IMG-LOGO

එක වැකියෙන් කතු වැකි ලියූ මහා ලේඛකයා

මතක හා මතය

 


එක්තරා දිනක හවස් යාමයේ මගේ පොත් රාක්කය පීරමින් මා කල් ගත කළේ කලකට පෙර මවිසින් කියවන ලද පොතක් යළි අතට ගෙන කියවීමේ අභිලාෂයෙනි. එහෙත් එකී පොත සොයාගන්නට මා මහත් සේ වෙහෙස ගෙන කළ උත්සාහය ව්‍යර්ථ විය.

මා පැතූ පොත නොලද මුත් රාක්කයේ කොහේදෝ තැනක තිබී එක්තරා කුඩා පොතක් මා අතට පත් වූයේ ඉබේය. පිටු 40 කින් සමන්විත ඩිමයි 08 ප්‍රමාණයේ එම කුඩා පොත දුටු සැණින් මගේ මතකය වහා අතීතය වෙත ඇදී ගියේය ඊට හේතු වූයේ එම කුඩා පොතේ පිට කවරේ දිස්වුණු ඡායාරූපයයි පිරුණු මූණින් හා දීප්තිමත්ව දැල්වුණු දෑසින්ද යුත් එම රුවට යටින් සඳහන් වූයේ 'රට රැකගත් කතුවැකි යන 'ග්‍රන්ථ නාමයයි.'

පොතේ පිට කවරයේ නිල් පාටින් මුද්‍රිත එම ඡායාරූපයේ උන් පුද්ගලයා සුප්‍රකට සාහිත්‍ය ධරයෙකි. කෘත හස්ත පුවත්පත් කලාවේදියෙකි. නව කවියන් පරපුරක් රටට හඳුන්වා දීමෙහි පුරෝගාමියෙකි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මෙන්ම මේ ශ්‍රේෂ්ඨ සිංහල ලේඛකයාද මියගියේ අකාලයේය.1903 ජූලි 22 දා ඌව පළාතේ , උඩුකිඳ , වැලිමඩ ,අඹගස්දෝවේ දියමාරුවේ ගෙදරදී ඉපදුණු ඔහුගේ 54 අවුරුද්දකට සීමා වූ දිවි ගමන නිම වු⁣ණේ 1957 දෙසැම්බර් 29 වන දා කොළඹදීය.

ඕජෝ ගුණයෙන් පුෂ්ට වූ විශිෂ්ට භාෂා ශෛලියක් උරුමව සිටි මේ ලේඛකයා එක් අවධියක මෙරට උද්ගත වුණු සාමාජික ආගමික හා දේශපාලන ප්‍රශ්න කිහිපයක් අරබයා ලියූ නිර්දය කතුවැකි අටක් ගැබ් කොට 'රට රැකගත් කතුවැකි' යන නමින් සම්පාදිත එම කුඩා පොත පළ කොට ඇත්තේ ඔහු මිය ගොස් වසරක් පිරීම නිමිත්තෙනි. ඒ 1958 දෙසැම්බර් 28 වැනිදාය.

මේ රට රැකගත් කතුවැකි ලියූ අභිමානවත් ලේඛකයාණෝ හේමපාල මුනිදාසයෝය. 'සිංහල බෞද්ධයා' සහ 'සිංහල බලය' යන පුවත්පත් දෙකෙහි කතු කම් කළ කාලයේ ලියූ එකී රට රැකගත් කතුවැකි පමණක් නොව ඔහු අතින් ලියැවුණු කවර කතුවැකියක් වුවද ස්වාධීන චින්තනය, හේතු යුක්ති කථනය, දුර්වාද මථනය සහ අනන්‍ය වාග් ශෛලිය යන චතුර්විධ අංගයන්ගෙන් අනූනය.

එදා සිංහලයන්ට හිමි දේශපාලන සංවිධානය වූ 'සිංහල මහා සභාව' වෙනුවෙන් 'සිංහල බලය' පුවත්පත අරඹා එහි කතුකම කළ හේමපාල

මුනිදාසයෝ කොළඹ කවි යුගය බිහි කිරීමේ පුරෝගාමී පුරුෂයාණෝ වූහ. කොළඹ යුගයේ ප්‍රධාන පෙළේ කවියන් සියලු දෙනාම වාගේ මතු වූයේ හේමපාල මුනිදාසයන් තම 'සිංහල බලය' පුවත්පතෙන් ඇරඹූ කවි පිටුවෙනි.

දිවංගත අගමැති ඇස් , ඩබ්ලිව් , ආර් , ඩී බණ්ඩාරනායක මහතාගේ ඇරයුමෙන් 1952 දී 'සිංහලේ' පුවත්පත ඇරඹූ හේමපාල

මුනිදාසයන්1956 දී බණ්ඩාරනායක මහතා ලත් විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සැඟවී ගත් යෝධ සන්නිවේදන බලවේගය වූ බැව් නිසැකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් උරුමක්කාරයන් හේමපාල මුනිදාස නමැත්තෙක් මෙලක විසීද යන්නවත් දන්නේදැයි නොදනිමි. විජය කුමාරතුංගයන් මුනිදාස කුමාරතුංගයන්ගේ පුතා ලෙස හඳුන්වන අමන සන්නිවේදක පරපුරක් බිහිව ඇති මෙවන් යුගයක ඒවා ගැන කවර කතාද ! රටක තථ්‍ය ඉතිහාසය අකා මකා දැමූ පසු ඒ රට තුළ ඕපපාතිකයන් පහළ වීම ගැන අප පුදුම විය යුතුද ?

අනභිභවනීය ප්‍රෞඪ පුවත්පත් කතුවරයෙකු මෙන්ම ප්‍රශස්ත ලේඛකයෙක්ද වූ හේමපාල මුනිදාසයන් මට ජීවමානව මුණගැසී ඇත්තේ එකම එක් වරක් පමණි. ඒ අවස්ථාව කිසි දා මගේ සිතින් මැකී නොයන්නකි. ඒ ඔහු බාල්හ ගිලානව මංච පරායණව සිටි කාලයයි. එකල ඔහු පදිංචිව උන්නේ පොල්හේන්ගොඩ හන්දියේ සිට කිරුළපන සුසාන භූමිය දෙසට වැටී ඇති පටු මග පටන් ගන්නා තැන පාර අද්දර වූ කුඩා නිවසක බැව් මට අද මෙන් මතකය.

ප්‍රවීණ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු , නාට්‍ය රචකයෙකු , විශිෂ්ට ගීත රචකයෙකු , කවියෙකු මෙන්ම කිසිවෙකුට අනුකරණය කළ නොහෙන , අනුපමේය , අනන්‍ය , කෝවිද සන්නිවේදකයෙක්ද වූ බණ්ඩාර විජයතුංගයෝ පාසල් කාලයේ සිටම මගේ බඩබැඳගත් මිතුරෙකි. ඒ දිනවල ඔහු නැවතී සිටියේ කළුබෝවිල මගේ ගමට නුදුරු නුගේගොඩ බෝඩිමකය. එකල මා ඔහු ඇමතුවේ 'ආනන්ද' යන නමිනි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය සමයේදී අංකුර කවියෙකු හා සිත්තරෙකු වශයෙන් ඔහු තම නම භාවිත කළේ ආනන්ද .කේ.විජයතුංග යනුවෙන් හෙයිනි. එක්තරා වැහිබර හවස් යාමයක මා ඔහු සමග

හේමපාල මුනිදාසයන්ගේ නිවසට ගියේ ආනන්දගේම ඇරයුමෙනි. බාල්හ ගිලානයෙකුව සිටි මුනිදාසයන්ගේ සුව දුක් දැනගන්නා අටියෙනි. ඔහුගේ පුත් සුජීව රංජිත් මුනිදාසයෝ අප දෙදෙනාගේම මිතුරෙකි. එදා ඔහුද නිවසේ සිටීම අපගේ මහත් සතුටට හේතු විය.

