ගල්පොත්තැන්න ග්‍රාම නිලධාරී වසමට අයත් නන්පේරියල් ප්‍රදේශයට ආසන්නතම නගරය බෙලිහුල් ඔය වේලනන්පේරියල් වතු යායේ කොටස් හතරක ගම්මාන හතරක ජනයා ජීවත්වන අතර ඔවුන්ගෙන් කොටස් 3ක් පමණ සිටින්නේ හතරවටින් කඳු වලින් වටවූ මහා පාතාලයකය. ඊට අමතරව පිහිටි නැග්රැක් ගම්මානය ඇත්තේ එම ගම්මානවලටත් වඩා අඩි දහස්ගණනකින් උසැති ලෝකාන්ත බෑවුමේ ඉහළ කෙළවරකය. ස්වභාවිකවම කොළ වර්ණයේ විවිධ ප්‍රභේද වලින් ඔප් නැංවුනු කඳු වැටි රාශියක් තිබෙන අතර ඉන් ඉතාමත් දිගින් පිහිටි උසම කඳු වැටිය නම් හෝර්ටන් තැන්න පිහිටි උස් බිමයි. මහා ලෝකාන්තයෙන් පහළ බලන සැමට පෙනෙන්නේ සුන්දර වූ උග්ගල්දූව වතු නිවාස වන අතර අප අද දිනයේ සැබවින්ම අප දකින සුන්දරත්වයේ ප්‍රායෝගික වූ අසුන්දර බව දැක විඳ ගත්තෙමු.
ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ තේ වගාව නිසා ලංකාවට ඉන්දියානු දමිළ වැසියන් බොහෝමයක් සංක්‍රමණය වුණි. තේ දල්ල හා බැඳි දමිළ ජන ජිවිත අද වනවිටත් පාරම්පරිකව එසේම ගලාගෙන යයි. 21 වැනි ශතවර්ෂයත් පසු වුවද ඔවුන් තවමත් පොදු පහසුකම්, නාගරීකරණ සැප සම්පත් නුදුටු ජන කොට්ඨාසයක් බව ඔබ නොදන්නවා ඇත. බෙලිහුල්ඔය නගරය සමනල වැව හා හිරිකටු ඔය මගින් ජල අවශ්‍යතාවය සපුරණ අතර එම ජල මුලාශ්‍ර ගලාගෙන එන්නේ නන්පේරියල් ඉහළ කොටස් හා හෝර්ටන් තැන්නේ නොඉඳුල් දිය උල්පත් වලිනි. නන්පේරියල් වතුයායේ සියලුම වැසියන් පානීය හා දෛනික ජල අවශ්‍යතා සපුරා ගන්නේ මෙම ජල මුලාශ්‍ර වලිනි. නන්පේරියල් මාර්ගයේ සිට හාගල කඳු පන්තිය හා තවත් දැවැන්ත කඳු වැටි පසුකරමින් කි.මි. 10 ක් පමණ ආපසු ප්‍රධාන වශයෙන් අතුරු මාර්ග බෙදීම පටන් ගනියි. කර්මාන්තශාලා කොටසින් ඉහළට ගිය පසු උග්ගල්දූව, ඉහළ කොටස හා නන්පේරියල් කොටස්වලට මාර්ගය තැනින් තැන බෙදේ.
හරිත පැහැයේ විවිධ වර්ණ අවස්ථා වලින් සමන්විත සුමට පා වියන් සේ දිදුලන කඳු වැටි කිහිපයක් මාර්ගයේ වම් අත තිබෙන අතර චිරි චිරියේ ගලායන කිරිකැටි ඔයට ඉහළින් පිහිටි අති දැවැන්ත කඳු පන්තිය කිලෝමීටර ගණනක් ඈතට දිවයයි. අඟල් 3 ක් 4 ක් පමණ උසැති වළවල් මතින් බයිසිකලයේ රෝද හැපි හැපී ගල් බොරළු පිරි ලිස්සන මාර්ගයේ ඉහළට ඇදෙන විට දිය ඇලි සහ දිය අගල් රාශියක් මුණ ගැසුණි. අහිංසක හිනාවකින් මුව සරසාගෙන, අප යන විට මග දෙපසට වී අප සමඟ නෙතගින් කථා කරන ඔවුන්ගේ දෙපා කොතරම් කටුක ගමන් වලට මුහුණ දී ඇත්දැයි අපට සිතුණි. මෙම මාර්ගයේ නැග්රැක් කොටසකට යනතුරු වැලමිට වංගු 32 ක් පමණ හමුවේ. සංචාරක ජීප් රථ, ලොරි, ත්‍රීරෝද රථ හැරුණු කොට වෙනත් වාහන වලට මෙම මගේ ගමන් ගැනීම දුෂ්කර හා අනතුරුදායකය.
