ලෝකයේ අගමුල සෙවීමේ ආශාව නමැති ඒ ගින්න තවම මා තුළ නොනිවීම පවතියි. සත්ව ජීවිතයෙහි අග මුල සොයන්නට උනන්දු වුණ මා තුළ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ කුහුලක් හට ගත්තේය. ඒ කුහුලට හේතු වූයේ ගැමි ජීවිතය පිළිබඳ අත්දැකීම් හා ඇතැම් ජාතක කතා හා රුසියන් ප්‍රංස නවකතාවල ඉංගිරිසි පරිවර්තන ද කියවීම ය. 1917 රුසියන් විප්ලවයට අවුරුදු කිහිපයකට පෙර මම ටෝලස්ටෝයිගේ ඇනා කැරනිනා, ගෝර්කිගේ කෙටිකතා, ගොගොල්ගේ “මළ ප්‍රේතයෝ” හා චැකොෆ්ගේ කෙටිකතා ද කියවීමි.
නවකතාව පිළිබඳ මගේ අදහස් සම්පූරණයෙන් විපර්යාස වූයේ ටෝලස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන් පසුය. එය මගේ හද බුද්ධිය හා ගතානුගතික සදාචාර හැඟීම් ද දෙදර වූ කතාවකි. මෝපාසං, වික්ටර් හියුගෝ, වොල්ටෙයාර්, ආදි ප්‍රන්ස නවකතාකාරයන් කිය වූයේ ද ඒ කාලයෙහිය.
මා මගේ මිරිඟුව ලියුවේ 1924 දීය. එය පළකරනු ලැබුයේ 1925 දීය. ටොලස්ටෝයිගේ ඇනා කැරනිනා හා මෝපසාංගේ ඇතැම් කතාත් කියවීමෙන් පිබිදුණු මගේ කල්පනා ශක්තියෙහි සමහර අංග මිරිඟුවෙන් හෙළි වෙයි.
මා මගේ අත්දැකීම් ගුරු කොට ගෙන පළමුව ලියූ හොඳම කෙටිකතා “ගැහැනියක්” පොතෙහි ඇත. එය පළවූයේ 1924 දීය. එකල ලංකාවේ විශ්වවිද්‍යාලයක් නොවීය. සමස්ත ශාස්ත්‍ර ශාලාව ඇරඹුණේ ගැහැනියක් පළවන්ට තුන් අවුරුද්දකට පෙරය. කොළඹ ලංකා විශ්වවිද්‍යාලය ඇරඹුණේ ගැහැනියක් පළවී දහ අට අවුරුද්දකට පසුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවන ලද්දේ ගැහැනියක් පළවීමෙන් අවුරුදු විසි නමයකට පසුය.
මිරිඟුව හා ගැහැනියක් ධනවාදයට පටහැණි සමාජවාදීය කතා යයි ඒ පොත පළ වී අවුරුදු හත අටකට පසු සමහර පුවත්පත්වලට ලියූ ලිපිවලින් කීය. මිරිඟුව හා ගැහැනියක් පළවන්ට අවුරුදු දෙකකට පෙර ලංකාවෙහි ඇරඹුණු එකම සමාජවාදීය දේශපාලන පක්ෂය ඒ. ඊ. ගුණසිංහගේ කම්කරු එක්සත් සමිතිය යි සිතමි.
රෙජි සිරිවර්ධන මීට අවුරුදු හත අටකට පෙර “ඩේලි මිරර්” පත්‍රයේ මා ගැන ලිපියක් පළ කෙළේය. එය ඔහු ලංකා ගුවන් විදුලිය මගින් විදේශීය රටවල් සඳහා පවත්වන ලද කතාවක හරයයි. ඒ කථාවෙන් ඔහු මා හැඳින්වූයේ බෞද්ධ උරුමයෙහි බැස ගත් මුල් ඇති ස්වාධීන සමාජවාදියකු ලෙසිනි. සිංහල සංස්කෘතියක් නැතැයි තර්ක කරමින් විශ්ව සංස්කෘතියක් ගැන දොඩන්ට වූ සමහර මහාචාර්යවරයන්ට වටහාගත නොහැකි වූ අපේ උරුමය හා එහි අගය රෙජි සිරිවර්ධන වටහා ගත්තේ ය.
