හෝර්ටන් තැන්න ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටි තැනිතලා බිමකි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2100-2300 පමණය. හෙක්ටයාර් 3160 කින් සමන්විත හෝර්ටන් තැන්න නුවරඑළිය නගරයෙහි සිට කි.මි. 32 දුරින් පිහිටා ඇත. ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ වූ මෙම භූමියෙහි චමත්කාරය වැඩි දියුණු වී ඇත්තේ අවට පවතින අලංකාර කඳු පද්ධතිය සහ ප‍්‍රදේශයට ආවේණික වූ විශේෂිත වන ආවරණයයි. හෝර්ටන් තැන්නෙහි පවතින විශේෂිත ලක්ෂණ සැලකීමෙන් අනතුරුව ලොව පවතින සංරක්ෂණය කළයුතු ස්ථානයක් (World Heritage site) වශයෙන් UNESCO සමුළුව මගින් මෙය නම් කරන ලද්දේ 2010 ජූලි මස 30 දින බ‍්‍රසීලයෙහි පැවති සම්මන්ත‍්‍රණයෙහිදීය. හෝර්ටන් තැන්නෙහි ශාඛ ගහණය ප‍්‍රධාන ලෙස කොටස් 2 ට බෙදේ. මින් හෙක්ටයාර 2000 පමණ තෙත් පතන තෘණ භූමි වන අතර ඉතිරි හෙක්ටයාර 1160 අන්තර් කලාපීය සදාහරිත වනාන්තර වලට අයත් වේ. මෙම වන පියසෙහි විවිධ ශාඛ වර්ග 750 පමණ වාර්තා ගතකර ඇත. මෙවන් අසිරිමත් ස්ථානයක් නැරඹීම සඳහා  ඕස්ටේ‍්‍රලියාවෙහි වාසය කරන මා මෙම චමත්කාර භූමියට ඇතුළු වූයේ 2011 අගෝස්තු මස 18 වැනි දින අඹේවල මාර්ගය ඔස්සේය. මෙහි ඇති කි.මී. 9 පමණ දීර්ඝ ගමන් මග ඔස්සේ මා ගමන් ආරම්භ කළෙමි. මෙහිදී මා දෙනෙතට මුලින්ම හමුවූ ආක‍්‍රමණික ශාඛය වුයේ කටුගස්ය (Ulex Europaeus) ඉංග‍්‍රීසි ජාතිකයන් විසින් 1888 දී පේරාදෙණිය උද්භිද උද්‍යානයට හඳුන්වා දෙනලද මෙම ශාඛය හෝර්ටන් තැන්නට සංක‍්‍රමණය වී ඇත. මෙය ගළවා දැමීමේ කටයුතු අතරින් පතර සිදුවී ඇත. චිමිනි තටාකය ආශ‍්‍රිතව මෙහි පැතිරීම වැඩිවීමක් මා නිරීක්ෂණය කළෙමි. ඉන්පසුව කුඩා ලෝකාන්තය දෙසට මා පිය නැගුවේ මා සමග සිටි පවුලේ අන් අයත් සමගය. වැඩිදුරක් යාමට ප‍්‍රථම මා නෙත ගැටුණේ තවත් ආක‍්‍රමණශීලී ශාඛයක් වන මීදුම් මල් (Mist Flower) ශාඛයයි. පොළවෙහි වැතිරී වර්ධනය වන මෙම ශාඛය ලෝකාන්තය නරඹන ස්ථානය දක්වා පාර දෙපස වර්ධනය වෙමින් පවතී. එමෙන්ම මීදුම් මල් ශාඛ දේශීය වන වියන යටටද ඇදෙමින් වර්ධනය වන අයුරු මාගේ නෙතට හසුවිණ. මධ්‍යම ඇමෙරිකාවට අයත් මෙක්සිකෝවෙහි සම්භවය වී ඇති මීදුම් මල් ඉතා ආක‍්‍රමණශීලී ශාඛයකි. 1905 දී හග්ගල උද්හිද උයනට ප‍්‍රථමයෙන් හඳුන්වාදී ඇති මෙම ශාඛය හෝර්ටන් තැන්නට ළඟාවී ඇත්තේ කෙසේදැයි සැක සහිතය. බහු වාර්ෂික ශාඛයක් වන මෙහි කඳ දම් පැහැතිය. ශාඛ කඳ, අතුවල ඇති පර්ව පස මත ගැටුන විට මුල් වැඞී නව ශාඛ බිහිකරයි. ශාඛ පත‍්‍ර තද කොළ පැහැතිය. සිහින් දිගටිය. පත‍්‍ර පාදය හා අග කෙළවර උල්ය. පත‍්‍ර දාරය දැති සහිතය. පත‍්‍ර නටුව සෙ.