මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ‘දෙවැනි ඉනිම’, ‘සංගීතේ’ හා ‘ඉස්කෝලේ’ යන ජනප්‍රියතම ටෙලි නිර්මාණ තුනේ තිර පිටපත් රචකයා ඔහු යැයි පැවැසීම අතිශයෝක්තියක් නොවේ. එසේ වන්නේ සමීක්‍ෂණ වාර්තා අනුව එම ටෙලි නිර්මාණ ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ගමන්කර තිබෙන නිසා ය. ‘සිඳු’ ටෙලි නිර්මාණයෙන් ආරම්භ කළ ඔහුගේ ටෙලි පිටපත් නිර්මාණ චාරිකාව අද වන විට අතු ඉති වැඩෙමින් නිර්මාණාත්මක ටෙලි රචනයේ පතාක යෝධයකු බවට ඔහු පත්ව ඇත.
සමහරු මොහුගේ නිර්මාණ ආදරයෙන් වැළඳ ගනිද්දී තවත් සමහරු සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල කරන්නේ ඉවරයක් නැති කතා ලියනවා යැයි දෝෂාරෝපණය ද කරමිනි. මේ සියලු කාරණා හා වත්මන් ටෙලි නාට්‍ය කලාව පිළිබඳ ‘රසවින්දන’ හා සාකච්ඡාවකට එක් වන්නේ ජනප්‍රිය ටෙලි පිටපත් රචක සමන් එදිරිමුණිය.
● මේ දිනවල එකිනෙකට වෙනස් ටෙලි නිර්මාණ තුනක් ඔබ රචනා කරනවා. ඒවා ඒ වගේම ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. මේ කාරණාව නිර්මාණකරුවකු විදියට දැනෙන්නේ කොහොම ද?
ඉතාම සතුටුයි. සිඳූ ලියද්දී සමීක්‍ෂණ වාර්තාවල අංක එකට ආවා. දෙවැනි ඉනිම, සංගීතේ, ඉස්කෝලේ යන ටෙලි නිර්මාණ තුනත් විවිධ අවස්ථාවල අංක එකට පැමිනුණා. මං මෙතෙක් ලියපු සෑම ටෙලි නාට්‍යයක්ම රේටින් අංක එකට ඇවිත් තිබෙනවා. පිට රටවල ගත්තොත් එක මෙගා නාට්‍යයක් හතර දෙනෙක් විතර ලියනවා. මෙහේ මම තුනක් තනියම ලියනවා.”
● ඒක වෙහෙසකර අත්දැකීමක් නොවේ ද?
වෙහෙසකර අත්දැකීමක් නෙවෙයි. ඒක මගේ පොඩි කාලේ ඉඳන් විනෝදාංශය. මම ලිවීම පැත්තෙන් ජීවනෝපායක් හොයා ගන්න හිතපු කෙනෙක් නෙවෙයි. මම අධ්‍යාපනය හැදෑරුවේ ගණිත අංශයෙන්. ඉස්කෝලේ යන කාලේ විනෝදයට නව කතා, කවි රචනා කළා. පසු කාලීනව තරුණයා, ලංකාදීප පුවත්පත්වලට සම්බන්ධ වෙලා ලියද්දී මට ලිවීමට පෙරේතකමක් ඇති වුණා. කෙනකුගේ විනෝදාංශයක් රැකියාවක් බවට පත් වෙනවා නම් ඔහු අතිශය වාසනාවන්ත කෙනෙක්. මගේ විනෝදාංශය ක්‍රිකට් ගැසීම හා ලිවීම.”
● මේ දවස්වල පොඩි සංවාදයක් යනවා ගීතයක සැබෑ අයිතිය තිබෙන්නේ ගායකයාට ද, පද රචකයාට ද, සංගීතඥයාට ද කියලා. ටෙලි නිර්මාණයක සැබෑ අයිතිකරු තිර පිටපත් රචකයා ද, අධ්‍යක්‍ෂවරයා ද, නළු නිළියන් ද?
අපේ කතා තුන ගත්තොත් නම් මේක ටීම් වර්ක් එකක්. මම ලියන කතාව හරියට සාරංග මෙන්ඩිස් අධ්‍යක්‍ෂණය නොකළොත්, චාමිකා මෙන්ඩිස් හරියට නිෂ්පාදන දායකත්වය නොදුන්නොත්, චරිත් කොතලාවල රේඛීය නිෂ්පාදනය නොකළොත් , ලක්සිරි වික්‍රමගේ මහතා හරි ගුරු හරු කම් නොදුන්නොත් වැඬේ සාර්ථක නැහැ. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් හරි හැලුණොත් මේ නිර්මාණය මීට වඩා වෙනස්. මෙතන තීරණාත්මක කෙනා කවුද කියලා බැලුවොත් අපට අවිවාදයෙන්ම කියන්න වෙනවා පිටපත් රචකයාට තමයි වැඩි බර එන්නේ. මූලිකවම වස්තු විෂය තමයි පිටපත් රචකයා ලවා රචනා කර ගන්නේ. ලක්සිරි මහතා මට කියපු දේ හරියට කළ නිසා තමයි මේ නිර්මාණය මේ තරම් සාර්ථක වුණේ. පිටපත තමයි නිර්මාණයක අඩිතාලම. ඒ අඩිතාලම හරියට තිබුණොත් තමයි ඕනෑම දක්‍ෂයකුට වැඩ කිරීමට හැකි වන්නේ. දෙබස් ටික හරියට ලියලා නැත්නම් නළුවාට දෙබස් අතින් දාලා කියන්න බැහැ. ඕනෑම නිර්මාණයක් ගත්තොත් තිර පිටපත අතිශයින්ම වැදගත්. අපේ නිර්මාණ ඇතුළේ අපේ තියෙන ටීම් වර්ක් එක කිසිම නිර්මාණයක මම දැකලා නැහැ. අපේ වැඩේ අපි හැමෝම සමාන බරක් කරට අරන් ඉන්නේ.”
● ඔබ නව කතාකරණයන් ටෙලි පිටපත් රචනයට ප්‍රවේශ වූ අයෙක්. ඒ කාලේ නව කතාවලට ලැබුණු පාඨක ප්‍රතිචාරයයි. අද ටෙලි පිටපත් රචනයට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය යි කොහොම ද දැනෙන්නේ.
පාඨකයන්ට මේක අද වෙනස් විදියට දැනෙන්න පුළුවන්. යූ ටියුබ් හෝ ෆේස් බුක් මේ ලෝකේ නැති නම් නව කතා ලියලා මට ලැබුණු ආදරයක් තියෙනවනේ. ඒ ආදරය දෙගුණ තෙගුණ වෙලා ලැබෙනවා. අර මා පැවසූ මාධ්‍ය දෙක නැත්නම්. ඒ කාලේ නව කතා කියවන රසිකයන්ට තමන්ගේ ප්‍රතිචාරය පළ කරන්න මාධ්‍යයක් තිබුණේ නැහැ. ලියුමක් එවීම සහ දුරකතනයෙන් තමයි ප්‍රතිචාර දක්වන්න තිබුණේ. හැබැයි ඒ අය කවදාවත් දොස් කියලා නැහැ. යම් පරිශ්‍රමයක් දරලා මට ප්‍රතිචාර දක්වන්නේ මට පුදුම විදියට ආදරය කරන කෙනෙක්. සමාජ මාධ්‍යයේ දී මේක හාත්පසින්ම වෙනස්. සමාජ මාධ්‍යයේ තිබෙනවා සැඟවුණු කමක්. ගොඩක් අය චණ්ඩි වෙන්නේ සැඟවුණාමනේ. ගරිල්ලා ප්‍රහාර තමයි හොඳටම කරන්න පුළුවන්. මටත් බොහෝ අය සමාජ මාධ්‍යයේ දී බනිනවා. හැබැයි මූණ ඉස්සරහට ඇවිල්ලා කවුරුත් බනින්නේ නැහැ. සමහර නව කතා පාඨකයෝ මට ඇත්තටම බනිනවා දැන් ටෙලි නාට්‍යය ලියන්නේ නව කතා ලියපු සමන් නෙවෙයි කියලා. ඒක ඇත්ත. මම ලියපු ‘සුළඟ නුඹ සහ මම’ නව කතාව අවුරුදු 10 ක් තිස්සේ ලියලා මම ශුද්ධ ලාබය විදියට ලැබුවේ ලක්‍ෂ 07 යි. මම ප්‍රේක්‍ෂකයාටම වින්දනය සපයමින් මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. මම ජීවන වෘත්තියක් විදියට තමයි ටෙලි නාට්‍යය ලියන්නේ . පොත් කියවන පාඨකයන් මං ලියන ටෙලි නාට්‍යවලට කැමති නැත්නම් ඒ අයට මගේ පොත් කියවන්න පුළුවන්. මගේ පොත් සහ ටෙලි නාට්‍යය දෙකම නොබලන අයට වෙන පොත් සහ වෙන නාට්‍ය තියෙනවා.”