කූට බුද්ධි පටලයෙන් නුවණැස වසා ගත්තෝ අත්තුක්කංසනයට උපාය සොයන්නෝ වූහ. ”මාර්ටින් වික්‍රමසිංහ පේරාදෙණිය ගුරුකුලයේ කෙනෙකි” යි සිරි ගුනසිංහ 1965 දී සිලෝන් ඩේලි නිවුස් පත්‍රයට ලියූ ලිපියකින් කීවේය. 1967 පළකරනු ලැබූ අසම්පූර්ණ චාරිකා සටහන් නමැති පොතෙහි ලා සරච්චන්ද්‍ර මෙසේ ප්‍රශ්න කරයි. “පේරාදෙණි ගුරුකුලයට අයිති කෙනෙකු වසයෙන් සලකනු ලැබූ වික්‍රමසිංහ මහතා එම කුලයට එරෙහි වීමට හේතු කවරේ ද?”
මගේ විරාගය, කලියුගය හා කරුවල ගෙදර ද හැර අනික් සියලුම නවකතා හා කෙටිකතා මා ලියා පළ කෙළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවන්නට අවුරුදු විසිපහකට තිහකට පමණ පෙර ය. සිංහල සාහිත්‍යෝදය කතා, ගුත්තිල ගීතය, විචාර ලිපි, සාහිත්‍ය කලාව ආදී විචාර ග්‍රන්ථ ද මා ලියා පළ කෙළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අරඹන්නට අවුරුදු ගණනකට පෙර ය. මගේ ගැහැනියක් කෙටිකතා පොත පළ වූයේ 1924 දීය. ගම්පෙරළිය පළවූයේ 1944 දීය. යථාර්ථරූපි වස්තු චරිත හා භාෂාව ද විසින් ගැහැනියක් කෙටිකතා හා ගම්පෙරළිය බෙහෙවින් සමාන ය.
ගැහැනියක් පළ වූ කාලයේ (1924) දී පේරාදෙණිය ගුරුකුල ඇදුරන් පාසල්වල උගන්නා බාලයන්වූහ යි සිතමි. ඒ බාලයන්ගෙන් නවකතා ගැන මා ගුරුපදේශ නොලැබුවා නම් ගැහැනියක් පොත පළ වී අවුරුදු විසි අටකට පමණ පසු පහළ වූ පේරාදෙණිය ගුරු කුලයේ කෙනෙකු වන්නේ කෙසේ ද?
එකම ගුරුකුලයක්වත් පඬිවරයකුවත්, පැරණි සිංහල සාහිත්‍යය නොදත් සමහර විශ්වවිද්‍යාලය ඇදුරනුත් නොඉවසූ මා ඔවුන් විවේචනය කරන්ට පටන් ගත්තේ විරාගය පළවීමෙන් පසු නොව මීට අවුරුදු පනහකට පමණ උඩදී ය. විරාගය පළවූයේ 1956 දී ය.
