IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රටෙන් තුනෙන් එකකට අහේනිය.. නත්තලට විච්චූරණ එපා

නත්තල් සැමරුමේ ආරම්භය දෙස නෙත් යොමන විට අපට පෙනී යන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ අභාවය සහ උත්ථානය සිදුවීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් නත්තල් සැමරුම ආරම්භ කරනු ලැබූ බවයි. එහිදී ඔවුන්ගේ අරමුණ වූයේ ක්‍රිස්තුන් වහන්සේගේ දර්ශනයට අනුව ජීවත් වන ශ්‍රාවක පිරිස වැඩි කර ගැනීමටත් දැනට සිටින  ශ්‍රාවක පිරිස ආරක්ෂා කර ගැනීමත් සඳහාය. ඒ අනුව වන්දනා කටයුතුවලට පිරිස ඒකරාශිවීම සිදුවිය.

ඈත අතීතයේ කොන්පෙන්තිව් අධිරාජ්‍යාගේ කාලයේ සිටම කිස්තු ධර්මය ඇදහීමට රෝම අධිරාජ්‍ය තුළ අවසර ලැබුණු පසු දේව වන්දනාව පිළිබඳ සංකල්පය සංවර්ධනය වී ක්‍රිස්තුතුමන්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව අළලා යම් මෙනෙහි කිරීමක් කිරීමට ජනතාව පෙළඹවීම සිදුවිය.

මේ මෙනෙහි කිරීමේ සම්ප්‍රදාය තවදුරටත් වර්ධනය වී නත්තල බිහිවීම සිදු විය. මෙහිදී සමරන්නේ ජේසුතුමන්ගේ උපතයි. එය සැමරීම සිදුවන්නේ දෙසැම්බර් 25 වැනිදාය. ඒ අනුව අපට පෙනී යන්නේ නත්තල සැමරීමේ සම්ප්‍රදාය යුරෝපාකරයෙන් ආරම්භ වූ කටයුත්තක් බවය. එහි පුරෝගාමියා එස්.එස්. නකාලිප් නම් රෝම අධිරාජයාය. දෙසැම්බර් යනු සාමාන්‍යයෙන් සීතල මාසයකි. ඒ අනුව සීතල නත්තල යන නාමකරණයද නත්තලට එකතු වීම සිදුවිය. බයිබලේ සඳහන් වන ආකාරයට ජේසුතුමන්ගේ උපත සිදුවී තිබෙන්නේ සීතල රාත්‍රියක ගව මඩුවකය. ඒ අනුව ක්‍රිස්තු භක්තිකයෝ සෑම දෙසැම්බර් 25 වැනිදාකම ජේසුතුමන්ගේ උපත සැමරීම සිදු කරමින් පැවතෙන්නෝය. අද දක්වා ශත වර්ෂ ගණනාවක් එම සම්ප්‍රදාය පැවතෙමින් එන්නේය. ඒ සැමරුමට නව අර්ථ පසුකාලීනව එකතු වූ අතර නත්තල් ගහ, නත්තල් සීයා, ගව හළ වැනි සංකල්ප පසුකාලීනව මෙම සැමරුමට එකතු විය. නත්තල් සීයා යන සංකල්පය උතුරු යුරෝපයෙන් ලැබුණු අතර කැරොල් ගීත වැනි සම්ප්‍රදායන් පසුකාලිනව එකතු වීම සිදුවිය.

ලොව පවතින ඕනෑම ධර්මයකට පවතින අභියෝගය ක්‍රිස්තු ධර්මයටද හිමිවිය. එනම් ධර්මයේ දර්ශනය සහ ජීවිතය අතර තිබෙන වෙනස හඳුනාගැනීමයි. මනුෂ්‍යයන් ලෙස අප සැවොම ජීවත් වන්නේ තරගකාරී ලෝකයකය. එවන් අවස්ථාවල සමහරවිට අප ගන්නා තීරණ ධාර්මික පැවැත්මෙන් ගන්නා තීරණද යන්න කල්පනා කර බැලිය යුතුය. ධාර්මික පැවැත්මක් නැතිනම් නත්තල නොව ඕනෑම මංගල්‍යයක් අර්ථයක් තැනි බාහිර පිළිවෙතක් බවට පත්වීම වැළැක්වීම නොහැකිය. ඕනෑම ආගමක එම සිද්ධි සමරන මොහොතේදී බාහිර කාරණාවලට වඩා ආගමේ සිද්ධාන්තවලට අනුව ඒවා මෙහෙයවනවාද යන්න පිළිබඳ සිතා බැලිය යුතුය. නත්තල අර්ථවත් නත්තලක් බවට පත්කර ගැනීමට නම් අපේ ජීවිත කාලයටම ක්‍රිස්තුන් වහන්සේ ඉගැන්වූ ධර්මය සැබෑවටම ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතුය.

