IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ගුවන්විදුලි නාට්‍ය පුරා වත - 01

මතක හා මතය

 

බ්‍රිතාන්‍ය යටත් විජිත අතරින් ගුවන් විදුලි ප්‍රචාරය පටන් ගත් මුල්ම යටත් විජිතය ලංකාව වන අතර රජයට අයත් පළමු ගුවන්විදුලි ආයතනය බිහි වූයේද එහිය. එපමණක් නොව උසස් ප්‍රමිතියකින් යුත් වැඩසටහන් සම්පාදනය කොට ප්‍රචාරය කළ පළමු ආසියානු ගුවන්විදුලියද එයම විය. ලංකාවේ අලුතෙන් ඇරඹුණු ගුවන් විදුලි ආයතනයේ බලධාරීහු තම වැඩසටහන් සැලසුම් කිරීමේදී මුල සිටම බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ වැඩසටහන් ආකෘති සහ ඒ වැඩසටහන්වල ප්‍රමිතිය ආදර්ශ කොට ගත්හ.

ගුවන්විදුලි ප්‍රචාරය මෙරට ජනයා අතර කෙමෙන් පැතිරී යෑමත් සමග ඔවුන්ට තොරතුරු හා රසාස්වාදය ලබාදෙන වැඩසටහන්ද ඉදිරිපත් කිරීමට ලංකා ගුවන්විදුලිය මුල සිටම උනන්දු වූ බව පෙනේ. එසේම ඒ වැඩසටහන් උසස් ප්‍රමිතියකට අනුව සම්පාදනය කිරීමටද වග බලාගෙන ඇත. ලංකා ගුවන්විදුලිය බ්‍රිතාන්‍ය ගුවන්විදුලියෙන් ලත් ආදර්ශය හා ආභාසය එමගින් මනාව සනාථ වෙයි.

තොරතුරු සපයන , දැනුම ගෙනදෙන වැඩසටහන්වලට අමතරව රසාස්වාදය ලබා දෙන නව නාට්‍ය විශේෂයක්ද මෙරට ජනයාට හඳුන්වා දීමට ලංකා ගුවන්විදුලිය පුරෝගාමී විය. ඒ ඉංග්‍රීසියෙන් මිස සිංහලෙන් නොවේ. මේ නව නාට්‍ය විශේෂය මුලින්ම ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගම අපූර්ව නාට්‍ය කලාවක් මෙරට නාට්‍ය ඉතිහාසයට එක් විය. එතෙක් මෙරට ජනයා දැක තිබුණේ නාඩගම් , නූර්ති හා ටීටර් වැනි නාට්‍ය පමණය. ඒවා අයත් වන්නේ සජීව නාට්‍ය ගණයටය. මක්නිසාදයත් ඒවා රඟ දක්වනු බලා රස විඳිය යුතු බැවිනි. ඒත් ලංකාවට අලුතෙන් බිහි වුණු ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කළ මේ අපූරු ආරක නාට්‍ය ඇසුරෙන් මිනිසුන් රසයක් ලැබුවේ ඒවාට සවන් දීමෙනි. ගුවන් විදුලිය විද්‍යුත් මාධ්‍යයක් වන හෙයින් එමගින් ප්‍රචාරය වන නාට්‍ය විශේෂයද විද්‍යුත් නාට්‍ය ගණයට වැටේ.

බ්‍රිතාන්‍ය ගුවන්විදුලි ආයතනයේ පළමු වන ගුවන්විදුලි නාට්‍යය ප්‍රචාරය වූයේ 1923 වසරේ පෙබරවාරි මස 16 වැනි දාය. එය වනාහි විලියම් ශේක්ස්පියර් මහා කවියාණන්ගේ 'ජූලියස් සීසර්' නාට්‍යයේ කලහ දර්ශනයක් ඇතුළත් වූවකි. එය ප්‍රචාරය කරන ලද්දේ මාර්කෝනි මන්දිරයේ සිටය. එහි රොබර්ට් ඇට්කින්ස් ශිල්පියා කැසියස්ගේ චරිතය නිරූපණය කළ අතර බ්රූටස්ගේ චරිතය නිරූපණය කරන ලද්දේ බැසිල් ගිල් ශිල්පියා විසිනි. මෙසේ ප්‍රචාරය වූ ගුවන්විදුලි නාට්‍යවලට ශේක්ස්පියර් කවියාණන්ගේම '8 වන හෙන්රි රජ'' සහ 'මච් එඩූ එබවුට් නතිං' යන වේදිකා නාට්‍යවල දර්ශනද ඇතුළත් වුණි. ගුවන්විදුලි මාධ්‍යය ඔස්සේ පළමු වරට ප්‍රචාරය වූ මේ අපූරු වර්ගයේ නාට්‍ය පිළිබඳ කීර්ති රාවය සති කීපයක් ගත වන තුරුම රැව් පිළිරැව් දෙමින් පැවතුණි.

