්ම දූෂණය නොවී භූෂණය වීම කවර අරුමයක්ද ! ඒවා ඛණ්ඩනය නොවී මණ්ඩනය වීම කවර අසිරියක්ද !
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගුවන්විදුලිය කීර්තිමත් කළ ප්‍රේමකීර්ති