සිරිත් විරිත් යම් ප්‍රමාණයක් පමණක් ඉටු කර එය බාහිර මංගල්‍යයක් ලෙස ජීවිතයට කිසිවක් නොගෙන එක දිනයක් ලෙස ගතකළොත් එය අපිව මුලා කර ගැනීමකි. හැකිතාක් අප ක්‍රිස්තුන් වහන්සේ පෙන්වූ මග ඔස්සේ යමින් අපේ ජීවිත ගත කිරීමට පුරුදු විය යුතුය.

අද අන් කවරදාටත් වඩා ලංකාව තිබෙනුයේ අසීරු තැනකය. සංඛ්‍යා ලේඛන ගෙන බැලුවොත් මිලියන 8.1 කට තුන්වේලටම ආහාර සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටී. එය අපේ රටේ ජනගහනයෙන් තුනෙන් එකකි. මෙතරම් විශාල පිරිසකට ආහාර වේලක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින විට නත්තල කියා බොරු විච්චූර්ණ ලෙස විනෝද වීමේ හැකියාවක් අපට නැත. සමහරු කතාවට පවසන්නේ සල්ලි තිබේ නම් හැමදාම නත්තල් කියාය. එහෙත් එය අද කාලයට වලංගු කතාවක් නොවේ. නත්තල යන්නෙහි තිබෙන ආධ්‍යාත්මික අර්ථය අප හොඳින් වටහා ගත යුතුය. ක්‍රිස්තුන් වහන්සේ ගවලෙනක ඉපදුණා යන්න නත්තල ලෙස අපි සමරන්නෙමු. ඉපදුණාට උන්වහන්සේට ඒ මොහොත ගත කිරීමට හරි හැටි තැනක් තිබුණේ නැත. ජේසු ඉපදුණු පසු තැබුයේ ගව ඔරුවකය. පිදුරු ගොඩේය. උන්වහන්සේගේ ඇඟ වසා තැබීමට හරි හමන් ඇඳුමක් හෝ ඒ මොහොතේ තිබී නැත. එම දෙමව්පියෝ ගම් ප්‍රදේශයෙන් බැහැර වූ අවස්ථාවක මෙම දරු උපත සිදුවීම එයට හේතුවයි. හරිහමන් නවාතැනක් හෝ නොතිබුණ නිසා පාළුවට අතහැර දමා ගිය ගව මඩුවක ජේසු උපත සිදුවූයේ ඒ අනුවය.

මෙතනින් අපට ලැබෙන පණිවුඩය වන්නේ නත්තල යනු කාබී විනෝදවන එකක් නොව එම දිනය ආධ්‍යාත්මික ගති පැවැත්මෙන් ගත කළ යුතු මංගල්‍යයක් බවයි. විශේෂයෙන්ම දිළිඳුන් ගැන සිහිපත් කර ක්‍රියාකාරී විය යුතු මංගල්‍යයක් බවයි. බාහිර ආටෝපවලින් රතිඤ්ඤා වලින් තෑගි බෝග ඇඳුම් පැළැඳුම් වලින් ඔබ්බට ගොස් හැතිකාත් දිළිඳු අයට උදව් කරන නත්තල් දිනයක් බවට මෙම දිනය පත්කර ගත යුතුය. ලංකාවේ එක පවුලක්වත් බඩගින්නේ නොසිටින දිනයක් වේද ඒ දිනයට සැබෑවටම නත්තල සැමරීමට අපට හැකිය. පුළු පුළුවන් අය ඇති හැකි ආකාරයට දිළින්දන්ට උදව් කිරීමට මේ නත්තලේදී කටයුතු කළ යුතුය.