පුවත්පතින් හා පොත්වලින් හේමපාල මුනිදාසයන් ගැන දැන සිටි මුත් ඔහු ජීවමානව දැක හැඳිනගෙන සමීපව ඇසුරු කිරීමට තරම් මම වාසනාවන්තයෙක් නොවීමි. ඒ ගැන දැනුදු මම ශෝක වෙමි. ඔහු පළමු වරට දිවමන්ව දැක හැඳිනගත්තේ එදාය.ආනන්ද මා ඔහුට හඳුන්වා දුන් වේලේ ගිලන්ව ඇඳේ වැතිර හුන් ඔහු මදෙස බලා මඳ සිනාවක් මුවට නගා ගත්තේ ඉතා අමාරුවෙන් බැව් අපට පසක් වුණි. ඔහු එතරම්ම දුබලව ඔත්පලව හුන්නේය. කතාවෙන් ඔහු වෙහෙසට පත් කිරීම නොමනා බැව් අපට හැඟුණි. අප මඳ වේලාවක් සුජීවයන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිට මුනිදාසයන්ගේ නිවසින් පිටත්ව ආවේ ඔහුට ආයුරාරෝග්‍ය සම්පත්තිය ඉත සිතින් ප්‍රාර්ථනා කරමිනි.

මාත් ආනන්දත් ගිලන් මුනිදාසයන්ගේ සුව දුක් බලා පැමිණ වැඩි දවසක් ගතවන්නට පෙරම ඔහු සදහටම අපගෙන් සමුගත්තේය. ඔහු එදා රෝග ග්‍රස්තව මංච පරායණව සිටි අයුරු මගේ මතකයෙන් කිසි දා මැකී නොයන්නක් වූයේ එවේලේ ඔහු සමග වචනයකුදු කතා කිරීමට අවස්ථාවක් නොලැබීම නිසා මසිත උපන් උග්‍ර සන්තාපය නිසා යැයි සිතමි.

මුනිදාසයන්ගේ අකල් මරණය ගැන හිතන කල වරක් මාර්ටින් වික්‍රමසිංහයන් මාත් මගේ මිතුරන් දෙදෙනෙකුත් සමඟ ඔහුගේ නිවසේදී පැවසූ දෙයක් මගේ සිහියට නැගෙයි. මගේ කුලුපග මිතුරන් වන

කෘතහස්ත ලේඛක හේමරත්න ලියනආරච්චිත් ප්‍රකට නීතිඥ සෝමරත්න දිසානායකත් මමත් දිනක් රෑ කාලයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගෙදර ලේඛන කුටියේ අල්ලාප සල්ලාපයේ පසුවීමු. ඒ වූකලී මා වික්‍රමසිංහයන් ඉතා කුලුපගව ඇසුරු කරන පඤ්ඤා පජ්ජාලිත , ආස්වාද ජනක සමයයි. මාර්ටින් වික්‍රමසිංහයෝ වනාහි හේමපාල මුනිදාසයන්ගේ අග සවු ගෝලයන් වන ලේඛකයන් දෙදෙනෙක් වූ කේ.බී.

සුගතදාසයන්ගේත් සිසිර කුමාර මාණික්කආරච්චිගේත් පරම පරිභවයට පාත්‍ර වූවෙකි. එහෙත් වික්‍රමසිංහයෝ උන් කෙරෙහි කිපී උන් හා කලහයට ගොස් තම වටිනා කාලය නිකරුණේ නාස්ති නොකළහ. ඔහුගේ ඥාන පාටවය හා බුද්ධි පරිපාකය එතරම්ම ප්‍රබල විය.


"සේලෝ යථා ඒකඝනෝ

වාතේන න සමීරති

ඒවං නින්දා පසංසාසු

න සමිජ්ඣන්ති පණ්ඩිතා

(ධම්මපද - පණ්ඩිත වග්ග - 6)

(ගන ගල් කන්ද සුළඟින් නොසැලෙන සේ නිගා පැසසුම් දෙකේදීම පණ්ඩිතයෝ නොසැලෙත්.)


මාර්ටින් වික්‍රමසිංහයන් සතුව පැවැතියේ වාතයෙන් නොසැලෙන පර්වතයක් වැනි ඒකඝන පෞරුෂ්‍යයකි. අප එදා සාකච්ඡා කරමින් හුන්නේ යට කී ගෝල ලේඛකයන් දෙදෙනා හේතු යුක්තියෙන් තොරව , එනම් අසාධකව අකාරණව කළ , ද්වේෂ සහගත , අගතිගාමී , පරිභවාත්මක විවේචනයන් ගැනය. වික්‍රමසිංහයන් අප සමග එදා පැවසූ වදන් මෙවේලේ යළි මගේ සිහියට නැගෙයි.

