‘‘කළු රත්තරන්’’ ලෙස විරුදාවලි ලබා ඇති ඛනිජ තෙල් ගැන ඉකුත් සතියේ අප රටෙන් වාර්තා වූයේ එතරම් සුබදායි තොරතුරු නොවේ. වසර ගණනාවක් තිස්සේ බොරතෙල් පිරිපහදු කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉකුත් සතියේ වසා දැම්මේ වෙනදා මෙන් නඩත්තු කිරීමට නම් නොවේ. ආසියාවේ පළමු බොරතෙල් පිරිපහදුව වූ සපුගස්කන්දේ පිරිපහදු කරන්නට තරම් බොරතෙල් නොමැති වීම නිසා වසා දැමීම මොනතරම් ඛේදයක්ද? සාමාන්‍යයෙන් තෙල් පිරිපහදුව ඉදි කර ඇත්තේ එක දිගට වසර දෙකක් නොනවත්වා බොරතෙල් පිරිපහදු කිරීමටය. එලෙස වසර දෙකකට පෙර එහි ක‍්‍රියාකාරීත්වය නවතා දැමූවහොත් සිදුවන අලාභය කොතෙක් දැයි නිශ්චය කළ නොහැක. කෙසේ වූවත් ඉකුත් සතියේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් සිදුවූ පාඩුවටත් වඩා අලාභ දැන් දැන් සිදුවෙමින් පවතී. ඒ පිරිපහදු කළ තෙල් මෙට්ටි‍්‍රක් ටොන් 2,15000 ක් ක්ෂණික මිලදී ගැනීම් යටතේ මිලට ගැනීමට තීරණය කළ නිසාය. බොරතෙල් අවසන් වන තුරුම සිට ක්ෂණික මිලදී ගැනීම් යටතේ පරිපහදු තෙල් මිලට ගැනීමට කළ තීරණය නිසා විශාල අලාභයක් සිදුවන බැව් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පමණක් නොව විවිධ පාර්ශ්ව ගණනාවක් චෝදනා කරති. බොරතෙල් ලංකාවට ගෙන්වා පිරිපහදු කොට අඩුමිලට විකිණීමට සැලසුම් කරමින් ඉදිකළ සපුගස්කන්ද පිරිපහදුව මේ වසර තුළ සිවු වතාවක් වසා දමන ලදී. එලෙස නියමිත කාලයට පෙර වසා දැමීම් කරන වාරයක් පාසා කෝටි ගණනින් අලාභ සිදු වේ. කාර්මික දෝෂ, අලූත් වැඩියා ආදී හේතු නිසා එලෙස වසා දැමූ තෙල් පිරිපහදුව මෙවර වසා දැමීම ගැන පාර්ශ්ව කිහිපයකින් අපි විමසා බැලීමු. මේ එහිදී ඔවුන් දැක්වූ අදහස්ය. ඛනිජ තෙල් නීතිගත සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා:-මසක් තුළ පිරිපහදුව වසන්නට වන බැව් අපි මෙයට මසකට පමණ පෙර පාලනාධිකාරියට දැනුම් දුන්නෙමු. ආසියාවේ පළමුවැනි තෙල් පිරිපහදුවේ හිමිකරුවන් වන අපට බොරතලේ පිරිපහදු කිරීම නිසාම ඉන්ධන මිල අඩුවීම පමණක් නොව අප රටේ ජීවන බර අඩු වීමට, කාර්මික දියුණුවක් ඇතිවීමට පවා හේතුවිය. ඩොලර් මිලියන 180කින් ආරම්භකළ සපුගස්කන්දේ ආරම්භක කාලයේදී දිනකට බොරතෙල් බැරල් 35,000ක් එනම් මෙටි‍්‍රක් ටොන් 4000කට වැඩි ප‍්‍රමාණයක් පිරිපහදු කර ඇත. 1989 වර්ෂය වන විට එය බැරල් 50,000 දක්වා සියයට හැත්තෑවකින් වැඩිකරන ලද්දේ අවශ්‍යතාව අනුවය. 2008 වර්ෂය වන විට එය  බැරල් ලක්ෂයක් දක්වා වැඩි කරන ලදී. එහෙත් ඒ කාලයේම අලූත් පරිපහදුවක් සපුගස්කන්දේ ඉදි කිරීමට මුල් ගල තැබූ උත්සවයට පමණක් රුපියල් ලක්ෂ 38ක් වියදම් කරන ලදී. කේසේවෙතත් ඉරානයේ ඉරානියන් ලයිට් නම් බොරතෙල් මෙරටට මුල් කාලයේ ගෙන්වූවද පසු කලෙක මලයාසියාවේ මරිලයිට් හා  ඕමානයේ හා සෞදි ආරාබියේ ඇරැබියන් ලයිට්ද ගෙන්වන ලදී. ඉරානියන් ලයිට් නොලැබුණේ ඇමෙරිකාව පනවනු ලැබූ සම්බාධක නිසාය. ඉරානයේ තෙල් ලබා ගැනීම සීමා කරන ලෙස ඇමෙරිකාව කළ දැනුම් දීම නිසා අප රටට අවැසි තෙල් ප‍්‍රමාණයෙන් ලබාගත හැකි වූයේ සියයට හැටක් පමණි. ඉරානියට් ලයිට් වලට සෑදූ පිරිපහදු යන්ත‍්‍රවලට ඇරබියන් ලයිට් හෝ මිරි ලයිට් යෙදීම නිසා යන්ත‍්‍ර සූත‍්‍රවලටද හානි සිදුවිය. එහි ප‍්‍රතිඵලය වූයේ පසුගිය ජූලි මාසයේ සිට දිනකට පිරිපහදුකරන බොරතෙල් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 3750 දක්වා එනම් බැරල් 23000 දක්වා අඩුවීමය. එයට පෙර දෛනිකව මෙටි‍්‍රක් ටොන් 6000ක්, 7000ක් අතර ප‍්‍රමාණයක් පිරිපහදු කරන ලදී. ඒ නිසාම කෝටි ගණනක පාඩුවක් සංස්ථාවට සිදුවිය. ඉරාන ලයිට් වලින් දිනකට භූමිතෙල් මෙටි‍්‍රක් ටොන් 350ක් නිපදවූ අතර එය සමස්ත අවශ්‍යතාවයෙන් සියටය අසූවකි. ඞීසල් මෙටි‍්‍රක් ටොන් 1400ත් 1700ත් අතර ප‍්‍රමාණයක් දිනකට නිපද වූ අතර පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 350ක් නිපද විණි. එය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට තිස්පහක් පමණ විය. ඒ හැර දිනකට ගුවන් යානා ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 500ක් පමණ නිපදවූ අතර දෛනික අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 800ක් විය. එමෙන්ම දැවිතෙල් අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑපහක් සපුරා ගත්තද දැනට ඇරැබියන් ලයිට් නිසා දැවිතෙල් සියයට සියයක් එනම් ටොන් 1600-1700ක් අතර ප‍්‍රමාණයක් නිපද වේ. ඉරානියන් ලයිට්වලට වඩා ඇරැබියන් ලයිට් බැරලයක් ඇමරිකානු ඩොලර් 27ක් 30ක් පමණ වැඩියෙන් ගෙවා ආනයනය කෙරේ. ඇරැබියන් ලයිට් වලින් සල්ෆර්වැඩි ඞීසල් නිපදවෙන අතර ගුවන් යානා ඉන්ධන නිපදවිය නොහැකිය. ඞීසල්, පෙට‍්‍රල්, භූමිතෙල් නිෂ්පාදනය පහළ මට්ටමකට වැටී ඇත. එය ඉරානියන් ලයිට්වලට සාපේක්ෂව සියයට පනහකින් නිෂ්පාදනය පහත වැටීමකි. කොළොන්නාවේ සිට පිරිපහදුවට ඉන්ධන ගෙන එන නළමාර්ග පමණක් නොව වරායේ සිට කොළොන්නාවට ඉන්ධන ගෙනයන නළ පහෙන් හතරක්ම මේ වනවිට බෙහෙවින් අබලන්ය. ඉනුත් ඉතිරි නළයෙන් දින කිහිපයක සිටම තෙල් කාන්දුවේ. කොළොන්නාවේ සිට පිරිපහදුවට ඉන්ධන ගෙන එන නළමාර්ගය අබලන් වීම නිසා වරායේ සිට පිරිපහදුවට බොරතෙල් ගෙන්වීමට සතියකට වඩා ගතවේ. ඒ නිසා වරායට ප‍්‍රමාද ගාස්තු ලෙස මෙටි‍්‍රක් ටොන් එකකට ඩොලර් දෙකයි දශම පහක් ගෙවිය යුතුය. හැම මෙටි‍්‍රක් ටොන් එකකින්ම අමතර ඩොලර් දෙකහමාරක් ගෙවිය යුතුවීම බලපාන්නේ ඉන්ධන අලෙවි කිරීමේදී පාරිභෝගිකයාටය. මෙයට කලින් එලෙස ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වූයේ නැත. එමෙන්ම වරායෙන් පිරිපහදුවට තෙල් ගෙන්වීමට යන කාලයට අනුව වරාය දිනකට ප‍්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 18000ක් 35000ත් අතර ගණනක් ගෙවිය යුතුය. මේ වනවිට සංස්ථාව කෝටි ගණනක මුදලක් ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවා ඇත. එය ජාතික අපරාධයකි. තෙල් සංස්ථාවට මේ වනවිට වසර 60කි. පරිපහදුවට වසර 42ක් ගෙවීයන මේකාලයේ අමතරව පිරිපහදුවට බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 1,60000ක් වත් තිබිය යුතුය. තවද දින 20කට සෑහෙන බොරතෙල් තබාගත යුතු වූවද බොරතෙල් අවසන් වන තුරුම ඒවා ගෙන්වාගත නොහැකි විය. ලොව පවතින මිලට ඉන්ධන නැවක් දින 35කට පෙර ලබාගත යුතු වූවද පිරිපහදු කළ තෙල් ක්ෂණිකව ගෙන්වීමට බැරලයකට අමතර ඩොලර් හතරක් පමණ ගෙවිය යුතුව තිබේ. එමෙන්ම නැව්ගාස්තු ලෙස සාමාන්‍ය ක‍්‍රමයට වඩා සියයට 10ත් 15ත් අතර අමතර ගෙවීමක් කලයුතුය. රඳවා ගැනීමේ ගාස්තු ලෙස තවත් ඩොලර් ලක්ෂයත්, 150,000ත් අතර ගාස්තුවක් ගෙවිය යුතුය. එවිට වූවද හොඳ තත්ත්වයේ තෙල් වෙනුවට බාල තෙල් ලැබීමේ සම්භාවිතාවද වැඩිය. ඇරැබියන් ලයිට් බොරතෙල් සඳහා සම්බාධක නොමැති බැව් දැන දැනම ඒවා කලින් නොගෙන්වීම ප‍්‍රශ්නයකි. රුපියල් බිලියන 94කටත් වඩා ලංකා බැංකුවටත්, මහජන බැංකුවටත් ණය ලෙස ගෙවිය යුතුව තිබියදී තවත් බිලියන 118ක පඩුවක් සිදුව ඇත. එමෙන්ම පිරිපහදුව වැසීම නිසා දිනකට රුපියල් කෝටි පහකට වැඩි අලාභයක් සිදුව ඇත. සංස්ථාව පිරිසිදු කළ බැරලයක් ලබාගැනීමේදී ඩොලර් 115ත් 120ත් අතර මිලකට ගෙවිය යුතුය. එහෙත් බොරතෙල් බැරලයක් ඩොලර් 95ත් 100ත් අතර ගණනක් වන නිසා ඩොලර් 20-30ත් අතර ලාභයක් සංස්ථාවට ලැබී තිබිණි. එමෙන්ම බොරතෙල් ගෙන්වීමේදී රජයන් - රජයන් අතර ගණදෙනු නිසා කොමිස් කුට්ටි ලබාගත නොහැකිය. එහෙත් විවෘත වෙළෙඳ පොළෙන් වැඩිමිලට පිරිපහදු කළ ඉන්ධන ගැනීමෙන් අතිශය විශාල කොමිස් කුට්ටි ලබා ගත හැකිය.බොරතෙල් පිරිපහදුවට ඇරැුබියන් ලයිට් හා මිරි ලයිට් මිශ‍්‍ර කර පිරිපහදු කිරීිමෙන් වැඩි ධාරිතාවයක් ලබා ගත හැකි වූවද ඒ සම්බන්ධවද කිසිදු අවධානයක් යොමු කර නැත. මේ සියල්ල අනුව පෙනී යන්නේ තෙල් සංස්ථාව පාඩු ලබන බැව් පෙන්වා විදේශ රටකට කුට්ටි පිටින් විකිණීමට විය හැකිය. තෙල් සංස්ථාවේ වටිනාකම තක්සේරු කිරීමෙන්ම එය පෙනී යයි. මන්ද මෙයට පෙර තක්සේරු කරන ලද සෑම ආයතනයක්ම විකුණා ඇති නිසාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා. ආණ්ඩුව කාලයක සිට ක‍්‍රමානුකූලව සැලසුම් කළේ පෞද්ගලික අංශයට තෙල් සංස්ථාව විකිණීමටය. අපේ තෙල් සංස්ථාවේ ශක්‍යතාව අනුව දිනකට අවම මට්ටමින් බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 6000ක් වත් පිරිපහදු කළ යුතුය. අපේ පිරිපහදුව දුවන්න ගැලපෙන හොඳම අශ්වයා ඉරාන තෙල්ය. එයින් වැඩිපුර ඞීසල් පෙට‍්‍රල් නිපද විය හැකිය. එහෙත්  ඕමාන් හෝ අරාබි තෙල්වලින් දැවිතෙල් නිපදවන අතර එයට විශාල පිරිවැයක්ද වැයවේ.
පුෂ්පා වීරසේකර