18_SLMA_P6_Back

 

හාල් මිල ගණන් ඇසූ විට පාරිභෝගිකයාගේ ඉහමොළ රත්වෙන තරමට මේ දිනවල හාල් මිල අස්ප ගණනින් ඉහළ ගොස් තිබේ. රුපියල් හැට හැත්තෑවට ගත් හාල් කිලෝවක් ගැනීමට දැන් අඩුම තරමින් රුපියල් අනූවක් හෝ ඊට වැඩි මුදලක් වැය කිරීමට සිදුවේ.


හාල් මිල මේ ආකාරයට කීප ගුණයකින් ඉහළ ගියද වී ගොවියාගේ අතට ලැබෙන ආදායමෙහි නම් කිසිදු වැඩිවීමක් සිදුව ඇති බවක් දැන ගන්නට නැත. වෙනදා වාගේම සිදුවී ඇත්තේ අතරමැදි වෙළෙඳුන් ලෙස ප්‍රකටව සිටින මහා පරිමාණ වී මෝල් හිමියන් හතර පස්දෙනෙකු තව තවත් පෝසත්වීම පමණය.
සහල් මිල ගණන් මේ ආකාරයට වේගයෙන් ඉහළ යෑම පසුපස මහා පරිමාණ වී මෝල් හිමියන් සිටින බව රහසක් නොවේ. ඇත්ත වශයෙන්ම ලංකාවේ සහල් මිල ගණන් තීරණය කිරීමේ අධිකාරී බලය රජරට පළාතේ සිටින මහා පරිමාණ සහල් වෙළෙඳුන් හතර පස්දෙනකු හිමිකරගෙන තිබේ. වර්තමාන රජය වී වලට සහතික මිලක් පනවමින් වී කිලෝවක් රුපියල් පනහකට මිලදී ගත යුතු බව පැවසුවද ගොවියාට එම සහතික මුදලට වී අලෙවි කළ හැක්කේ වී අලෙවි මණ්ඩලයට අයත් රජයේ වී ගබඩාවලට පමණි. එයද ලේසිපහසු කටයුත්තක් නොවේ. මන්ද එක් කන්නයකට නෙළන වී අස්වැන්න මුළුමනින්ම මිලට ගැනීමේ හැකියාවක් සහ ඒවා ගබඩා කිරීමේ පහසුකම් වී අලෙවි මණ්ඩලයට නැති නිසාය.


පසුගිය යල කන්නයේ නෙළුෑ වී අස්වැන්න රජයේ වී ගබඩාවලට අලෙවි කිරීම සඳහා ගොවීන් දිගු පෝලිම්වල සිට “මහා කට්ටක්” කෑ අයුරු අපි මාධ්‍ය ඔස්සේ දුටුවෙමු. සැබෑ ලෙසම සිදුවන්නේ සමස්ත වී අස්වැන්නෙන් සුළු ප්‍රතිශතයක් රජය මගින් මිලදී ගැනීමය. ඉතිරිය මිලට ගැනීමට ඉදිරිපත් වෙන්නේ පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාරිකයන්ය. එහිදී සුලභව සිදුවෙන්නේ කුණු කොල්ලයට තම වී අස්වනු පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කිරීම සඳහා ගොවීන්ට සිදුවීමය. ඒ හැර ඔවුන්ට වෙනත් විකල්පයක්ද නැත. නමගිය මහා පරිමාණ මෝල් හිමියන් ගොවීන්ගෙන් අඩු මිලට ලබා ගන්නා වී තොග නිසි පරිදි වෙළෙඳපොළට නිකුත් නොකිරීම මගින් සිදුවන්නේ කෘත්‍රිම සහල් හිඟයක් ඇතිවී සහල්වලට ප්‍රබල ඉල්ලුමක් ඇතිවීමය.


