ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් 2020 මැයි 02 දින නිකුත් කරන ලද අංක 2165/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මැතිවරණ කොමිසමට නියෝග කරනු ලැබූයේ විසුරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තුව වෙනුවට අභිනව පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීම පිනිස 2020 අප්‍රියෙල් 25 දින මහා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙසය.

මෙම විධානයට අනුකූලව ක්‍රියා කරමින් මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම කළ අතර නියමිත පරිදි එම ක්‍රියාවලිය 2020 මාර්තු 19 දින මධ්‍යාහ්නයේ දී අවසන් කළේය. නාමයෝජනා භාර ගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ රට තුළ පැතිරී යමින් තිබෙන කොරෝනා වසංගතය හේතුවෙන් ජනාධිපතිවරයා නියෝග කළ පරිදි අප්‍රියෙල් මස 25 දින මැතිවරණය පැවැත්වීමට නොහැකි බවත් මැතිවරණය පවත්වන දිනය පසුව නිවේදනය කරන බවත්ය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මෙම තීරණය හරි හෝ වැරැදි හෝ වූවද එහි ප්‍රතිඵලය වූයේ කොරෝනා අර්බුදයට අමතරව රට තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය අර්බුදයක් ද හට ගැනීමය. මෙම අර්බුදයට විසඳුමක් නොමැතිව දිග්ගැස්සෙමින් ඉදිරියට එද්දී මැතිවරණ කොමිසම 2020 අප්‍රියෙල් 04 දින නිකුත් කළ අංක 2172/3 ගැසට් පත්‍රය මගින් නිවේදනය කළේ 2020 ජූනි 20 දින මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවය. එහෙත් මැතිවරණය පැවැත්වීමට එරෙහිව යම් යම් දේශපාලන පක්‍ෂ සහ සිවිල් ක්‍රියාකාරිකයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාග කිරීමට පටන් ගත් අවස්ථාවේ දී 2020 මැයි 20 දින මැතිවරණ කොමිසම ශ්‍රෙෂ්ඨාධිකරණයට දන්වා සිටියේ තීරණය කළ පරිදි 2020 ජූනි 20 දින මැතිවරණය පැවැත්වීමට නොහැකි බවය.

 මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ මැතිවරණ අර්බුදය ඉමක් නොදකින තත්ත්වයකට පත්වී තව තවත් ඉදිරියට ඇදී යාමය.
මෙයාකාරයට හටගත් මැතිවරණය, අර්බුදය පිළිබඳව රටේ ජීවත් වන සියලු දෙනාම නොවුණත් බොහෝ දෙනා කතා කරන ආකාරය මේ දිනවල දැකිය හැක. එහෙත් විශේෂත්වය වන්නේ ඒ සම්බන්ධයෙන් පොදු මතයක් දැකිය නොහැකි වීමය. එක් කණ්ඩායමක් ඉදිරිපත් කරන අදහස් වලින් අවධාරණය කරන්නේ කොරෝනා වසංගත තත්ත්වය නොසලකා හරිමින් මැතිවරණය මේ අවස්ථාවේ දී අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවය. මෙසේ කියන්නෝ පොහොට්ටුවාදීහු සහ ඔවුන්ගේ අනුගාමිකයෝය. ඔවුන් තර්ක කරන්නේ  කොරෝන වසංගතය මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බාධාවක් කර නොගත යුතු බවය. ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ඩෙංගු වසංගතයෙන් මියගිය තත්ත්වයක් තුළ පවා මැතිවරණ පැවැත් වූ බවත් එබැවින් කොරෝනා වසංගතය මැතිවරණය පැවැත්වීමට බාධාවක් කර නොගත යුතු බවත්ය. මාධ්‍ය වාර්තාවලට අනුව එක් දේශපාලනඥයකු කියා තිබුණේ මැතිවරණය වහාම පැවැත්විය යුතු බවත් පවතින කොරෝනා වසංගත තත්ත්වය තුළ ඡන්ද පත්‍රිකා ගණන් කිරීම ගැටලුවක් වන්නේ නම් ඡන්ද පත්‍රිකා අංශක පණහක් දක්වා රත් කිරීම මගින් කොරෝනා වයිරසය විනාශ කළ හැකි බවත් ඉන් පසුව ඡන්ද ගණන් කිරීම කළහැකි බවත්ය. මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙක් කියා තිබුණේ සතොස පෝලිම්වල සහ සුපර්මාකට් පෝලිම්වල මිනිසුන්ට ඉන්න පුළුවන් නම් ඡන්ද පෝලිමේ සිටිය නොහැක්කේ ඇයිද? යන්නය. දකුණු පළාතේ පොහොට්ටු දේශපාලනඥයකු කියා තිබුණේ දුම්රියේ සහ බස්රථවල උරෙනුර ගැටෙමින් මිනිසුන්ට එහා මෙහා යාමට හැකිනම් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පෝලිමේ සිටිය නොහැක්කේ මන්ද යන්නය.