බ්‍රිතාන්‍ය ගුවන්විදුලි ආයතනය පළමුවෙන් ප්‍රචාරය කළ ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය කරන ලද්දේ බාහිර නිෂ්පාදකයන් විසිනි. ගුවන් විදුලි ප්‍රචාරක මාධ්‍යය ශ්‍රව්‍ය මාධ්‍යයකි. ඒ වනාහි ශ්‍රාවකයන් උදෙසා බිහිවුණකි.

එහෙයින් එයඔවුන්ගේ පරිකල්පන ශක්තිය හෙවත් මනස තුළ චිත්තරූප මවා ගැනීමේ හැකියාව හා තදින් බැඳී ගත් සුවිශේෂ විද්‍යුත් මාධ්‍යයක් ලෙස සැලකිය යුතුය. එකී මාධ්‍යයටම ආවේණික වූ රචනා විශේෂයක් ලෙස ගුවන්විදුලි නාට්‍යයට හිමි අනන්‍ය ලක්ෂණ පිළිබඳ නිශ්චිත අවබෝධයක් ආරම්භක බ්‍රිතාන්‍ය ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදකයන් තුළ පවා පැවතුණේ යැයි නිසැක ලෙස පැවසීම උගහටය. මක්නිසාදයත් ගුවන්විදුලි නාට්‍ය සම්පාදනයේදී ඔවුන් සජීව මාධ්‍යයට අයත් වේදිකා නාට්‍ය ගුරු කොටගෙන ඇති හෙයිනි. පෙර නොවූ විරූ වර්ගයේ අභිනව කලාංගයක් වෙත පිවිසෙන ආධුනිකයෝ පෙර කිසි දා නොගිය මගක පළමු වර ගමන් ගන්නන් හා සමාන නොවන්නෝද? එසේම නොදන්නා දෙයක් ග්‍රහණය කර ගැන්මේ ප්‍රයත්නයෙහිදී දන්නා දෙයක් පිළිබඳ සුහද ඇසුර මහත් වූ පිටිවහලෙක්මය.

1924 වසරේ ජූලි මාසයේ ලන්ඩනයේදී නාට්‍ය දෙපාර්තමේන්තුවක් අරඹන ලදී. ඉන් මාස කීපයකට පසු ලන්ඩන් රේඩියෝ ශිල්පී මණ්ඩලයට ශිල්පීන් බඳවා ගැනුණි. එහෙත් 1926 වසරේ අග වන තුරුම ගුවන්විදුලි නාට්‍යයේ දක්නට ලැබුණේ සීමා සහිත දියුණුවකි. එහෙත් අභිනව කලාවක් පහළ වීමේ සිද්ධිය මහජනයා අතර නිතර නිතර කතා බහට ලක්වුණි. කෙසේ වුවද 1927 වසර තෙක් ගුවන්විදුලි නාට්‍යය ස්වාධීනව ඉක්මනින් දියුණුව කරා ගමන් කළ බවක් නොපෙනේ. නිරන්තරයෙන් ක්‍රියාත්මක වුණු නාට්‍ය පාලක මණ්ඩලයක් නොපැවතුණි. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි ආයතනයේ පළමු වන නාට්‍ය අධ්‍යක්ෂ වූයේ ආර්. ඊ. ජෙෆ්රි මහතාය. ගුවන්විදුලි ශබ්ද තාත්වික ලෙස උපයෝගී කරගැනීම අරඹන ලද්දේ ඔහු විසිනි.