ඉල්ලුම ඇති විට සැපයුම සිදුකිරීමේදී ‘කල්ල මරේ’ බව මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෝ දනිති. එවිට ඔවුන් රුපියල් විසි තිස් ගණන්වලට මිලටගත් ගොවියාගේ වී තොග සහල් කර රුපියල් අසූ ගණන්වලට අනූ ගණන්වලට වෙළෙඳපොළට නිකුත් කිරීම මගින් අධික ලාභ ලැබිය හැකිය. මේ වනවිට සිදුවෙමින් තිබෙන්නේද එයයි. රුපියල් සීයකට කිට්ටු මුදලක් වැයකර හාල් කිලෝවක් මිලට ගන්නා පාරිභෝගිකයා වගේම හතර අතේ ණය තුරුස්වී කුඹුරු කරන අසරණ ගොවියාද මේ සෙල්ලමෙන් හෙම්බත් වෙනවිට අතරමැදියා යහමින් මුදල් උපයයි.


මේ ප්‍රශ්නයේදී අතරමැදි වෙළෙන්දාට චෝදනා කිරීමෙන් පමණක් ඵලක් නැත. සුළු පරිමාණ වේවා මධ්‍යම පරිමාණ වේවා මහා පරිමාණ වේවා වෙළෙන්දා වෙළෙන්දාමය. ලාභ ඉපයීම ඔවුන්ගේ ඒකායන අරමුණයි. වෙනසකට ඇත්තේ මහා පරිමාණ වෙළෙන්දා මහා පරිමාණයෙන් ලාභ ලැබීමට කටයුතු කිරීමය. නිෂ්පාදන ඉතාම අඩු මිලට ගෙන වැඩිම මිලට වෙළෙඳපොළට අලෙවි කිරීම ඔවුන්ගේ කලාවයි. එබැවින් ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් සිදු කිරීමට නම් කළ යුත්තේ රජය මැදිහත්වීම අර්ථවත් ලෙස සිදුවීමය. එනම්, ගොවියාගේ වී අස්වැන්නෙන් වැඩිහරිය රජය මගින් මිලටගෙන ඒවා සහල් කර සාධාරණ මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමය. අතිරික්තයක් තිබෙන්නේ නම් අපනයනය කිරීම ගැනද අවධානය යොමු කළ හැකිය.


අතරමැදි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් වෙළෙඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇතිකර තවදුරටත් සහල් මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කරන්නේ නම් සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බවත් මීට දින කීපයකට පෙර ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති පී. හැරිසන් මහතා මාධ්‍යයට පවසා තිබුණි. එලෙස පිටරටින් සහල් ආනයනය කළහොත් අඩු මිලට සහල් පාරිභෝගිකයා වෙත ලබාදිය හැකි බවද ඔහු එහිදී පවසා තිබිණි. මේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට රට හාල් ගෙනැවිත් මෙරට පාරිභෝගිකයාට කැවීම වෙනුවට කළ යුත්තේ ඇති තරමට වී නිෂ්පාදනය කරන අපේ රටේ වී ගොවියාගේ අස්වැන්නෙන් වැඩිහරිය රජය මගින් මිලදීගෙන ඒවා සාධාරණ මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමය. ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කළ හැක්කේද එවැනි දිගු කාලීන ප්‍රතිකර්මයකින් පමණි. එවැන්නකට නොගොස් පිටරටින් හාල් ගෙන්වන විසඳුමකට ගියහොත් රජයට සිදු වෙන්නේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කෘත්‍රිමව සහල් හිඟයක් ඇතිකර සහල් මිල ගණන් ඉහළ නංවන වාරයක් පාසා රටහාල් ගෙන්වන්නටය.


මෙවර අඩු වී අස්වැන්නක් ලැබීම නිසා පිටරටින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවද සමහරු අවධාරණය කරති. මහ කන්නයේදී නිසි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් වී වගා කරන දිසා රැසක වී අස්වනු අඩු වී තිබෙන බව සත්‍යයකි. එතෙක් ලබාදුන් පොහොර සහනාධාරය නවතා මුදල් ලබාදීමට රජය ගත් තීරණය ද මේ ආකාරයට වී අස්වැන්න අඩුවීමට බලපා ඇති බව ඇතැමුන්ගේ අදහසයි. විශේෂයෙන්ම එම පොහොර මුදල් නිසි කලට වේලාවට ගොවීන් වෙත ලබා නොදීම නිසා ගොයමට අවශ්‍ය අවස්ථාවේ පොහොර දැමීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවකට ගොවීන් මුහුන පා සිටින බවද ගොවි සංවිධාන කියයි. ඔවුන් පවසන පරිදි සමහර ප්‍රදේශවල ගොවියන්ට මෙම පොහොර සහනාධාර මුදල් ලැබී ඇත්තේ වී වගාව ආරම්භ කර මාස එකහමාරක් පමණ ගෙවී ගිය පසුය. තවත් සමහර ප්‍රදේශවල ගොවීන්ට මේ තාක් එම මුදල් ලැබී නැත. මේ සියලු තත්ත්වයන් නිසා පොහොර යෙදීම නිසි පරිදි සිදු නොවීමෙන් මේ කන්නයේ වී අස්වැන්න අඩුවී ඇති බව ඔවුහු කියති.


පොහොර වෙනුවට මුදල් ලබාදීමට රජය ගත් තීරණය පසුපස දේශීය වී ගොවියා කාබනික නොහොත් ස්වභාවික කෘෂිකර්මය වෙත නැඹුරු කරවීමේ අරමුණද තිබිණි. විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් වී වගාව සිදු කිරීමෙන් පස දූෂණය වීම, ආසනික් නමැති විෂ රසායනිකය පානීය ජලයට මුසුවීම මගින් වකුගඩු රෝග අවදානම ඉහළ යෑම වැනි කරුණු කාරණා නිසා ගොවියා කාබනික ගොවිතැනට හුරු කරවීම අත්‍යවශ්‍ය බව රජයේ අදහස විය. ඒ වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අසෝක අබේගුණවර්ධන යන අය පෙරමුණ ගෙන කටයුතු කරන අයුරුද අපි දුටුවෙමු. එම ව්‍යාපෘතියෙහි වර්තමාන තත්ත්වය හෝ එහි ප්‍රගතිය පිළිබඳ කිසිවක් කීමට අපි නොදනිමු.


කෙසේ වෙතත් වෙළෙඳපොළේ පවතින සහල් මිල ගණන් ඉහළ යෑම පාලනය කිරීම සඳහා රට හාල් ගෙන්වන්නට රජය කටයුතු කරන්නේ නම් කාබනික වී ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව ඒ ගැන තවදුරටත් සිතා බැලීමට සිදුවනු ඇත. මන්ද සහල් ආනයනය කරන්නේ නම් ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය වැනි රටවලින් ඒවා ගෙන්වීමට වැඩිඉඩක් ඇති නිසාත් එලෙස ගෙන්වන සහල්වල ගුණාත්මකභාවය පිළිබඳ දිය හැකි සහතිකය කුමක්ද යන්නත්ය.


වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් පිටරටින් සහල් ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් පැවසුණද වී අලෙවි මණ්ඩලය සතුව වී මෙටි්‍රක් ටොන් ලක්ෂ දෙකක් පමණ ඇතැයි කියවේ. එමෙන්ම එය රටේ සහල් අවශ්‍යතාවෙන් තවත් මාස දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් වෙන බවද පැවසේ. එසේ නම් කළ යුත්තේ මෙම වී තොග හැකි ඉක්මනින් සහල්කර වෙළෙඳපොළට නිකුත් කිරීමය. එය සිදු කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටියකට අනුව තරගකාරී මිල ගණන් යටතේ මෝල් හිමියන් වෙත ලබාදීම අත්‍යවශ්‍යය. එසේ නොමැතිව රජරට පළාතේ සිටින ප්‍රකට හාල් වෙළෙන්දන් හතර පස්දෙනා අතර මේ වී තොගය බෙදාදීමට කටයුතු කළහොත් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.

 

1

 


 

අප ළඟ ඇති වී තොග නිකුත් කරන්න සූදානම්

SLD_20161218_A006-5

වී අලෙවි මණ්ඩලයේ සභාපති
එම්. ඩී. දිසානායක


දැනට අප සතුව තියෙන වී තොග නිකුත් කරන්න අපි පියවර ගනිමින් ඉන්නවා. මිල ගණන් කැඳවලා අවසාන තීන්දුව ගැනීම සඳහා ආර්ථික කළමනාකරණ කමිටුවට දාලා තියෙන්නෙ. 
මහ පරිමාණ මෝල් හිමියන්ට මේ වී තොග දෙන්න යනවා කියන කතාවෙ කිසිම පදනමක් නෑ. මෝල් හිමියො කීදෙනෙකු අතර වී තොගය බෙදනවද, කීයටද බෙදන්නෙ කියන තීරණය ගන්නෙ ආර්ථික කළමනාකරණ කමිටුව මගින්.


 

අතරමැදියා ලාබ ලබනවා

SLD_20161218_A006-3

පාරිභෝගික අයිතීන් 
සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති
රංජිත් විතානගේ


අපේ ගොවියන්ගෙ වී අස්වැන්න රජය මගින් නිසියාකාරව මිලදී ගන්න වැඩපිළිවෙළක් හදනවා නම් අපිට මේ ප්‍රශ්නෙට මූණදෙන්න පුළුවන්. නමුත් දැන් වෙන්නෙ අතරමැදියා විශාල වශයෙන් ලාභ ලබන එක. අතරමැදියො කරන්නෙ ගොවියන්ගෙන් ඉතාම අඩු ගාණට වී මිලට අරගෙන ගබඩා කරලා වෙළෙඳපොළේ හාල් හිඟයක් ඇති කරලා ඉල්ලුම වැඩි වුණහම වැඩි මිලකට හාල් නිදහස් කරන එක. මේ නිසා තමයි අද මේ විදියට හාල් මිල ගණන් වැඩිවෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි අපි කියන්නෙ කෘෂිකර්ම අමාත්‍යාංශයයි, වී අලෙවි මණ්ඩලයයි, සතොසයි එකතුවෙලා ගොවියගෙ වී අස්වැන්න මිලදී ගන්න නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුය කියලා. එහෙම කළොත් විතරයි ගොවියටයි පාරිභෝගිකයටයි කියන දෙන්නටම වාසියක් වෙන්නෙ. ඒත් ආණ්ඩුව දැන් කරන්නෙ අතරමැදියට කෝටි ගණන් වාසි ගන්න දීලා බලන් ඉන්න එක.


 

වතුර තියෙද්දිත් වතුර දුන්නෙ නෑ: පොහොර සහනාධාරත් පරක්කු වුණා: ඒකෙන් අස්වනු අඩුවුණා

SLD_20161218_A006-2

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති
නාමල් කරුණාරත්න

 

අද මේ විදියට හාල් මිල ගණන් ඉහළ ගිහින් තියෙන එකට වගකියන්න ඕනෑ මේ ආණ්ඩුව. එකක් තමයි පහුගිය යල කන්නයෙදි හොඳට වැහැලා වැව් උතුරලා වාන් දමද්දිත් ගොවිතැනට වතුර දුන්නෙ අඩුවෙන්. මහ කන්නයෙදිත් ඒකමයි කළේ. ඒ නිසා මහ කන්නයේ වී වගාව කරපු බිම් ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. මහ කන්නයේ වර්ෂාව නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ සියලු හේතු උඩ මේ කන්නයේ කිසියම් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වුණා. අනික තමයි පොහොර සහනාධාර මුදල් හරි වෙලාවට නොදීම නිසාත් මේ කන්නයේ අස්වැන්න අඩුවෙන්න හේතුවක් වුණා. සමහර ප්‍රදේශවල ගොවීන්ට තවම ඒ මුදල් ලැබිලා නෑ.


