විසි වසරකට වැඩි කාලයක සිට ඇන්ටන් චෙකොෆ් නම් විශිෂ්ට රුසියානු ලේඛකයා පිළිබඳ විධිමත් හා ගැඹුරු අධ්‍යයනයක නිරතව සිටින ආචාර්ය පාලිත ගනේවත්ත මහතා පසුගිය කාලය තුළ චෙකොෆ් පිළිබඳව කෘති කිහිපයක්ම ලියා පළ කළේය.
ඇන්ටන් චෙකොෆ් සියවසරකට පසු කෙටිකතා, දොස්තර චෙකොෆ්, ඇනා ගෙල පැලඳ සහ තවත් කතා, ඇන්ටන් චෙකොෆ්ගේ ලියුම්, චෙකොෆ් පිළිබඳ සමකාලීනයන් ගේ සැමරුම් සටහන්, වැනි කෘති ඒ අතර කැපී පෙනේ. ගනේවත්ත මහතා තම උසස් අධ්‍යාපනය රුසියාවේ ලැබීම නිසා මුල් රුසියානු බසින්ම අනුවර්තනය කිරීම ද විශේෂත්වයකි. ගනේවත්ත මහතාගේ නවතම කෘතිය ද චෙකොෆ් හා බැඳෙයි. “ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතා දහයක්” එම කෘතියයි. එය නිකුත්ව ඇත්තේ රුසියාව ප්‍රකාශනයක් ලෙසිනි. මතු දැක්වෙන්නේ ආචාර්ය පාලිත ගනේවත්තයන් සමග අප කළ කතාබහක සටහනකි.
ප්‍ර ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා පිළිබඳව මෑත කාලයේ ඔබ විශේෂ අවධානය යොමු කරමින් අධ්‍යනයක යෙදුණු කෙනෙක්. ඔහුගේ කෙටිකතාවල ඔබ දකින සුවිශේෂත්වය කුමක්ද?
චෙකොෆ්ගේ කෙටිකතාවල තිබෙන විශේෂත්වය තමයි ඒවායේ තිබෙන සර්වකාලීන බව. මීට අවුරුදු එකසිය විසිපහකටත් වඩා කලින් ලියැවුණත් චෙකොෆ් නිරුපණය කරපු මිනිසුන්ගේ ගති පැවතුම්, ඔවුන්ගේ දුබලතා, අමනකම් ආදිය එදාටත් වඩා වර්තමානයට ගැලපෙන බව ආසියාතික රටවල අප පමණක් නොව චෙකොෆ්ගේ කතා ඉංග්‍රීසියෙන් කියවූ බොහෝ බටහිර සාහිත්‍ය විචාරකයන් පවා පවසා තිබෙනවා. චෙකොෆ් ඇත්තටම යථාර්ථවාදී කෙටිකතාව පළමු වරට හඳුන්වා දුන් ලේඛකයෙක්. බටහිර විචාරකයන් හඳුන්වා දී තිබුණු කෙටිකතා ආකෘතිය, ඒ කියන්නේ කෙටිකතාවට ආරම්භයක් හා අවසානයක් තිබිය යුතුය, ආරම්භයේ සිට කතා ශරීරය වර්ධනය කර කතාවේ උච්චස්ථානය කරා, එනම් අවසානය කරා ළඟා විය යුතුයි කියා පිළි අරගෙන තිබුණු සම්මතය පළමු වරට සහමුලින්ම බිඳ හෙළුවේ චෙකොෆ්. චෙකොෆ්ගේ සමහර කෙටිකතා හිටිය ගමන් ගහෙන් ගෙඩියක් වැටෙනවා වගේ පටන් ගන්නේ. අනිත් එක එක පාරටම අවසන් කරනවා. ඒකට හේතුව තමන් ලියන කෙටිකතාවක එකම අනවශ්‍ය වචනයක් වත් ඇතුළු කරන්ට ඉඩ දුන්නේ නැහැ. ඒ සංක්ෂිප්ත බව තමයි ඔහුගේ කතාවල ඇති එක විශේෂත්වයක්.
