ලතින් ඇමෙරිකානු කලාපය ලෝකයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ජාවාරම් කිරීමේ ප්‍රධානතම මධ්‍යස්ථානය බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. ලෝකයේ කොකේන් නිෂ්පාදනයෙන් බහුතරයක් සිදුවන්නේ කොලොම්බියාව, පේරු සහ බොලිවියාව යන රටවල් කේන්ද්‍ර කරගනිමිනි.

මෙක්සිකෝව කේන්ද්‍ර කරගනිමින් හෙරොයින් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය වන මෙතම්පෙටමින් (අයිස්) සහ ෆෙන්ටැනයිල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇත. මෙම කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කරන්නේ ඉතා සංවිධානාත්මක සහ ප්‍රචණ්ඩකාරී කල්ලි මගිනි. මේ කල්ලි කාටල් යන නමින් හැඳින්වෙයි. මෙක්සිකෝවේ මෙවැනි අපරාධ කල්ලි කීපයක් ක්‍රියාත්මක වෙයි.

මෙම කල්ලි නීතියට බය නැත. නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්, නීතීඥවරුන් අමු අමුවේ මරා දමන්නේ ප්‍රසිද්ධියේ දෙනෝ දාහක් ඉදිරියේය. ඔවුහූ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අමතරව, පැහැර ගැනීම්, කප්පම් ගැනීම් සහ මිනිස් ජාවාරම් ආදියෙහි නියැළෙති. ඇතැම් නගර පමණක් නොව පළාත් පවා මොවුන්ගේ අණසක යටතේ පවතී. මෙක්සිකෝවේ මෙවැනි ප්‍රධාන කල්ලි (කාටල්) දෙකකි. 'සිනලෝආ කාටලය‘ සහ ‘ජැලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලය‘ යනු ඒවාය.

පසුගිය දින කීපය තිස්සේ මෙක්සිකෝව නොසන්සුන් විය. මහමඟ බස් රථ ගිනිබත් කෙරුණි. මෝටර් රථ ගිනිබත් කෙරුණි. රජයේ කාර්යාල සහ ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ල විය. ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රහාර එල්ල විය. ගුවන්තොටුපොළවලට ප්‍රහාර එල්ල විය.මෙක්සිකෝවේ පළාත් කීපයක් පුරා භීෂණය පැතිරෙන්නට විය. වැසියන් නිවෙස්වලට වී සිටියේ නිවසින් පිටතට යෑමට බියෙනි. ඇමෙරිකාව සහ බටහිර යුරෝපා රටවල් පමණක් නොව, ඉන්දියාව පවා මෙක්සිකෝවේ සිටින තම වැසියන්ට අනතුරු ඇඟවීමක් කළේ මෙක්සිකෝවෙන් වහා පිටවෙන්න යැයි උපදෙස් දෙමිනි.

මෙක්සිකෝව මේ අයුරින් නොසන්සුන් වූයේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතුජැලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලයේ සන්නද්ධ කල්ලි නායකයා වූ නෙමේසියෝ රුබෙන් ඔසෙගුවෙරා සර්වන්ටෙස් හෙවත් ‘එල් මෙන්චෝ’ මරා දැමීමට මෙක්සිකෝ හමුදාව සමත් වීමත් සමඟය. දශක ගණනක් නීතියෙන් බේරී සැඟවී සිට, මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැළෙමින්, වචනයෙන් කිව නොහැකි ආකාරයේ බිහිසුණු අපරාධ සිදු කළ ‘එල් මෙන්චෝ’ට අවසානයේ වැඩ වැරදුණේ තරුණියක නිසාය.

ජැලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලයේ රජදහන ලෙස සැලකෙන්නේ මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයයි. ජැලිස්කෝ නිව් ජෙනරේෂන්කල්ලි සන්නද්ධ සාමාජිකයන්ගේ ඇසට හොරා නීති නිලධාරීන්ට මෙම ප්‍රදේශයට පය තැබීමට පවා නොහැක. ඔවුන්ට හසුවූවොත් අත්වන්නේ කුරිරු මරණයකි. පසුගිය දශක කීපයේ ‘එල් මෙන්චෝ’, මෙම කඳුකර පළාතේ සැඟවී ජීවත් වූයේ ඔහුගේ විශ්වාසනීය ආරක්ෂකයන් පිරිවරා ගනිමිනි.‘එල් මෙන්චෝ’ සහ ඔහුගේ කල්ලිය මෙක්සිකෝවට පමණක් නොව, ඇමෙරිකාවට ද හිසරදයක් විය. ඇමෙරිකාවට මෙතම්පෙටමින් (අයිස්) සහ ෆෙන්ටැනයිල් සැපයීම සිදු වන්නේ ජැලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලය හරහාය. ඇමෙරිකාව, ‘එල් මෙන්චෝ’ගේ හිසට ඇමෙරිකන් ඩොලර් මිලියන 15,000 ක ත්‍යාගයක් නියම කර තිබුණේ ද එහෙයිනි.

මෙක්සිකෝ ආරක්ෂක අංශ, බද්ධි අංශ සහාය ඇතිව ‘එල් මෙන්චෝ’, අල්ලා ගැනීමට නොයෙක් ආකාරයේ සැලැසුම් ක්‍රියාත්මක කළ නමුත් එය සාර්ථක වූයේ නැත. මෙක්සිකෝ යනු ඇමෙරිකාවේ අසල්වැසියාය. ලතින් ඇමෙරිකා කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින්, ට්‍රම්ප් පරිපාලනය ඔවුන්ට එරෙහි සටනක් ආරම්භ කර ඇත. ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් හමුදා වෙනිසියුලාවට ගොස්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා කුදලාගෙන ආවේ ද ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට සහාය සහ අනුග්‍රහය ලබා දෙන බවට චෝදනා නගමිනි. එම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නඩු විභාගයක් පැවැත්වෙයි.

‘එල් මෙන්චෝ’ට එරෙහිව මෙක්සිකෝ රජය පියවර ගත්තේ, මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය කල්ලි වහා අඩපණ කිරීමට පියවර ගන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂෙයින්බෝම්ට ලොකු පීඩනයක් එල්ල කිරීමත් සමඟය‍. මෙක්සිකෝවේ ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව ෂෙයින්බෝම්ය. ඇය ජනාධිපති ධුරය බාර ගත්තේ 2024 ඔක්තෝබර් 1 වැනිදාය.

‘එල් මෙන්චෝ’ අල්ලා ගැනීමට මාන බලමින් සිටි මෙක්සිකෝ බුද්ධි අංශවලට ඇමෙරිකන් බුද්ධි අංශවල සහාය ලැබුණි. මේ බව මෙක්සිකෝ රජය අවධාරණය කර ඇත. ‘එල් මෙන්චෝ’ ජලිස්කෝකඳුකර ප්‍රදේශයේ සැඟවී සිටින බව බුද්ධි අංශ දැන සිටියත්, සැඟවී සිටින තැන නිශ්චිතව දැන ගැනීමට ක්‍රමයක් නොතිබුණි. ඒ අනුව, බුද්ධි අංශ වැඩි අවධානය යොමු කළේ‘එල් මෙන්චෝ’ ඇසුරු කරන අය කෙරෙහිය. ‘එල් මෙන්චෝ’ගේ පෙම්වතිය යැයි කියන ළාබාල තරුණියක ගැන විස්තර බුද්ධි අංශ දැනගත්තේ ඒ අනුවය. මේ තරුණිය යන එන තැන් ගැන බුද්ධි අංශ විමසිල්ලෙන් පසුවිය.

