
(යොහාන් භාසුර)
මැයි මස 16 වැනිදා දක්වා ආනයනය කර ඇති වාහනවල මිල වැඩිවීමට කිසිඳු හේතුවක් නොමැති බවත් එසේ එම වාහනවල මිල වැඩිකර ඇත්තේ අධිභාරය පැනවීම නිසා නොව එම අධිභාරය පාවිච්චි කර යම් යම් වාහන ආනයනකරුවන් සහ වාහන වෙළෙන්දන් කෘත්‍රිමව මිල වැඩිකිරීමක් නිසා බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා එසේ පැවසීය.
ආනයනය කර දැනට රටේ පවතින වාහනවල මිල කිසිසේත්ම වැඩිවිය නොහැකි අතර පෞද්ගලික වාහන අලුතෙන් ආනයනය කළහොත් පමණක් මිල ඉහළ යා හැකි බව ද අමාත්‍යවරයා කීය.
එසේ මිල වැඩි කිරීම වැරදි ක්‍රියාවක් වන අතර පැවැති මිලට වැඩියෙන් දැනට ගෙන්වා ඇති වාහන මිලදී ගතයුතු නැතැයි ජනතාව තේරුම්ගත යුතු බව කී විජිත හේරත් මහතා කෘත්‍රිමව පෞද්ගලික ආයතන මිල වැඩිකිරීමක් කරන්නේ නම් එම වැරදි මිලට වාහන මිලදී නොගතයුතු බව ද සඳහන් කළේය.
අද හෝ හෙට වාහනයක් මිලදී ගන්නේ නම් එම වාහනය අනිවාර්යෙන්ම මැයි මස 15 වැනිදාට පෙර ආනයනය කළ එකක් වීම නිසා අධිභාරය පැවරී නොමැතිවීම නිසා මිල වැඩිවිය නොහැකි බවත් ආණ්ඩුවක් වශයෙන් ජනතාවට විශාල වශයෙන් මුදල් පාවිච්චි කර වාහනයක් පාවිච්චි කරන්න අවස්ථාව සළසා ඇති බවත් ඒ මහතා කීය.
පවතින යුධමය තත්වය හේතුවෙන් ඩොලර් රටෙන් පිටතට ඇදීයෑම වැලැක්වීමට තාවකාලිවක මාස තුනකට පමණක් මෙම අධිභාරය පනවා ඇති බවත් ඩොලර අවප්‍රමාණය වීමේ අභියෝගයට මෙරටට පමණක් නොව ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් රැසක් මුහුණදී සිටින බවත් ඔහු පැවසීය.
වාහන ආනයනය සම්පූර්ණයෙන් නතර කර තිබීම නිසා ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට එන විට කිසිඳු කෙනෙක්ට වාහනයක් ගන්න පුළුවන් තත්වයක් නොතිබුණු බවත් නව රජය නව ප්‍රතිපත්තියක් හැටියට වාහන ආනයනය ආරම්භ කිරීම නිසා පොඩි සහ ලොකු සියලුම දෙනාට වාහන ගන්න ලැබුණු බවත් ඒ මහතා කීය.
බිලියන 1.2 ක වාහන ආනයනයක් බලාපොරොත්තු වුවද ආණ්ඩුව ඉලක්ක කළ ප්‍රමාණයට වඩා එහා ගොස් බිිලයන 2 ක් ඉක්මවා වාහන ආනයනය කර ඇති බවත් මෙහිදී පොදු බස් රථ, ප්‍රවාහන වාහන, බයිසිකල්වලට අධිභාරය ඉහළ දමා නොමැති අතර පෞද්ගලික වාහන සඳහා පමණක් අධිභාරය ඉහළ දැමූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd