විය සිදුර - 1
අදට යෙදෙන දූෂණ විරෝධී ජාත්‍යන්තර දිනය, ශ්‍රී ලංකාවේ පවතින "අහෝසි කර්ම" සංස්කෘතිය ගැන සිතා බැලීමට කදිම අවස්ථාවකි. අහෝසි කර්මයක් යනු විපාක නොදෙන කර්මයකි. එනම්, යම් වරදක් කළ ද එයට දඬුවමක් නොලැබීමයි. විපාක නොදෙන්නේ, එක්කෝ ඒ කර්මය වෙනත් කර්මයකට යට වූ විටය. නැතිනම් ඒ කර්මයේ පාපය අහෝසි වන පුණ්‍ය කර්මයක් කළ විටය. අද ශ්‍රී ලංකාවේ පවතින්නේ ද අහෝසි කර්ම සංස්කෘතියකි. එනම්, වරදක් කළ ද එයට දඬුවම් නොලබා සිටිය හැකි තත්ත්වයකි. කෙසේ වෙතත් අප ජාතියක් ලෙස නැගී සිටීමට නම් මේ අභියෝගය ජය ගත යුතු ම වන්නේ ය.
දඬුවම් නොලබා සිටිය හැකි සංස්කෘතියක් යනු කුමක්ද? දූෂණය සහ ඉන් පසු වරදට දඬවම් නොලබා සිටීම අප එදිනෙදා ජීවිතය තුළ හොඳින් අත්දැක ඇත්තෙමු. මාර්ග නීති කඩන රියදුරකු 'පොඩි සන්‍තෝසමක් දී' දඩ කොළයක් ලබා නොසිටීමේ සිට ඇමතිවරයා සමග එක් වී තමාට වාසි වන ලෙස නීතියක් වෙනස් කර ගැනීම හෝ බදු නොගෙවා සිටීම දක්වා ක්‍රියාත්මක වන්නේ එකම මූලධර්මයයි. වැරදි කර ඒවායින් බේරී සිටීම සමාජයේ ඉහළ සිට පහළට පැතිරී ඇති රෝගයකි. බොහෝ දෙනා, තම හැකියාවේ හා ප්‍රමාණයේ හැටියට දූෂණයට දායක වෙති. තම සම්බන්ධකම්, ධනය හෝ බලය යොදාගෙන දඩුවම් නොලබා සිටීමට හැකි වන තරමට දූෂණය සහ අල්ලස ද වැඩි වේ.
ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක දී බඩේ සැත්කමක් කළ දරුවකුගේ පිට ප්‍රදේශය පිළිස්සීම ගැන රෝහලට එරෙහිව නඩු කියන්නට ගිය යමක් කමක් ඇති දෙමාපියන්ට සිදු වූයේ රෝහලට එරෙහිව සාක්ෂි දීමට විශේෂඥ වෛද්‍යවරයකු සොයා ගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් ඔවුන්ට නඩුව අත හැර දැමීමට සිදුවිය. රෝහලේ බලයත්, ඒ නිසා ම දඬුවම් නොලබා සිටීමේ හැකියාවත් ඉන් මැනවින් පෙනේ. මීටත් වඩා පිළිකුල් සහගත සිදුවීමක් මෑතක දී වාර්තා වූයේ ය. පසු ගිය දිනක අපචාර චෝදනා ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට එරෙහිව නඩු නොපැවරීමට කටයුතු කරන මෙන් ජනාධිපති නීතිඥ පිරිසක් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් පිරිසක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබිණි. එය, තම සිවිල් බලය යොදා නීතිය අවනීතය කිරීමට නීති විශාරදයින් ම කටයුතු කිරීම පිළිබඳ ඛේදනීය උදාහණයකි.
සැබවින් ම, වඩාත් පුළුල් අර්ථයකින් සලකන්නේ නම්, 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතිවරයා කිසිදු අයුරකින් නීතිය ඉදිරියට පැමිණවිය නොහැකිය යන වගන්තිය මගින් දඬුවම් නොලබා සිටීමේ හැකියාව රටේ ප්‍රධාන නීතිය බවට පත් කොට තිබේ. මෙය 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස් කිරීම අගය කළ යුතු ය. එහෙත්, දඬුවම් නොලබා සිටීම පිනිස ම මේ ජාතික යැයි කියන ආණ්ඩුව සමග එකතු වන්නන් සිටිනා බව සැවොම දනිති.
