‘‘තෛ පිරන්දාල් වලිපිරක්කුම්’’ (දුරුත්ත ලැබුවොත් මාවත විවරවේ) සනාථ කරමින් මෙවරත් තෛපොංගල් උදා වන්නේ සූර්යයා චන්ද්‍ර රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වෙමිනි. මෙය සිංහල හා දෙමළ ක්‍රමයට විග්‍රහ කළහොත් සිංහල ක්‍රමයට දුරුතු මාසයේ සිට පොසොන් මාසය තෙක්ද එනම් දෙමළ ක්‍රමයට තෛ මාසයේ සිට ආනි මාසය තෙක් සූර්යයා උතුරු බලා ගමන් කරන හෙයින් උත්තරායන කාලය ඇතිවේ.
සකල ලෝකවාසීන්ටම සිදුවන මේ සූර්යය සංක්‍රාන්තිය හේතුවෙන් සූර්යයාගෙන් බොහෝ ශක්තිය ලැබෙන බව දෙමළ හින්දූහු විශ්වාස කරති. මේ කාලයේදී බොහෝ බව භෝග, කෙත්වතු සරුවී බතින් බුලතින් අටු කොටු පිරේ. මේ නිසා දෙමළ හින්දු ජනයා සූර්යයාට කෘතවේදී වීමට ඒ බව භෝගවල අග්‍ර භාගය සූර්යයාට පුදති. මෙය ඉතා ආදි කාලයේ සිට එන හින්දු චාරිත්‍රයකි.
මෙම චාරිත්‍රය සනාථ කිරීමට දකුණු ඉන්දියානු දෙමළ සංගම් සාහිත්‍ය විමසීමෙන් අපට පසක් කරගත හැකිය. සංගම් සාහිත්‍ය ක්‍රි.පූ. 200 සිට ක්‍රි. වර්ෂ 200 දක්වා වර්ෂ 500ක් මුළුල්ලේ බිහිවී ඇති සාහිත්‍යයෙකි.
සාහිත්‍ය ග්‍රන්ථ
මේ කාලයේදී ලියැවී ඇති කෘති පරිශීලනය කිරීමෙන් එය සනාථ වේ. එනම් ‘‘අහනානුරු’’, පූරණානූරු කෘතිවලින් එහි සත්‍යතාව පැහැදිලි වේ.
මේ අනුව මෙම උත්සවවලට අඩිතාලම වැටුණේ ‘‘පාවෛ නොන්බු’’ සහ ‘‘තෛ නීරාඩල්’’ යන උත්සවවලිනි. මේ බව ක්‍රි. වර්ෂ 4 වැනි සහ 8 වැනි සියවස කාලයේදී දකුණු ඉන්දියාවේ පල්ලව රජවරුන්ගේ කාලයේදී ප්‍රධාන උත්සවයක් වූයේ පාවෛ නොන්බුය.
පාවෛ නොන්බු නමැති උපවාසය
පාවෛ නොන්බු උපවාසයට රටේ තරුණ තරුණියෝ සහ රට වැසියෝ දෙවියන්ට කන්නලව් කර වැසි සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරති. මසක් පුරාවට කිරි ආහාරවලින් වැළකී උපවාස කරති. මේ නිසා පල්ලව රජතුමා මෙම තරුණ තරුණියන්ට හා ජනතාවට ගංවර ත්‍යාග වශයෙන් දී තෑගි බෝග දුන් බව ‘‘තන්ජාවුර්’’ තිරුවල්ලුවර් වීරර්ගාමි කෝවිලේ සෙල්ලිපියක සඳහන් වේ.
මෙසේ සමෘද්ධිමත් වූ නිසා රට බතින් බුලතින් සරුවීමට සූර්යයා උදව් වූ නිසා සූර්යයාට කෘතවේදී වීමට එයින් නිපදවන ආහාර බව භෝග සූර්ය දිව්‍ය රාජයාට පිදීම සිදුවිය. මෙය සූර්ය පොංගල්නම් විය. මෙය උලවර් තිරුනාල් නොහොත් ගොවියන්ගේ උත්සවය නම් විය. මේ උත්සවය සෑම වර්ෂයකම ජනවාරි මාසයේ 14 වැනිදා පැවැත්වීය.
මේ නිසා දෙමළ ක්‍රමයට නව වර්ෂය උදාවේ. මෙම නව වර්ෂය උදාවෙනවාත් සමගම සියලු දෙයක්ම අලුත් වනවායැයි සිතන පැරැන්ණෝ ඔවුන්ගේ වාස භූමි ගෙවල් දොරවල් සියල්ලක්ම අලුත් කර ගනිති.
ජෝගි පණ්ඩිගෛ
ඉපැරැණි දෙමළ ජන සමාජයේ නොයෙක් උපකරණ සදාගත්තේ පොල් අතුවලින් හා තල් අතුවලින්ය. පෙට්ටි, ඉදල්, වට්ටි වැසීමට ගන්නා පියන් කෑම කන අතුල්පත් ආදිය වේ. මෙම උපකරණ අවුරුද්දට වරක් අලුත් කර ගැනීමට පැරැණි දෑ පුළුස්සා ගනිති.
මෙම උත්සවයට ජෝගි පණ්ඩිගෛ වශයෙන් ව්‍යවහාර කරනු ලැබේ. මේ බව වර්තමානයේදීද ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ සුලබව දක්නට ලැබෙන ක්‍රියාවකි.
මෙසේ මනුෂ්‍ය ජීවිත වත්ත පිටිය ගේ දොර අලුත් වූවාට පසුව දෙමළ හින්දු ජනයා තෛපොංගල් උත්සවයට සූදානම් වෙති. පෝගිපණ්ඩිගෛවලින් පසුව එළැඹෙන සූර්ය පොංගෙල් දිනයේ සූර්යය නමස්කාර සිදු කොට සූර්යයාට කෘතවේදීවීමට තම තමන් නෙළාගත් බවභෝගවලින් සංග්‍රහ කරති. මෙය සූර්යය පොංගල් නම් වේ.
සූර්යය පොංගල්
තෛපොංගල්වල දෙවැනි දිනය වන තෛ 14 දිනයේ සූර්යය පොංගල් නමැති කිරි ඉතිරිවිල්ල එදින හිමිදිරියේම දෙමළ හින්දූන් සිදුකරනු ලබති. නිවසේ මිදුලෙහි නැගෙනහිර පැත්තට වන්නට තෝරා ගත් ස්ථානයකදී මෙය සිදු කෙරේ. නැගෙනහිර පැත්තේ මෙම ස්ථානය තෝරාගනු ලබන්නේ ඒ දෙසට හිරුඑළිය වැටෙන නිසාය.
හොඳට ගොම පිරියම් කර කෝළම් දමා ඒ බිම අලංකර කර ගනිති. සකස්කරගත් භූමිභාගයේ හතර කොනේ කෙසෙල් ගස් සිටුවා උක් ගස්වලින් අලංකාර වන සේ සශ්‍රීකත්වය විදහා දක්වන අයුරින් සකස් කර ගැනීමට වද කහ පැළ සිටුවති. සකස් කරගත් භූමි භාගයේ ළිපක් බැඳ එයට කැවුම් මුට්ටියක් කට වටේට කහ නූලකින් කහ කැබැල්ලක් ගැට ගසා එම මුට්ටිය නොයෙක් මෝස්තරවලින් අලංකාර කර ගනිති. ඉන්පසු කිරි ඉතිරවා නැවුම් කැකුළු හාලේ කිරිබතක් පිස ගනිති.
කිරි ඉතිරෙන වෙලාවට නිවසේ සිටින සියලුම දෙනා ‘‘පොංගලෝ පොංගල්’’ යනුවෙන් හඬ නගා කියති.
පුරාවෘත්තය
සිව දෙවියන්ගේ වාහනය වන භාෂව ගවයා සම්බන්ධව මෙය ගොඩගැසී ඇත. සිව පුරාණය පවසන පරිදි සිව දෙවියන්ගේ ගවයා භාෂව නම් කර ඇත්තේ ‘‘නන්දි එරුදු’’ යනුවෙනි. දිනක් මෙම ගවයාට සිව දෙවියෝ කතා කොට මෙසේ පැවසූහ.
‘‘නන්දි නුඹ මනු ලොවට ගොස් මනුෂ්‍යයන්ට සෑම දිනකම තෙල් සාත්තුවක් කර ස්නානය කරන්නත් මසකට වරක් ආහාර ගන්නා ලෙසත් දන්වාපං’’ එසේ පැවසූ විට නන්දි මනුලොව පැමිණ සිව දෙවියන්ගේ නියෝගය වැරැදි ලෙස අර්ථකතනය කොට සෑම දිනකම ආහාර ගන්නා ලෙසත් මසකට වරක් තෙල් සාත්තුව කර ස්නානය කරන ලෙසත් දැන්වූයේය. මෙම ප්‍රකාශයට සිව දෙවියෝ කිපී නන්දි ගවයාට මනුලොව ගොස් මනුෂ්‍යයන්ට බැල මෙහෙවර කරන ලෙස දැන්වූයේය. මේ අනුව නන්දි ගවයා ඇරැඹි බැලමෙහෙවරකම් සෑම ගවයෙක්ම මනුලොවේ මිනිසුන්ගේ ගොවිතැනට උදව් උපකාර කරනු ලැබුවෝය. ගොවිතැනට උදව් උපකාර කළ සකල සතුන්ටම කෘතවේදිත්වය දැක්වීමට දෙමළ හින්දු ජනයා අමතක නොකළහ. මේ අනුව එම ජනයා මෙයද උත්සවාකාරයෙන් සිදුකරනු ලබති. මෙය මාට්ටුප් පොංගල් නම් විය.
