(අංජුල මහික වීරරත්න)

සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂප කළ යුතු ගල් අඟුරු නැවක් නොරොච්චෝලේට ගෙනවිත් තිබෙන බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විධිමත් විමර්ශනයකින් තොරව එම නැව ගොඩබෑම සිදු නොකළ යුතු බවද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය මෙසේද පවසයි.

නොරොච්චෝල බලාගාරය වෙත ගල් අඟුරු රැගෙන පැමිණි MV JOSCO YONGZHOU නැවේ ප්‍රමිතිය ‘සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප’ කළ යුතු අගයේ පවතී.  2026 අප්‍රේල් 30 දින 10.09 ට Bureau Veritas Solutions South Africa (Pvt) Ltd වෙතින් ලංකා ගල්අඟුරු සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන සුජන්ත රත්නායක වෙත මෙම පැටවුම් වරාය වාර්තාව (Lord Port Report)  යොමු කර ඇති අතර, එහි පිටපත  ගල් අඟුරු සමාගමේ සියළුම නිලධාරීන් හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් වෙත යොමු කර ඇත.

පැටවුම් වරාය වාර්තාව අනුව 2026 අප්‍රේල් 28 සහ 29 දෙදින දකුණු අප්‍රිකාවේ  Richards Bay Coal Terminal වරායෙන් ගල් අඟුරු මෙ.ටො. 59,766 ක් මෙම නැවට පටවා ඇත. ගල් අඟුරු ලෙස ලේබල් කර ඇති නමුත් මෙහි අළු ප්‍රතිශතය ඒකක 16.8 කි. ලංකා ගල්අඟුරු සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටස (LCC Reject Values for Coal) අගය දැක්වෙන්නේ ඒකක 16 ක් ලෙසය.  ඒ අනුව, මෙම ගල් අඟුරු නැව දඩ ගැසීමකින් පසුව හෝ මිලදී ගැනීමේ හැකියාවක් ලංකා රජයට (ගල් අඟුරු සමාගමට) නැත. 

මෙයට පෙර රැගෙන ආ ගල් අඟුරු නැව්  18 ක්, යම් දඩ මුදලකට යටත් කොට මුදල් ගෙවා ගොඩබානු ලැබ ඇත. නමුත්, පැටවුම් වරායේ වාර්තාව අනුව ගොඩබෑමවත් සිදු නොකළ යුතු මට්ටමට ‘ප්‍රමිතියෙන් බාල’ පළමු ගල්අඟුරු නැව මෙයයි.   මෙහි ගල් අඟුරු නොව වැඩිපුරම පවතින්නේ ‘අළු’ ය. 

ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති මෙම ගල්අඟුරු තොගය නොරච්චෝලට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇත.

මෙම ගල්අඟුරු තොගය ගොඩබෑමට පෙර, ලංකා ගල්අඟුරු සමාගම, විගණන කාර්යාලය, තාක්ෂණික කමිටු මගින් විධිමත් විමර්ශනයක් සිදු කළ යුතුව ඇති අතර මෙම නැව ගොඩබෑම සිදු නොකළ යුතු බව ද, මුදල් ගෙවීම සිදු නොකළ යුතු බව ද ‘‍ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ අවධාරණය කරයි. ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු කමිටු සහ විගණන කාර්යාලය මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ යුතු බව ද, ගල්අඟුරු කොමිෂන් සභාව වහා මේ පිළිබඳ විමසිය යුතු බව ද අපගේ විශ්වාසයයි. 

මෑතක දී,  ‘සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කළ යුතු බාල ප්‍රමිතියේ’ නැවක් මෙරටට පැමිණ ඇති පළමු අවස්ථාව Taranjot Resource (pvt) Ltd විසින් සිදු කළ මෙම නැවයි.   

‘ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය’ පිලිබඳව ජාතික විගණන කාර්යාලය විසින් 2026 අප්‍රේල් 2 දින සකස් කරනු ලැබු වාර්තාවේ 6.6.3 හි මෙම සමාගම පිළිබඳ මෙසේ දැක්වේ.  

"ලියාපදිංචියට පෙර සපුරා තිබිය යුතු සමාගම විසින් අපේක්ෂා කරන ලද ප්‍රමිතියට හෝ ගල්අඟුරු සැපයීමට අපොහොසත් වී තිබුණු Taranjot Resource (pvt) Ltd සමඟ 2026 මාර්තු 30 දින ගිවිසුම්ගත වී තිබුණු බව නිරීක්ෂණය විය. 

ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු ආනයනය පිළිබඳ Trident Champhar Limited සමාගම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමෙන් පසුව, රජය සිදු කළ හදිසි මිලදී ගැනීම් යටතේ තවත් ටෙන්ඩරයක් ප්‍රධානය කළ අතර එම ටෙන්ඩරය Taranjot Resource (pvt) Ltd වෙත ප්‍රධානය කරනු ලැබීය. මේ දක්වා නොරොච්චෝල වෙත පැමිණි ‘තත්වයෙන් වඩාත්ම බාල’ නැව එම සමාගම විසින් සැපයුම් කළ මෙම නැවයි. 

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ලබා මිලදී ගැනීම හේතුවෙන් මේ වන විට රජයට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 20 කට වැඩි පාඩුවක් වී ඇතැයි විවිධ පාර්ශව විසින් කරුණු දක්වා ඇත.    බාල ගල් අඟුරු සැපයූ සමාගම් වලට  ගෙවීම් නොකර සිටීමට දැනටමත් රජය කෝටි 960ක් රඳවාගෙන තිබෙන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට පැවසීය.  

යම් හෙයකින් මෙම ගල්අඟුරු ගොඩබානු ලබන්නේ නම්, එයට ගෙවීම් සිදු කිරීමට හැකියාවක් රජයේ මුදල් රෙගුලාසි අනුව ගල් අඟුරු සමාගමට නැත.