බේකර්ස් වංගුව පසුකර තවත් ඉදිරියෙන් ඇති කඳු පන්තිය මුදුනට මාර්ගය ඇති බව අප දුටුවේ උදැහැනැක්කෙම වැඩ පල සඳහා මිනිසුන් ගෙන යන ටිපර් රථය මගිනි. කඳු වැටිය ඉහත්තාවේ මීදුම් රොද කැරකෙමින් පවතියි. කොයි මොහොතේ හෝ සුදු පුළුන් වළාකුළු සමස්ත කඳුයායම වසාගන්නා බව අපට දකින්නට ලැබෙන බව දැන සිටියෙමු.
කෙසේ හෝ නැග්රැක් ගම්මානයට පිවිසුම පිහිටි වංගුවේ ගලින් ලියූ නාමපුවරුවක් ඇත. එහි එතැන උස අඩි 6990ක් බව සඳහන්ය. එම ස්ථානයට පිටුපසින් පිහිටියේ දැවැන්ත හෙලක් සහිත විවෘත වපසරියකි. එනම් බලංගොඩ දක්වා පිහිටි ප්‍රදේශයයි. එලෙසම ඉදිරියෙන්ද අප ආ මාර්ගයේ දැවැන්ත හෙල විය. මෙම ස්ථානය කන්දේ මුදුනතත් වන අතර එක්තරා ආකාරයක කපොල්ලක් බඳුය. මෙතැන සිට තවත් ඉහළට අප යා යුතු අතර එහි අවසානය නැගරැක් නිවාඩු නිකේතනයයි. මාර්ගය බොහෝ අබලන් වන අතර දිය අගලක් වම් පසින් දිවෙයි. ගල් බොරළු පිරි මග ලිස්සන සුළු වන අතර එවැනි ලිස්සීමක් මාරාන්තික හෙලකට වැටීමක් වන අතර මරණය පවා සිදු විය හැක.
කෙසේ හෝ අපට පෙරියසාමි සුබ්‍රමනියම් නම් එහි වෙසෙන කෙනෙකු මුණ ගැසුණු අතර ඔහු සමගත් ඉන්පසු මග දිගට අප හා දොඩමලුවුනු වතු වැසියන් සමග අප ඔවුන්ගේ දුෂ්කරතා හා ජීවන සැරිය ගැන තොරතුරු දැන ගත්තෙමු. පාරම්පරිකවම මෙම ප්‍රදේශයේ ජීවත්වන ඔවුන්ට එදා පටන් උරුම වූ ජීවනෝපාය නම් තේ දළු නෙලීමේ කර්මාන්තයයි. නමුත් සමස්ත කතිකාවන් තුළ අප ඔවුන්ගේ හදවත තුළ එක් ප්‍රාර්ථනාවක් දුටුවෙමු. එනම් අද ඔවුන්ගේ දරුවන්ට ඉගෙනීම අතින් ඉහළට යැවීමයි. එනම් ඔවුන්ගේ දරුවන්ට මෙම දුෂ්කර කටුක රැකියාව උරුම නොකර දී සමාජයේ හොඳ තලයකට ගෙන ඒමයි. ඒ දරු දැරියන්ගේ සුන්දර සිනා මුහුණු සේම අතවැනීම තුළින් අප දුටුවේ ඔවුන්ගේ හිත් තුළ තිබෙන දුෂ්කර හා දුක්ඛ බවයි.
මීට වසර කීහිපයකට පෙර අරඹන ලද පාසල පිහිටියේ කන්ද නැගීම පටන් ගන්නා ඉසව්වටත් පෙරය. වත්තේ සියලුම දරු දැරියන් එම පාසලට යන අතර නැග්රැක් දරුවන්ට කි.මී. 12 ක් අතිශය දුෂ්කර කඳු නැගීමක් හා බැසීමක් මගින් පාසලට යා යුතුය. එම නිසාම එම දරුවන්ව පාසලේ නේවාසිකව නවතා ඇත්තේ දෙමාපියන්ට ගමනාගමන පහසුකම් හෝ පොදු ප්‍රවාහන පහසුකම් එම ස්ථානයට නොමැති නිසාවෙනි. පඹහින්න සිට නන්පේරියල් දක්වා එන ලංගම බස් රථය කඳු ගැටය නගින්නේ නැත. එමනිසාම නැග්රැක් ජනතාවට උදේ හවා තම දෛනික වුවමනා සඳහා අවම වශයෙන් කිලෝමීටර් 8ක් පමණ දැවැන්ත කඳුතරණයක්, බැසීමක් කළ යුතුමය. මාර්ගයේ සමහර ස්ථානවල කොන්ක්‍රීට් අතුරා තිබුණත් බොහෝ ස්ථාන දැඩි ලෙස අබලන්ය. ගල් පතුරු ගැලවී බොරුළු පිරි කටුක මාර්ගයකි. සමහර වැඩිහිටි උදවිය නිරුවත් දෙපයින්ම මෙම මාර්ගයේ ගමන් කරන අතර ඔවුන්ගේ ගතද හිතද ඒ දුෂ්කර බවට හොඳින් පදම් වී හමාරය.