මේ වෙනකොට රජය සතු ගබඩාවල වී තොග මෙටි්‍රක් ටොන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ ටික හාල් කළොත් රටට මාස දෙකක් විතර බත් දෙන්න පුළුවන්. මේ වී තොගයෙන් ලක්ෂ එකහමාරක් නිදහස් කරන්න ආණ්ඩුව තීරණයක් ගත්තට පස්සෙ මෝල් හිමියන්ට දැන්වුවා ලියාපදිංචි වෙන්න කියලා. ඒ අනුව මෝල් හිමියොත් ලියාපදිංචි වුණා. කොහොම වුණත් ආණ්ඩුවෙ අරමුණ වුණේ හැමදාම කරනවා වගේ මේ වී ටිකත් මහාපරිමාණ මෝල් හිමියන්ට දෙන්න. මේ අය තමයි අපේ හාල් වෙළෙඳපොළ හසුරවන්නෙ. රුපියල් විසි ගණන්වලට වී ගොවියගෙන් වී අරගෙන අද ඒවා රුපියල් අනූ ගණන්වලට විකුණන්නෙ මේගොල්ලො තමයි. රජයේ ගබඩාවල දැන් තියෙන වී ටිකත් මේ මහා පරිමාණ මෝල් හිමියන්ට දුන්නොත් වෙන්නෙ හාල් මිල දැන් තියෙන ගාණටත් වඩා වැඩි වෙන එක. නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියො රජයෙන් ඉල්ලනවා මේ වී තොග අපිට දෙන්න, අපි ඉතාම අඩු ගාණකට සහල් වෙළෙඳපොළට දෙන්නම් කියලා. පාරිභෝගිකයා ගැන ආණ්ඩුව හිතනවා නම් ඒක තමයි කළ යුත්තෙ. අපි මාධ්‍ය හමුවක් පවා තියලා මේ ගැන කිව්වා. පස්සෙ අපි මේ ගැන ජනාධිපතිතුමාටයි හැරිසන් ඇමැතිතුමාටයි ලිව්වා. ඒත් අද වෙනකන් කිසිම සාකච්ඡාවක්වත් දීලා නෑ.


ගොවියගෙන් තුට්ටුදෙකට වී මිලට අරගෙන වෙළෙඳපොළේ කෘත්‍රිම හාල් හිඟයක් ඇති කරලා වැඩි මිලට හාල් විකුණලා අතිවිශාල ලාභ ලබන මහා පරිමාණ මෝල් හිමියන්ට මේ වී තොගය දෙනවද එහෙමත් නැත්නම් රටේ දෙවුන්දරතුඩුවෙ ඉඳලා පේදුරුතුඩුව දක්වා සෑම තැනකටම අඩු මිලට හාල් දෙන්න පුළුවන් කියලා කියන කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට මේ වී තොගය දීලා පාරිභෝගිකයව ආරක්ෂා කරන්න ආණ්ඩුව කටයුතු කරනවද කියලා අපි බලන් ඉන්නවා.


මහා පරිමාණ මෝල් හිමියො කුඩා පරිමාණ මෝල් හිමියොන්ට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. හැරිසන් ඇමැතිවරයා ඉන්නෙත් ඔය මහා පරිමාණ මෝල් හිමියො එක්ක.


අනිත් කාරණය තමයි ආණ්ඩුව පිටරටින් හාල් ගෙන්වනවා කියලා කිව්වට ඒ වගේ විෂ රසායන, ආසනික් නෑ කියලා කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. වැඩි අස්වැන්නක් ගන්න විෂ පොහොර නාවපු හාල් තමයි පිටරටවල්වලින් අප රටට එවන්නෙ.


 

ගොවීන් වැඩි වාසි ගන්න කීරි සම්බා වගා කළා

අරලිය සහල් ව්‍යාපාරයේ සභාපති ඩඞ්ලි සිරිසේන

 

SLD_20161218_A006-4සහල් මිල ඉහළ යාමට හේතු පාදක වූ කරුණු පිළිබඳවත් සහල් මිල පාලනය කළ හැකි ආකාරය පිළිබඳවත් දිවයිනේ ප්‍රසිද්ධ සහල් නිෂ්පාදකයකු වන ඩඞ්ලි සිරිසේන මහතා අදහස් පළකරයි.
ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයකුද වේ.


