බුදුන් වහන්සේ ධරමාන කාලයේ අසමාන ස්වරයෙන් හෙවත් කටහඬින් මෙන්ම විවිධ ධර්ම දේශනා විලාසයන්ගෙන්ද සජ්ජිත තම ශ්‍රාවක සත් නමක් උන්වහන්සේගෙන් අග තනතුරු ලැබීමෙන් ඉඳුරා සනාථ වන්නේ කුමක්ද? ධර්ම සන්නිවේදන ක්‍රියාවලිය කෙරෙහි උන්වහන්සේ දැක් වූ බලවත් සැලකිල්ල මිස අන් කුමක්ද? අභිනව ධර්මයක් අවබෝධ කරගත් බුදුන් වහන්සේ එම උත්තම ධර්ම සංදේශය මහජනතාව වෙත ගෙන යෑමේදී නා නා විධ නිර්මාණාත්මක සන්නිවේදන ප්‍රයෝග අත්‍යවශ්‍ය බව මෙනෙහි කිරීම කවර අරුමයක්ද?
බුදුන් වහන්සේ වූකලී උත්තම ධර්මයක් ලොවට දේශනා කළ අසමසම ශාස්තෘවරයෙකි. එම ධර්මය වනාහි මනුෂ්‍ය , සත්ව , වෘක්ෂ ආදී සකල සත්ව ගණයාට ශාන්තිදායක වූවකි. එසේම අවිද්‍යා අන්ධකාරයට ප්‍රඥා ප්‍රදීපයකි. එම ධර්මයේ වක්තෘවරයා හෙවත් එය ලොවට දේශනා කළ ශාස්තෘවරයා වන බුදුන් වහන්සේගේ ස්වරයේ නැතහොත් කටහඬේ ස්වභාවයත් එසේම උන්වහන්සේගේ දේශනා ක්‍රම හෙවත් සන්නිවේදන ප්‍රයෝගත් පිළිබඳ විවිධ විවරණ ත්‍රිපිටක ග්‍රන්ථවලින් මනාකොට ප්‍රකට වෙයි. සනාතන අගයකින් යුත් ඒවා වර්තමාන සන්නිවේදන විද්‍යාර්ථීන්ගේ මෙන්ම ආචාර්යවරයන්ගේද විශේෂ අවධානයට මෙන්ම විමර්ශනයටද ලක්විය යුතු යැයි සිතමි.
බුදුන් වහන්සේගේ ස්වරය හෙවත් කටහඬ ධර්ම ග්‍රන්ථවල හැඳින්වෙන්නේ 'බඹගොස' නමිනි. බඹු යන්නෙන් මහබඹු හා උතුම් යන අරුත් පළවුණද මෙහිදී උතුම් යන අරුත අභිමත වෙයි. එසේම එය අට වැදෑරුම් කොට මෙසේ විස්තර වෙයි.
විස්සට්ඨ මඤ්ජු විඤ්ඤෙය්යා සවණීයා පසාරිණෝ
බින්දු නින්නාද ගම්භීරමේවමට්ඨංගිකා සරෝ,
1.විස්සට්ඨ(සෙමගතියනැති) 2.මඤ්ජු ( මිහිරි) 3.විඤ්ඤෙය්යා(සුවසේ වටහාගත
හැකි)
4.සවණීයා(ඇසීමට සුදුසු) 5.පසාරිණෝ(පිරිසෙන් පිටට නොඑන)
6.බින්දු(කැටිව වටව පවතින) 7.නින්නාද(අනුරාවදෙන)
8.ගම්භීර( ගැඹුරු)
බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන කල්හි එම ධර්මය ශ්‍රවණය කරන පිරිසෙහි සිත් සතන් සොළොස් ආකාරයකින් වටහාගෙන තම දේශනය කරන බව සූත්‍රදේශනාවලින් හෙළි වෙයි.මෙමගින් සනාතන වටිනාකමක් ඇති සන්නිවේදන සංකල්පයක් මනාව විශද වන්නේ නොවෙිද? එනම් දේශකයා තමා විසින් අමතනු ලබන ශ්‍රාවක පිරිසෙහි තරාතිරම වටහාගෙනම තම දේශනය පැවැත්විය යුතු බවයි.
බුදුන් වහන්සේ බණ අසන පිරිසෙහි සිත් සොළොස් ආකාරයකින් වටහාගන්නා අයුරු
විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සරණෙහි විස්තර වන්නේ මෙසේය.