තවද මෙම වත්තට තැපැල් හලක් නොමැති අතර සිල්ලර වෙළඳ සැල්ද අතලොස්සක් පමණක් දක්නට ලැබේ. ප්‍රදේශයේ තිබෙන එකම රෝහලත් ඇත්තේ කන්ද නැගීම ආසන්නයේ වන නිසා හදිසි රෝගියෙකුට වුව පෙර කී අබලන් මගේ ගමන් කළ යුතුමයි. මේ වන විට නිහ්චිත වෛද්‍යවරයෙකු ස්ථිර ලෙස එම රෝහලේ නොමැති අතර බොහෝ මහලු උදවියට හා ගැබිණි මවුවරුන්ට මුහුණ දිය යුතු රෝගී තත්ත්වයන්වලදී එම ජනතාව බොහෝ ලෙස පීඩා විඳිති. ප්‍රදේශයට ජලයෙන් අඩුවක් නොමැති අතර ඔවුන් එය ඉතා ක්‍රමවත් ලෙස ප්‍රයෝජනයට ගනු ලබයි. වැසි සමයට කූඩැල්ලන්ගෙන් පීඩා විදීම ඔවුනට අරුමයක් නොවූවත් ඉහළ කොටසේ සමහර ස්ථානවල ගැවසුනු බල්ලන්ව හෝර්ටන් තැන්නේ වෙසෙන දිවියන් දඩයම් කිරීම විටෙක ඔවුන්ට තර්ජනයක් වී ඇත. බොහෝවිට දිවියා මිනිසාට පහරදීමට නොපෙළඹුනත් ගවයන්, බල්ලන් වැනි ගෘහස්ථ සතුන් දඩයම් කරගෙන නැවතත් කැලයට පලා යයි.
මාර්ග දුෂ්කරතාවයත් ප්‍රවාහනය හා සෞඛ්‍යය යන මුලික වුවමනා කිහිපය නිසා නැග්රැක් වැසියන් පීඩාවට පත්වන අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජයේ අවධානය ඔවුනට ලැබෙතැයි ඔවුන් අපේක්‍ෂා කරයි. මන්ද සදාකාලයටම තේ දළු අතර සැඟවී ඔවුන්ට ජීවත්විය නොහැක. පරිසරය අතිශය සුන්දර වූවත් ඔවුනට එහි කිසිඳු වගක් නැත්තේ ඔවුන්ගේ දිවි පෙවත එලෙස සුන්දර නැති නිසාවෙනි.
එම අසුන්දර බවේ තවත් පැතිකඩක් නම් නිවාස ප්‍රශ්නයයි. තවමත් අඩි 10 ං 10 ලැයිම් කාමරවල හිරවුණු ඔවුන්ට විදුලිය පිළිබඳ සිහිනයක් ඇස් ඉදිරියටම පැමිණ නැවතී සිටින්නේ දැනට වසරක පමණ කාලයක සිටය. පෙට්‍රල් මැෂිම, කුප්පිලාම්පුව මගින් රැය එළිය කර ගන්නා මොවුන්ට තවමත් විදුලිය ලැබී නැත. පහළ සමහර කොටස්වලට විදුලිය ලැබී ඇති අතර නැග්රැක් ජනතාවගේ නිවාස අසලටම විදුලි කණු ඇද තිබේ. පසුගිය රජය සමයේ එලෙස සිදුවු අතර තවමත් ඔවුන්ට විදුලිය ලබාදී නැත. වසර පහකින් පමණ නැවත ගෙවිය හැකි ලෙස සමෘද්ධි ණය මත අවශ්‍ය මුලික පදනම දමා ගත් මොවුන් විදුලි කණු දෙස බලා සිටින්නේ දුක් මුසුවෙනි.
