කොළඹ නාරද බෞද්ධ ධර්මායතනාධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ හිමියන්ගේ පනස්වැනි ජන්ම දිනය ඉකුත්දා (27) යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1990 වසරේ ඉරු දිනෙක මහරගම, සිරි වජිරඤාණ ධර්මායතන ආවාස ගෙය අසලදී මාගේ දහම් පාසල් සගයකු වූ සිසිර සමඟ පිළිසඳරක නිරත වෙමින් සිටි චන්දකිත්ති හිමියන් හඳුනා ගතිමි.

එවකට තුදුස් වියැති හෙරණපාණන් වහන්සේ නමක වුව ද අග්ගමහාපණ්ඩිත අතිපූජණීය මඩිහේ පඤ්ඤාසීහ මහනායක මාහිමිපාණන් වහන්සේගේ උපස්ථායක ස්වාමීන් වහන්සේ සමග සාමනේර සමයේ සිටම දීමට දිගහැරුණු දෑතක් උන්වහන්සේ සතු විය. තමනට ලැබෙන දෑ ගිහි පැවිදි දෙමිතුරන් අතරේම බෙදා දුන්නේ සිනාමුසුවය. දන් පිණිස පිළිගන්වන කැවිලි පළතුරු කොටසක් නොවළඳා වෙන්කරගෙන බලා සිටින චන්දකිත්ති පොඩි හාමුදුරුවන් හමුවීමට දහම් පාසල අහවර වී හෝ දහම් පාසල අතරතුර ආවාසය වෙත එළැඹීම රසවත් මතකයකි.

පණ්ඩිත උපාධිය සමත් වූ අලු‍තම, පණ්ඩිත හාමුදුරුවෝ, යයි ආමන්ත්‍රණය කර, නොදන්නා පණ්ඩිතකම් පිළිබඳව තදබල දෙසුමකට සවන් දීමට අප කීප දෙනෙකුට සිදු විය. සාමාන්‍ය භික්ෂු අධ්‍යාපනයෙන් ඔබ්බට ඉංග්‍රීසි හා ගණිතය හැදෑරීමට වෙසෙසි උනන්දුවක් උන්වහන්සේ තුළ විය. මමත් සිසිරත් අපගේ පාසල් ගණිත පෙළ පොත් ඇසුරින් ගණිතය උගන්වද්දී උන්වහන්සේ අපට පාළි ඉගැන්වූහ. කෙටි කලකින් චන්දකිත්ති හිමියන් හොඳ ගණන්කාරයකු වූ අතර මට යන්තම් පාළි ගැටගසා ගැනීමේ හැකියාව ලැබිණ.

වර්තමානයේ වැඩ වෙසෙන විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේගේ අංකුර අවධියේ බණ ඇසීමට මම වාසනාවන්ත වීමි. ධර්මාසනයේ අසුන්ගත් කල දෙපා බිම නොගැටෙන අවධියේදී දහම් පාසල් පෝදා සීල සමාදාන වැඩසටහනේ උන් වහන්සේ ධර්ම දේශනා කළහ. දේශනාව අවසන්ව ධර්ම ශාලාවේ සිට ආවාසයට වැඩම කරන අතර ධර්ම දේශනාවේ ගුණ අගුණ හා නොතේරුණු කරුණු ගැන විමසමින් මීළඟ පෝය දිනයට වඩා හොඳ ධර්ම දේශනාවක් සිදු කිරීමට උන් වහන්සේ තුළ වූ උනන්දුවේ ප්‍රතිඵල අද විද්‍යමාන ය.

චන්දකිත්ති හිමියන්ගේ දීප ව්‍යාප්ත අසරණ සරණ සේවාවන් පන්නරය ලබන්නේ සිරි වජිරඤාණ ධර්මායතනස්ථ තරුණ සීල සමාදානයේ ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කළ සමයේය. අසරණ පවුලක් වෙනුවෙන් පළමුව නිවසක් ඉදි කළේ හලාවතට නුදුරු ගම්මානයක හිමිදිරි පාන්දර මහරගමින් පිටත් වන තරුණ පිරිස සවස් යාමය වන තෙක් නිවෙස ඉදිකිරීමේ කාර්යයට අත් උදව් දෙන්නේ වියදම් අඩු කර ගැනීමටය. මෙම කටයුතුවලදී ස්වාමීන් වහන්සේ ගිහියන් හා උරෙනුර ගැටෙමින් දහදිය වැගිරූ ආකාරය විස්මයජනකය.

කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ පැවැත්වූ ශ්‍රමදානයන් ද සුවිශේෂී මතකයන්ය. දෙරෝහලේම වාට්ටු දෙක බැගින් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කිරීමේදී ස්වාමීන් වහන්සේ රෝහල් ඇඳන්වල තීන්ත ආලේප කළ අයුරුත් වැඩ අවසානයේ තීන්තේ පැල්ලම් සහිත සිවුර දරාගෙනම රෝහල් කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට සෙත් පැතූ අයුරුත් මතක ය.

2005 වසරේ පිහිටුවනු ලැබූ ධම්මදීප පදනම හරහා මේ වනවිට ප්‍රතිලාභ ලබා නොමැති දිස්ත්‍රික්කයක් සිරිලක තුළ නොමැතිවීම චන්දකිත්ති හිමියන්ගේ අසරණ සරණ සේවාවන්ගේ දිග පළල මොනවට පැහැදිළි කරයි. ධම්මදීප පදනමේ සේවාවන් ලැයිස්තුවත් මතකයන් ලැයිස්තුවත් ඉතා දීර්ඝ ය. අප ස්වාමීන් වහන්සේගේ පනස් වසරක ජීවිතයෙන් මා හඳුනන තිස් හය වසර පිළිබඳ කෙටි සටහනක් තැබීම දුෂ්කරය. ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔස්සේ, ඔබ වහන්සේ සමඟ උරෙනුර ගැටෙමින් රැස්කරගත් පුණ්‍ය කුසල සම්භාරයන් ද මා දිවිය තුළ කවරාකාරයෙන් හෝ රැස්කරගත් සියලු පුණ්‍ය කුසල සම්භාරයන් ද ඔබ වහන්සේට අනුමෝදන් කරමි.

අකලංක සේනානායක

ලේකම් - ධම්මදීප පදනම