කටානේ පිහිටි ඕමාන් ආයෝජනයක් වන ඇඟලුම් කම්හලක ආරක්ෂක නිලධාරීන්ට හා එහි හිමිකරුට ද මැරවරයන් පහරදී දැනට සති පහකට වඩා කාලයක් ගතවී තිබේ. එහෙත් මැරවරයන් අත්අඩංගුවට ගත් බවක් දැනගන්නට නැත.
ඒ වෙනුවට එම කම්හල වෙනත් ප්‍රදේශයක පිහිටුවන්නට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව පෙනේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා එල්ල වී ඇත්තේ රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාටය. පසුගිය අඟහරුවාදා මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අදහස් ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා ද පැවසුවේ ඉන්දික අනුරුද්ධ මහතාට මේ පිළිබඳව චෝදනා එල්ලවී ඇති බවයි.
රාජ්‍ය ඇමැතිවරයා මෙම චෝදනාව ක්ෂණිකව ප්‍රතික්ෂේප කොට තිබිණි.
ඕමානයේ අල් ඔබයිදානි සමාගම එරට ප්‍රධාන පෙළේ සමාගමකි. ඊට අයත් කටානේ පිහිටි මෙම කම්හල පරිශ්‍රයට ඉකුත් මාර්තු 30 වැනිදා කඩා වැඳුණු මැරවරයෝ පස් දෙනෙක් මුලින් එහි ආරක්ෂක නිලධාරීන්ට පහර දී පසුව එම පරිශ්‍රයේම පිහිටි එහි හිමිකරුගේ (කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ) නිල නිවසට කඩා වැදී ඔහුට ද පහර දී ඇත.
ඉන් දින හයකට පසු අප්‍රේල් 5 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බව පැවසීය. ඒ වනවිට කෙරීගෙන ගිය පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන හෙයින් රහස් පොලීසියට එම පරීක්ෂණ භාර දෙන බවද එහිදි ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් සිද්ධිය සිදුවී මාසයකට වඩා වැඩි කාලයක් ගතවීත් තමන්ට සාධාරණය ඉටු නොවීම නිසා මෙම ආයෝජකයා තම කම්හල ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව මේ සතිය මුල දී වාර්තා විය. ඒ අනුව අමුද්‍රව්‍ය තොගයක් මෙරටින් පිටතට යවා ඇති බව ද වාර්තා පළ විය.
කෙසේ වෙතත් ඉකුත් අඟහරුවාදා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව තමන් ශ්‍රී ලංකාවෙන් මෙම කම්හල් ඉවත් කර නොගන්නා බව ආයෝජකයා ඇමැතිවරයාට පවසා ඇතැයි කියවේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ මහජන ආරක්ෂක අමාත්‍යාංශය එමඟින් පවසා තිබුණේ කටානේ පිහිටි මෙම කම්හල තවදුරටත් පවත්වාගෙන යන්නේද? නැත්නම් වෙනත් ප්‍රදේශයකට ගෙන යන්නේද? පිළිබඳව සිය පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කොට තීරණය කරන බව ආයෝජකයා පැවසූ බවය.
එදිනම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසා තිබුණේ කම්හලට හා එහි හිමිකරුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇති බවයි. පසුදින එනම් බදාදා ප්‍රකාශයක් කළ ආයෝජන මණ්ඩලය ආයෝජකයාට තම ව්‍යාපාරය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා විකල්ප ස්ථානයක් දීම පිණිස අවශ්‍ය කටයුතු කරගෙන යන බව සඳහන් කොට තිබිණි.
මෙම සිද්ධිය සිදුවූ දා සිටම ඒ පිටුපස ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකු සිටින බවට විවිධ ජනමාධ්‍ය වාර්තා පළවිය. එය සත්‍ය විය යුතු යැයි සිතිය හැක්කේ මසකට වැඩි කාලයක් ගතවීත් පොලීසියට ප්‍රහාරකයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම නිසාය. අතීත අත්දැකීම් අනුව සාමාන්‍යයෙන් දේශපාලන බලය පිටුපස ඇතිව සිදුවන අපරාධවල දී මෙවැනි දීර්ඝ ප්‍රමාදයන් සිදුවේ.
2011 නත්තල් දා රාත්‍රියේ තංගල්ලේ හෝටලයකට කඩා වැඳුණු දේශපාලනඥයකු ඇතුළු මැරවරයන් පිරිසක් එහි සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකුට පහරදී ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කොට ඇයට ද බරපතළ ලෙස පහර දී තිබිණි. බොහෝ දෙනකු දැක තිබූ මෙම සිද්ධියට අදාළ දේශපාලනඥයා අත්අඩංගුවට ගනු ලැබුවේ වසරකට පමණ පසු බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමාරයාගේ (වත්මන් චාර්ලිස් රජු) මැදිහත්වීමකින් අනතුරුවය.
කම්හලට පහරදුන් පිරිස අත්අඩංගුවට ගැනීමක් සිදු නොවී කම්හල එම ස්ථානයෙන් වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට අදහස් කිරීමෙන් ද ප්‍රහාරකයන් ඉතා ප්‍රබල බව පෙනේ.
මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ශ්‍රී ලංකාව විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින තත්ත්වයකය. පසුගිය මාසයේ දී සති දෙකක පමණ කාලයක් මෙම තත්ත්වයේ සුළු වෙනසක් සිදුවුව ද අර්බුදය හමුවේ හකුළුවනු ලැබූ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වී නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් කළ හැකි වන්නේ තවදුරටත් ණය ගැනීමෙන් දැනට පවතින තත්ත්වය තවත් යම් කාලයකට පවත්වාගෙන යාම පමණි. එම අවස්ථාව පාවිච්චි කොට විදේශ විනිමය උත්පාදනය කළ හැකි ක්‍රම වෙතට යොමු නොවුණහොත් පෙර තිබූ ණය කන්දට අලුත් ණය ද එකතු වී ඉදිරියේ දී පසුගිය වසරේ පැවැති තත්ත්වයට වඩා බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම නොවැළැක්විය හැකිය.
විදේශ ආයෝජන වැදගත් වන්නේ එතැනදීය. පහරදීමට ලක්වූ මෙම කම්හල වසර හතකට වැඩි කාලයක් කටාන ප්‍රදේශයේ 300කට වැඩි පිරිසකට රැකියා සපයමින් මෙරටට අවශ්‍ය විදේශ විනිමය සැපයීමට දායක වූ බව ආයෝජන මණ්ඩලයේ ප්‍රකාශවලින් කියවේ. එවන් කම්හලක් වෙනත් ප්‍රදේශයකට ගෙන යන්නට තරම් තත්ත්වයක් උදා වී ඇත්නම් විදේශ ආයෝජකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව දෙන සහතිකය කුමක්ද යන ප්‍රශ්නය මතුවේ.
බොහෝ වාමාංශිකයන් විදේශ ආයෝජනවලට විරුද්ධ වන්නේ ආයෝජකයන් මෙරට තුළ කරන ආයෝජන වලින් ලබන ලාභය විදේශ මුදල් වශයෙන්ම මෙරටින් රැගෙන යාම නිසාය. එහෙත් එම ආයෝජන මඟින් රටට රැකියා හා තාක්ෂණය ලැබීම ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේම ඔවුන්ගේ කර්මාන්ත මෙරට ක්‍රියාත්මක වන කාලය පුරා ඔවුන්ගේ මුදල් මෙරට බැංකු පද්ධතිය තුළ සංසරණය වේ. ඒවා රටේ වෙනත් අවශ්‍යතා සඳහා ද යොදා ගැනේ.
කෙසේ වෙතත් ආයෝජකයන්ට හිතකර පරිසරයක් මේ රටේ තිබේද යන ප්‍රශ්නය බොහෝ කාලයක් තිස්සේ බොහෝ දෙනා මතුකරන ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් ඉතා හොඳ උදාහරණයක් පසුගිය බදාදා ඩේලි මිරර් පුවත්පතේ පළ වූ ලිපියකින් ගෙනහැර දක්වනු ලැබ ඇත. තිස් දහසකට රැකියා සැපයිය හැකි කර්මාන්ත ශාලා 19ක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා තමා වසර අටක් පුරා විසි වතාවකට වැඩි වාර ගණනක් ශ්‍රී ලංකාවට පැමිණ යන බව දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සුං ලී කරන ප්‍රකාශයක් එම ලිපියෙන් සාකච්ඡාවට භාජන කරනු ලැබ තිබේ.
තමා මේ සම්බන්ධයෙන් මෙරට නිලධාරීන් හා දේශපාලනඥයන් හමු වූ බවත් ඔවුන් තමන්ට මෙම කම්හල් සඳහා අනුමැතිය ලබා දෙන බව පැවසුවත් මෙතෙක් එම අනුමැතිය නොලැබුණු බව චෝ සුංලී පවසයි. තමන් මෙම කම්හල් ආරම්භ කිරීමට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 30,000කට මේ වසර තුළ දී කොරියාවේ රැකියා සැපයීමට ද සැලසුම් කරගෙන සිටින බව ද ඔහු පවසයි.
තමන්ගේ කම්හල්වලට අනුමැතිය නොදීම පිටුපස ඇති හේතුවක් සෘජුව නොකීව ද එම ලිපියේ එක් තැනක ඔහු ‘‘අපි සහන දෙන්නට කැමැති නෑ. කොරියානු ආයෝජනවලින් ලැබෙන ඕනෑම ප්‍රතිලාභයක් සෘජුවම යා යුත්තේ ශ්‍රී ලංකාවට හා එහි ජනතාවටයි’’ යනුවෙන් පවසයි. ඔහු සහන යනුවෙන් අදහස් කළේ කුමක්දැයි අප අනුමාන කර ගත යුතුව ඇත.