ආගම යනු ජීවිතයට දෙන ඖෂධයකි. ජීවිතයේ සතුට ලැබීමට හා ජීවිතය තේරුම් ගැනීමට ආගම ඉවහල් වේ. අප අනුන්ට කරදරයක් නොවී සෙතක් වෙන ආකාරයට ජීවත් වීමට ආගම උදවු කර ගත හැකිය. අප කුමන ආගමක් ඇදහුවත් ඒ සියලු ආගම්වල මංගල්‍යයන්ට අප සියලු දෙනාටම සහභාගී වීමට හැකි නම් එය ඉතාම වටිනා කටයුත්තකි. ලංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම බුද්ධාගමය. මෙරටේ ඉතිහාසයට සංස්කෘතියට සම්බන්ධ ගතිපැවතුම්වලට සම්බන්ධ ආගම වන්නේ බුද්ධාගමය. ක්‍රිස්තු භක්තිකයන් වෙසක්, පොසොන් මංගල්‍ය සඳහා ඒ අය සමඟ එකතු වී කටයුතු කරනවා සේම බෞද්ධයන්ද නත්තල සමඟ එකතු වී කටයුතු කිරීමට පෙළැඹීම සුබ කටයුත්තකි.

ජාති බේදයෙන් තොරව අප සැවොම නත්තලේ සැබෑ ස්වරූපය තේරුම් ගෙන රටේ මේ මොහොතේ මතුවෙමින් තිබෙන තත්ත්වය අනුව හැකිතාක් දිළින්දන්ට පිහිට වීමට පෙරමුණ ගත යුතුය.. මනුෂ්‍යත්වයට මුල් තැන දිය යුතුය.

නත්තල් ගීතිකා, නත්තල හා සමඟාමීව බැඳුණු අපූරු කලා මාධ්‍යයකි. එය ජේසුතුමන්ගේ උපත සිහිකරමින් සිදුකරන ගායනා විශේෂයකි. ගෙදර දොරේ පිරිස එකතු වී එකිනෙකාට සුබපතා ගැනීමද මේ හරහා සිදු කළ හැකිය. ඉතාම දුප්පත් පවුලක අයට වුවත් නත්තලේ ප්‍රීතිය සැමරීමට නත්තල් ගීතිකා යොදා ගත හැකිය. අප තේරුම් ගත යුතු ප්‍රධානම කාරණාව වන්නේ නත්තල තිබෙන්නේ කෑමට බීමට පමණක් නොවේ යන්නයි. ක්‍රමානුකූලව නත්තල සැමරීමට නොයෙකුත් ක්‍රමවේද සම්ප්‍රදාය තුළ ඇතිවෙමින් තිබේ. ඒ සෑම දෙයම භාවිත කර සරල ලෙස අහිංසක ලෙස නත්තල සැමරීම අපට කළ හැකිය. නත්තල සැමරීමට මුදල් අත්‍යවශ්‍ය නොවන බව ඔබට එයින් පැහැදිලි වනු ඇත. සැරසිලි නැතිව වුවත් අන්තිම දුප්පත් පවුලක වුවත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහිපත් කර හැකිය. බාහිර දේ සියල්ල සම්ප්‍රදාය තුළ ජනිත වූ දේය. අත්‍යවශ්‍යම දේ වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහිපත් කර ගැනීමයි. උන්වහන්සේගේ තෝරා ගැනීම, පණිවුඩයට අනුව සිය ජීවන සැකැස්ම සකසා ගැනීමයි. අපට ක්‍රිස්තු භක්තිකයන් ලෙස උන්වහන්සේට පිදිය හැකි උපරිම උපහාරය එයයි. අනිත් ආගම් හා ජාතීන් සමඟ එකට බැඳී සහයෝගයෙන් කටයුතු කිරීමද නත්තල් දිනයේදී උන්වහන්සේට කළ හැකි උපහාරයයි.