මෙයට පරස්පරව තවත් කණ්ඩායමක් කියා සිටින්නේ මැතිවරණය මේ අවස්ථාවේ දී නොපැවැත්විය යුතු බවය. මේ කණ්ඩායම සමන්විත වන්නේ ආණ්ඩු විරෝධී දේශපාලන පක්‍ෂ සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගෙන්ය. ඔවුන් තර්ක කරන්නේ පවතින කොරෝනා වසංගත තත්ත්වය තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බවය. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට සුජාතභාවය මැතිවරණයක අත්‍යවශ්‍යම කොන්දේසිය වේ. සුජාතභාවය ආරක්‍ෂා වන්නේ මැතිවරණය නිදහස් හා සාධාරණ පදනමක් යටතේ පවත්වන්නේ නම් පමණි. නිදහස් හා සාධාරණ මැතිවරණයක අවශ්‍යම කොන්දේසිය වන්නේ ඡන්ද දායකයන්ට බියෙන්, සැකයෙන් හා බලපෑම් කිරීම් වලින් තොරව තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබීමය. එහෙත් පවතින කොරෝනා වසංගත තත්ත්වය තුළ එවැනි පරිසරයක් නොමැති බව පෙන්වා දෙන මෙම කණ්ඩායම ඉල්ලා සිටින්නේ කොරෝනා වසංගතය පහව ගොස් රට තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරය නිර්මාණය වන තෙක් මැතිවරණය පැවැත්වීම කල් තබන ලෙසය. මෙම කණ්ඩායම නියෝජනය කරන එක් දේශපාලනඥයකු කියා තිබුණේ කොරෝනා වසංගතයට මුහුණ දීමට අවශ්‍ය තරම් මුදල් ආණ්ඩුවට නොමැත්තේ නම් මහා මැතිවරණය සඳහා වෙන්කර තිබෙන රුපියල් කෝටි නව සියයකට ආසන්න මුදල ඒ සඳහා භාවිතයට ගෙන පසුව මැතිවරණය පැවැත්විය හැකි බවය.