වරදට දඬුවම් නොලබා සිටීම යනු මාර්ග නීති කඩන්නන්ට, වංචා සිදු කරන්නන්ට හෝ හොරුන්ට හෝ පමණක් සීමා වූ තත්ත්වයක් නොවේ. 88/89 වකවානුවේ දී, බොහෝ තරුණ තරුණියන් බිල්ලෙකුගේ හිස වැනූ නිසා පැහැර ගෙන ගොස් වධකාගාරවල දමා දස වධ දුන් අය ද ඒ අමනුෂ්‍ය ක්‍රියාකාරකම්වලට නායකත්වය දුන් අය ද, අත්තනෝමතිකව රට පුරා භීතිය පැතිරවූ අය ද අද දේශපාලකයෝය, ඉහළ නිලධාරීන් ය, 'හොඳ' සීයලා ය.
එදා සිට අද දක්වා රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ පාතාලයින්ට උසාවියකින් දඬවම් කළේ නම් ඒ ඉතා කලාතුරකිනි. එනම්, මිනිසුන්ගේ නිදහසේ ජීවත් වීමේ අවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළත් මේ රටේ බේරී සිටීමට පුළුවන. මහ දවල් දෙනෝ දාහක් ඉන්නා පොළක දී වෙඩි තබා මිනී මැරූවන් ද පසුව නිදහස් වේ. බලය ඇත්නම්, මීනි මැරූවන්ට ඒ බව අමතක වේ. යම් හෙයකින්, සිර ගත කෙරුණ ද ඔවුන් යන්නේ හිර ගෙදර නොව රෝහල් ඇඳන් මත සුව සේ වැජඹීමටයි. ජනතාව ද එය ඉවසා සිටිති. දකුණේ මෙන් ම උතුරේ තත්ත්වය ද මෙසේ ම ය. උතුරේ තරුණයින්ගේ ද අයිතීන් අහිමි වී ගොසිනි. සාමාන්‍ය ජීවිතයක් ගෙවීමේ හැකියාව ඔවුගෙන් ද උදුරා ගැනුණේය. ඒ කිසිදු අවස්ථාවක දී එය සිදු කළ කොටි හමුදාවන්ගේ සාමාජිකයින්‍ට හෝ හෝ රාජ්‍ය හමුදාවන්ට හෝ දඩුවම් කිරීමක් සිදු නොවේ. විපාක නොලබන සමාජයක ලක්ෂණය එයයි.
අල්ලස් හෝ දූෂණ කොමිසම දූෂණ විරෝධී දිනය සමරයි. ඒ වෙනුවෙන් අද පා ගමනක් සංවිධානය කර තිබේ. සෑම රජයේ සේවකයකු ම දූෂණ විරෝධී ප්‍රතිඥාවක් ලබා දෙන්නේ යැයි කියවේ. ඒ සියල්ල ඉතා අගය කළ යුතු ය. දහසක් මල් පිපිය යුතු තැන එක් මලක් හෝ පිපෙන්නේ නම් අපි එය අගයමු. එහෙත් ගැටලුවේ බරපතලකම දෙස බැලූ විට අවශ්‍ය මැදිහත්වීම, පා ගමනකට ලඝු විය යුතු නොවේ. දූෂණ විරෝධය මෙන්ම දඬුවම් නොලබා සිටිය හැකි සංස්කෘතිය වෙනස් කිරීම ආරම්භ කළ යුතු වන්නේ පවුලෙනි. පාසලෙනි. පන්සලෙනි. ආණ්ඩුව හදා ජනතාව හදන තෙක් බලා නොසිට සෑම තැනින් ම එක්වර පටන් ගත යුතු කාර්යයකි.
