(අංජුල මහික වීරරත්න)

මෝටර් වාහන ආනයනය කිරීමේදී අය කෙරෙන රේගු ආනයන බද්ද මත සියයට 50 ක් වූ අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් වන නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සියලු ආනයන වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, එමඟින් ජාතික ආර්ථිකය මත ඇතිවන ඍණාත්මක බලපෑම සමනය කිරීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි රජය පවසයි. ඒ අනුව මැයි16 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වාහන ආනයනය සීමා නොකර වාහන ආනයනයේදී රේගු ආඥාපනතේ විධිවිධාන අනුව දැනට අය කරනු ලබන සියයට  30 ක් වූ ආනයන තීරු බද්ද මත සියයට  50 ක අධිභාරයක් පැනවීම මාස 3 ක කාලයක් සඳහා පමණක් වලංගු වන පරිදි බලාත්මක කරමින් ඊට අදාළ නියමය 2026-05-15 දිනැති අංක 2488/56 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 

ඒ අනුව, 2026-05-15 දිනැති නියමය 2026-05-16 දිනෙන් පසුව වාහන ආනයනය සඳහා විවෘත කරනු ලබන ණයවර ලිපි වලට පමණක් අදාළ වන අතර, එමඟින් ඊට පෙර වාහන ආනයනය සඳහා විවෘත කරනු ලැබ ඇති ණයවර ලිපි වලට කිසිදු බලපෑමක් ඇති නොවේ.

එසේම, 2026-05-17 දිනැතිව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අංක 2488/69 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මඟින්, 2026-05-15 දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි වලට අදාළව ආනයනය කිරීමට නියමිත වාහන සංඛ්‍යාව, වාහනය හඳුනා ගැනීමේ අංකය, වාහනයේ විස්තරය හෝ වාහනයේ තාක්ෂණික පිරිවිතරයන් යන එකක් හෝ කිහිපයක් 2026-05-15 දිනෙන් පසුව සංශෝධනය කරනු ලැබුවහොත්, ඉහත කී අධිහාරය එකී වාහන සඳහා අදාළ කරමින් නියමයක් ද නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබ ඇති වාහන වල මිල ගණන් වෙනස් නොවන අයුරින් සහ ඉදිරි මාස 3 ක කාලය තුළ වාහන ආනයනය සීමාවන අයුරින් සිදු කරනු ලැබ ඇති අධිහාර පැනවීමට සහ වාහන ආනයනය විධිමත් කිරීමට අදාළ නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.