යුද හමුදාපතිවරයා වශයෙන් හමුදාවට නායකත්වය දෙමින් අවසන් මානුෂීය මෙහෙයුම ජයග‍්‍රහණය කරා ගෙන යන්නට ප‍්‍රබල දායකත්වයක් දුන් කාලයටත් වඩා සරත් ෆොන්සේකා මහතා කතාබහට ලක්වෙන චරිතයක් වූයේ ඔහු සිරකරුවකු බවට පත්වූ මෑත යුගයේදී යැයි අපට සිතේ. ඒ තරමටම ඇතැම් අවස්ථාවල සරත් ෆොන්සේකා චරිතය විවාදසම්පන්න චරිතයක් බවට පත්විය. මේ මොහොතේ ඔහු ගැන අප කතා කරන්නේ සුවිශේෂ හේතුවක් පදනම්වය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට දෙවැනි යුද්ධාධිකරණය මගින් නියම කළ මාස තිහක එනම් වසර දෙකහමාරක සිර දඬුවම ඉකුත් 26 වැනි දා බ‍්‍රහස්පතින්දා අවසන් විය. 2010 සැප්තැම්බර් 30 වැනි දින හයිකෝප් නඩුව සම්බන්ධයෙන් දෙවැනි යුද්ධාධිකරණය විසින් හිටපු යුද හමුදාපතිවරයාට මෙම සිර දඬුවම නියම කරන ලදී. 2010 සැප්තැම්බර් 30 වැනි දින සිට එනම් එම සිර දඬුවම නියම කරන ලද දින සිට හිටපු යුද හමුදාපතිවරයා  ඕ 22032 යන සිරකරු අංකය යටතේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවකු ලෙස කල්ගෙවූයේය. ඒ වැලිකඩ බන්ධනාගාරයේ විජය කුමාරණතුංග වාට්ටුව හෙවත් ”එස්” වාට්ටුවේ රඳවනු ලැබූ සිරකරුවකු ලෙසය. බන්ධනාගාර මූලස්ථාන ප‍්‍රකාශකයකු පැවසූ ආකාරයට බන්ධනාගාර නීතියට අනුකූලව බන්ධනාගාර ගතවෙන පුද්ගලයකුගේ වසරක සිරඳඬුවම් කාලය මාස 8 දින 10 කට ගණනය කිරීම යන පදනම හේතුවෙන් හිටපු යුද හමුදාපතිවරයාගේ වසර දෙකහමාරක එනම් මාස 30 ක සිරදඬුවම මාස 19 කට සීමාවිය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි නඩුවේ අවසන් විනිශ්චයේදී නීතිය ඉදිරියේ වරදකරු බවට පත්විය. ඒ අනුව ඔහුට ඉකුත් වසරේ නොවැම්බර් 18 වැනිදා කොළඹ මහාධිකරණය මගින් වසර තුනක සිරදඬුවමක් නියම කරන ලදී. එහෙත් කොළඹ මහාධිකරණය ලබාදුන් එම තීන්දුවට එරෙහිව සරත් ෆොන්සේකා මහතා අභියාචනයක් ඉදිරිපත් කළේය. මාස 30 සිර දඬුවම අවසන් වෙද්දිම සරත් ෆොන්සේකා මහතාට නවලෝක පෞද්ගලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාරගත යුතු වාතාවරණයක් ඇතිවිය. ඒ ඔහු ඇස්මා බ්‍රොන්කයිටිස් රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි අවදානමක් ඇති බවට විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා සඳහන් කිරීම හේතුවෙනි. මාස තුනක් තිස්සේ පවතින කැස්සක් හේතුවෙන් ඇස්මා බ්‍රොන්කයිටිස් රෝගයට හිටපු යුද හමුදාපතිවරයා ගොදුරු වීමේ දැඩි අවදානම් තත්ත්වයක් ඇති වූයේද යුද්ධය සමගම ඈඳුණු සිද්ධියක් හේතුවෙනි. ඒ 2006 අපේ‍්‍රල් 25 වැනිදා යුදහමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන කොටි කාන්තාවක විසින් හිටපු යුද හමුදාපතිවරයා ඉලක්ක කොටගෙන පුපුරුවා හරිනලද බෝම්බයෙන් සිදු වූ හානියේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ‘‘මගේ මහත්තයා ඒ බෝම්බ ප‍්‍රහාරයට ලක්වීමෙන් පසු බරපතළ රෝගී තත්ත්වවලට ලක්වුණා. පෙනහළු පසාරු කරගෙන ගිය යකඩ කෑලි එයාගේ හදවතට අඟලක් පමණ දුරින් රැඳිලා තියෙනවා. හදවතට ඒ තරම් කිට්ටුවකින් තියෙන නිසා ඒ යකඩ කෑලි අයින් කරන්න බෑ. එය අවදානම්. ඒ වගේම එයාගේ වකුගඩු ළඟත් බඩවැල් ළඟත් යකඩ කෑලි රැුඳී තිබෙනවා. එයාගේ රෝගී තත්ත්වය අනුව එයාට හොඳට වාතාශ‍්‍රය තියෙන තැනක ඉන්න  ඕනෑ. දුවිලි රහිත පරිසරයක ඉන්න  ඕනෑ. මම ඒ තත්ත්වය පැහැදිලි කරලා, එයාට සුදුසු පරිසරය ගැන කියලා ඒ ගැන අවධානය යොමුකරන මෙන් ඉල්ලා යුදහමුදපති ජගත් ජයසූරිය මහතාට ලිපියක් යොමු කළා. ඒත් ප‍්‍රතිඵලයක් ලැබුණේ නෑ. මම ඉල්ලන්න පුළුවන් හැම කෙනකු ගෙන්ම එයාගේ රෝගී තත්ත්වය මත අවශ්‍ය පහසුකම් ඉල්ලූවත් ඒවා ලැබුණේ නෑ. මාස තුනක් තිස්සේ මගේ මහත්තයට කැස්ස ගතියක් තියෙනවා. එයාගේ රෝගී තත්ත්වය අනුව එයාට කැස්ස හෙම්බිරිස්සාව හැදෙන්න හොඳ නෑ. එයාට පැය හතරෙන් හතර ප‍්‍රතිකාරයක් දිය යුතු තත්ත්වයක් දැන් ඇති වී තියෙනවා. ඒ නිසා එයාට නවලෝක රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්න අවසර දුන්නා. 26 වැනිදා වනවිට එක්සිරදඬුවමක් අවසන්. ඒත් සුදු කොඩි නඩුවේ දඬුවම් වෙනුවෙන් අවුරුදු තුනක හිරදඬුවමක් එයාට හිමියි. ඒත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා ඇප ඉල්ලන්න පුළුවන්. අපේ නීතිඥවරු දැන් එයට සූදානම් වෙනවා. මොනවා වුණත් එයාගේ මානසික තත්ත්වය එදාටත් වඩා ප‍්‍රබලයි. දුවලට තාත්තව දකින්න කතා කරන්න නැති එක වේදනාවක් වෙන්න ඇති. ඒත් එයාලා ඒ බව මට පෙන්වන්නෙ නෑ. නවලෝක රෝහලේදී එයාට ආරක්ෂාව දී තිබුණත් නාඳුනන පිටස්තර කවුරු හෝ ආවොත් කියන හැඟීමෙන් මම හෝ අපේ කවුරු හරි එයා වෙනුවෙන් ඉන්නවා. මට පුළුවන් උපරිම කාලය මම ඉන්නවා. එයාව නිදහස් කරගන්න කරන හැමදේමත් ඒ අතරෙදි කරනවා.” ඒ හිටපු යුදහමුදාපතිවරයාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය කළ සඳහනයි. බන්ධනාගාරගත රැුඳවියන්ට රජයේ රෝහල්වලින් පමණක් නේවාසිකව ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගත යුතු යැයි අධිකරණ සේවා කොමිෂන් සභාවට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත. එහෙත් එම චක‍්‍රලේඛය මහාධිකරණවලට බලනොපනා බව අගවිනිසුරුවරිය දැනුම් දී ඇති බවත්් ඔහු හමුදාපති ලෙස කටයුතු කරද්දී මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට ලක්වීම හා රටට කළ සේවය සලකා පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගන්නට අවසර දෙන්නට තීරණය කළ බවත් විනිසුරුවරයා පැවසීය. විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ සරත් ෆොන්සේකා මහතා ඇස්මා බ්‍රොන්කයිටිස් රෝගී තත්ත්වයට ගොඳුරු විය හැකි අවදානමක් පවතින බවත් පිටින් ලබාදුන් ප‍්‍රතිකාරවලින් මේ වන විට යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවත්ය. මුලසිටම හිටපු යුද හමුදාපතිවරයාගේ රෝගී තත්ත්වයට දිගින් දිගටම ප‍්‍රතිකාර ලබාදුන්නේ විශේෂඥ වෛද්‍ය වජිර තෙන්කෝන් මහතාය. විශේෂඥ වෛද්‍යවරු සරත් ෆොන්සේකා මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව උපදෙස් ලබා දෙමින් පවසා තිබුණේ පෙනහලූ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසත් එසේ නොමැතිවුවහොත් ජීවිතයට පවා අන්තරාවක් විය හැකි බවත්ය.”නීතිය මත අදිසි හස්ත ක‍්‍රියාත්මක නොවුණොත්, නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී යම් යම් පාර්ශ්ව වෙතින් බලපෑම් එල්ල නොවුණොත් එයාට ඇප ලැබෙන්න  ඕනෑ කියලා අපි විශ්වාස කරනවා. මොනදේ වුණත් අපි මේ කාලය මුළුල්ලේම හැම දේකටම මුහුණ දුන්නා වගේම ශක්තිමත් මනසින් හැමදේකටම මුහුණ දෙනවා.” ඒ අනෝමා ෆොන්සේකා මහත්මිය කළ සඳහනකි. 25 වැනිදා නඩුව අවසන් වූ පසු බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ හිටපු යුද හමුදාපතිවරයා අධිකරණ ශාලාවෙන් පිටතට රැගෙන එද්දී වෙනදා මෙන්ම සරත් ෆෝන්සේකා මහතා හා මාධ්‍යවේදීන් හමුවීම වළක්වන්නට ආරක්ෂක නිලධාරීහු දැඩි ප‍්‍රයන්නයක් ගත්හ. එහෙත් ඒ සියලූ බාධා කිරීම් මධ්‍යයේ වූවද සරත් ෆොන්සේකා මහතා වචන කිහිපයක් කතා කළේය. ”මා බෝම්බයකට හසුවී අදට (25 වැනිදාට) වසර 6 ක් පිරෙනවා. ඉන් මාස 4 ක් රෝහලේ හිටියා. වසර දෙකක් යුද්ධය කළා. මාස 2 ක් දේශපාලනය කළා. ඉතිරි කල් ගත කළේ සිර ගෙදර. පසුගිය අවුරුදු හය තුළ රණවිරුවන් යුද්ධය කළා ඇරෙන්න ආණ්ඩුව ජනතාවට කිසිම දෙයක් කරලා නෑ. ජනතාව ඒක තේරුම් ගන්න  ඕනෑ. එදා කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන අද හැබෑ වෙලා. කිඹුල්ලූ කාලා, අකුණු ගහලා මිනිස්සු මැරෙනවා. රටට අපලයක් ඇවිල්ලා. මේකට හේතුව අපි අමුතුවෙන් කියන්න  ඕනෑ නෑ...” සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
සටහන - සංජීවිකා සමරතුංග
බන්ධනාගාර නිලධාරීන් සමග