නූතන ජාතියක් ලෙස අප ඉදරියට යාමේදී මෙකී අහෝසි කර්ම සංස්කෘතිය දුරු කරීමට කළ යුතු වන්නේ කුමක්ද? ඇමරිකාවේ සිදුව තිබුණු දූෂණ ගැන ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස පත්ව බැරැක් ඔබාමා කළ ප්‍රකාශය මෙසේය "කිසිවකු නීතියට ඉහළින් නොසිටිය යුතු බව මම විශ්වාස කරමි. එහෙත්, අප ක්‍රියා කළ යුත්තේ අතීතය දෙස බලා නොව, අනාගතය දෙස බලා බව මාගේ දැඩි විශ්වාසයයි". මේ ප්‍රකාශය අප සලකා බැලිය යුත්තේ, වර්තමාන ශ්‍රී ලංවේ දුෂණ සහ වංචා සොයා දඬුවම් කිරීම යන්න විශාල ලෙස දේශපාලනීකරණය වී ඇති තත්ත්වයක් තුළ ය. දූෂිතයෝ කවුද? ඔවුන් සිටින්නේ එක් පක්ෂයක පමණ ද? ඔවුන්ට දඬුවම් කළ යුතු යැයි හඬ නගන්නෝ ශුද්ධවන්තයෝද?
මේ සියලු ප්‍රශ්න මැද, දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් සැබෑ වශයෙන් කැප වීමේ අවශ්‍යතාව වඩ වඩාත් මතුව එයි. එය දේශපාලන වාසි ලබා ගැනීමට ඔබ්බෙන් ක්‍රියාත්මක විය යුතුය. වර්තමාන ආණ්ඩුවේ කාර්යය වන්නේ මේ අහෝසි කර්ම සංස්කෘතිය අහෝසි කිරීමයි.
-කැස්බෑවා-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් කොමිසමේ සිටින දුෂිත පොලිස් නිලධාරීන් ඉවත් නොකර,නඩුවක් කිරීමට නොදන්නා අකාර්යක්ෂම නිතිඥවරියන් වෙනුවට දක්ෂ නීතිඥවරු බඳවා නොගෙන ,පෙළපාලි යාමෙන් පත්‍රිකා බෙදීමෙන් පමණක් රටේ අල්ලස දුෂණය නැතිවන්නේ නැත. (බ)
අහෝසි කර්ම සංස්කෘතිය අපේ රටෙන් අහෝසිකරන්නනම් ඉස්සෙල්ලම මේ දුෂිත පාලන ක්‍රමයේ වෙනසක් දකින්න වෙයි. (බ)
වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද මේ නඩු (බ)
අහෝසි ක්‍රම විපාක දුන් අය ජාතික ආණ්ඩුවේ නේද (බ)
මහා බැංකු මහා හොරකම අහෝසි කරපු අය තමයි දැන් මේ දූෂණයට විරුද්ධව පා ගමන් යන්නේ. ජනාධිපතිත් පිළිගත්තනේ එතන දූෂණයක් වුණා කියල. (බ)
ඉතාමත්ම වටිනා, එමෙන්ම කාලින වටිනාකමක් ඇති සටහනක්. නමුත් මේ අහෝසිකර්ම සංස්කෘතිය, ශ්‍රී ලංකාව නමැති අන්ත දුෂිතයන්ගෙන් දුෂණයේ උපරිමයටම ලක්වූ දුප්පත් රටක නැතිවේද...? (නි)
අපි නම් මෙය අවුරුදු ගානක ඉඳලා පෙන්නා දුන්නා. පසුගිය ජනපතිවරණයෙනුත් , ජනවාරි 8 මහා මැතිවරණයෙනුත් රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වුණෙත් මේ වෙනසයි. අවාසනාවට හොරු, මිනීමරුවෝ, දුෂිතයෝ, මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ යහතින්ම බැබළෙනවා. මිනීමරුවෝ ඉන්න ඕනෑ හිරගෙවල් වල. කවදා හරියයිද මේ රටට? (නි)
ඔබ සියයට සියයක් හරි. අපේ දේශපාලකයෝ කරන්නේ ඇස් බැන්දුමකි. ජනතාව එය තේරුම් ගත යුතුය. (ස)
හොඳ ලිපියක් (නි)
අපි නම් අහල තියෙන්නේ අහෝසි කර්ම කියන්නේ හර බර න්‍යායක් කියල නොවෙයි. කළ කර්මය පලදෙන්න අවස්ථාවක් නොමැතිව මාර්ග පල ලබා ගැනීමෙන් කළ කර්ම අහෝසි වන බැවින. අංගුලි මාල මහා රහතන් වහන්සේ වගේ. (බ)