ජනතාව ආණ්ඩුව පත්කර ගත යුතු වුවත් අවාසනාවට අද අපට නත්තල සමරන්නට සිදුවී තිබෙන්නේ ජනතාව පත් කළ ආණ්ඩුවක් තිබියදී නොවේ. අද තිබෙන්නේ පාර්ලිමේන්තුව පත්කළ ආණ්ඩුවකි. ඒ නිසා කිතුණු භක්තිකයන් ලෙස මේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් අපට නැත. ව්‍යවස්ථාවේ සිදුරක් නිසා සිය බලය තහවුරු කර ගත්තාට පමණක් ප්‍රමාණවත් නොවන බව වත්මන් පාලකයන් තේරුම් ගත යුතුය.. ඒ වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි. ජනතාවට පීඩා ගෙන දෙන තීරණ වලින් ඒ අය ඈත්විය යුතුය. ජනතාවගේ ජීවිතය සැහැල්ලු කිරීම ඒ අය කළ යුතුය. එහෙත් ඒ වගකීම ඉටුවන බවක් වර්තමානයේ අපට නොපෙනේ. කෘෂිකර්මය වැනි රටේ ප්‍රධාන මර්මස්ථානයක් හෝ නගාසිටුවන්නට ආණ්ඩුවට තිබෙන වගකීම අප ප්‍රශ්න කළ යුතුය. අපේ රටේ බෝග පිටරටවලට පවා විකිණීමට හැකි වුවත් සැලැස්මක් නැත. විවිධ පක්ෂවල කුළල්කාගැනීම් තිබෙනවා මිසක් එකමුතුවක් නැත. ලබන අවුරුදු 20ට 25ට රටේ කෘෂිකර්මය ගොඩනගන්නේ කෙසේද යන සාකච්ඡාවක් අවම තරමින් පාර්ලිමේන්තු නියෝජිතයන් තුළ ඇතිවිය යුතුය.

කෘෂිකර්මය සේම ධීවර කේෂ්ත්‍රයද හොඳින් නැංවීමේ හැකියාව අපට ඇත. එහෙත් පාලකයන්ට සැලසුම් නැත. කොළඹ වරාය ජා-ඇළ දක්වා දික් කිරීමේ යෝජනාවක් ජනපතිවරයා පසුගියදා කළේය. ධීවර ක්ෂේත්‍රයට එවිට වෙන්නේ කුමක්දැයි කිසිවෙක් නොදනිති. ආණ්ඩුවට අද වුවමනා කරන්නේ ඉක්මනින් මුදල් ඉපයීමටය. දීර්ඝ කාලීනව ලංකාවට සිදුවන දේ ගැන ඔවුන්ට වගේ වගක් නැත. ජතාවට මායා ලෝකයක් පෙන්වා එයින් කුල්මත් කිරීමත් ජනතාව නිද්‍රාශීලී කිරීමත් ඔවුන්ගේ අරමුණය.. රටේ දියුණුව සලසාගත හැකි තවත් කොපමණ ක්ෂේත්‍ර තිබුණත් එදා වේල ටුවර්ස් සංකල්පයට යනවා විනා දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් පෙනෙන්නට නැත. තෙල් නැවට සල්ලි බඳින්නේ එදිනෙදාය. පවතින තතත්වය වටහා ගැනීමට වෙනත් හේතු සාධක අවශ්‍ය නැත. ආණ්ඩුව කරන්නේ දවසින් දවස ජීවත් වීමට අවශ්‍ය ණය ගැනීමයි.. සැලසුම්සහගතව අපනයන ආර්ථිකය දියුණු කිරීමේ වැඩ පිළිවෙළකට අවතීර්ණ වීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතුය. ජනතාවට පටවා තිබෙන බදු වලින් සුළු ව්‍යාපාර කරන අය කඩාවැටීමට ලක්ව තිබෙන බව නොරහසකි. සම්පත් විකිණීම හැර වෙන වැඩපිළිවෙළකට අවතීරණ වීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතුය. ජනතාවට පටවා තිබෙන බදු වලින් සුළු ව්‍යාපාර කරන අය කඩාවැටීමට ලක්ව තිබෙන බව නොරහසකි. සම්පත් විකිණීම හැර වෙන වැඩපිළිවෙළක් නැත. වගකිවයුත්තන් කරන මේ බොරුව වහාම නැවතිය යුතුය. සියලු පක්ෂ එකට එකතු වී දීර්ඝ කාලීන හා කෙටි කාලීන සැලැස්මකට අවතීර්ණ විය යුතුය. සමහර කාරණාවලින් ජනතාව මුලා කරන අතර සමහර දේ වලින් ජනතාවට මේ පිරිස බර පටවති. අපේ මිනිස්සු බඩගින්නේ සිටින විට නත්තල උදාවන්නේ කෙසේද?

පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව මුලසිටම මම ප්‍රකාශ කළෙමි. ඒ තොරතුරු වහා රටට හෙළි කළ යුතුය. අන්තවාදීන් පිරිසක් මෙවැනි අනර්ථයක් රටට සිදු කරන බව නායකයන් නොදැන සිටියා යන්න කිසිසේත් පිළිගත නොහැකි කාරණාවකි. ඉන්දියන් රෝ ඔත්තු සේවය මේ පිළිබඳ අවස්ථා හතරකදී දැනුවත් කර තිබුණත් ලංකා ආණ්ඩුව  එය කනකට හෝ ගත්තේ නැත. පාස්කු ප්‍රහාරය නතර කිරීමට ඒ අය අබමල් රේණුවක හෝ කාර්යභාරයක් කර නැත. ප්‍රහාරය වන්නට ඉඩහැර දැන් කිඹුල් කඳුළු හෙලුවාට වැඩක් නැත. දේශපාලන ජයග්‍රහණ ශක්තිමත් කරගැනීමට ඒ අය කුමන්ත්‍රණයට සම්බන්ධ වීමෙන් සිදුවූයේ නත්තල සැමරීමට සිටි කිතුණුවන් පිරිසකට ජීවිතය අහිමි වීමය.. ජනාධිපති කොමෂන් සභා වාර්තාවල නිර්දේශවත් ඉටු කිරීමට ආණ්ඩුට පසුබාන්නේ ඇයි දැයි රටට කරුණු වාර්තා කළ යුතුය. පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ තිබෙන ක්‍රමවේදය තුළ සාධාරණත්වයක් බලාපොරොත්තු විය නොහැක. සහරාන් සමඟ ඡායාරූප ගත් පිරිස පමණක් අල්ලා නඩු දැමීමෙන් සාධාරණත්වය ඉටුවන්නේ නැත. පරීක්ෂණයක් හරහා පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවිය යුතු බව මේ නත්තලේ දීත් අපගේ අපේක්ෂාවය.

ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ ගව මඩුවක බව අප සැවොම දන්නා කාරණා කාරණාවකි. අපගේ රදඟුරු මණ්ඩලය පැහැදිලි ප්‍රකාශයකින් කියා සිටියේ මෙවර නත්තල ගව මඩුවක් අසල ගත කළ යුතුය යන්නයි. ගව මඩුව යනු දුප්පතුන් අසල නත්තල ගත කිරීමයි. දුප්පතුන් නැතිව ගව මඩුවක් නැත. ජේසුතුමන් ඉපදීමට තෝරා ගත්තේ දුප්පත් පවුලකි. වැඩ කරන පවුලකි. උන්වහන්සේ ඉපදුනේ කම්කරුවකුගේ පුතෙක් ලෙසිනි. උන්වහන්සේගේ දෑතින් වඩුවැඩ කළ අතර ජනතාව වෙනුවෙන් කැප වී වැඩ කටයුතු කළහ. යුක්තිය ගැන කතා කළ උන්වහන්සේ අයුක්තියට පිටුපෑහ. උන්වහන්සේ කුරුසයට ජීවිතය පූජා කළහ. ඒ නිසා දූෂිතයන් කියන ආකාරයට නත්තල ගත කිරීමේ හැකියාවක් අපට නැත. මෙවර නත්තල දුප්පතුන් සමඟ සැමරිය යුතු බව ක්‍රිස්තු භක්තිකයන්ට මේ මොහොතේ දිය යුතු පණිවිඩයයි. සැරසිලි කෑම බීම මෙවර නත්තලට අනිවාර්ය නැත. ඇතුළාන්ත ප්‍රීතිය අප අත්විඳිය යුතුය. ඒ අත්විඳීමට හැකි වන්නේ බුද්ධියෙන් කල්පනාකාරීව නත්තල සැමරීමෙනි.

(*** සටහන – අමිල චින්තක ගමගේ)



අදහස් (0)

රටෙන් තුනෙන් එකකට අහේනිය.. නත්තලට විච්චූරණ එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site