මී. 2 පමණ දිගටිය. අතු කෙළවර පුෂ්ප මංජරියක වර්ධනය වන පුෂ්ප සුදු පැහැතිය. මෙම පුෂ්ප වලින් බීජ විශාල ප‍්‍රමාණයක් නිපදවයි. මේවා සුළඟ සහ ජලය මගින් පැතිරී නව ශාඛ බිහි කරයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පවතින වනාන්තර හා තණ බිම් වලට විශාල ලෙස හානි සිදුකළ හැකි ‘මීදුම් මල්’ හෝර්ටන් තැන්නෙන් ඉවත් කර දැමීම මෙම මනරම් භූමියෙහි චමත්කාරය රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි. හෝර්ටන් තැන්න පරිසර උයන නරඹමින් තවත් ඉදිරියට ඇදුන මා නෙත ගැටුනු ඊළඟ ආක‍්‍රමණිකයා වුයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර වනාන්තරයන්ට විශාල තර්ජනයක් වී ඇති සුද්දා (Austroeupatorium Inulifolium) ශාඛයයි. මෙම දසුනින් මා පුදුමයට පත්වූයේ මෙවන් පරිසර පද්ධතියක් තුළ සුද්දා ශාඛයට කළහැකි ආක‍්‍රමණය පිළිබඳව සිහියට නැගීමෙනි. සුද්දා ශාඛය එහි ආක‍්‍රමණශීලී ගමන හෝර්ටන් තැන්න අරඹා වසර කිහිපයක් ගතවී ඇති බව සමහර ගස්වල විශාලත්වයෙන් පෙනී යයි. හෝර්ටන් තැන්න වටා ඇති සම්පූර්ණ ගමන් මාර්ගය අවට සුද්දා ශාඛ සහ පැළ 100-150 අතර ප‍්‍රමාණයක් දැකගත හැකි විය. අදාළ බලධාරීන් හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක වුවහොත් සුද්දා ශාඛය හෝටන් තැන්නෙන් ඉවත්කර දැමීම අසීරු නොවේ. එසේ නොකළහොත් හෝර්ටන් තැන්න සුද්දා ශාඛයෙහි අණසකට යටත්වී දේශීය ශාඛ ගහණය වැසී යාම වැලැක්විය නොහැක. සුද්දා ශාඛයෙහි පවතින ආක‍්‍රමණශීලී ලක්ෂණ සහ එමගින් ශ්‍රී ලංකාවේ ස්වභාවික වන ගහණයට සිදුවී ඇති බලපෑම පිළිබඳව හොඳ අවබෝධයක් ඇති මම මෙම ශාඛය හෝර්ටන් තැන්නට පැමිණීම පිළිබඳව ඉතාම කනගාටුවට පත්වූයෙමි. බහු වාර්ෂික පඳුරක් වන සුද්දා හි නිජබිම බ‍්‍රසීලයයි. මීටර් 2.5 පමණ උසට වර්ධනය වන මෙය බාහිරව පොඩි සිංඤොමරන් ශාඛයට සමතාවක් බාහිරව පෙන්වයි. නමුත් පත‍්‍ර සිහින්, දිගටිය පත‍්‍ර දාරය දැති සහිතය. පුෂ්ප හටගන්නේ අතු කෙළවර පිහිටි මංජරියකය. මේවා තද සුදු පැහැගන්නා අතර ඉතා සුවඳවත්ය. මෙම පුෂ්පවල වර්ණය අනුව ‘සුද්දා’ යන පොදු නමින් මෙය හඳුන්වයි. මෙම පුෂ්ප වලින් ඉතා විශාල බීජ ප‍්‍රමාණයක් නිපදවන අතර මෙම සැහැල්ලූ බීජ සුළඟ, ජලය, සතුන්, මිනිසුන් මගින් විශාල ලෙස පැතිර යයි. එමෙන්ම ඉතා ඈතට විහිදී ගොස් නව ශාඛ බිහි කරයි. සුද්දා ශාඛ ආක‍්‍රමණය මෑතදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙහි දේශීය වනගහණයට මුහුණදීමට සිදුවී ඇති අති විශාල තර්ජනයකි. සුද්දා ශාඛයෙහි උපරිම වර්ධනයක් දක්වන්නේ කඳුකර ප‍්‍රදේශවල අඩු උෂ්ණත්වයක් සහිත තත්ත්ව යටතෙහිදීය.