මොහුගේ චිත්තය රාග සහිතය , මොහුගේ චිත්තය රාග සහිත නොවෙයි , මොහුගේ චිත්තය ද්වේෂ සහිතය , මොහුගේ චිත්තය ද්වේෂ සහිත නොවෙයි , මොහුගේ චිත්තය මෝහ සහිතය , මොහුගේ චිත්තය මෝහ සහිත නොවෙයි , මොහුගේ චිත්තය සංක්ෂිප්තය , මොහුගේ චිත්තය වික්ෂිප්තය , මොහුගේ චිත්තය මහග්ගතය , මොහුගේ චිත්තය අමහග්ගතය , මොහුගේ චිත්තය සෝත්තරය , මොහුගේ චිත්තය අනුත්තරය , මොහුගේ චිත්තය සමාහිතය , මොහුගේ චිත්තය අසමාහිතය , මොහුගේ චිත්තය විමුක්තය , මොහුගේ චිත්තය අවිමුක්තය යැයි පරීක්ෂා කොට මොහුට මෙසේ බණ කිව මැනවැ මොහුට මෙසේ බණ කිව මැනවැයි සිතා වෙන වෙනම බණ වදාරන සේක.
බුදුන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය අන්තර්ගත පිටකත්‍රයට අයත් අභිධර්ම පිටකය ප්‍රකරණ සතකින් සමන්විත වෙයි. ධම්ම සංගණී , විභංග , ධාතු කතා , පුග්ගල පඤ්ඤත්ති , කථා වත්ථු , යමක , පට්ඨාන යනු ඒ සප්තප්‍රකරණයෝ වෙති. බුද්ධ දේශනාවේ දක්වා ඇති ෂඩ්විධ ප්‍රඥප්තීන් අතරෙහි පුද්ගල ප්‍රඥප්තිය විවරණය කරමින් දේශනා කරන ලද ධර්මය ඇතුළත් වන්නේ පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයෙහිය. බෞද්ධ සන්නිවේදන මාර්ගය විශද කොට දැක්වෙන ඉතා වැදගත් විවරණ කීපයක් එහි අන්තර්ගත වෙයි. වර්තමාන සන්නිවේදන ක්ෂේත්‍රයෙහි බහුලව දක්නට ලැබෙන අශිෂ්ට සන්නිවේදකයන්ට විශිෂ්ටයන් වීම සඳහා ඒ විවරණ මහෝපකාරී වනු නොඅනුමානය.
ධර්ම කථිකයන් සතර දෙනෙකු ගැන එහි කරුණු විස්තර වෙයි. සිංහල පුග්ගල පඤ්ඤත්ති විභාගය නමින් පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණය ඇසුරු කරමින් ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත මුද්දරගම ධම්මාලංකාර ස්ථවිරපාදයන් වහන්සේ විසින් විරචිත ස්වතන්ත්‍ර කෘතියේ ඒ විස්තරය මෙසේ ඉදිරිපත් කොට ඇත.
"මේ සසුන්හි ඇතැම් ධර්ම කථිකයෙක් අර්ථ සමන්විත නොවූ ස්වල්ප ධර්මයක් දේශනා කරයි. ධර්මශ්‍රවණය සඳහා පැමිණි පිරිසද සුදුසු නුසුදුසු කරුණු නොකරුණු දෙය තෝරාගන්නට නොදනිත්. එහෙත් මෙම ආගම ධර්මය නූගත් ධර්ම කථිකයා එම නූගත් පිරිසෙහි ධර්ම කථිකයෙකැයි පිළිගැනේ. පැමිණි පිරිසෙහි දැන උගත්කම්වලට ඔහු නොගැළපෙන්නෙකු නොවන හෙයිනි
"දෙවැනි පුද්ගලයාද ධර්මය ස්වල්පයක්ම කියන නමුදු. එය අර්ථවත් ලෙස පවසයි. එමෙන්ම ධර්මශ්‍රවණය සඳහා පැමිණි පිරිසද අර්ථානාර්ථ දැක්මෙහි දක්‍ෂය. එබැවින් එම පිරිසෙහි ධර්මකථික නාමය ඔහුට හිමිවෙයි.