මගේ ශාස්ත්‍රීය ලේඛන පළ වූයේ මීට අවුරුදු 51කට උඩදී ය. එහි ලා මම හැම ගුරුකුලයක් ස්වාධීනව විවේචනය කෙළෙමි. එකල පේරාදෙණිය ගුරුකුල ඇදුරන් හත් ඇවිරිදි ළමයින් වන්ට ඇත. 1914 පළ වූ ලීලා කතාවෙහි ලා මම පියදාස සිරිසේන ඇතුළුව ගතානුගතික ලේඛකයන් විවේචනය කෙළෙමි. විචාර ලිපි, සිංහල සාහිත්‍යයේ නැගීම, ගුත්තිල ගීතය, සාහිත්‍ය කලාව යන විචාර ග්‍රන්ථයන්හි ලා විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ඇතැම් මතාන්තර විවේචනය කෙළෙමි. සාහිත්‍ය කලාව හැර අනික් විචාර ග්‍රන්ථ පළ වූයේ මීට අවුරුදු විසි හයකට විසි හතකට පමණ උඩදී ය. 1957 දී පළවුණු නව පද්‍ය සිංහලයෙහි ලා මම සරච්චන්ද්‍ර, ගුනසිංහ, ගුණදාස අමරසේකර හා කොළඹ කවීන් ද ස්වාධීනව විවේචනය කෙළෙමි.
මා පේරාදෙණිය ගුරුකුලය පළමුව විවේචනය කළේ 1965 දී පළවූ මගේ නවකථාංග හා විරාගය පොතෙහි ලා ය. මගේ විවේචන ක්‍රමය වෙනස් වූයේ විරාගය පළවී අවුරුදු කිහිපයකට පසුයි කීමෙන් පේරාදෙණි ගුරුකුල ඇදුරන් හා ඔවුන්ගේ අවිචාර අනුගාමිකයන් පළ කරන්නේ ඔවුන් මගේ විචාර ග්‍රන්ථ නොකියවූ බව යි. ගුරුකුලවලට ගැති නොවී පැරණි සිංහල සාහිත්‍යයත් වර්තමාන සිංහල සාහිත්‍යයත් උගන්නා විචාරකයන් අතර මගේ විවේචන ක්‍රමයේ විකාශය වටහා ගත්තෝ හිඟ නොවෙත්.
මගේ විචාර ක්‍රමය අතනින් මෙතනින් අවුලාගත් සංකල්ප උඩ පිහිටියක් නොවේ. එය සිංහල උරුමය නමින් හැඳින්විය හැකි සිංහල භාෂා සාහිත්‍යයෙහි සිංහල ජීවිතයෙහි හා සංස්කෘතියෙහි ද බැසගත් මුල් ඇත්තක් ලෙස කෙමෙන් වැඩුණකි. කිසිම ගුරුකුලයකට මතයකට ගැති නොවූ මම සංස්කෘත කාව්‍යයෙහි අද්භූත වික්‍රාන්ත රීතිය 1919 දී විවේචනය කොට බැහැර කෙළෙමි. මා ඊට ආවේශය ලැබුවේ රුසියන් ජනකතා හා ජාතක කතා ද ඇසුරෙනි.
යථාර්ථවාදය යථාර්ථ රීතිය හා යථාර්ථ ජීවිතය ද බටහිර නවකතාකාරයන් ගුරු කොට ගන්ට වූයේ දහ අට වන සියවසයෙහි සිටය. මේ උසස් සිද්ධාන්තයන්ගේ බීජ ථෙර ථෙරි ගාථා, ජාතක පෙළ හා ජාතක කථා ආදියට පිවිසියේ අවුරුදු 2500 කට පමණ පෙර බව මට වැටහිණි. සකු සාහිත්‍යය උගත් යතිවරයෝ එහි අගය නොදැන යථාර්ථවාදයට ඉඳුරා පටහැණි සකු සාහිත්‍ය පුදන්නෝ වූහ. ලංකා විශ්වවිද්‍යාලයෙහි සිංහල අංශයෙහි ඇදුරෝ ජාතක කතා ථෙර ථෙරි ගාථා ආදිය ආගම පිළිබඳ ධර්ම කතා ලෙස සලකා බැහැර කළහ.
