රජයේ ඇමැතිවරුන්ට හිමිවන බොහෝ වරප්‍රසාද අතරට නිල නිවාස ද අයිතිය. රාජ්‍ය ඇමැතිවරුන්ට ද මේ අයිතිය තිබෙන බව ද සඳහන්ය. ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ට කොළඹ නගරය තුළ නිල නිවාස වරප්‍රසාදය ලබා දෙන්නේ ඔවුන්ගේ රාජකාරි කටයුතු පහසුවෙන් කර ගැනීමට සහ කාර්යබහුල කාලසටහනේ වේලාව ඉතිරිකර ගැනීම සඳහාය. සාමාන්‍ය පිළිවෙත වන්නේ ඇමැතිවරුන් හැටියට නිල නිවාස හිමිවෙන විට ඔවුන් මන්ත්‍රී පදවිය හෙබවූ කාලයේ දී ලබාගෙන තිබෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්ව යාමය. එහෙත් එම පිළිවෙතට පටහැනි ලෙස කටයුතු කරන ඇමැති - රාජ්‍ය ඇමැති 10 දෙනකු සිටින බව අපගේ ලංකාදීපය පසුගියදා මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තියකින් හෙළිකර තිබිණි.

ඇමැතිවරුන් වශයෙන් නිල නිවාස හිමිවූ පිරිස තමන් මෙතෙක් රැඳී සිටි මාදිවෙල නිල නිවාසවලින් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ හේතු මේ පිරිස ඉදිරිපත් කර ඇති බවක් ද දැනගන්නට නැත. ඒ වෙනුවට වාර්තා වී ඇත්තේ ඇමැති මට්ටමේ නිල නිවාසවලට මාරු වූ ඇමැතිවරුන්ගේ ඥාතීන්, ලේකම්වරුන් සහ ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් එම මාදිවෙල මන්ත්‍රී නිවාසවල පදිංචිව සිටින බවය. මෙය රජයේ නීතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

ඕනෑම ඇමැතිවරයකුට, මන්ත්‍රීවරයකුට හෝ රජයේ ප්‍රධානියකුට පදිංචිය සඳහා ලබාගත හැක්කේ එක් නිල නිවාසයක් පමණි. මේ නීතියට අනුව මාදිවෙල මන්ත්‍රී නිවාස හිස් කර ආපහු ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් කරන ලද දැනුම්දීමට ඇමැති නිල නිවාස හිමිකරගත් ඇමැතිවරුන් 10 දෙනකුම කටයුතු කර නැතැයි ද ඒ අතර ප්‍රබල කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙක් සිටිතියි ද අපගේ ලංකාදීප ප්‍රවෘත්තියේ සඳහන් වෙයි. ඇමැතිවරුන් මේ ඉල්ලීම් ගණනකට නොගත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් අට දෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස තම පදිංචිය සඳහා ලබාදෙන්නැයි ඉල්ලා අයැදුම්පත් යොමුකර තිබෙන බව ද සඳහන් වෙයි .

ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් මේ ආකාරයට මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත් නොවන්නේ මන්දැයි අපි හරියට නොදනිමු. එහෙත් එම නිවාස යළි බාරදෙන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් කරනලද ඉල්ලීම් ගණන් නොගෙන සිටීම වැරැද්දකි. මෙය නිවාස එකක් දෙකක් පමණක් නොව හැකි තරමක් නිවාස තමන් සන්තකයේ තබාගැනීමට තිබෙන කෑදරකමක ප්‍රතිඵලයක් ද නැතහොත් ඔවුන්ට තම සමීපතම ඥාතීන්ගේ වුවමනා එපාකම් ඉටුකිරීමට සිදුකෙරෙන බලපෑම්වල ප්‍රතිඵලයක්දැයි කිව නොහැක. එහෙත් මහජනතාව නම් මේවා දකින්නේ බඩගෝස්තරවාදී දේශපාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් බව නම් පෙන්වා දිය යුතුය.

රජයෙන් මැති ඇමැතින්ට ලබාදෙන නිල නිවාස රජයේ දේපළ යටතට ගැනෙයි. රජයේ දේපළ අනිසි භාවිතය බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ඒ වරද සිදු කරන ඇමැතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් නම් ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එය ‘නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ’ ගණයට වැටෙන සිද්ධියක් බැවිනි. එහෙත් නිල නිවාස දෙක බැගින් භුක්තියට සවිකර ගැනීම සදාචාරාත්මක නොවන, මහජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙන සිද්ධියක් බව නම් මේ ඇමැතිවරුන් සිතට ගත යුතුය.

තමන් මන්ත්‍රීවරුන් වශයෙන් පරිහරණය කළ මාදිවෙල නිල නිවාසවල තමන්ට අභිමත පුද්ගලයන් පදිංචි කිරීමට අදාළ ඇමැතිවරුන්ට අයිතියක් නැත. මේ අයිතිය පිළිබඳ කිසිවකුත් ප්‍රශ්න නොකරන තාක් එය ගැටලු‍වක් නොවිය හැකි වුවද තම සහෝදර මන්ත්‍රීවරුන් නිල නිවාස නොමැතිව ප්‍රශ්නවලට මුහුණපා සිටින තත්ත්වයක් තුළ ඒ බවක් ගණන් නොගෙන සිටීම සදාචාරාත්මක ක්‍රියාවක් ද නොවේ. නීතිමය වශයෙන් තමන්ට හිමිකම ඇත්තේ රජයේ එක් නිල නිවාසයකට පමණක් බව දැන දැනම එය උල්ලංඝනය කිරීම පැහැදිලිවම නීතිය කඩ කිරීමකි. එසේ නොකිරීමට වගබලා ගැනීම මේ වැරැද්දට හවුල් ඇමැතිවරුන්ගේ යුතුකමය.

තමන් පදිංචිව සිටි මාදිවෙල නිල නිවාස ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නවාතැන්පොළ බවට පත් කිරීම ද කළ නොහැකිය. එහෙත් ලංකාවේ නම් මෙවැනි ‘කළ නොහැකි’ බොහෝ වැඩ කිසිම අවුලක් නැතිව කිරීමට දක්ෂ මැති ඇමැතිවරු වෙති. නිල නිවාස දෙක ගාණේ අයිති කර ගැනීමට කටයුතු කරන්නේ එවැනි ඇමැතිවරුන් විය යුතුය.

රජයෙන් ඇමැතිවරුන්ට ලබාදෙන නිවාස නඩත්තුවට වැය වන්නේ රටේ මහජනතාවගේ බදු මුදල් බව මේ ඇමැතිවරුන් තේරුම්ගෙන සිටීදැයි නොදනිමු. එසේම රාජ්‍ය දේපළවල සැබෑ අයිතිකරුවන් වන්නේ ද රටේ බදු මුදල් ගෙවන මහජනතාවය. මහජනතාවගේ නියෝජිතයන් හැටියට ඔවුන්ගේ ඡන්දයෙන් තේරී පත්වන මැති ඇමැතිවරුන් නිල නිවාස දෙක ගණනේ පරිහරණයට ගන්නේ එම ජනතාවගේ බදු මුදලින් බව සිහිපත් කරගන්නේ නම් මෙවැනි වැඩ කටයුතු සිදුකිරීමෙන් වැළකීමට එය උදව්වක් කරගත හැක. එසේ නොකර දොඩම්ගොඩම බදාගෙන ගොඩ යන්න සිහින මවන මැති ඇමැතිවරුන් අතින් රටට හෝ මහජනතාවට හෝ සේවයක් සිදුවනු ඇතැයි කවදාවත් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දිය යුතුය.

(***)