ප්‍රශ්නය : මේ දිනවල සහල් හිඟයක් සහ වී හිඟයක් පවතිනවද රට තුළ? ඒ ඇයි? 
පිළිතුර :
අනිවාර්යයෙන්ම තියෙනවා. පසුගිය කාලේ ආණ්ඩුව නාඩු වී කිලෝවක මිල රුපියල් 38ක් කළා. සම්බා වී කිලෝව රුපියල් 41ක් කළා. කීරි සම්බා රුපියල් 50 කළා. මේ නිසා ගොවීන් තමන්ගේ ආර්ථික වාසිය බලලා විශාල වශයෙන් කීරි සම්බා වී වගා කළා. මෙවර වී නිෂ්පාදනයෙන් සීයට හැටක් පමණ කීරි සම්බා තමයි වගා කරලා තියෙන්නේ. මේ නිසා ගොඩක් අය සම්බා වී වගා කළේ නෑ. 
සීයට 25යි සම්බා, සීයට පහළොවයි නාඩු වගා කරලා තියෙන්නේ. කීරි සම්බා වී ඕනැවට වැඩියෙනුත් දැන් රටේ තියෙනවා.
-කීරි සම්බා වී වලට මිලක් නියම කරන්න අවශ්‍ය නෑ. ඒකට පාවෙන්න දෙන්න ඕනෑ. ඒ වී සඳහා හැමදාම හොඳ මිලක් පවතිනවා.”


ප්‍රශ්නය : දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැව්වල ජලය නැහැ. වගා අතහැර දමලා. ඉදිරි වසරේ වී හිඟයක් පවතීද? ඒ සඳහා මුහුණ දිය හැකිද?
පිළිතුර :
දෙසැම්බර් වර්ෂාව ලැබුණෙ නෑ. හැබැයි අපිත් විශ්වාසය තියාගෙන ඉන්නවා ජනවාරි විතර වෙනකොට වැසි ලැබෙයි කියලා. එහෙම උණොත් සීයට අසූවක් හෝ වගා ආරම්භ කරන්න පුළුවන්. පවතින අවදානම් තත්ත්වය නිසා ගොවීන් ළඟ තියෙන වී තොග නිදහස් කරන්නේ නැහැ. ඒ වගේම තමයි වී මෙටි්‍රක් ටොන් ලක්ෂ දෙකක් රජය සතුව තියෙනවා. ඒ වී ප්‍රමාණය අපේ රටට මාස තුනකට කන්න ඇති. රජය එම වී තොගවලින් ආරක්ෂිත සංචිතයක් තියාගෙන ඉතිරිය නිදහස් කළ යුතුයි. ඒ වගේම විදේශ රටකින් යම් ප්‍රමාණයක් ගෙන්වුවත් කමක් නැහැ.


සහල් නිෂ්පාදනය කරන සෑම වී මෝලක් සතුවම යම් සංචිත ප්‍රමාණයක් තිබෙනවා. එහෙම වී තොග කාටවත් තියාගෙන ඉන්න බෑ. රටට සහල් සපයන්න ඕනේ. අපේ මෝලේ සම්පූර්ණ ධාරිතාව දෙනවා. රටේ වී නැතිකමක් නොවේ. මිල ඉහළ ගිහින් තියෙන්නේ. රජය සතුව ඇති වී තොග සහල් කළත් සහල් ටොන් එක් ලක්ෂ තිස් දහසක් සපයන්න පුළුවන්.” 


අපේ රටේ එහෙම ලොකුවට ආහාර සහල් අර්බුදයක් නැහැ. හැබැයි මේ වී අර්බුදය අපේ රටේ විතරක් නොවෙයි, මේ දේශගුණික තත්ත්වය නිසා පවතින අර්බුදය ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවලත් තියෙනවා. ඒ රටවලත් හාල් ඉතා ඉහළ මිලක් පවතිනවා.” රටින් හාල් ගෙනාවත් එහෙම මිල අඩුවකට දෙන්න හැකිවෙයි කියලා මම හිතන්නේ නැහැ.”


ඒ වගේම තමයි රජය ගොවීන්ගෙන් රුපියල් 38 ක මිලකට ගත්තු වී තොග තියෙනවා. ඒවා ටෙන්ඩර් කළා. අපි ඒ වී තොග කිලෝවක් රුපියල් 44ට ඉල්ලලත් දුන්නේ නෑ. රජයේ වී තොගවල මිල වැඩි කරලා. එතකොට සහල් මිල ඉහළ යන එක සිදුවෙනවා. වී කිලෝවේ මිලෙන් සහල් කිලෝවේ මිල දෙගුණයක්. වී කිලෝව 45යි නම් හාල් කිලෝව අනූවක් (90) විය යුතුමයි.