විදුලිය ලබා ගැනීමට පවා මෙම ජනතාව ඉතා දැඩිලෙස කැපවී කණු, වයර් ඉහළට ගෙන ගොස් ඇති අතර වයර් හා කණු නිසිලෙස සිටුවාද තිබේ. නමුත් කෑලි කපන අඳුරත් මීදුමත් එළිය කිරීමට විදුලිය නොමැති වීම මොවුන්ට බලවත් ගැටළුවක් වී ඇත. රාත්‍රී කාලයේ පවතින අධික සීතලට එකට ගුලිවී පුංචි ඉඩෙහි නිදාගන්නා කම්කරු පවුල්වල නිවාස ඇතුළත පවා බොහෝ වෙනස්ය. මුළුතැන් ගෙය, නිදන කාමරය සියල්ලම එකම ප්‍රදේශයකි. වැඩිහිටියන්ගේ ගතේ සවියත් හිතේ ධෛර්යයත් නිසා මොවුන් මෙලෙස අඩි 7000 ක් උඩක සිට තම පවුල් ජීවිතය සාමකාමීව කරගෙන යයි.
අප යනෙන විට කුඩා ළමුන් බොහෝමයක් අප සිටි ස්ථානවලට පැමිණි අතර ඒ අහිංසක මුහුණ මත නැගුනු සිනාවට වඩා ඒ දෙනෙත් තුළ කියැවෙන ලොකු කථාවක් අප දුටුවෙමු. ඕනෑම විටක ඕනෑම කෙනෙකුට නොපැකිලිව උදව් කරන ඔවුන් හරකා බාන ඇතිකරමින් තම පාළුව කාන්සිය මකා දමයි. නැග්රැක් කොටසේ මාර්ගය පවා බොහෝ විට මීදුමෙන් වැසී පවතියි. මෙම ප්‍රදේශයේ ජනතාවට අනෙක් වැසියන්ට සේ පොදු පහසුකම් හිමිව නැති අතර මොවුන් එසේ යැයි කියා තම ජන්ම භූමිය අතහැර යාමට සුදානම් නැත. රටේ කොතැන හෝ ජීවත් වන පුරවැසියන්සේ මොවුන්ද මෙම ප්‍රදේශයේ සිටින්නේ ලංකාවේ විදේශ විනිමය උපයන තේ සඳහා දායක වෙමිනි.
මොවුන්ගේ තහඩු සෙවිලි කළ නිවස බොහෝ අබලන්ය. එක පොදියට පවුල් ගණනක් යාවුණු ලැයිම් කාමර පෙළේ වෙසෙන කොයි කවුරුත් එකිනෙකා සමග සුහදව කල් ගෙවයි. තාක්‍ෂණික නොහොඳින් වෙලී නොමැති මෙම ප්‍රදේශයේ පිරිස කෝවිල හා සබැඳි වත් පිළිවෙත් තුළින් යහපත් දිවි පෙවෙතක් ගත කරති. තවද තම ප්‍රදේශය ලස්සනට හා පිරිසිදුව තබා ගැනීමටත් මොවුන් නොපිරිහෙලා කටයුතු කරන බව අපට දක්නට ලැබුණි.
මේ කථාබහ අතරතුර අප ඉහළ කොටසේද සංචාරයක යෙදුනෙමු. සැබැවින්ම මොවුන්ගේ දිවි පෙවෙතේ කටුක බව විඳීමට නම් නගරයේ සැප කාමර වල සිටින උදවියට නොහැකි බව අප දුටුවෙමු. පරණ ලැයිම් කාමර පේළියේ සැමටම පොදු එළිමහනේ සැමටම නොහැකි බව අප දුටුවෙමු. පරණ ලැයිම් කාමර පේළියේ සැමටම පොදු එළිමහනේ සැමටම පොදු නාන පීල්ලයට දුෂ්කරව කල් ගෙවන මොවුන් එම දුක අප සමග බෙදාගත්තේ දැඩි අපේක්‍ෂාවකිනි. එනම් ඔවුන්ගේ ජීවිත වල යහපැවැත්ම උදෙසාත් ඔවුන්ගේ දරුවන්ට සුරක්‍ෂිත හෙට දවසක් උදා කරනු වස් උදෙසාත්ය.
මහා ලෝකාන්තයෙන් එබී බලන විට හරි අපූරුවට උග්ගල්දූව කොටස පෙනුනද ඔවුන්ගේ සැබෑ දුක දැනගැනීමට නම් නන්පේරියල් ආ යුතුමය. ලෝකාන්ත ප්‍රපාතයට යෑමට බොහෝ කාලයක් ගතවන අතර එහි තිබෙන අනතුරුදායක බවද වැඩිය.
කෙසේ හෝ අඩි 7000 ත් උඩ දිවි ගෙවන නැග්රැක් ගම්මානය අලංකාර වනුයේ නැග්රැක් බංගලාව නිසාවෙනි. නමුත් නිරන්තරයෙන් සොබාදහම සමග හරි හරියට හැප්පෙන ඔවුන්ට අව්ව වැස්ස හොඳහැටි පුරුදුය. අවසාන වශයෙන් අපටද සිතුනේ මෙම ප්‍රදේශයේ තිබෙන මාර්ග කොන්ක්‍රීට් කරදීමෙන් හා අතරමග නැවතුන විදුලිය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවූවහොත් නැග්රැක් මිනිසුන්ගේ මුවගටත් සිනහවක් එන බවය.
උදේ හවා ප්‍රධාන මං මාවත්වල රථ වාහන දකින ඔබ අපට රිසිසේ ආහාර පාන ගෘහස්ථ ද්‍රව්‍ය ලබා ගත හැකි වෙළඳසැල් බොහෝමයක් තිබෙන ඔබ අපට වඩා දවසේ පැය 24ම කඳු, දියඇළි හා සුදු මීදුම පමණක් දකින මිනිසුන්ගේ හා දරුවන්ගේ ජීවිතය කෙසේ විය හැකිද? නැග්රැක් බංගලාවට යන පිටස්තර පුද්ගලයන් හා ඔවුන්ගේ වාහන දකින විට ඔවුන්ටද සතුටු ය. මන්ද ඒවා කලාතුරකින් දකින නිසාවෙනි. ඔබ අපට සේම බෙලිහුල් ඔය වැසියන්ටද පොදු පහසුකම්, කාපට් ඇතිරූ සුපිරි මං මාවත් තිබෙන නමුත් අඩි 7000 ක් උසට කන්දක් නගින ජනතාවගේ සිතේ කෙතරම් ආශා තිබිය හැකිද? නිරුවත් දෙපයින් ඇවිදින විට කකුළේ හටගන්නා කරගැට තැලුම් රිදුම් පාසා ගෙවීයන ඔවුන්ගේ දුෂ්කර බව තුළ ඔවුන්ව සැමදා තැබිය යුතුද?
එසේනම් නැග්රැක් ජනතාවටත් ඔබ අප මෙන් සරල සාමාන්‍ය සමාජ රටාවක්, සමාජ වටපිටාවක් උරුම කර දිය යුතුය. මධ්‍යහ්න 12ටත් පොදියට කඳු වළල්ල වසාගෙන සිටින මීදුම මැද අප නිවෙස් බලා එන්නට පිටත් වීමු. ලිස්සන සුළු මාර්ගයේ නැවත පැමිණෙන විට අනතුරුදායක බව අධික වන අතර තිරිංග පද්ධතියේ ශක්තිමත් බව මෙහිදී ඔබටද වැටහෙනු ඇත.
තවත් දිනයක හිරිකටුඔය දිගේ නන්පේරියල් අඳුරු නිම්නය තුළින් තවමත් මිනිස් පය නොතැබූ ඉසව්වක් කරා යෑමේ අදිටනින් යුතුව අපේ ගමන නිමාවට පත් කළෙමු.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශාව තිබුණාට යන්න අමාරුයි. නයිට් එකක් නතර වෙලා ලෝකාන්තයට නගින්න පුළුවන් (බ)
මිට කලින් ලෝකාන්තේ පාමුල ඉඳලා මුදුනට ගිය ලිපියෙන් පස්සේ අපිත් ගියා මේ පැත්තේ සවාරියක්. ආයෙත් අහලා, පාර නම් ගන්න දෙයක් නැහැ. හැබැයි පරිසරය නම් දවස් ගානක් බලාගෙන ඉන්න තරම් ලස්සනයි. හිතාගන්න බැරි තරම් සුන්දරයි මේ පැත්ත. ලෝකාන්තේ මුදුනට නොපෙනෙන කොටස තමයි නන් පේරියල් සහ හෝර්ටන් තැන්න වෙන්කරන මායිම. මේ මිනිස්සු හැමදාම වැඩපල කරගන්න කිලෝමීටර් ගානක් කන්ද නගින්න බහින්න ඕනෑ. (නි)