"තෙවැනි පුද්ගලයා බොහෝ කාලය ගෙවමින් දීර්ඝ දේශනා පවත්වන්නෙකි. එසේ වුවද සාර්ථවත් දෙයක් කියන්නට අසමර්ථය. ඔහුගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණි පිරිසද අර්ථානර්ථ නොදනිත්. එහෙයින් ඔහුට තමා බඳු වූම පිරිසක ධර්මකථික නාමය ලබන්නට නොහැකි කමක් නැත.
"සිවු වැනි පුද්ගලයා බොහෝ දේශනා කරයි. හොඳ අර්ථ සහිතය. පැමිණි පිරිසද අර්ථානර්ථ දැන්මෙහි බුහුටිය. ධර්ම කථික නාමය එම පිරිසෙහි පහසුවෙන් ලබන්නට ඔහුට හැකිය.
"මෙම ධර්ම දේශක පුද්ගලයන් සිවු දෙනා අතර අර්ථ සහිතව ස්වල්පයක් හෝ වැඩියක් බණන දෙදෙනා ධර්ම කථික නාමය ලැබීමට අත්‍යාර්ථයෙන් නිස්සහ. අනෙක් දෙදෙනා ධර්මය දේශනා කරන්නන් වශයෙන් පෙනී සිටින නමුදු. එයට නුසුදුස්සෝය. න්‍යානුගත සුදුසුකමක් ඔවුනට නැතද ධර්ම කථිකයන්ගේ ගණයට පිවිසුණු බැවින් ඔවුන් දෙදෙනාද එනමින් ව්‍යවහාර ප්‍රාප්ත වෙති."
මේ චතුර් වර්ග විග්‍රහය මෙකල ජන සන්නිවේදන ක්ෂේත්‍රයෙහි හසළයන් සේ පැලඹෙන්නට වැර දරන කසළයන්ට පමණක් නොව බණ සන්නිවේදන ක්ෂේත්‍රයෙහි වැජඹෙන සංඝ ශෝභන නොවන විලාසයෙන් බණ දෙසන ඇතැම් අමන සමණුන්ටද එක සේ අදාළ වෙයි.
බෞද්ධ සන්නිවේදනය සම්බන්ධයෙන් අතිශය වැදගත්කමකින් යුක්ත තවත් පුද්ගල විග්‍රහයක් බුදුන් වහන්සේ වදාරා ඇත.
ප්‍රශ්න විචාරනඅවස්ථාවකදී පිළිතුරු දෙන ආකාරය අරභයා බුදුන් වහන්සේ විසින් මේ පුද්ගල භේදය වදාරන ලදී. මේ විග්‍රහයද වර්තමාන සන්නිවේදන ගණයාට අතිශයින් ප්‍රයෝජනවත් වනු නිසැකය. වර්තමාන ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල සම්මුඛ සාකච්ඡා මෙහෙයවමින් ඊට සහභාගී වන්නන්ගෙන් අනුවණ අමනෝඥ ප්‍රශ්න අසන අල්පශ්‍රැත අඳ බාල සන්නිවේදක රැළට මෙය විශේෂ ගුරු උපදේශයක් වනු නොඅනුමානය.
සිංහල පුග්ගල පඤ්ඤත්ති විභාගය නමැති පොතෙහිලා ඒ පුද්ගල භේදය විස්තර කොට ඇත්තේ මෙසේය.
"යුත්ත පටිභාන නො මුත්ත පටිභාන , මුත්ත පටිභාන නො යුත්ත පටිභාන , යුත්ත පටිභාන මුත්ත පටිභාන , නේව යුත්ත පටිභාන නො මුත්ත පටිභාන යනුවෙන් වර්ග කළ හැකි පුද්ගලයෝ සතර දෙනෙකි.
"පටිභාන ශබ්දයෙන් ඤාණයත් ඤණයට වැටහෙන වචනයත් කියැවේ. එහෙත් මෙහි අදහස් කරනුයේ යුත්ත ස්ථානයෙහි ඥානාන්විත වචන පාවිච්චි කරමින් පිළිතුරු දීම පිළිබඳවය.