මොවුන් දෙපක්ෂයේම ගතානුගතිකත්වය නිසා අපේ උරුමය ඇසුරෙන් පහළව වැඩුණු ස්වාධීන විචාර ක්‍රමයක් මෑතක් වනතුරු අපට නොවීය. එවැනි විචාර ක්‍රමයක් නිපදවීමට ඩබ්ලියු. ඇෆ්. ගුණවර්ධනත්, මුනිදාස කුමාරතුංගත් වෑයම් කළහ. ගුණවර්ධන සකු අලංකාර ශාස්ත්‍රයට ගැති නොවූ නමුත් එය ගුරු කොට ගත්තේය.. කුමාරතුංග විවේචනය කළ කව් සිළුමිණ, බුත්සරණ, ආදී පැරණි පැදි ගැදි සංස්කෘත අලංකාර ශාස්ත්‍රය ගුරුකොට ගත්තන්ගේ රචනා විය. ඔහු ඒ රචනා විවේචනය කෙළේ පැරණි බසත් සකු කවියත් ගුරුකොට ගත්තකු ලෙසිනි. ඔහු කව්සිළුමිණ දැඩි සිතින්වර්ණනා කෙළේ යට කියන ලද ළැදියාව නිසා ය.
මුදලිඳු ගුණවර්ධන විස්තරාර්ථ වර්ණනා ලියුවේ ගුත්තිල කවට ය. සකු කවිය හා අලංකාර ශාස්ත්‍රය ගතානුගතිකව ගුරුකොට නොගෙන ස්වාධීනව විවේචනය කළ යුතු කාව්‍යයකි ගුත්තිලය. එසේ කරන්ට වෑයම් කෙළේ නම් ථෙර ථෙරි ගාථා ජාතක කතා පෙළ ආදියෙන් ප්‍රකට වන උසස් සිද්ධාන්ත ගැන ඔහු තුළ කුහුලක් හටගනු නිසැකය.
ගුරුකුල වූ කලී අත්තුක්කංසනයට මඟ පාදන උපායකි. හැම ගුරුකුලයක්ම ලේඛකයන්ගේ ස්වාධීනත්වය වනසා ඔවුන්ගේ නිර්මාණ ශක්තිය එකම මඟකට පිවිසවා එය වඳ කරයි. බටහිර හොඳ ලේඛකයන් හා විචාරකයන් ගුරුකුල නොඉවසන්නේ එහෙයිනි. පේරාදෙණි ගුරුකුලය සිතා මතාම අත්තුක්කංසනය නිමිති කොට ගෙන අරඹන ලද වන්දීන්ගේ හවුලකි. හෙළ හවුල වන්දීන්ගේ යහළුවන් වූයේ කුමාතුංගගේ මරණයෙන් පසුය.
සිංහල සකු බස් හා සාහිත්‍යයන්හී හසළ දැනුම ඇති ඔහු අනික් ගිහි පැවිදි පඬුවන් හා ගුරුකුලයන් ද පිළිගත් ඇතැම් භාෂා රීති හා මතාන්තර දැඩි නිර්දය විවේචනයට හසු කෙළේ ය. එකල පණ්ඩිතයන් අතර පැවැත්තේ හේතු උදාහරණ දැක්වීමෙන් පරවාද බිඳීමේ වාද ක්‍රමයම නොවේ. ඇනුම් බැණුම් පිවිසවීමෙන් දූෂණය වුණු න්‍යායකි. සමහරු පුද්ගල ඇනුම් බැණුම් පමණක් නොව කුලවාදය ද තමන්ගේ වාද ලිපිවලට පිවිස වූහ.
කුමාරතුංග ද සකු අලංකාරිකයන්ගේ හා ව්‍යාකරණකාරයන්ගේ ද කර්කශ වාද න්‍යාය දත්තෙකි. එහෙයින් ඔහු ද කර්කශ ඇණුම් පදයෙන් තොර නොවූ තර්කයෙන් විරුද්ධවාදීන්ට පිළිතුරු දුන්නේ ය. ගතානුගතික පණ්ඩිතයන්ගේ මතාන්තරවලට පටහැණි උගත් තරුණයෝ කුමාරතුංගයන්ගේ පක්ෂය ගත්හ. හෙළ හවුළ පහළ වූයේ ඒ වාද විවාද හා අනුගාමිකයන් ද නිසා ය. ඒ වාද විවාද සාහිත්‍ය විචාරයට වඩා සිංහල වියරණ පිළිබඳ ගැටුමක් වීය. කුමාරතුංග තමාගේ විවරණ ග්‍රන්ථයන්ගෙන් මතු කරන ලද ඇතැම් සාහිතයික ප්‍රශ්න, සාහිත්‍යය විචාරය පිළිබඳ සියුම් දැනුම ඇත්තන්ගේ සැලකිල්ලට හසුවිය යුතු සෞන්දර්යවාදය පිළිබඳ කරුණු විය.