● ටෙලි නාට්‍යය කීපයක් මාසෙකට විකාශය අරම්භ වෙනවා. ඒවා අබිබවා ඔබේ ටෙලි නාට්‍ය ජනප්‍රිය වීමේ රහස මොකක් ද?
රහස් කීපයක් තිබෙනවා. පිටපත සම්බන්ධයෙන් ගත්තොත් මම ලියන්නේ මගේ ජීවන අත්දැකීම්. ඒවා නැවත මම ප්‍රති නිර්මාණය කරනවා. මම මිනිසුන්ව අධ්‍යනය කරනවා. කවුරු මොන ටෙලි නාට්‍ය අලුතෙන් ගෙනාවත් අපේ එක අබිබවා නොයන්න සැලසුම් තිබෙනවා. ඒවා රහස්.”
● නව කතාකරුවෙක්, ටෙලි පිටපත් රචකයෙක්, ගුරුවරයෙක්, ගුවන් විදුලි පිටපත් රචකයෙක් යන මේ මාධ්‍ය අතුරින් ඔබට සතුට ගෙන දෙන මාධ්‍ය මොකක් ද?
ක්‍රිකට් ගත්තොත් සමහර ක්‍රීඩකයෝ ටෙස්ට් ගහන්න කැමතියි. සමහරු වන්ඩේ වලට කැමතියි. මමත් ලිවීමේ ආනන්දය ගන්නේ නව කතාවක් ලියලා. මම සල්ලි හම්බ කරන්නේ ටෙලි නාට්‍ය වලින්. දෙකම සතුටුයි.”
● සමන් නව කතාවෙන් ටෙලි නාට්‍යයට එනවා. දැන් කවද්ද සිනමාවට එන්නේ.
ඒ සම්බන්ධ ගොඩක් යෝජනා ආවා. විවිධ අධ්‍යක්‍ෂවරු ,නිෂ්පාදකවරු, චිත්‍රපට සමාගම් ඒ අතර ඉන්නවා. දැන් කොරෝනා එක්ක සිනමාව හාන්සි වෙලානේ. ලැබුණු ආරාධනා සමහර ඒවා මඟ ඇරුණේ මං කියන මිලට. මගේ ක්‍ෂේත්‍රයේ මං හරියටම මගේ මිල හඳුනා ගත් කෙනෙක්. මගේ මිලට ආවොත් විතරයි මං වැඩක් කරන්නේ. මං කේවල් කරන්නේ නැහැ. සිනමා කෘතියක් මම ලියන්නේ මගේ මිලට එකඟ වුණාම. කවදා හරි සිනමාශාලාවල මකුළු දැල් කඩලා හොඳ තත්ත්වයකට ඒවිනේ.”
● මේ මොහොතේ ලංකාවේ වඩාත්ම ප්‍රබල වේදිකාව ද, ටෙලි නාට්‍යය ද, සිනමාව ද?
ජන මනසට වඩාත්ම බලපෑම් සහගත මාධ්‍ය ගත්තොත් මා හඳුනා ගන්නේ ටෙලි නාට්‍යයය. ප්‍රේක්‍ෂකාගාරය වැඩි තැන තමයි ප්‍රබල. ඡන්දයක් ඉල්ලුවොත් වැඩිපුර මනාප ගන්න කෙනානේ දිනුම්.”
කවුරු හරි අභියෝගයක් විදියට කොටස් 100 ට අඩු ටෙලි නාට්‍යයක් ලියන්න යෝජනා කළොත් ඒක බාර ගන්නව ද?
මට කොටස් ගණන ප්‍රශ්නයක් නැහැ. ලිවීම සම්බන්ධයෙන් ඕනෑම අභියෝගයක් බාර ගන්නවා. හැබැයි මෝඩයෙක් වගේ අභියෝග බාර ගන්නේ නැහැ. මොකද්ද තෑග්ගට දෙන්නේ වගේ සාකච්ඡා කරලා ඒ අභියෝගය බාර ගන්න ලෑස්තියි. එහෙම වුණොත් සම්මාන අරන් වගේම රේටින්ස් අරගෙනත් පෙන්නන්නම්. මම දන්න දේ බොරුවට පෙළහර පාන්න මට ඕන නැහැ. මේක මගේ රැකියාව.”
හොඳම සහ ජනප්‍රිය සම්මාන ගැන ඔබට යම් අදහසක් තියෙනවා ද?
ජනප්‍රියම සම්මානය කියන්නේ වැඩිම මිනිස්සු පිරිසක් නරඹන එක. හොඳම සම්මානය කියන්නේ ජූරියේ වැඩිම පිරිසක් බලන එක. කිසිම වෙලාවක ජූරියේ කැමැත්ත ජනතාවගේ වැඩිම කැමැත්ත නෙවෙයි. ලංකාවේ නෙවෙයි පිටරටත් එහෙම තමයි.”
● මෙගා ටෙලි නාට්‍යවලට එල්ල වන චෝදනාවක් තමයි මෙගා නිසා ඒ අය දවස් කුලීකාරයන් බවට පත් වුණා කියන එක.
ඒක පරණ කතාවක්. දැන් කවුරුත් එහෙම කියන්නේ නැහැ. ඒ කාලේ ප්‍රාසාංගික ටෙලි නාට්‍ය බහුලව හැදුණු කාලේ මෙගා තිබුණේ එකයි දෙකයි. දැන් මෙගා තමයි ඔක්කොම. ප්‍රාසාංගික නිර්මාණ තියෙන්නේ එකයි. දෙකයි. ඇත්තටම බහුතර නළු නිළියෝ දැන් පොඩි වැඩවලට කැමති නැහැ. පොඩි වැඩවලට ගියත් ලොකු ගාණක් ඉල්ලනවා. දැන් දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ ශිල්පීන්ට අවුරුදු හතරක ඉඳන් ස්ථිර ආදායමක් තියෙනවා. මෙගාවලට අකැමැති අයට ඕනෙ නම් ප්‍රාසාංගික ඒවායේ විතරක් රඟපාන්න පුළුවන්. කවුරුවත් ඇඟ බැඳලා නැහැ.”
● දෙවැනි ඉනිම වැනි ටෙලි නාට්‍යවල රඟපාන නළු නිළියන්ට වෙන ඒවාට යන්න බැහැ වගේ කොන්දේසි දැමීම සාධාරණ ද?
ඇත්තටම ඔය කොන්දේසි දානවා කියන්නේ ගිවිසුමකට. මමත් එහෙම ගිවිසුම් ගත වී සිටිනවා. මට 2023 වෙනකන් වෙන බෙල්ට් එකක වෙන චැනල් එකකට ලියන්න බැහැ. ඒක වෘත්තීය විනය. නළු නිළියන්ටත් එහෙමයි. කවුරු හරි කියනවා නම් මං හිර වෙලා කියලා ඒ හරියට ගිවිසුම කියවන්නේ නැතුව කරන ප්‍රකාශයක්. ගිවිසුම් හැමෝම ගහන්නේ එකඟ වෙන්නේ තමන්ගේ වාසියට. මෙගා කරන නළු නිළියන්ට වෙන ඒවාට යන්න කොහොමත් වෙලාව නැහැ.”
● සිඳූ නාට්‍ය රචනා කරන එකෙන් ඔබ ඉවත් වුණේ එතනින් එහාට ලියන්න දෙයක් නැතැයි ප්‍රකාශ කරමින්. දෙවනි ඉනිම සහ සංගීතේ තවම ලියන්නේ ඔබේ කතාව තවම ඒවායේ තිබෙන නිසා ද නැති නම් නාලිකාවේ ඉල්ලීමට ද?