"ප්‍රඥාගෝචර වචන පාවිච්චි කරනුයේ යුත්ත පටිභානය. ශීඝ්‍රව පිළිතුරු දෙනුයේ මුත්ත පටිභානය. යම් කිසි ප්‍රශ්නයකට පිළිතුරු දෙන විට අර්ථ සමන්විත කාරණයට ගැළපෙන වචනවලින් උත්තර දෙන නමුදු එය ඉක්මනින් අවබෝධ කොට ගත නොහී විලම්බයෙන් පවසනුයේ යුත්ත පටිභාන නො මුත්ත පටිභානය. විවාදයට භාජනවැ පවත්නා අර්ථ කථාර්ථයන් විසඳන්නකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසුලූ ත්‍රිපිටක චූල නාග ස්ථවිරයන් වහන්සේ එබන්දෙකි. ප්‍රශ්නයකට උත්තර සැපයීමේදී ස්වල්ප වේලාවක් වීමංසනය කොට තැනට සුදුසු වචනයෙන් තමාගේ අදහස පැවසීම උන්වහන්සේගේ සිරිතය.
"දෙවැනි පුද්ගලයා ප්‍රශ්නයට අනතුරුවැම ඉක්මනින් පිළිතුරු දෙයි. එහෙත් එම උත්තරයෙහි කාරණයට යෝග්‍ය බවක් නැත. වචන වහා පිට කිරීමක් මුත් නියම උත්තර දීමක් නොසිදුවේ. වීමංසනය කළද යුත්ත වචනයෙන් පවසන්නට හේ අසමර්ථය. චතුනිකායික පණ්ඩිත තිස්ස ස්ථවිරයන් වහන්සේ එබඳු ප්‍රත්‍යුත්තර දෙන්නෙකි. අසන ප්‍රශ්නය අවසන් වන්නටත් පෙරාතුවම උත්තර දීම උන්වහන්සේගේ සිරිතය. වචනාර්ථය විමසන්නට නතර වීමක් නැත.
"තෙවැනි යුත්ත මුත්ත පටිභාන පුද්ගලයා විචාරනු සමගමැ යෝග්‍යාර්ථය වටහාගෙන එකණෙහි පසුබැස්මක් නැතිවැ උත්තර දෙයි. අර්ථ කථාර්ථයන් තීරණය කිරීමේ අති දක්ෂයකු වන ත්‍රිපිටක චූලාභය ස්ථවිරයාණන් වහන්සේ එබඳු උත්තර සපයන කෙනෙකි. ඉක්මනින් උත්තර දීමෙහිත් කාරණානුකූල වචන පාවිච්චි කිරීමෙහිත් උන්වහන්සේ ප්‍රසිද්ධය.
"සතර වැනි පුද්ගලයා යුත්ත මුත්ත පටිභාන ලක්ෂණ ද්වයෙන්මැ දුර්වලයෙකි. හෙතෙම තැනට සුදුසු වචන පාවිච්චි කරන්නට නොදනී. සකාරණවැ උත්තර දී ප්‍රශ්න කාරකයා ප්‍රතිබාහනය කරන්නටද අසමර්ථය. ඔහුගෙන් ප්‍රශ්නයන් විචාළ කල බහලාන්ධකාරයක ගැලුනකු මෙන් චින්තන ශක්තියක් හෝ වචන ශක්තියක් නොමැතිව භ්‍රාන්ත වෙයි. මංගල ස්ථානයෙහි අවමංගලයට කියවිය යුතු ධර්මයත් අවමංගල ස්ථානයෙහි මංගලයට කිය යුතු ධර්මයත් දේශනා කිරීමේ ප්‍රසිද්ධියක් ඉසිලූ ලාලුදායි ස්ථවිරයන් වහන්සේ එබන්දෙකි.
"මෙම පුද්ගලයන් සතර දෙනාගෙන් යුත්ත මුත්ත පටිභානවත් තැනැත්තහු ප්‍රශ්න විසර්ජනයෙහි නයග්‍රහණයෙන් ජයග්‍රහණය කරන බව දත යුත්තේය."
බොහෝ ජනයාගේ හිත පිණිස සුව පිණිස සැරිසරන්නැයි බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුශාසනා කළහ. උන් වහන්සේ එයින් අපේක්ෂා කළේ තමන් වහන්සේ දුක සේ අවබෝධ කරගත් ධර්මය මිනිසුන් වෙතට ගෙන යෑම සඳහා දූත මෙහෙවරෙහි යෙදීමය. ධර්මදූත මෙහෙවරෙහි යෙදෙන භික්ෂුව ශූර සන්නිවේදන ශක්තියක් උරුම කොට ගත්තෙකු විය යුතුය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බුදුන් වහන්සේගේ සන්නිවේදන න්‍යාය (2)