"මුනිදාස තමයි මගේ 'ගම් පෙරළිය' නවකතාව ගැන මුලින්ම 'සිංහල බලය' පත්තරේට විවේචනයක් ලිව්වෙ. ඒක ද්වේෂයෙන් තොරව කළ විවේචනයක්. ඉත සිතින් කළ විවේචනයක්. මුනිදාස ශූර ලේඛකයෙක්. නිර්භය පත්‍රකාරයෙක්. ඒ වගේම මුනිදාස තමන්ගේ රටට ජාතියට ආගමට හොඳටම ආදරය කළා. ඒත් තමන්ට ආදරය කළේ නෑ. ඔහුත් මාත් එකට මදු රස වින්ද අවස්ථා තියෙනවා. මං ගන්නෙ මගේ ප්‍රමාණයට. මුනිදාස ප්‍රමාණය ඉක්මවීම ඔහුට හානිකර වුණා. මුනිදාස වගේ හොඳ ලේඛකයෙකුගෙ අකල් මරණය පාඩුවක්. ඔහු මගේ හොඳ යාළුවෙක්. හොඳ යාළුවෙක් නැතිවීම දුකක්."

මෙවේලේ මගේ සිත ඉබේම දිව යන්නේ වික්‍රමසිංහයන්ගේ ආත්ම චරිත කතාව වන 'උපන්දා සිට ' පොතේ එක්තරා පිටුවක් කරාය.

"වික්‍රමාරච්චි (ඩී.ඩබ්ලියු) දිනමිණෙන් අස්වී 'ස්වදේශ මිත්‍රයා' සතිපතා පත්‍රය ආරම්භ කළේය. ඔහු පරණවාඩියේ ලොකු ගෙයක පදින්චියට යන විට මමද ඔහු සමග ගියෙමි. වික්‍රමාරච්චි ස්වදේශ මිත්‍රයා පත්‍රයේ කළමනාකාර කතුකමත් මිල්ටන් සිල්වා කතුකමත් කළෝය පත්‍රයෙහි පළ කරනු පිණිස කිසිවකු ලියූ කෙටි කථාවක් මිල්ටන් සිල්වාත් උපකර්තෘත් විසින් නොමනා යයි බැහැර කරනු ලැබීය. ඒ කථාව ලියූ තරුණයා පත්‍රකාරයකු ලෙස පුරුදු වනු පිණිස 'ස්වදේශ මිත්‍රයා' කන්තෝරුවට ඇතුළු වන්ට කැමැත්තෙන් සිටින්නෙකි. වික්‍රමාරච්චි මේ කෙටි කතාව මට ගෙනැවිත් දුන්නේය."

"මම හිතාගෙන ඉන්නෙ පත්තරේ වැඩ පුරුදු කරනු සඳහා මෙයා ගන්නයි. කන්තෝරුවේ හැමෝම මේ කථාව අසභ්‍ය යයි , හොඳ නෑයි කියමින් බැහැර කළා. මේක කියවා බලන්න."

"අසභ්‍ය නොවූවද එය අපරිණත ලක්ෂණ ඇති කෙටි කතාවකි. ඒ කතාව අතරින් මා දුටුවේ අනාගත ලේඛකයෙකුගේ නොපැසුණු කුසලතාවයි. මම නොමනා තැන් කටු ගා නැවත ලියමින් ඒ කතාව සකස් කෙළෙමි.

"මම හිතනවා දැන් කථාව පත්තරේ පළ කරන්නට පුළුවන්ය කියා" කියමින් මම වික්‍රමාරච්චිට පිටපත දුන්නෙමි. "මෙයා ගන්න. ඔහු හොඳ ලේඛකයෙකු වෙනවාට සැක නෑ."

වික්‍රමාරච්චි ඒ කථාව පත්‍රයෙහි පළ කොට ඒක ලියූ තරුණයා පත්‍රයේ වැඩ පුහුණු කරනු සඳහා හඬගා ගත්තේය. ඔහු හේමපාල මුනිදාසය. මුනිදාස ඉතා ඉක්මනින් පත්‍ර කාරයෙක් විය. නවකථාකාරයකු වශයෙන් ඔහු කෙරෙහි අපූර්ව කුසලතා විය. පත්‍රකාරයකු ලෙස අවසානය තෙක් රටට සේවය කළ ඔහුගේ අර කුසලතා හොඳින් දියුණු නොවීය."