ඇමෙරිකානු ගුවන්විදුලි සේවයද මුල් අවධියේ සිටම ගුවන්විදුලි නාට්‍යයට දී ඇත්තේ විශේෂ තැනකි. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය කළාක් මෙන්ම ඇමෙරිකානු ගුවන්විදුලියද ආරම්භක ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය කළේ වේදිකා නාට්‍ය අංග ලක්ෂණ අන්තර්ගත කොටය. එසේම නවකතා හා කෙටිකතා ඇසුරෙන් සකසා ගත් ගුවන්විදුලි නාට්‍යද එමගින් ප්‍රචාරය කෙරුණි. මුල් අවධියේ ඇමෙරිකානු ගුවන්විදුලි නාට්‍ය පැයකට හෝ අඩ පැයකට සීමා විය. ඒවා නිසරු නාට්‍ය නොවීය. උසස් රසයක් ලබාදීමට සමත් ඒ නාට්‍යවල චරිත නිරූපණය කළේ ප්‍රතිභා සම්පන්න සුප්‍රකට බ්‍රෝඩ්වේ සහ හොලිවුඩ් ශිල්පීන්ය. ජනප්‍රියත්වය අතින්ද ඔවුහු ඉහළ තැනක් ගත්හ. ඇමෙරිකානු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හා ගත් කතුවරයෙකු වන ජෝන් ගාඩ්නර් ගුවන්විදුලි නාට්‍යය හැඳින්වූයේ ඉයර් ප්ලේ (Ear Play) යන නමෙනි.
ආරම්භක ගුවන්විදුලි නාට්‍ය සම්බන්ධයෙන් එවැනි සමානතා පැවතුණද බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය අනුගමනය කළේ ඇමෙරිකානු
ගුවන්විදුලිය බිහි කළ රටාවන්ට සපුරා වෙනස් වූ රටාවකි. බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ගුවන්විදුලි නාට්‍ය ඇතුළු විවිධ වැඩසටහන් ඉදිරිපත් කළේ ලන්ඩන් නුවර පිහිටි බ්‍රිතාන්‍ය ගුවන්විදුලි ආයතනයේ මැදිරිවල සිට සජීව ලෙසය.

ලංකා ගුවන්විදුලිය මෙරට අසන්නන් සඳහා මුල් අවධියේ ප්‍රචාරය කළේ ඉංග්‍රීසි ගුවන්විදුලි නාට්‍යයන්ය. ආරම්භයේදී බ්‍රිතාන්‍ය ගුවන්විදුලියෙන් සපයා ගැනුණු ඒවා ඉතා කෙටි නාට්‍ය විය. එය සිදුවූයේ 1927 වසරේ මුල් කාල පරිච්ඡේදයේය. එසේ ප්‍රචාරය කළ නාට්‍ය හැඳින්වූයේ 'වයර්ලස් ඩ්‍රාමා' (Wireless Drama) යන නමෙනි. එකල 'කොළඹ ආධුනික නාට්‍ය සමාජය' (Colombo Amateur Dramatic Club -C.A.D.C) නමෙන් නාට්‍ය සංගමයක් පිහිටුවාගෙන තිබුණි. එය පැවැත්වුණේ ජේ.එස්.එම්. ෆැටර්සන් මහතාගේ ප්‍රධානත්වයෙනි. ලංකා ගුවන්විදුලිය සඳහා පළමු වන බී.බී.සී. 'වයර්ලස් නාට්‍යය එකී 'කොළඹ ආධුනික නාට්‍ය සමාජය' විසින් නිෂ්පාදනය කරන ලද්දේ ෆැටර්සන් මහතාගේ මූලිකත්වයෙනි. ෆැටර්සන් මහතා මෙම 'කොළඹ ආධුනික නාට්‍ය සමාජය' පිහිටුවා ගන්නට ඇත්තේ වයර්ලස් නාට්‍ය නිෂ්පාදනය කිරීමේ අරමුණෙන් යැයි සිතිය නොහැකිය. ඒ වනාහි ඉංග්‍රීසි වේදිකා නාට්‍ය නිෂ්පාදනය කෙරෙහි උනන්දුවක් දැක්වූ ආධුනික නාට්‍ය ලෝලී පිරිසක් විසින් ආරම්භ කරන ලද නාට්‍ය සමාජයක් විය යුතුය. එසේම ෆැටර්සන් මහතාගේ ප්‍රමුඛත්වයෙන් එකී නාට්‍ය සමාජය නිෂ්පාදනය කළ පළමු වයර්ලස් නාට්‍යයද ඉඳුරාම වේදිකා නාට්‍ය අංග ලක්ෂණවලින් යුතු වන්නට ඇතැයි සිතිය හැකිය. මක්නිසාද යත් ආරම්භක අවධියේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි ආයතනය (බීබීසී) මගින් ප්‍රචාරය වූ ගුවන්විදුලි නාට්‍යද වේදිකා නාට්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කෙරුණු බවට සාධක ඇති හෙයිනි.

ලංකා ගුවන්විදුලිය ආරම්භ වීමෙන් පසු පළමු වන ඉංග්‍රීසි වයර්ලස් නාට්‍යය නිෂ්පාදනය කොට ප්‍රචාරය කර ඇති මුත් එම නාට්‍යයේ අන්තර්ගතය , ආකෘතිය හා භාෂා භාවිතය පිළිබඳව අනුමාන වශයෙන් වුවද කරුණු වටහා ගන්නට උපකාර වන සාධක සොයාගැනීම මෙකල ඉතා උගහටය.



අදහස් (0)

ගුවන්විදුලි නාට්‍ය පුරා වත - 01

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 465 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16960 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 672 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site