මේ දිනවල වී මිල ගොඩක් ඉහළයි. නාඩු වී කිලෝවක් හතළිස් අටයි. සම්බා වී කිලෝවක් රුපියල් 52යි. කීරි සම්බා වී කිලෝව රුපියල් 63යි. මේ ගණන්වලට වැඩි මිසක් අඩු නැහැ.


ඉතින් මේ තත්ත්වය උඩ සහල් මිල ඉහළ යනවා. ඒ නිසා රජය බුද්ධිමත්ව කළ යුතු වන්නේ රජය සතු වී තොග නිදහස් කිරීමයි. රජය සතුව තමයි විශාල වශයෙන් නාඩු වී තියෙන්නේ. අප්‍රේල්වලින් පස්සෙත් වියළි තත්ත්වයක් ඇති වුණොත් රටින් ගෙන්වන එක වෙනම කතාවක්. හැබැයි රජයේ වී තොග නිදහස් කරන්න. එතකොට පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වෙන්නේ නැහැ.” 


“එහෙම නැත්නම් රජය සතු වී තොග පුද්ගලික මෝල්වලට දීලා සහල් කරලා සතොස සමුපකාර හරහා ජනතාවට සාධාරණ මිලකට ලබාදෙන්න පියවර ගත යුතුයි.” ඩඞ්ලි සිරිසේන මහතා කියයි.

 

m

 


 

 

බොහෝ දුරට තුන්වේල බත් කන ජනතාවක් සිටින රටක සහල් කිලෝවක මිල රුපියල් සීයක පමණ වීම සාමාන්‍ය ජනතාවට දරා ගැනීමට අපහසුයි. එමෙන්ම කුලී වැඩ කර ජීවත්වූ බොහෝ ජනතාවකට වර්ෂාව නොමැති නිසා කුලී වැඩ නොමැත. ඔවුන්ට හාල් කිලෝවක් මිලදී ගන්නට හෝ වත්කමක් නැති තත්ත්වයක් උදාවී ඇති බව කියති.


මේ දිනවල සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 85 සිට 110 දක්වා පවතින අතර වෙළෙඳසල් හිමියන් සිතූ ගණන්වලට සහල් අලෙවි කරන බවටද පාරිභෝගිකයෝ චෝදනා කරති.


පසුගිය ජනවාරි මාසයේ රුපියල් 67.50කට අලෙවි වූ නාඩු සහල් කිලෝවක මේ වනවිට සිල්ලර මිල රුපියල් 95කි. එමෙන්ම රුපියල් 70කට පැවැති සම්බා සහල් කිලෝව රුපියල් 105ක මුදලකට අලෙවි කරන බව වෙළෙන්දෝ කියති.


වෙළෙඳසැල් හිමියන් කියා සිටින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්වලින් ලැබෙන සහල් සම්පූර්ණයෙන් නැවතී මහා පරිමාණ මෝල් කීපයකින් පමණක් මේ දිනවල සහල් වෙළෙඳපොළට ලබාදෙන බවත් ඉල්ලන ප්‍රමාණයට සහල් තොග ලබා නොදීම හා තොග මිල ඉහළ දැමීම සිදුකර ඇති නිසා පාරිභෝගික ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බවයි. එමෙන්ම සහල් හිඟවී ඇත්තේ වී තොග නොමැතිවීම නිසා බව මෝල් හිමියන් දැනුම්දී තිබෙන බවද කියති.


එමෙන්ම පසුගිය වසරේ වෙළෙඳ පොළේ නාඩු සහල් මිල පැවැති ආකාරය පිළිබඳවද වෙළෙන්දෝ පෙන්වා දුන්හ. ඔවුන් කීවේ හාල් කිලෝවක් රුපියල් 64 සිට රුපියල් 100 දක්වා වැඩිවී තිබෙන බවයි.