2014 අන්තිම කාලේ ඒ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව කාලේ තමයි මේ නැග්ගේ කොටසට විදුලිය දෙන්න කණු වයර් අදාල තියෙන්නේ, එත් 2015 ජනවාරි ආණ්ඩු මාරු වුනාට පස්සේ ඉඳන් අද වෙනකන් මෙයාලට විදුලිය දීල නැ. මෙයාලගේ ගේ ළගටම වෙනකන් කණු හිටවල වයර් අදාල තියෙන්නේ එත් තම විදුලිය දීල නැ, ඇත්තටම මේ මිනිස්සු ගොඩක් පව්. (බ)
අනේ ඔය ඡන්ද ඉල්ලන දෙශපාලක තුමාලා මේ මිනිස්සුන්ගේ ගෙවල් ටිකවත් හදාගන්න උදව් වෙන්න පිං. (ර)
අපේ පුංන්චි දිවයිනේ මෙවැනි දුශ්කර ප්‍රදේශවල කිසි පහසුකමක් නොමැතිව ජාතිවාද නොතකා කාලාන්තරයක් තිස්සේ රටට අවශ්‍ය ව්දේශ විනිමය සොයා දෙන මෙම අසරණයන් ගැන විස්තර දැනගත හැක්කේ මෙවැනි නිර්භීත ගවේශකයන් පමණි. අපේ දේශපලඥයින් මෙවැන්නන් ගේ අඩුපාඩු ගැන කටයුතු කලයුතුය (රේ)
මේ විදිහට ලංකාවේ කඳුකරයේ ඉන්න මිනිස්සු ඔක්කොම ඒ පැත්තෙන් අයින් කරලා කොළඹට ගෙන්වන්න වෙයි. අපි කමතිද කොළඹ අතහැරලා මේ පැත්තේ ජීවත්වෙන්න අඩු පහසුකම් මැද? මේ මිනිස්සු ඉන්නේ අඩුපාඩු මැද, එයාලට සාධාරණය ඉටුවෙන්න ඕනෑ. ගේ ළඟටම වයර් ඇදලත් විදුලිය දීලා නැහැ කියන්නේ ගොඩක් ලොකු අසාධාරණයක්. ඒ මිනිස්සු අවුරුද්දක් තිස්සේ වයර් දිහා බලා ඉඳලා තියෙන්නේ. පව්. දේශපාලන පිල් මාරුවීම් වලදී වෙන අවාසනාවන්ත සිද්ධි තමයි මේ. (නි)
වටින ලිපියක්, හොද හෙළිදරව්වක්.(ම)
හරිම අගෙයි (ම)
සිල්වා මහත්තයෝ මොකුත් හිතන්න එපා. එයා කොහොමටත් "මැටි පහනනේ" (ර)
රශ්මි ,කොළඹ ඉඳන් එද්දී බෙලිහුල්ඔය ටවුන් එක පාස් කරලා පඹහින්න පෙත්තට එද්දී වම් පැත්තේ ලොකු නම පුවරුවක් තියෙනවා. ඒ පා බොහොම පටුයි වගේම අබලන්. ඒ පාරේ කිලෝමේටර් 20ක් එද්දී කඳු නැගගෙන වැලමිට වංගු 32ක් විතර අරන් පර ඉවර වෙන්නේ මේ "නැග්රක්" කියන කොටසින්. බංගලාවේ ඕන කෙනෙක්ට බුක් කරලා නවතින්න පුළුවන්. අනික මේ පෙත්ත පුද්ගලික වතු සමාගමකට අයිති නිසා එක තැනකදී පර ගේට්ටුවක් දාල වහල තියෙන්නේ. ඔෆිස් එකෙන් අවසර අරන් උඩට ගියහැකි. ටිපර්,ලොරි,ජීප්,බයික්,ට්‍රැක්ටර් වගේ වහනෙකින් තමයි අන්තිම කිලෝමීටර් 10 යන්න වෙන්නේ, නෙත්නම් පයින් යන්න එක තමයි හොදම සුන්දර අත්දැකීම.(හේ)
හැමතැනම ගම්මාන හදාගෙන කිසිම තේරුමක් නැහැ. සම්පත් නාස්තියක් විතරක් නෙමෙයි පරිසරයටත් හානිදායකයි. මේ ගම්මාන වසාදැමිය යුතුයි. සංචාරක නිකේතනයකට සුදුසු නම් ඒ විදියට හදලා ඒවායේ වැඩකරන අයට පමණක් ඒ නිකේතනයේ නවාතැන් දියයුතුයි. (නි)