නාලිකාවේ ඉල්ලීම වුණේ සිඳූ එකෙනුත් මට අයින් වෙන්න එපා කියල තමයි. ඒ වෙනකොට අපට ලොකු අත්දැකීමක් මෙගා සම්බන්ධයෙන් තිබුණේ නහැ. මලී, අත්තම්මා වුණත් 300 න් 400 න් නතර වෙලා තිබුණා. අලුත් එකෙකුට ටෙලි නාට්‍යයක් ලියන්න දෙනකොට මුලින්ම මේක 1000 ක් ලියපන් කියලා කියන්නේ නැහැ. මම මුලින්ම සිඳූ ප්ලෑන් කළේ කොටස් 200 ට. නාට්‍යයක් ජනප්‍රිය වෙන කොට තමයි ඕනෑම නාලිකාවක් දිගටම කරන්න කියලා යෝජනා කරන්නේ. දෙවැනි ඉනිම පටන් ගනිද්දීම මම අහලා දැන ගත් දේ තමයි රේටින් තියෙනකන්ම මේක ලියන්න අවස්ථාව ලැබෙනවා කියන එක. මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍යයක රචකයා ආරම්භයේ දී පැවසුවා කොටස් 100 කට වඩා කරන්නේ නැහැ කියලා. අද එය කරන්න නොහැකි වී තිබෙනවා. ලිවීම කියන්නේ මගේ වෘත්තිය. නාළිකාව කියනවා නම් දිගටම මම ලියනවා.”
(***)
සංවාද සටහන
අමිල චින්තක ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජතුමාට වැඩිය දඩුවමක් මෙයාට දෙන්න ඕන. රටේ මිනිස්සු ගේ ඔලු ගෙඩි විනාස කරනවට
සැබෑ කලාව හා මුදලාලිලාගේ කලාව කියා දෙකක් තියෙනවා. සැබෑ කලාව අනුව කටයුතු කරන ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවා ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහිකරන අතර ප්‍රතිභා හීනයා බහුරූ කෝලම් බිහිකරනවා. නාලිකා මුදලාලිලා කවුරුන් හෝ ප්‍රතිභා හීනයන් අල්ලගෙන කරනා බහුරූ කෝලම් නිසා රටක ජනතාවගේ රසවින්දන මට්ටම පහත් මට්ටමකට වැටෙනවා. එවැනි මිනිසුන් නහයට ලණුව දමා දැක්කීමට පහසුයි. ඒ වැනි මිනිසුන් වැඩිවෙනවිට රජයන්ට තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට රටක් පාලනය කළ හැකියි. සැබෑ කලාකරුවා හෝ නිර්මාණකරුවා, තම රටේ ජනතාවට බුදීමට පිදුරු හා පුන්නක්කු දෙන්නේ නැහැ. රටේ ජනතාව තමන් හා තම දරු මල්ලන් හොඳ උසස් රසවින්දනයක් සහිත ටෙලිනාට්‍ය බැලීමට වගබලා ගත යුතුය. නාට්‍ය ගුණයෙන් හීන, මුදල් ඉපැයීම අරමුණු කොටගත්, ප්‍රතිභාහීනයන් විසින් මුදල් සඳහා ලියනා හා නිපදවා ඇති බාල ගණයේ ටෙලිනාට්‍ය බැලීමෙන් ජනතාව වැළකිය යුතුයි. ඒ දෙය තමන්ගේත්, රටේත්, යහපත පිණිසම හේතුවන්නේය...
කොහොමත් නාඩගම් කාරයෝ ආවාට පස්සේ මෙයාගේ ටෙලිනාට්‍යවලට වැලේ වැල් නැතිව ගිහින් තියෙන්නේ...
හරිම සංතෝසයි අපෙ ගෙදර මළවිකාර නාට්ටි බලන්නෙ නැති එකට
"සකලගුරැ" වර්තමානයේ හොදම ටෙලි නාට්‍යය...
ඔපදූප කියන ඒකයි නියාමනයයි මෙයාට තේරෙන්නැ අනික ඔය වැඩකට නැති දේවල් බලන්නේ නූගත් අය
‘සිදූ‘ ඇත්තටම ලස්සන නිර්මාණයක්... කොච්චර කාලයක් ගියත් ඒකේ ළමයින්ගේ හුරතලය නිසා ආසාවෙන් බලන්න පුළුවන්. ඒත් අනිත් කතා නම් වැඩක් නෑ... ඉස්කෝලේ ළමයි ආදරය කරන ඒවා ලියන්නේ ඇයි...? ළමයි කියන්නේ රටේ අනාගතේ. දැන්නම් ඒ ටිකත් කනවා වගේ තමයි. ඒ අය පොඩි කාලෙම මේ දේවල් කළාම ඉගෙන ගන්නේ නෑ. එ් පාර රස්සා නෑ. සල්ලි නෑ. ඔතැනින් තමයි සේරම ප්‍රශ්න පටන් ගන්නේ... කතා කියන කෙනාටත් ජාතික වගකීමක් තියෙනවා. රසවින්දනය ඇතුලේ ඒකත් මතක තියාගෙන ලියන්න...