ඒ සමඟම ඔහු කරන තවත් ප්‍රකාශයකින් ඔහු ඉඟි කරන්නේ කුමක් දැයි සිතා ගත යුතුව ඇත. ඔහු මෙසේ පවසයි. ‘‘කොරියාවේ අපේ දේශපාලනඥයන් වෙනස්. සෑම වසරකම ඔවුන්ගේ වත්කම් දැඩිව පරීක්ෂා කෙරෙනවා. ඔවුන් තමන්ගේ නිවාස, බැංකු ගිණුම්, පරම්පරාවෙන් ලැබුණු දෑ, දේශපාලනයට සම්බන්ධ වූ පසු ඉපැයූ ධනය ආදිය පිළිබඳ පරීක්ෂණ කෙරෙනවා. ඒ විස්තර ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරෙනවා. නොමනා ඉපැයීම් කර තිබුණොත් ඔවුන් අත්අඩංගුවට ගන්නවා’’. ආයෝජන ගැන කතා කරන අතර තුර ඔහු කරන මෙම ප්‍රකාශයේ අරමුණ ද අනුමාන කර ගත යුතුව ඇත.
මෙහිදී ඔහු ශ්‍රී ලංකාවේ ඇතැම් නිලධාරීන් හා දේශපාලනඥයන් බොරු කාරයන් බවත් තමන් තවදුරටත් ඔවුන් හමුනොවන බවත් පවසයි. මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතා තමන් සහභාගි වූ රැස්වීමකට විනාඩි 30ක් ප්‍රමාද වී පැමිණීම විවේචනය කළ විට ද චෝ සුං ලී මෙරට ඇතැම් දේශපාලනඥයන් බොරු කාරයන් යැයි පැවසීය.
ඔහු ඉඟි කරන්නේ ආයෝජකයන්ගෙන් අල්ලස් ඉල්ලීම හා ගැනීම ගැනය. කිසිවකුට එවැනි සිද්ධි ඔප්පු කළ නොහැකි වුවද රට තුළ ද එවැනි පොදු මතයක් පවතී. මීට පෙර ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයකුට එරෙහිව එවැනි අල්ලස් නඩුවක් ද තිබිණි. මෑතක දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ද එවැනි චෝදනාවක් එල්ල විය. එහෙත් ඔහු නිවැරැදිකරු යැයි පසුව තීරණය කෙරිණි.
වරක් කැලණියේ සිටි මැර දේශපාලනඥයකු කළ බව කියන බලපෑමක් නිසා මෙරට ප්‍රධාන තේ අපනයනකරුවෙක්, තාවකාලිකව තම අපනයන නවතා දැමීය. මීතොටමුල්ල කසළ කන්ද ආරම්භ වූ දා සිට එය කඩා වැටී මිනිසුන් තිස් ගණනක් මිය යන තෙක් එය ප්‍රතිචක්‍රීයකරණය කරන්නට ආයෝජකයන් 108 දෙනකු පැමිණ ඇති බවත් එහෙත් අල්ලස් ප්‍රශ්නය නිසා එය සිදුනොවූ බවත් එම විපත සිදු වූ දිනවල ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා තිබිණි. ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම පිටුපස ද එවැනි කතාවක් ඇති බව කියැවේ.
මෙය ශ්‍රී ලංකාවට ආයෝජන ඉතාමත් අවශ්‍ය අවස්ථාවක් වනවා සේම මෙරට දූෂණය ජාත්‍යන්තර වශයෙන් නරක ප්‍රතිඵල ගෙනදිය හැකි අවස්ථාවකි. මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් වන්නේ දූෂණය පිටු දැකීමය. මෙරටට දෙන්නට නියමිත ඊළඟ ණය වාරිකයට පෙර කොන්දේසි ඉටු කිරීම පිළිබඳව සොයා බලන්නට අරමුදලේ දූත පිරිසක් පෙරේදා මෙරටට පැමිණෙන්නට නියමිතව තිබිණි. අල්ලස වැනි යමක් පිටුපස ඇතැයි සිතිය හැකි කටාන සිද්ධිය සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ ඒ වටපිටාව තුළය.
මෙවැනි සිද්ධී හුදු හුදකලාව සිදුවන නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්න නොව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම හා බැඳී ඇති කාරණාය.
(*** එම්.එස්.එම්.අයුබ්)
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රට වට්ටන අමන දේශපාලනය
sunil Saturday, 13 May 2023 04:32 PM
අද බොහෝ දේශපාලකයින් මැරකම් කරන්නේ ඔවුන්ට ඉහළින් සිටින දූෂිත දේශපාලකයින්ගේ ආරක්ෂාව ලබාගෙනයි. අද ආයෝජන දර්ශකයේ ලංකාව පවතින්නේ ඉන්දියාවටත් වඩා පහළ තැනකයි. මීට ප්‍රධාන හේතුවක් නම් රටේ පවතින අල්ලස සහ දූෂණයයි. රටේ පවතින මජර දේශපාලන සංස්කෘතිය අතුගා දමන තුරු මේ රට වල පල්ලේ තිබෙනවා නියතයි...
Gulliver Sunday, 14 May 2023 01:40 PM
පොහොට්ටුවේ අයට සහ ඔවුන්ගේ වහල් බයියන්ට ශාපවේවා..!!! මේ රට විනාශ කරපු අයට හෙණහතම වැදීයන් ..!!!
Mahsen Tuesday, 16 May 2023 07:09 PM
බත්ගොට්ටන්, දේශපාලන හොරුන්...!