මේ පළාතේ සුන්දරත්වය කියලා නිම කරන්න බැහැ. නම් නැති කඳු පන්ති වලින් වැටෙන දිය ඇළි සමහරක් බඹරකන්දටත් වැඩිය උසයි. බේකර්ස් බෙන්ඩ් එක කියන්නේ හරිම ලස්සන තැනක්. බොහොම දුෂ්කර පාරක් තියෙන්නේ. පොඩ්ඩ වැරදුනොත් කෙළින්ම හෙළට වැටෙන්නේ. හොඳ ලිපියක්. නඩයට ස්තුතියි (නි)
නිම්මි-ඕස්ට්‍රලියා, ඔබගේ අදහස ගොඩක් වටිනවා. (හේ)
ලංකාදීපෙට ස්තුතියි මේ වගේ ලිපි ගෙනාවට. අපි හැමදම මේ ලිපි පෙළ කියවනවා. ඒ වගේම යන්න පුළුවන් තැන් වලට යනවා (නි)
දිළිඳු වුවත් ලස්සන ජිවිත ගතකරන අය.... (නි)
සිල්වා, මේවා තේ වගාවත් එක්ක ආපු ගම්මාන තමයි. නමුත් එයාල අවුරුදු සිය ගණනක් තිස්සේ විඳින දුක ගැනයි මම මේ කියන්නේ. තැන ලස්සන ඉඳල හිටලා යන අපට විතරයි. මගේ කලින් කොමෙන්ට් එකේ කිව්වා වගේ නිකේතනයක් විදියට දියුණු කරන්න ඕන නම් ඒක කරන්න ප්‍රශ්නයක් නෑනේ. මේ වගේ තැනකට ගමකට අවශ්‍ය යටි තල පහසුකම් දෙනවට වඩා හොඳ තැනක පදිංචි කරන එක තමයි කරන්න ඕන. අනිත් එක තමයි ගමේ මිනිස්සුන්ගේ තියෙන පරිසරයට තියෙන ආදරය... නිකන් කියවන්න එපා ඒ ගැන. මටත් ඔය ප්‍රදේශයේ පොඩි ඉඩමක් තියෙන නිසා අත්දැකීමෙන් කියන්නේ. මෙයාල දිනපතා වල් ඌරන්ව, වන සතුන්ව මරනවා මස් වලට. වනයේ ගස් කපල අදිනවා, කවුරුවත් කඩෙන් ලී/ලෑලි ගන්නේ නෑ. කුණු දන්නේ දිය පාරවල් වලට. පරිසරය රකිනවා කියන්නේ මොකක්දවත් කියල මෙයාල දන්නේ නෑ. එයාල දෙකොන ගැටගහගන්න ඕන දෙයක් කරනවා. නිකන් ගිහිල්ල අහන්න මස් පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියලා. (ර)
සජිත්, ගමේ තියෙන බොරු ලස්සන ගැන, වෙනස් ආකාරයේ විසඳුමක් ගැනයි මම කිව්වේ. ඔයාට තේරුම් ගන්න අමාරුයි කියල මට තේරෙනවා. ඉන්ටනෙට් පාවිච්චි කලාට අපේ ජනතාව ඉන්නේ කොච්චර නම් පහත තැනකද කියලා හිතාගන්න පුළුවන් අර ඉස්කෝලයක් නැතුව ඉන්න ළමයගේ කතාව ඇහුවම. (ර)
ඔය පැත්තේ චාරිකාවක් ගිය දවසක් මම පොඩි කඩේකින් ඇහුව කුකුල් මස් ටිකක් ගන්න. එයාල ළඟ කුකුල් මස් තිබුන. ඊට පස්සේ මම නිකන් ඇහුව වෙන මස් වර්ග මුකුත් නැද්ද කියල. එතකොට මුදලාලි කොල්ලට කතා කරලා ඇහුව තියෙනවද කියල. ඒ පාර කොලුවා කියනවා පල්ලෙහා එකෙක් අහුවෙලා කියල ආරංචියි ගියොත් ගන්න පුළුවන් වෙයි කියල. මට එතකොට තමයි තේරුනේ මෙයාල කතා කරන්නේ දඩ මස් ගැන කියල. ඔන්න ඕකයි ඔය ගම වල තියෙන ලස්සන සහ එයාලගේ ඊනියා පරිසර ප්‍රේමය. (කෞ)