මෙලෝ රහක් නෑ...
අපි කැමැති සමහර ප්‍රවීණ නලු නිළියන් ඉන්න නිසා බලනවා මිසක් මෙලෝ රහක් නැති ඔහේ ඇදගෙන යන කතානේ.. දෙවෙනි ඉනිමේ බෙරි වූ මුහුණු දැක්කමත් ඇති...
ටෙලිනාට්‍යකට අවශ්‍ය මුල මැද අග බැදීමක් නැති ඉතා බොලද ළමා මනසකින් ලීව කතා. රචකයාට කතාව ගලපගන්න බැරිනම් ප්‍රේක්ශකයාට කොහොම ඇතිද
අපි වාසනාවන්තයි... අසල්වැසියො, කන්දෙ ගෙදර වගේ හාස්‍ය නාට්‍ය වගේම දඩුබස්නාමානය, වෙදහාමිනේ, ඇල්ල ළඟ වලව්ව, වගෙ කොටස් 25- 30 කින් ඉවරවුණු සුන්දර නිර්මාණ ගැන සාක්ෂීකාරයන් වෙන්න ලැබීම ගැන.
සල්ලි තියෙනවානම් මොනවද කරන්න බැරි. පිස්සන්කොටුවකට පොතකුයි පෑනකුයි ගෙනිහින් දැම්මත් ටෙලි නාට්‍යයක් ලියවාගන්න පුළවන් මේ විදියට. පට්ටම මෝඩ පෙළක් තමයි මේවා බලන්න. ඔය මෝඩකම තමයි රටේ හැම ක්ෂේත්‍රයකටම බලපාන්නෙ. දේශපාලනයටත් ඕකයි වෙලා තියෙන්නෙ. ප්‍රශ්නය කියන්නෙ ඒ මිනිස්සු ඇත්ත දැනගන්න මේ වගේ පත්තර කියවන්නෙ නෑ. ඉතිං මේ කොමෙන්ට් කියවන්නෙත් අදාල නොවන අය.
සමන් එදිරිමුනිටත් කතාවෙ මුල් කොටස් මතක නෑ. දෙවනි ඉනිමෙ අනුහස් හා ලිහිණි ගියෙ නීති පීඨයට. දැන් ලිහිණි ගුරුවරියක් වෙනවා කියල කියනවා, ලංකාවෙ නීති වෘත්තියට යනවනම් නීති පීඨයෙන් උපාධිය ලැබුවාම නීති විද්‍යාලයට ගිහින් අවසන් වසර ඉගෙනගෙන විභාගෙ කරලා නීතීඥයෙක් යටතෙ පුහුණුවෙලා දිවුරුම් දෙන්න ඕනැ. ඒක සමන් එදිරිමුනි දන්නෙ නෑ, ඔහු දැන් හිතාගෙන ඉන්නෙ අනුහස් හා ලිහිණිත් දෙව්මි වගේ කලා උපාධිය කරනවා කියල. දිග නාට්‍යවල මෙතෙක් කතාව ලියන්නාටත් මතක නෑ. එහෙමයි වෘත්තීය ලේඛකයන්ගෙ හැටි.
එදිරිමුණි... ලියන කතාවල මුල, මැද, අග ගත්තාම එකම කතාවද කියලා හිතාගන්න බෑ. එයා දන්නේ නෑ ඌ මොනවද මුලින් ලිව්වේ කියලා... ඔහේ ඉතින් ලියනවා... ආයේ ඉතින් අහන්න දෙයක් නෑ ඉතින් දෙරණෙනෙ මේ කතා යන්නේ... කොහොමත් දෙරණට ඕනෙත් මිනිස්සුන්ගේ ඔලමොට්ටල කරන්නනේ... ඒක හින්දා ඔය වගේ හරයක් නැති කතා දාන්න දෙරණ හරි කැමැතියි. දෙරණ බලන දියුණු මනසක් නැති මිනිස්සු ටික ඉතින් ඔව්වා බලනවා...