 


අපෙන් රු. 27ට අරන් හදපු හාල් අපි සීයට කනවා
සහල් මිල ඉහළයාම පිළිබඳව අප ගොවීන්ගෙන්ද විමසීමක් කළෙමු. ඒ අනුව දඹුල්ල, පහළ වැව, පාදෙණිය ගොවි සංවිධානයේ සභාපති වී.ජී. දයාරත්න මහතා මෙසේ කීය.


“මේ කන්නය බලාගෙන ගොවියෝ වී තොග වික්කා. දැන් වැස්ස නෑ. ගොවියෝ ළඟ වී තොග නෑ. හාල් කන්න වෙලා තියෙන්නේ කඩෙන්. වැස්ස නැති හින්දා අපේ කුඹුරු අතහැරලා තියෙන්නේ. අපෙන් රුපියල් 27ට 35ට ගත්තු වී තොගවලින් නිෂ්පාදනය කරන හාල් කිලෝව අද අපි රුපියල් සීයට කනවා. අපි දන්නවා අපේ වී තොග කවුද ගන්නේ කියලා. මේක එකවරම සිදුවුන හිඟයක් නෙවෙයි. පුද්ගලික මහා පරිමාණ වෙළෙන්දෝ වී තොග ගබඩා කරගෙන ඉන්නේ. හාල්වලට පාලන මිලක් දාන්න කියලයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ.” 

 


රජයේ වී එළියට දුන්නොත් 70ට හාල් දෙන්න පුළුවන්
සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් ජී.ඩී. සෝමචන්ද්‍ර මහතාගෙන් මේ ගැන විමසීමේදි මෙසේ කීවේය.
-මේ සහල් මාෆියාවක් නිර්මාණය කරගෙන යන්නේ. වී අලෙවි මණ්ඩලය සතු වී තොග සල්ලිවලට සෑම දිස්ත්‍රික්කයකම ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට හොඳ ක්‍රමවේදයක් යටතේ ලබාදෙන්න. ඒ හාල් ටික සතොසින් ලබාගෙන රට හැම තැනම හාල් කිලෝවක් රුපියල් 70කට අඩුවෙන් දෙන්ඩ පුළුවන්. අද මහා පරිමාණ මෝල්කරුවන් කීප දෙනෙක් වී තොග සඟවාගෙන රජයේ වී තොගත් වැඩි මිලකට අරගන්න යන්නේ. මේක අවබෝධ කරගන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ” 

 


රජයේ වී තොග දෙන්න හදන්නේ විනිවිද භාවයකින් තොරවයි
පොළොන්නරුව එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා : “2017 වසර වී නිෂ්පාදනය විශාල වශයෙන් අඩුයි. ඒ තවමත් වැස්ස නැති නිසා. ඒ නිසා රජය සතු ආරක්ෂිත වී තොග ඉතා පරිස්සමින් පරිහරණය කරන්න ඕනැ. ඒත් කිසිදු විනිවිදභාවයකින් තොරව තමයි මේ වී තොග නිකුත් කරන්න යන්නේ. අද අපේ වී මෝල් සියල්ල වහල හමාරයි. කීප දෙනෙක් එදා රජයෙත් මේ රජයත් හාල් හා වී මිල දෙකම රඳවාගෙන ඉන්නවා.” 


මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය පී. හැරිසන් මතාගෙන් විමසීමේදී කීවේ රජය සතු වී තොග ඉතා විනිවිදභාවයකින් නිකුත්  කරන බවත් ඉතා පරිස්සමෙන් ඉදිරිය ගැන සිතා එය ඉටු කරන බවත්ය. සහල් මිල ජනතාවට දරාගැනීමට නොහැකි තත්ත්වයකට පත් වුණොත් විදේශ රටකින් සහල් ගෙන්වා වෙළෙඳපොළට දමන බවයි. වී අලෙවි මණ්ඩලය සතු වී තොග ඩෙන්ඩර් කොට ඉහළ මිලකට ලබාදීම දැනට ආරම්භ කර තිබෙන බවද පැවසීය.