ප්‍ර විශ්ව කෙටිකතා කලාව මේ වනවිට ඉතා ඉදිරිගාමී තැනක තිබෙනවා. එම නව්‍ය ආකෘතීන් හා සමගාමීව බලද්දී චෙකොෆ්ගේ කතා කලාව සම්ප්‍රදායික යැයි හැඟෙන්නේ නැද්ද?
චෙකොෆ්ගේ කෙටිකතා සම්ප්‍රදායික යයි කියන්ට බැහැ. අවුරුදු සීයකටත් වඩා පැරැණි ඔහුගේ කෙටිකතාව ගැබ්ව තිබුණු ලක්ෂණ වර්තමානයේ නව ප්‍රවණතාවයේ කෙටිකතාවල දක්නට ලැබෙන බව ප්‍රකට අමෙරිකානු කෙටිකතාකරුවකු වන රේමන්ඩ් කාවර් ප්‍රකාශ කළා. රේමන්ඩ් කාවර් තමයි කිව්වේ ලෝකයේ මෙතෙක් පහළවුණු විශිෂ්ටතම කෙටිකතාකරුවා ඇන්ටන් චෙකොෆ් කියල. පසුගිය විසි වසර තුළ ඇමෙරිකාවෙත් බටහිර යුරෝපීය රටවලත් චෙකොෆ්ගේ කෙටිකතා සංග්‍රහ විශාල ප්‍රමාණයක් මුද්‍රණය කරලා තිබෙනවා.
මහාචාර්ය හැරල්ඩ් බ්ලූම් 2009දී චෙකොෆ් ගැන ලියූ පොත සඳහන් කරලා තියෙනවා වර්තමානයේ ඇති ප්‍රධාන කෙටිකතා සම්ප්‍රදායන් දෙකෙන් එකක් චෙකොෆ් හඳුන්වා දුන් කෙටිකතා සම්ප්‍රදාය බව. චෙකොෆ් ගැන විශිෂ්ට හැදෑරීමක නිරතවූ මහාචාර්ය ඩොනල්ඩ් රේෆීල්ඩ් පවා සඳහන් කළේ බටහිර කෙටිකතාව වත්මන් ස්වරුපය දක්වා දියුණුවීමට චෙකොෆ්ගේ කෙටිකතා සම්ප්‍රදාය බෙහෙවින් බලපා ඇති බවයි.
ප්‍ර චෙකොෆ්ගේ කතා කලාව මාර්ටින් වික්‍රමසිංහට බලපෑවා ද?
මාර්ටින් වික්‍රමසිංහ ඉතාම උනන්දුවෙන් රුසියානු සාහිත්‍යය හැදෑරුවා. රුසියානු සම්භාව්‍ය ලේඛකයන් විශේෂයෙන්ම නිකොලේ ගොගොල්, ඇන්ටන් චෙකොෆ් වැනි ලේඛකයන් නිරූපණය කරපු චරිත හා ඒ චරිතවලට පසුබිම් වූ සමාජ පරිසරය අපේ රටේ සමාජ පරිසරය හා අපේ රටේ ගැමි ජීවිතය අතර සමානත්වය දුටුවා. පැරැණිම ඉංග්‍රීසි කතා අතර නැති යථාර්ථවාදී රීතියක් චෙකොෆ් ඇතුළු රුසියානු කතාකාරයන්ගේ කතා අතර තිබෙන බව මාර්ටින් වික්‍රමසිංහට වැටහුණා. අපේ යථාර්ථවාදී කෙටිකතාවට මග පෑදුවේ මාර්ටින් වික්‍රමසිංහයන් බව අපි අවිවාදයෙන් පිළිගන්නවා. ඔහුගේ ‘ජාතක කතා විමසුම’ වගේ පොතක එහෙම නැත්නම් ‘චෙකොෆ් හා ලංකාව’ වගේ පොතක සංසන්දනය කරනවා චෙකොෆ් ගේ කතාවලට පාදක වුණු පූර්ව විප්ලවීය රුසියාවේ සමාජය හා ලංකාවේ ඉඩම් හිමි ධනවතුන්ගේ තාඩන පීඩනවලට ලක්වුණු ගැමි ජනතාව හා ගැමි සමාජය අතර ඇති සමානත්වය. චෙකොෆ් ගේ කතා ඉතාම ආශාවෙන් අධ්‍යයනය කිරීමත් ඒ කතාවලට පසුබිම් වුණු ජීවිතයත් අපේ ගැමි ජීවිතයත් අතර සමානත්වයක් දැකීම නිසා නිසැකයෙන්ම මාර්ටින් වික්‍රමසිංහට චෙකොෆ් ගේ බලපෑම ඇතිවුණා කියලා කියන්ට පුළුවන්.
ප්‍ර ඒත් වික්‍රමසිංහ විශ්වාස කරන්නේ ලාංකික කෙටිකතාව දේශීය කතා කලාවේම වර්ධනයක් බව නේද?
මාර්ටින් වික්‍රමසිංහයන් විශ්වාස කළේ ගැමි ජනකතා ඇසුරෙන් සිංහල නවකතාව ආරම්භවෙලා වර්ධනය වුණු බවයි. විශේෂයෙන්ම ඔහු ජාතක කතා කෙරෙහි අවධානය යොමු කළේ ඒ නිසයි. ඔහු දැක්කා වත්මන් කෙටිකතාවලට වස්තු බීජ විය හැකි සිදුවීම් ජාතකකතා වල තියෙන බව. විශේෂයෙන්ම ඔහුගේ ‘ජාතක කතා විමසුම’ කියන පොතේ සඳහන් කරලා තිබෙනවා චෙකොෆ්ගේ ඇතුළු වර්තමාන බටහිර දියුණු කෙටිකතා, මෝස්තරය හා විකාශනය හා රීතිය විසින් ජාතක කතාවලට ඉඳුරා වෙනස් වෙනවා කියලා. ජන කතා රීතියෙන් ග්‍රන්ථාරූඪ කරලා තිබෙන ජාතක කතා සකස් කර ගත් විට වර්තමාන උසස් බටහිර කෙටිකතාවලට ළංවන බව වික්‍රමසිංහයන් විශ්වාස කළා. ඒ නිසා තමයි ඔහු නිගමනයකට එළැඹුණේ සිංහල කෙටිකතාව, නවකතාව ආදිය බටහිරින් ගත්තක් නොවේ අපේම පැරැණි ගැමි ජනකතාවල විකාශනයෙන් බිහිවුණු බව.
ප්‍ර වික්‍රමසිංහයන් ගෙනා යථාර්ථවාදී කෙටිකතා කලාව ජී.බී. සේනානායක කලාත්මක තලයට ඔසොවා තබනවා. ගුණදාස අමරසේකර එය තවදුරටත් පෝෂණය කරනවා. මේ කතාකරුවන් තිදෙනාට රුසියානු කතා කලාවෙන් යම් ආලෝකයක් ලැබුණා යැයි ඔබ සිතනවාද?
මේ ලේඛකයන් තුන්දෙනා ලියූ විචාරාත්මක නිබන්ධවල සඳහන් කරල තිබෙනවා ඔවුන්ට චෙකොෆ්ගේ බලපෑම ඇතිවූ අන්දම ගැන. මාර්ටින් වික්‍රමසිංහයන්ට චෙකොෆ්ගේ බලපෑම ගැන අපි කලින් ප්‍රශ්නයේදී කතා කළා. ජී.බී. සේනානායක ඔහුගේ විනි විඳිමි අඳුර පොතේ ලියා තිබෙනවා චෙකොෆ් තරුණ ලේඛකයකු ගැන ලියූ එක්තරා කෙටිකතාවක් තමන්ගේ ජීවිත කතාව ලෙස ඔහුට හැඟුණු බව. සාහිත්‍ය නිර්මාණයේ දී චෙකොෆ්ගේ කතාවලින් ලැබෙන පිටිවහල ගැන ඔහු ලියා තිබෙනවා ඔහුගේ ‘සාහිත්‍ය විග්‍රහය’ කියන පොතෙත් වගේම ‘මම එදා සහ අද’ කියන පොතෙත්. ගුණදාස අමරසේකර ඔහුගේ බොහෝ විචාර නිබන්ධවල සඳහන් කළා චෙකොෆ්ගේ නිර්මාණවල වැදගත්කම සහ තම නිර්මාණ කාර්යයට චෙකොෆ් ඇති කළ බලපෑම. ‘ජීවන සුවඳ’ 1989 මුද්‍රණයට ඇතුළත් කර ඇති කෙටිකතාව පිළිබඳ ලිපියෙත් චෙකොෆ්ගේ බලපෑම ගැන අවධාරණය කර තිබෙනවා.