('උපන්දා සිට' - මාර්ටින් වික්‍රමසිංහ - 239,240 පිටු.)

 

තම නෑඹුල් සාහිත්‍ය නිර්මාණ

ප්‍රයත්නය වශයෙන් 'වනචාරිකාව' නමැති නවකතාව හේමපාල මුනිදාසයන් අතින් ලියැවුණේ එකුන් විසි වන වියෙහිදීය. මෙහි අත්පිටපත නැතිවුවද ඉන් දිරි නොසිඳුණු ඔහු ඒ අවුරුද්දේම 'ප්‍රසාද්සිංහ' නමැති නවකතාවත් අනතුරුව පළමුවන ලෝක මහා සංග්‍රාමය ඇසුරෙන් 'වයලා' නමැති නවකතාවත් ලීවේය.

'මළවුන් අතර ජීවිතය' , 'සැකය' , 'පුනරාලෝකය' , 'සකලසේන' ,

'නාරි ගැටය' , 'යකා බාස්' , 'ස්ත්‍රීරත්නය' , 'වහල් වෙන්දේසිය' , 'කින්නර පිස්සුව: , 'රතු කැට' ,

'රසාවදානය' , 'පංච තන්ත්‍රය' ,

'ජීවිත පූජාව' , 'භාරත ගීතය' යන සාහිත්‍ය කෘති සමූහය හේමපාල මුනිදාස ලේඛක මහාශයාණන්ගේ සූතිස් නිර්මාණ ජීවිතයේ අග්‍ර ශස්‍ය සම්පත වන්නේය.

අසදෘශ ශූර පුවත්පත් කර්තෘවරයෙකු වශයෙන් මුනිදාසයන්ගේ කිතු රැව් තුඩ තුඩ පැතිර යාමට තුඩු දුන් විශේෂ විස්කමක් ඔහු කෙරෙන් විශද විය. එය වූකලී එකම වැකියකින් මුළු කතුවැකියම ලිවීමට ඔහු දැක්වූ අසහාය රචනා චාතුර්යයි.

මගේ මිත්‍ර ආනන්ද . කේ . විජයතුංගයන්ගේ පවුලත් හේමපාල මුනිදාසයන්ගේ පවුලත් අතර පැවතුණේ ඉතා සමීප සම්බන්ධයකි. ඊට ප්‍රධාන හේතුවක් වූයේ මුනිදාසයනුත් ආනන්දගේ පියා වන විජයතුංග විදුහල්පති තුමාත් එකම ගම් පළාතේ උදවිය වීමයි. ඔවුන් අතර ඥාති සම්බන්ධයක් පැවතුණු බවක්ද මට යන්තමින් මතක ඇත.

ආනන්ද . කේ . විජේතුංගයන්ගේ මහගෙදර පිහිටියේ ඌව පරණගම ඡන්ද කොට්ඨාසයට අයත් උඩුකිඳ මැදවෙල ග්‍රාමයේය. වැලිමඩ සිට මැදවලට යන අතර මග හමුවන

අඹගස්දෝව හේමපාල මුනිදාසයන්ගේ උපන් ගම වෙයි. පසු කලෙක මගේ පළමු උපාධිධාරී ගුරු පත්වීම ලැබුණේ මැදවෙල ගමට නුදුරු කරගහඋල්පත විදුහලටය. එහි සේවය කරන කාලයේ මට විශේෂ පුද්ගලයෙක් හමු විය.ඔහු එකල මැදවෙල විදුහලේ විදුහල්පති තනතුර ඉසිලීය. පසුව මගේ ඉතා කුලුපග මිතුරෙකු බවට පත් වූ ඔහු දිනක් මා හේමපාල මුනිදාසයන්ගේ උපන් ගෙදරට කැඳවාගෙන ගියේය.

ඔහු වනාහි මුනිදාසයන්ගේ එක කුස හොත් අක්කාගේ පුතා වන එඩ්මන්ඩ් සිල්වාය.