ඉන්පසුව ලෝකාන්තය ලෙස හැඳින්වෙන අඩි 3700 ප‍්‍රපාතය නැරඹීමෙන් පසුව ආපසු එන මාර්ගයෙහි චිමිණි තටාකය කරා පැමිණීමට පෙර හමුවූ අනෙක් ආක‍්‍රමණශීලී ශාඛය පිළිබඳව මම ඉතා පුදුමයට පත් වූයෙමි. ලොව පුරා Crofton Weed (ක්‍රොප්ටන්) ලෙස හඳුන්වන මෙය විද්‍යාත්මක නාමයEup atorium Adenophorum ය. මීදුම් මල්, සුද්දා, පොඩිසිංඤොමරන් ශාඛ අයත් වන ඇස්ටරේසියේ කුලයට අයත් ක්‍රොප්ටන් ශාඛය ඉන්දියාව, තායිලන්තය, ෆීජී ඳුපත්, දකුණු අපි‍්‍රකාව, චීනය, නවසීලන්තය,  ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල ආක‍්‍රමණශීලී ශාඛයක් ලෙස නම්කර ඇත්තේ මෙමගින් දේශීය ශාඛ සහ තණ භූමි වලට සිදුවිය හැකි අහිතකර බලපෑමයි. බාහිරව පොඩිසිංඤොමරන් හෝ සුද්දා ශාඛයට සමතාවක් පෙන්වයි. නමුත් මෙහි කඳ, අතු දම් පැහැයක් ගනී. පත‍්‍ර හැඩය ත‍්‍රිකෝණාකාරය අතු කෙළවර හටගන්නා පුෂ්ප මංජරීවල සුදු පැහැති පුෂ්ප විශාල ප‍්‍රමාණයක් නිපදවා සුළඟින් සහ ජලයෙන් ප‍්‍රධාන ලෙසම ප‍්‍රචාරණය සිදුවේ. මාගේ නිරීක්ෂණවලට අනුව දැනට හෝර්ටන් තැන්නේ මෙම ශාඛ ඇත්තේ සුළු සංඛ්‍යාවක් පමණි. මේවාද හැකි ඉක්මනින් ඉවත් කිරීම මගින් අනාගතයෙහි දී ඇතිවිය හැකි විශාල ව්‍යසනයක් මගහරවා ගත හැකිය. හෝර්ටන් තැන්නේ පවතින ”ආක‍්‍රමණශීලී ශාඛ” පිළිබඳව නිසි සමීක්ෂණයක් සිදුකොට ඒවා හඳුනාගෙන ඉවත්කර දැමීම මෙම චමත්කාර භූමිය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට යෙදිය හැකි අගනා ප‍්‍රයත්නයකි. මෙම හෝර්ටන් තැන්න තුළ පවතින ආක‍්‍රමණශීලී ශාඛයනට අමතරව අඹේවෙල හරහා පැමිණි ගමන් මාර්ගයෙහිදී මා දුටු විදේශික ආක‍්‍රමණශීලී ශාඛ සංඛ්‍යාව විශාලය. මෙවැනි ශාඛා හෝර්ටන් තැන්න වෙතට පැමිණීමට ඇති අවකාශය විශාලය. ලෝක උරුමයට දායාද කොට ඇති මෙවන් පරිසර පද්ධතියක පවතින ආවේණික ශාඛ ගහණය සහ චමත්කාරය රැුකගැනීම සඳහා අදාළ පියවර ගැනීම ඉතා අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් මම දකිමි. දැනට හෝර්ටන් තැන්න ආක‍්‍රමණය කර ඇති, අඩුම වශයෙන් ආක‍්‍රමණයේ මූලික අවස්ථාවෙහි ඇති ශාඛා හැකි ඉක්මනින් ඉවත් කිරීම අදාළ බලධාරීන්ගේ විශාල මෙන්ම අත්‍යවශ්‍ය වගකීමක් ලෙස මම දකිමි. මේ සඳහා අවශ්‍ය සහායක් ලබාදීමට මම පසුබට නොවෙමි.  ඕස්ටේ‍්‍රලියාවෙහි පදිංචිව සිටියද ශ්‍රී ලංකාවේද පුරවැසියකු වන මා මව්බිමෙහි පරිසර රැකගැනීමට විශාල උනන්දුවක් පවතී. මාගේ ඊමේල් සම්බන්ධතාව lalith24@hotmail.com මගින් කළ හැකිය.
ආචාර්ය ලලිත් ගුණසේකර ආක‍්‍රමණශීලී ශාඛ විශේෂඥ මෙල්බර්න් -  ඕස්ටේ‍්‍රලියාව
කටුගස් චිමිණී තටාකය අසල සුද්දා ශාක මල් මීදුම් මල් ආචාර්ය ලලිත් ගුණසේකර සුද්දා ශාඛයක් සමග