මේ ළාබාල පෙම්වතිය ගැන විස්තර මෙක්සිකෝ රජය අනාවරණය කර නැත. එසේ වුවත් මාධ්‍ය වාර්තා අනුව, මැය 25 හැවිරිදි මරීයා ජුලීසාය. මැය සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය තැනැත්තියකි. නිරූපිකාවකි. සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට ආදරය කරන අගේ වීඩියෝ නරඹන ෆලොවර්ස් ගණන මිලියන 3.5 කි. මරීයා ජුලීසා ‘එල් මෙන්චෝ’ගේ ළාබාල පෙම්වතිය බව මාධ්‍ය ආයතන කීපයක් තහවුරු කර ඇති අතර ඉකුත් සති අන්තයේ ජුලීසා සිටියේ ‘එල් මෙන්චෝ’ සමඟ බව ද එම මාධ්‍ය ආයතන පවසයි. ඒ ඔවුන්ට ලැබුණු තොරතුරු අනුවය. මෙක්සිකෝ ආරක්ෂක අංශවලට ‘එල් මෙන්චෝ’ සිටින තැන නිවැරදිව දැන ගැනීමට හැකිවූයේ ද ඇය නිසාය. මේ විස්තර ප්‍රසිද්ධියට පත් වෙද්දී මේවනවිට ජුලීසාට මරණ තර්ජන එල්ල වීමට පටන් ගෙන ඇත. තමන් සහ ‘එල් මෙන්චෝ’ අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ජුලීසා තරයේ පවසා තිබේ. නිල නොවන වාර්තා අනුව, මරීයා ජුලීසා ඉකුත් සති අන්තයේ සිටියේ ‘එල් මෙන්චෝ’ගේ තුරුළේය. මෙක්සිකෝ හමුදාවට,‘එල් මෙන්චෝ’සිටින තැන ගැන ඔත්තුව දුන්නේ ඇයයි. ඒ අනුව, පසුගිය 22 වැනිදා ඉරිදා මෙක්සිකෝ හමුදාව ‘එල් මෙන්චෝ’ දඩයම ඇරැඹිණි.

මෙක්සිකෝ හමුදාව, නියමුවන් රහිත ඔත්තු නිරීක්ෂණය ඩ්‍රෝන යානාසහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින්, ‘එල් මෙන්චෝ’ සැඟවී සිටි ස්ථානය වට කළේය. ‘එල් මෙන්චෝ’ට අයිති බල ප්‍රදේශයේ දී ඔහු වට කිරීම දිවි පරදුවට තැබීමක් බව මෙක්සිකෝ සොල්දාදුවෝ දැන සිටියහ. එසේ වුවත් ඔවුන් ඒ අවදානම ගත්තේ, ‘එල් මෙන්චෝ’ කල්ලිය සිටින්නේ නීතියට ඉහළින් නොවන බව පෙන්වමිනි. ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ කල්ලි සාමාජිකයන් සහ හමුදාව අතරේ දරුණු මෙන්ම බිහිසුණු අවි ගැටුමක් ඇවිළුණි. ‘එල් මෙන්චෝ’ තමන්ගේ සාක්කුවේ සිටි දේශපාලනඥයන්, පොලිස් ලොක්කන් ආදී සැමට ඇමතුම් දුන්නේ ගැලවීමට මඟක් සොයමිනි. කිසිවක් සාර්ථක නොවිණි.

අවි ගැටුමෙන් හමුදා සෙබළුන් ඇතුළු මෙක්සිකානු ආරක්ෂක අංශ සාමාජිකයෝවිසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ කල්ලි සාමාජිකයන් ගණන 30 කට වැඩිය. අති නවීන ගිනිඅවි, රොකට් විදින ආදිය අපරාධ කල්ලි සාමාජිකයන් සතුව තිබී පසුව මෙක්සිකෝ ආරක්ෂක අංශ අතට පත්විය.බරපතල ලෙස තුවාල ලැබූ ‘එල් මෙන්චෝ’මියගොස් ඇත්තේ රෝහලට රැගෙන යද්දීය. ‘එල් මෙන්චෝ’ මියගිය බව දැනගත් සැණින්, ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ සාමාජිකයන් වියරු වැටුණු අතර ඔවුහූ ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවන පළාත්වල සහ නගරවල ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කළහ. අපරාධ කල්ලිසාමාජිකයන් වියරු වැටී සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට මෙක්සිකෝ ආරක්ෂක පියවර ගනිමින් සිටින බවත්, රටේ ආරක්ෂාව ගැන බිය විය යුතු නැති බවත් මෙක්සිකෝ ජනාධිපතිනිය ජාතිය අමතමින් අවධාරණය කළාය.

‘එල් මෙන්චෝ’ගේ අභාවයත් සමඟ ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ කල්ලිය අභ්‍යන්තරයේ දැවැන්ත බල අරගලයක් නිර්මාණය වී ඇතැයි පැවැසෙයි. ඒ, කල්ලියේ මීළඟ නායකයා වන්නේ කවුරුදැයි යන්න සම්බන්ධයෙනි. ඒ අනුව කල්ලියේ සාමාජිකයන් අතරේ ද ගැටුම් පවතින බව වාර්තා වේ. මෙක්සිකෝවේ ජලිස්කෝසහ කොලිමා ප්‍රාන්තවල ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෙඩි හුවමාරු ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි. ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ කල්ලියේ ප්‍රතිවාදියා ලෙස සැලකෙන්නේ ‘සිනලෝවා කාටෙල්’ කල්ලියයි. මේ වනවිට ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ කල්ලියට අභියෝග කරමින් ‘සිනලෝවා’ කල්ලිය ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ කල්ලියට අයත් බල ප්‍රදේශ අල්ලා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව ද පැවැසෙයි. ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ කල්ලිය පිහිටුවීම සිදු කළේ ‘එල් මෙන්චෝ’ බැවින් එහි පාලනය ඔහුගේ දියණිය වන ජෙසිකා ජොආනා ඔසෙගුවේරාට හිමිවිය යුතු බව පැවැසෙයි. ජෙසිකා ජොආනා ඔසෙගුවේරා අපරාධ රැජිනක ලෙස ප්‍රකට තැනැත්තියකි.

නෙමේසියෝ රුබෙන් ඔසෙගුවේරා සර්වන්ටෙස් හෙවත් ‘එල් මෙන්චෝ‘ උපත ලබා ඇත්තේ 1966 ජූලි 17 වන දින මෙක්සිකෝවේ මිකොකාන් පළාතේ දිළිඳු පවුලකටය. කුඩා කල සිටම ඔහු අලිගැටපේර වගාවන්හි සහ පසුව මත්ද්‍රව්‍ය වගාවන්හි අත් උදව්කරුවකු ලෙස කටයුතු කළ බව පැවැසෙයි. ඔහු කලක් මෙක්සිකෝවේ පොලිස් නිලධාරියෙකු ලෙසද සේවය කර ඇති අතර, පසුව ඉන් ඉවත්ව අපරාධ ලෝකයට පිවිස සිය බලය ව්‍යාප්ත කළ බව පැවැසෙයි.

‘එල් මෙන්චෝ විවාහ වූයේ මත්ද්‍රව්‍ය ජාල සමඟ සමීප සබඳතා පැවැත්වූ පවුලක සාමාජිකාවක වන රොසලින්ඩා ගොන්සාලෙස් වැලෙන්සියා සමඟය. මැය ද එසේ මෙසේ තැනැත්තියක නොවෙයි. සිත්පිත් නැති අපරාධකාරියකි. ‘එල් මෙන්චෝ’සහවැලෙන්සියාට දරුවන් තිදෙනකු සිටින අතර, වැඩිමහල් පුත්‍රයා රුබෙන් ඔසෙගුවේරා (මොහු එල් මැන්චිටෝ යන නමින් හැඳින්වෙයි. මොහුද දරුණු අපරාධ කල්ලි සාමාජිකයකු සහ ජාවාරම්කරුවෙකි.) මේ වන විට සිටින්නේ ඇමරිකාවේ සිරගතවය.

ලුසිත ජයමාන්න