ඉහත දැක්වූ කණ්ඩායම් දෙකට අමතරව මහා මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම අවශ්‍ය නැතැයි ප්‍රකාශ කරන අන්තවාදී නාස්ථිකවාදීන් කණ්ඩායමක් ද සිටින ආකාරය මේ සමඟ දැකිය හැකි වේ. මේ කණ්ඩායම මැතිවරණය දකින්නේ පාර්ලිමේන්තුවට හොරුන්, තක්කඩීන්, වංචනිකයන්, දූෂිතයන් සහ අපරාධකරුවන් 225 ක් තෝරා ගැනීම සඳහා පවත්වන නිෂ්ප්‍රයෝජන දෙයක් හැටියටය. පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමෙන් සහ ක්‍රියා කලාපයෙන් කලකිරීමට පත් වූ අය මෙම මතය දරන්නෝ වෙති. මෙම අදහස විශාල වශයෙන් ඉදිරිපත් වන්නේ සමාජ මාධ්‍ය හරහාය. පසුගිය මැයි 10 වැනි දින එක් සමාජ මාධ්‍යයක දක්වන ලද සටහනක් මගින් කියා තිබුණේ පසුගිය කාලය තුළ සිදුවූවාක් මෙන් මෙම මහ මැතිවරණයේදී ද සිදුවන්නේ කුඩ්ඩන්, ගණිකා මඩම්කාරයන්, එතනෝල්කාරයන්, බාර්කාරයන්, කැලෑ පාළුවන්, ස්ත්‍රී දූෂකයන්, ගණිකාවන්, රේස් බුකිකාරයන්, කප්පම්කාරයන්, කොමිස්කාරයන්, එහෙ මෙහෙ පනින ගෙම්බන්, හොර පතල්කාරයන් සහ නිදන් මංකොල්ලකාරයන් තෝරා පත්කර ගැනීම නම් මැතිවරණය පැවැත්වීමේ ප්‍රයෝජනයක් නොමැති බවය. මෙම කණ්ඩායම නියෝජනය කරන තවත් සමහරුන් ප්‍රකාශ කරන අදහසක් වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනාධිපති තනතුරට පත් වූ දිනයේ සිට හමුදා ප්‍රධානීන් සමඟ එක්ව පසුගිය කාලය තුළ පවත්වා ගෙන ආ රට පාලනය කිරීමේ ක්‍රමය අතිශයින්ම සාර්ථක බවත් එබැවින් එම ක්‍රමය දිගටම පවත්වා ගෙන යා යුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තුව අනවශ්‍ය බැවින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බවත්ය. මෙම කණ්ඩායම පාර්ලිමේන්තු මැතිවරණය පමණක් නොව පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය ද අනවශ්‍ය බවයි කියා සිටින්නේ.

ඉහතින් දක්වා ඇති අදහස් සමස්තයක් ලෙස ගෙන සලකා බැලීමේ දී පෙනී යන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක් බඳු අදහසක් නොමැති බවය. එම අදහස් අතුරින් ප්‍රථම අදහසෙන් කියවෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය නොසලකා හරිමින් මැතිවරණය පැවැත්වීම කළ යුතු බවය. දෙවන අදහසෙන් කියවෙන්නේ කොරෝනා වසංගතය අවසන් වී රට යථා තත්ත්වයට පත්වන තෙක් මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතු බවය. තුන්වන අදහසෙන් කියවෙන්නේ රට පාලනය කිරීමට පාර්ලිමේන්තුව අනවශ්‍ය බවත් එබැවින් පවතින තත්ත්වය කුමක් වූවද පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම නොකළ යුතු බවය. මෙම අදහස් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට පරස්පර වූවද එම අදහස් වලින් පෙනී යන එක් පොදු ලක්‍ෂණයක් හඳුනා ගත හැක. එනම් මේ සෑම අදහසකින්ම පාර්ලිමේන්තු මැතිවරණය වූ කලි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225ක් තෝරා ගැනීම යන කරුණට පමණක් ලඝු කොට තිබෙන බවය. මේ සෑම අදහසකින්ම පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ මැතිවරණවල ඇති වැදගත්කම සහ එමගින් ඉටු කරන කාර්යභාරය නොසලකා හැර තිබෙන බවය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ මැතිවරණ මගින් ඉටු කරන කාර්යය කිහිපයක්ම තිබෙන අතර ඒවා අතුරින් වැදගත්ම කාර්යය වන්නේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමය. නිදසුන් ලෙස ලංකාව ගතහොත් විධායකය වන ජනාධිපතිවරයා තෝරන්නේ ද, ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුව සමන්විත වන නියෝජිතයන් 225 දෙනා තෝරන්නේ ද මැතිවරණ මගිනි. මැතිවරණ මගින් ඉටු කරන දෙවන කාර්යය වන්නේ ජනතාවට දේශපාලන ක්‍රියාදාමයට සහභාගි වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමය.  නිදසුන් ලෙස ලංකාව ගතහොත් ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යනාදී වශයෙන් මැතිවරණ වර්ග සතරක් පැවැත් වේ. මෙම මැතිවරණ මගිනුයි ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ ජනතාවට ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා පවතින දේශපාලන ක්‍රියාදාමයට සහභාගි වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන්නේ. මැතිවරණ මගින් ඉටු කරන තුන්වන කාර්යය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලකයන් වෙනස් කිරීමට ජනතාවට අවස්ථාව සලසා දීමය. මෙයින් අදහස් කරන්නේ ජනතාවට එපා වූ පාලකයන් වෙනස් කොට ඒ වෙනුවට වෙනත් පාලකයන් කණ්ඩායමක් පත්කර ගැනීමට මැතිවරණ මගින් ජනතාවට අවස්ථාව හිමිකර දීමය. මැතිවරණ මගින් කෙරෙන සිව්වන කාර්යය වන්නේ සාමකාමී ලෙස රාජ්‍ය බලය මාරු කර ගැනීමට අවශ්‍ය පසුබිම සලසා දීමය.

මෙයින් අදහස් කරන්නේ පාලන තන්ත්‍රය හෙවත් ආණ්ඩු වෙනස් කිරීම නැතිනම් එක් පාලක කණ්ඩායමකගෙන් තවත් පාලක කණ්ඩායමකට රාජ්‍ය බලය මාරුකිරීම සාමකාමී අයුරින් කිරීමට අවශ්‍ය පදනම සකස් කර දීමය. මැතිවරණ මගින් කෙරෙන පස්වන කාර්යය වන්නේ පාලකයන් සහ ජනතාව එකට යා කරන්නා වූ සම්බන්ධීකාරකයකු ලෙස ක්‍රියා කිරීමය. පාලකයන් ජනතාවට වගකීමට බැඳී තිබෙන තත්ත්වයක් නිර්මාණය වන්නේ මෙම ක්‍රියා කලාපය හේතුවෙනි. මෙම බැඳීම ඇතිවන්නේ මැතිවරණ මගින් පාලකයන් ඡන්දදායකයන් මත රඳා පවතින පරායත්ත විචල්‍යයක් බවට පත් කිරීම හේතුකොට ගෙනය. මැතිවරණ මගින් කෙරෙන අනෙක් සුවිශේෂ කාර්යය වන්නේ පාලන තන්ත්‍රයට නැතිනම් රාජ්‍ය බලය ක්‍රියාවට නංවන පාලක කණ්ඩායමට සුජාතභාවය සැපයීමය. මෙයින් අදහස් කරන්නේ පාලකයන් ජනතා අනුමැතිය සහිතව නීත්‍යනුකූල පදනමක් මත තේරීපත් වී තිබෙන බව පිළිගැනීම සඳහා අවශ්‍ය නෛතික පදනම සැපයීමය.

ඉහත දැක්වූ කරුණු වලින් පෙනී යන්නේ මැතිවරණ වූ කලී හුදු ව්‍යවස්ථාදායකයට නැතිනම් ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පවතින ක්‍රියාවලියක් පමණක් නොවන බවය. එම කාර්යයට අමතරව මැතිවරණ මගින් අතිශය පුළුල් කාර්යභාරයක් ඉටු කරන අතර එම කාර්යභාරය තුළිනුයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට අවශ්‍ය පදනම ගොඩ නැඟෙන්නේ. එසේවූවද මෙම කාර්යභාරය ඉටු කිරීමට නම් මැතිවරණවලට සුජාත භාවයක් තිබිය යුතු අතර මැතිවරණ සුජාත වන්නේ ඒවා නිදහස් හා සාධාරණ පදනමක් මත පැවැත්වුව හොත් පමණි. මැතිවරණයක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් වීමට නම් පහත දැක්වෙන මූලිකාංග අවශ්‍යයෙන්ම මැතිවරණ තුළ අඩංගු විය යුතු වේ.


1. නීතියෙන් නියම කර ඇති කාල වකවානුවල දී මැතිවරණ පැවැත්වීම. කුමන හේතුවක් නිසාවත් මැතිවරණ නියමිත දින පැවැත්වීම අහෝසි නොකිරීම හෝ කල් නොදැමීම.
2. ඡන්දදායකයන්ට තම කැමැත්ත අර්ථවත් අයුරින් ප්‍රකාශ කිරීමට ඉඩප්‍රස්ථාව සැලසීම. මෙය කළ හැක්කේ මැතිවරණය සඳහා අඩුම වශයෙන් අපේක්‍ෂකයන් දෙදෙනකුවත් ඉදිරිපත් වී සිටින්නේ නම් පමණි.
3. තරගකාරී දේශපාලන පක්‍ෂ ක්‍රමයක ක්‍රියාකාරිත්වයට ඉඩ සැලසීම සහ මැතිවරණ සඳහා නීතියෙන් හිමිකම් ලැබී ඇති සෑම අයකුටම මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ඇති අයිතිය සීමා නොකිරීම.
4. අපේක්‍ෂකයන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති විවෘතව හඳුනා ගැනීමට ඡන්දදායකයන්ට ඉඩ සැලසීම.
5. සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන මැතිවරණ පැවැත්වීම. එනම් නීතියෙන් සුදුසුකම් ලත් සියලුම දෙනාට ඡන්ද බලය ලබා දීම. නීතියෙන් නියම කර ඇති වයස් මට්ටම් සපුරාලීම, බරපතළ අපරාධයකට සිරගත වී නොසිටීම, වස්තු භංගත්වයට පත් නොවීම, පුරවැසිභාවය යනාදිය ඡන්ද බලය ප්‍රදානය කිරීමේ දී සලකා බලන මූලික සුදුසුකම් වේ.
6. ඡන්දදායකයන්ට එක හා සමාන බරක් තැබීම. එනම් පුද්ගල වෙනස්කම් අනුව ඡන්දදායකයන් විශේෂීකරණය නොකරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනාට ඡන්ද බලය දීම.
7. රහස් ඡන්දය. එනම් බිය ගැන්වීම, තර්ජනය කිරීම, බලපෑම් කිරීම, අවහිර නොකිරීම, බාධා නොකිරීම, මුදල් හා වෙනත් ද්‍රව්‍යමය වාසි ලබාදීම මගින් අයථා ලෙස බලපෑම් නොකිරීම යනාදියෙන් තොරව නිදහසේ සහ ස්වාධීනව තම කැමැත්ත පරිදි රහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන්ට ඉඩ තිබීම.

ඉහත දැක්වූ කරුණු සමස්තයක් ලෙස ගත්විට අවසාන වශයෙන් කිව හැක්කේ මැතිවරණ පැවැත්වීම යන කරුණ සමඟ රාජ්‍ය පාලකයන් මෙන්ම එම වගකීම පැවරුණ නිලධාරීන්ද තම තමන්ගේ ඕනෑ එපාකම් අනුව සෙල්ලම් නොකළ යුතු බවය. මැතිවරණ සෙල්ලම් භාණ්ඩයක් නොව ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ද්‍රවාදී ආණ්ඩුකරණය ආරක්‍ෂා කොට පවත්වා ගෙනයාමේ උත්තරීතර ආරක්‍ෂකයා වන බව පාලකයන් මෙන්ම නිලධාරීන්ද තේරුම් ගත යුතුය. මැතිවරණය සෙල්ලම් බඩුවක් බවට පත්කර ගත්විට අවසාන ප්‍රතිඵලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මියැදී ආඥාදායක පාලනයක් බිහිවීමය.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ
හිටපු මහාචාර්ය
එම්.ඕ.ඒ. ද සොයිසා