මැටිපහන, මේ ගම්මාන අද ඊයේ හදාගත්ත ඒවා නෙවෙයි, මේවා තේ වගාවත් එක්ක ඉපදුනු ගම්මාන. මේ මිනිස්සු අව්රුධු සිය ගනනක් තිස්ස්සේ ඉන්නේ මෙහෙ. පරිසරයට හරිම ආදරේ මිනිස්සු මේ. ඔබේ දැක්ම නම් ගොඩක් වරදයි වගේම කුහකයි නේද? එක දවසකට හරි මේ පැත්තට ගිහින් බලන්න, එතකොට තෙරෙව්යි. (බ)
ශාමින්ද රන්ශාන් ප්‍රනාන්දු මහතාණනි, ඔබේ මහත් උත්සාහය ඒ ජනතාවගේ දුක ඇගයීම මා අගය කරමි. ඔබේ උත්සාහයේ ප්‍රතිඵල ඒ මිනිසුන්ට ලබාදෙන්න නම් ඔබ කළයුත්තේ අපේ ජනාධිපතිතුමාට මේ නන්පෙරියල් ගම්වැසියන්ගෙන් ආරාධනාවක් කරවීමයි. ඒ ගමේ සංචාරය කර මේ අපේ රටේ ජීවත්වෙන අපේ දේශයට විදේශ විනිමය උපයන්න ජීවිත කාලෙම අවුව වැස්ස නොබලා කුසට අහරක් සොයාගන්න තම පවුලේ දුකම වෙනුවෙන් සැමදා ජීවිතය කැපකළ අප වැනිම තවත් අසරණ මිනිස් පරාණ වෙනුවෙන් රටේ මුදලක් වැයකර ඔවුන්ගේ ජීවිත ගොඩගන්න ඕනෑ (නි)
අදමයි ඇහුවෙත් මේ වගේ ගමක් ගැන. හරිම ලස්සන පැත්තක් වගේ, කොහොමද දන් නැ යන්නේ මෙහෙට? වැන් එකක යන්න පුලුවන්ද? (ර)
සිල්වා මහත්තයාගේ කතාවයි මටිපහනගේ කතාවයි හරි. මෙයාලට හොඳ වාසස්ථාන දුන්නනම් එයාල සත්තු මරන්නේ නැ. මිනිස්සුන්ට වැරද්දක් කරන්න පරිසරය හදල දෙනවට වැඩ ඒ මිනිස්සුන්ට හොදට ජිවත් වෙන්න තැනක් දුන්න නම් පරිසරයත් රැකෙනවා වගේම මිනිස්සුන්ගේ ජිවන තත්වයත් හොඳ වෙනවා. කොහොම නමුත් එයාල දැන් විදුලිය, මාර්ග,පාසැල,සෞඛය ගැටළු වලින් පෙළෙනවා, ඒවාට විසදුමක් දෙන්න ඕන.(කෞ)
අපි කැමත්යි මේ පැත්තට උදව් කරන්න. කරුණාකරලා විස්තරයක් දෙන්න පුලුවන්ද? (ර)
ඇත්තටම බැලුවොත් මේ පැත්තේ ඉන්නේ වතු වැඩට ආපු දෙමළ ජනයා.නමුත් කෝ ඔය පිට රටවල ජීවත් වෙන මහලොකු දෙමළ මිනිස්සු උදව් කරනවද ? මෙතන අදහස් දමද්දී තේරෙනවා අපේ රටේ ඇත්තටම අපි කාගෙවත් ජාති වාදී අදහස් නැති බව . හැම කෙනාම බලන්නේ අසරණ මිනිස්සු කියන දැක්ම පමණි . අපේ පිටරට සිටින උදවිය මෙන්න මේ සමගිය තිබෙන විදිහ ලෝකයට නොගේනියන එක තමා මේ ජාත්‍යන්තරය අප දෙස නරක විදිහට බලන්න හේතුව .(හේ)
හරිම හොද සටහනක්, අදමයි ඇහුවේ මේ වගේ තැනක් ගැන. ලන්කදීපෙට ස්තුතියි.(අ)
මටිපහනට මේ ප්‍රදේශයේ තියෙන පොඩි ඉඩම නිසා ..පරිසර හානිය ගැනයි ..වන සතුන්ගේ ජිවිත වලට ඇති අනුකම්පාව ගැන දොඩවනවා ...මේ මිනිස්සු අවුරුදු ගානක් ජීවත්වෙන ප්‍රදේශයක් මේක ..එහෙම නම් ඉතින් මහියංගනයේ වනාන්තර වල ජීවත් වෙන වැදි ජනයාත් නාගරික පළාත් වලට ගෙනියන්න ඕනේ නේ ... මේ අසරණ මිනුස්සු දිහා ඔයිට වැඩිය අනුකම්පාවෙන් හිතන්න (කෞ)