ප්‍ර ලංකාවේ කතා කලාව මොනතරම් දියුණු වුවත් එය ලෝක සාහිත්‍යයේදී කැපී පෙනෙන බවක් පෙනෙන්නෙ නැහැ නේද?
මේකට හේතු කිහිපයක් තියෙනවා. අපේ රටේ නිර්මාණය වන හොඳ සාහිත්‍ය නිර්මාණ ලෝකයේ අනිත් භාෂාවලට පෙරළා අනිත් රටවලට හඳුන්වාදීමේ රජයේ වැඩපිළිවෙළක් නැහැ. මෙතෙක් පැවති කිසිම රජයක් මෙවැනි වැදගත් සාහිත්‍ය කර්තව්‍යයක් කෙරෙහි අවධානය යොමු කළ බවක් පෙනෙන්ට නැහැ. සිංහලෙන් ලියන හොඳ සාහිත්‍ය නිර්මාණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා රාජ්‍ය අනුග්‍රහය ඇතිව විශේෂ ලේඛක මණ්ඩලයක් මගින් අනුමත කරලා මේක සිද්ධ කරන්න පුළුවන්. මව්බසට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමට අපගේ ලේඛකයන් උනන්දු කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි. මෙහිදී ඉංග්‍රීසි අධ්‍යාපනය වැදගත් වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලාව තුළ ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි ආශාව වැඩි වෙන පාඨමාලා හඳුන්වාදීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ශ්‍රී ලංකිකයන්ගේ ජීවිතය නිරූපණය කරන නවකතා, කෙටිකතා, කාව්‍ය නිර්මාණ ආදිය ඉංග්‍රීසියෙන්ම ලියන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. පාසල් මට්ටමෙන්ම මෙය ආරම්භ කරන්න පුළුවන් දෙවැනි භාෂාවක් හැටියට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේදී.
ප්‍ර රටක සමාජ - ආර්ථික දේශපාලන පරිසරය එරටේ සාහිත්‍ය පෝෂණයට බලපාන්නේ කොහොමද?
රටක සමාජ ආර්ථික දේශපාලන පරිසරය තමයි සාහිත්‍යකරුවාගේ නිර්මාණවලට පාදක වන්නේ. ඒවගේම ඔවුන්ගේ නිර්මාණවලට අමුද්‍රව්‍ය සපයන්නෙත් රටේ සමාජ ආර්ථික දේශපාලන පසුබිම තමයි. සාහිත්‍යකරුවා, ලේඛකයා හැම තිස්සෙම පවතින සමාජයට වඩා ඉදිරියෙන් සිටින්නේ. සමාජයේ ඉදිරි ගමන පිළිබඳව අනිත් සාමාන්‍ය ජනතාවට නොපෙනෙන දැක්මක් ඔහුට තියෙනවා. එනිසා තමයි සමාජය තුළ දකින්නට ලැබෙන සමාජ අසාධාරණ වෙන්න පුළුවන්, සමාජ ප්‍රගතියට, ප්‍රගමනයට හේතුවෙන දේවල් වෙන්න පුළුවන් තමන්ගේ අන්තර්ඥානයෙන් දැකලා ඔහු ඒවා නිරූපණය වන ආකාරයට, ඒවා මතුකර උලුප්පා දක්වන ආකාරයට නිර්මාණයේ යෙදෙන්නේ. ඒ ගැටලුවලට විසඳුම් සෙවීම නොවෙයි සාහිත්‍ය කරුවාගේ කාර්යභාරය. ඔහුගේ කාර්යය ඒවා තියුණු ආකාරයෙන් මතුකර පෙන්වා ඒවා විසඳීමේ වගකීම දරන අයගේ අවධානය යොමු කරවීමයි.
(***)
සංවාද සටහන
ගාමිණී කන්දේපොළ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අදටත් විශිෂ්ටතම කෙටිකතාකරුවා චෙකොෆ්