ඒ මහගෙදර වූකලී උස් මැටි

බිච්චිවලින් සාදා සුදු හුණු ගෑ පරණ පන්නයේ එතරම් විශාල නොවූ නිවසකි. එඩ්මන් සිල්වා සමග ඒ නිවස තුළ ඒ මේ අත ඇවිදිද්දී මසිත උපන්නේ බලවත් හෘදයංගම හැඟීමකි. ඒ හේමපාල මුනිදාසයන් සිහි වීමෙනි.

කොළඹ සිට ගමට පැමිණි මුනිදාසයන් කොස් තම්බා කරවල බැදුම් සහ කිරිහොදි එක්ක බත් කෑමට ප්‍රිය කළ බව එඩ්මන් සිල්වා මා සමග පැවසුවේ මුනිදාසයන්ගේ අක්කා වූ තම මවගෙන් අසා දැනගත් තොරතුරු අනුවය. තම මහගෙදර බත හේමපාල මුනිදාසයන් අභිරුචියෙන් අනුභව කළේ මධු මද මුදිතව බව සිල්වාණන් මා සමග පැවසුවේ සිනහවෙන් යුතුවය.

හේමපාල මුනිදාසයන් පිළිබඳ එක්තරා රසාලිප්ත අත්දැකීමක් , වරක් , මගේ මිත්‍ර කීර්තිමත් ගුවන්විදුලි නාට්‍ය රංගන ශිල්පී , නාට්‍ය රචක , ලේඛක ආනන්ද සිරිසේනයන් මා ඉදිරියේ හිඳ මනාව පලිප්පු දමමින් විසිතුරු ලෙස මගේ මනසේ මවාලූයේ අට්ටහාසයෙන් යුතුවය.

"දවසක් අගනුවර තරුණ කවි සමාජයෙ සංවත්සර උත්සවයක් තිබුණා කොළඹ ආනන්ද විද්‍යාලයෙ. මූලාසනයෙ හිටියෙ හේමපාල

මුනිදාස මහත්තයා. කොළඹ කවියො මුලින්ම එළියට ගෙනාවෙ මුනිදාස මහත්තයයි. 'සිංහල බලය' පත්තරේ කවි පිටුවෙන් තමයි ඒක කළේ. ඒකට ගරු කරන්නයි එයාට මූලාසනය දුන්නෙ . මේ වෙලාවෙ හොඳටම මදුවෙන් මත්වෙලා හිටිය

හික්කඩුවෙ බී . එච් . අමරසේන කවියා කතාවක් පවත්වන්න ඉල්ලුවා. කතා කරනවා තියා කෙළින් ඉන්නවත් බැරි තත්වයකයි ඒ වෙලාවෙ අමරසේන කවියා උන්නෙ. මුනිදාස මහත්තයා එයාට කතා කරන්න ඉඩ දුන්නෙ නෑ. අමරසේන කවියා බල කරලා බැරි තැන එක කවියක් විතරක් කියන්න අවසර ඉල්ලුවා. මුනිදාස මහත්තයා අන්තිමට ඒකට ඉඩ දුන්නා. මුනිදාස මහත්තයා එක වාක්‍යයෙන් කතුවැකි ලියන්න දක්ෂ කෙනෙක්. ඒ වගේම මදු බඳුනත් අත ළඟම තියාගෙන ඉන්න කෙනෙක්. ඒ දෙකම එකට ඈඳලා තමන්ට සුපුරුදු විදියට දෙපැත්තෙම එළි වැට රැකලා එවෙලෙ අමරසේන කවියා හිටිවනම කවියක් කිව්වා. කොළඹ යුගයෙ කවියන් අතරෙ හිටියා දෙපැත්තෙම එළි වැට රැකලා කවි ලියන්න කියන්න පුරුදු වෙලා උන්නු දෙන්නෙක්. එක්කෙනෙක් තමයි හක්මන බැන්ටිස් රණවීර කවියා. අනිත් එක්කෙනා මේ අමරසේන කවියා. මෙන්න එදා අමරසේන කවියා කියපු කවිය.


තටමා ලියන ජගතගෙ වැල්

වටාරම

මට කිය හැකිය එක කවියෙන් මනෝරම

කට ළඟ තියාගෙන බිව්වත්

තැබෑරුම

තට කළ නොහැක ඒකයි මගෙ

උදාරම

 



අදහස් (0)

එක වැකියෙන් කතු වැකි ලියූ මහා ලේඛකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1441 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site