ඔහුට එක් වූවන් අතර එවැනි කරුණු ගැන දැනුම ඇත්තෝ නොවූහ. එහෙයින් කුමාරතුංගගේ විවරණ ග්‍රන්ථ පිළිබඳ වාදය හුදු වියරණවාදයක් විය. ඒ වියරණවාදය පසු කාලයක දී කුමාරතුංගගේ කලකිරීමට හේතු විය. ඔහු කටබසට අලුත් වියරණ රීති නිපදවන්ටත් කටබසින් ළමා කතා ලියන්නටත් කවි රචනා කරන්නටත් උනන්දු වූයේ ඒ කලකිරීම නිසා යයි මම සිතමි. කුමාරතුංගගේ මරණයෙන් පසු හෙළ හවුල වියරණය ගැනම දොඩන වියරණකාරයන්ගේත් වියරණය නොදත් ගතානුගතිකයන්ගේත් වන්දි සමාජයක් වූයේය. වියරණ පිළිබඳ ඔවුන්ගේ ගතානුගතික දෙඩීම කුමාරතුංගගේ සමහර අනුගාමිකයන්ට පවා කන්දොස්කිරියාවක් විය. කුමාරතුංග සිංහල සාහිත්‍යයට කළ වටිනා සේවයෙහි අල්ප අංගයක් වන වියරණය ඔහුගේ සමහර අනුගාමිකයන් වර්ණනයට පටන් ගත්තේ ඔවුන්ගේ උගත්කම් දැක්වීමටයි. කුමාරතුංගට ඉත සිතින් කෙරෙන උපහාරයක් ලෙස නොවේ.
කුමාරතුංග තමා කළ සාහිත්‍යය සේවය උදෙසා වියරණය උපකරණයක් කොට ගත්තේය. උපකරණය වර්ණනා කරනු ලැබීම ඔහුට පිදෙන උසස් උපහාරයක් නොවේ. එය එකිනෙකා තම තමන්ගේ වියරණ දැනීම දැක්වීමටත් අනික් ලේඛකයන් හෙළා දැකීමටත් දැන හෝ නොදැන හෝ උපයෝගී කොට ගන්නා ලද උපායක් වැන්න. එය අත්තුක්කංසනයෙහි වංචක වේශයකි.
පේරාදෙණිය ගුරුකුලය අත්තුක්කංසනය උදෙසාම ඇරඹුණකි. එහි නායකයා වූ සරච්චන්ද්‍රගේ අනුගාමිකයන්ගෙන් වැඩි දෙන සිංහල බස හා පැරණි සිංහල සාහිත්‍යය හොඳින් නොදත් ආධුනික ශිෂ්‍යයෝ වූහ. ඔවුන්ට සිංහල නවකතාවත් නාටකයත් උගන්වන්ට අවස්ථාවක් ලත් ඔහු ඒ දෙකෙහි විකාශය හොඳින් නොදත්තේ ය. පැරණි සිංහල භාෂා සාහිත්‍යයෙහි හසළ දැනුම නැත්තකුට ඒ දෙකෙහිම විකාශය හොඳින් වටහා ගත නොහැකි ය.
(*** මාර්ටින් වික්‍රමසිංහ විසිනි.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගුරුකුලවලින් ලේඛක ස්වාධීනත්වය වැනසෙනවා