මාට්ටුප් පොංගල්
තෛපොංගල් තෙවැනි දිනයේදී ගවයන්, එළුවන් නහවා පිරිසුදුකර අලංකාර කරති. අංවලට වර්ණ ආලේපන ගල්වන අතර ගෙලට මල්මාලා පළඳවති. නළලට කුංකුම තිලකයක්ද තබති. සිරුර අලංකාර කරවන රෙද්දකින් පොරවති. මෙම චාරිත්‍රය සිදු කරනු ලබන්නේ සීසාන ගවයන් උදෙසාය. විශාල පට්ටි අයිතිකරුවෝ එසේ රෙද්දකින් පොරවන්නේ නැත. පට්ටි හොඳට සුද්ධ පවිත්‍ර කර ගොක්කොළවලින් සරසා අලංකාර කරති. ගව පට්ටි ඉදිරිපිට භූමි භාගයක් තෝරාගෙන ගොම මැටිවලින් පිරියම් කර එම භූමි භාගය කෝළම්වලින් (මල් රටා) අලංකාර කර ගනී. එහි සතර කොණේ කෙසෙල් ගස් සිටුවා එහි ළිපක් බැඳ කිරි උතුරවා උක් සකුරු පලතුරු මුං ඇට මිශ්‍රකර කිරිබත් පිස එම භූමි භාගයේම ඝනදෙවියන්ට පුදති.
අනතුරුව මෙම ගව මහේෂාදී සතුන්ට, එළුවන්ට කවති. ඉන්පසු ගවයන් කෝවිල්වලට රැගෙන ගොස් ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලති. මෙම උත්සවයේ දිගුවේ හතරවැනි දිනයේ කාණුම් පන්ඩිගෛ වේ. මෙය නිවසට, ගමට, ප්‍රදේශයට, රටට සාමය සමගිය, සමෘද්ධිය ප්‍රාර්ථනා කරන උත්සවයකි.
කාණුම් පණ්ඩිගෛ
දකුණු ඉන්දියානු තොරතුරුවලට සහ සාක්ෂිවලට අනුව කාණුම් පණ්ඩිගෛ කාන්තාවන් උදෙසා සිදුකරන උත්සවයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. පොංගල් මුට්ටියේ බදින ලද කහ කැබැල්ල ගෙන වැඩිහිටියන් පස් දෙනෙකුට දී තමන්ගේ නළලෙහි ගාවා ගනිති. වැඩිහිටි අය නැතිවුවහොත් තම සැමියාට දී ගාගෙන ආශිර්වාද කර ගනිති.
මෙදින කාණුම් පිංඩවල් තැබූ පසු කාන්තාවන් ස්නානය කර අලුත් ඇඳුම් ඇඳීම සිරිතකි. ඉන්පසු කාණුම් පිංඩ තබනු ලැබේ.
කාණුම් පිංඩ
පළමු දින බත්වලට කහ කුංකුම මිශ්‍රකර තනි තනිව කහ බත් රතු බත් රන්වන් පැහැයට පිංඩ සාදා ගනිති. එක් එක් වර්ගයේ පිංඩ හතක් (7) හෝ නවයක් (9) සාදා පේළියට කෙසෙල් කොළයක් මත තැබිය යුතුය. ඒත් සමගම බන්දේසියකට උක් ගස් කැබලි, බුලත්, පුවක්, කෙසෙල්, පොල් ගෙඩියක් තබා ගනිති. ආශිර්වාද කිරීමේ අවස්ථාවේදී පාවිච්චි කිරීමට කහ මිශ්‍ර කළ සුන් නොවූ සහල්ද, මල් තබා ගත යුතුය. එකවර බන්දේසියක කහ දියර හුණු කුංකුම මිශ්‍රකර තබාගත යුතුය.
කාණුම් පිංඩ තැබීමට ප්‍රථම හිමිදිරියේ අසුබ හෝරාව සහ රාහු කාලය බැලිය යුතුය. පසුව කෙසෙල් කොළය මත වර්ණ පිංඩවල් එකින්නෙක පේලියට තබා පේළි තුනක් සකස් කර ගත යුතුය. මෙම පේළි අතරට මල් දමා එළි මහනක හෝ ගංගාතීරයක තැබිය යුතු ය.
පොංගල් උත්සවය සකල මිනිස් වර්ගයාගේම සාමය, සමෘද්ධිය, සෞභාග්‍යය උදාකරන උත්සවයකි.
අප රටේ ජනතාවටද තෛපොංගල් උදාවත් සමගම යටකී සියලු දෙයක්ම ඉටුවී රට සෞභාග්‍යයෙන් ඉතිරේවා යන්න අපේ පැතුමයි.
(***)
දෙමළ පණ්ඩිත්, පන්මොළි විත්තහර්, පන්මෝළි පුලවර්, දෙමළ ජනශ්‍රැති පර්‌යේෂක, සාහිත්‍යවේදී මඩුළුගිරියේ විජේරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd