එදා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවැති ලංකාව දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග පැය 48ක් තුළ ප‍්‍රදේශයේ ජනතාවට ඉවත් වීමේ හදිසි නියෝගයක් නිකුත් කරමින් ක්‍ෂණිකව ඉදි කළ මාවතගම ගුවන් තොටුපොළ මවුන්ට් බැට්න් සාමිවරයාට එංගලන්තයේ සිට පැමිණ මහනුවර තම පාලන මධ්‍යස්ථානය දක්වා ගමන් කිරීම සඳහාම ඉදි කළ බව පැවසේ. අද එය මාවතගම "අහස් යානා පිටිය” නමින් හැඳින්වේ. එවකට ජනයා සතුව පැවති වෙල්යාය පුරවා ඉදි කරනු ලැබූ එම ගුවන් යානා තොටුපොළේ සිට මාවතගම නගරය දක්වා මාර්ගය -මවුන්ට් බැට්න් රෝඞ්” නමින් එදා නම් කර තිබූ බවක් ද කියැවේ. මාවතගම හිටපු විදුහල්පතිවරයෙකුවූ  ඩබ්.පී. සනී ඔස්ටින් මහතාට (70) මේ ගුවන් තොටුපොළ ගැන මතකයක් ඇත. 1939 එංගලන්තය, ඇමරිකාව, රුසියාව යන රටවල් මිත‍්‍ර පාක්‍ෂිකව සිටියා. එවිට ගුවන් හා නාවුක වශයෙන් එංගලන්තයට ශ්‍රී ලංකාව අග්නිදිග අසියාවේ වැදගත්ම මධ්‍යස්ථානයක් වශයෙන් තෝරාගනු ලැබුවා. ඒ නිසාම මේ පිරිස අග්නිදිග ආසියාවේම වැදගත් මධස්ථානයක් වශයෙන් ද මහනුවර රහසිගත ස්ථානයක් ලෙස පවත්වාගෙන ගියා,” ඔස්ටින් මහතා කියයි. මවුන්ට් බැට්න් සාමිවරයාට ඉතාම සුදුසු රහස්‍ය මධ්‍යස්ථානය ලෙස මහනුවර බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය විසින් ද අනුමත කොට තිබිණි. ඔහුට බි‍්‍රතාන්‍ය රජය සමග ක්‍ෂණිකව සම්බන්ධතාවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ඇති විය. මේ සඳහා ගුවන් තොටුපළක් අවශ්‍ය බව වැටහී යාමෙන් ඒ සඳහා ගුවන් තොටුපොළක් ක්‍ෂණිකව ඉදි කිරීමට  කටයුතු කළේය. කඳු සහිත බිමක් වූ මහනුවර ඊට සුදුසු නොවීය. මාවතගම, මාරලන්ද, කලහේන්ගොඩ අක්කර 300 පමණ විශාල තැනිතලා සහිත භූමිය ඊට ඉතාම සුදුසු වූ බැවින් ක්ෂණිකව එහි ගුවන් තොටුපොළක් ඉදි කිරීමට පියවර ගනු ලැබිණි. ඒ වන විට එම ප‍්‍රදේශය වගා කළ කුඹුරු සහිත ගේදොර ඉදි කරනු ලැබූ ජනාකීර්ණ ස්ථානයකි. වහා කි‍්‍රයාත්මක වන පරිදි පැය 48ක් තුළ එහි පදිංචිව සිටි ජනතාවට ඉවත් වීමේ නියෝගයක් නිකුත් කරනු ලැබූ අතර ඒ වෙනුවට අවට ප‍්‍රදේශවල තාවකාලිකව නිවාස ඉදි කරදීමට පියවර ගත්තේය. ක්‍ෂණිකව ඉදි කළ නිවාසවල වහලයට තාර පැදුරු එළන ලද බවත් ලීවලින් රාමු සාදා මැද ගෝනි පඩංගු ගසා ඒ තාවකාලික නිවාස ඉදි කරනු ලැබූ බවත් කියති. පොතුබෝව, තලහේන්ගොඩ එම නිවාස එදා ඉදි කරනු ලැබිණි. එදා කුඹුරු හා ඉඩකඩම් අහිමිවූ අයට මාවතගම අවට පදිංචි වීමට ද කටයුතු කර තිබිණි. ගුවන් තොටුපළ සැකසීමට අවශ්‍ය කටයුතු ක්‍ෂණිකවම සිදු වෙද්දී කුඹුරු පිරවීම සඳහා මාවතගම නගරය අවට  කඳු කපා බොරලූ ගෙන ගියේය. ප‍්‍රදේශයේ ජනතාව මෙම ගුවන් තොටුපොළ සැකසීමේ දී කුලීකරුවන් ලෙස ද කටයුතු කර තිබිණි. ඒ සඳහා ඔවුන්ට වැටුප් ගෙවනු ලැබීය. බොරළුවලින් කුඹුරු යායවල් පුරවා තැනිතලා මට්ටමට පත් කර ඒ මතුපිට ගණ තාර පැදුරු එලා සකස් කළේය. තැනිතලා ගුවන් තොටුපොළෙහි ජලය බැස යාමට අවශ්‍ය පරිදි ඇතුළට යකඩ තහඩුවලින් නිම කරන ලද සැතපුම් කාලක් පමණ දික් වුවත් අඩි 7ක් පමණ උසින් යුතු බෝක්කු යොදා තිබූ බවට ද සාධක ඇත. සැතපුම් කාලක් තරම් දික්වූ ගුහා තුනකින් යුතු  ඕනෑම පුද්ගලයකුට කිසිදු අපහසුවකින් තොරව හිටගෙන ගමන් කළ හැකි මෙම බෝක්කු තුළ අඟලක් තරම් ඝණ යකඩ තහඩුවලින් ඇතුළට ආවරණය සකස් කර තිබෙනු දක්නට ලැබේ. සිමෙන්තිවලින් සකසා ඇති මෙම බෝක්කු අද ද ගොවි ජනතාව විසින් හරක් දක්කාගෙන යාම සඳහා යොදා ගන්නා බව පැවසේ. තැනින් තැන පස් කණ්ඩි  කඩා වැටී මග අවහිර වී ඇත. උස පොල් ගසක් තරම් උස්වූ ගඩොලින් ඉදි කරනු ලැබූ ගුවන් තොටුපොළේ සිග්නල් ලයිට් කණු මෑත යුගය දක්වා දක්නට තිබූ බව ද මෑත කාලයේ නිවාස ඉදි කිරීම් සඳහා එම ගඩොල් ගලවාගෙන ගොස් තිබෙන බව ද පැවසේ. මේ ගුවන් තොටෙහි අහස් යානා බැස්සවීම සිදු කරනු ලැබුවේ වසර දෙකක් තරම්වූ සුළු කාලයකි. මේ ගුවන් තොටුපළ ලෝක යුද්ධය අවසන්වී යාමත් සමග අවට ජනයා විසින් මෙහි තාර පැදුරු, කම්බි, ගඩොල් ආදිය ගලවාගෙන යනු ලැබිණි. 1954 දී ඉන්ධන හිඟවූ ගුවන් යානාවක් හදිසියේ මෙම ස්ථානයට බැස්සවූ බවක් ද කියවේ. මේ ගුවන් තොටුපොළ අවට වතුර බැස යාමට සාදා තිබූ බෝක්කු යකඩ කමිබි රහිතව සිමෙන්තිවලින් සකස් කර තිබුණි. 1940 දී පමණ මාවතගම මුලින්ම මේ සිමෙන්ති වැඩ ආරම්භ කළේ මේ ගුවන් තොටුපොළ බෝක්කු ඉදි කිරීමටය. ඊට පෙර නිවාස බොහොමයක් ඉදි කර තිබුණේ හුණු බදාම මිශ‍්‍ර මැටියෙනි.” විශ‍්‍රාමික විදුහල්පති සනී ඔස්ටින් මහතා පැවසීය. අතීතයේ පැවැති මාවතගම ගුවන් තොටුපොළ පිළිබඳ අහස් යානා පිටිය ප‍්‍රදේශයේ පදිංචි ඩිංගිරි නයිදේ මහතා (94) මෙසේ අදහස් දැක්වීය. 1940 ලෝක යුද්ධය කාලේ මං අවුරුදු 20ක තරුණයෙක්. මම පදිංචි වෙලා හිටියේ තලහේන්ගොඩ. ගුවන් තොටුපොළ හදන්න ගඩොල් ඇද්දා. කුලියට වැඩ කළා. එක දවසක් ගඩොල් පටවපු ලොරිය පෙරළුණා. මට ඒකේ වැඩ එපා උණා. එදා මේ ගුවන් තොටුපළට දවසකට අහස් යානා දෙකතුනක්  බැස්සුවා. සමහර දවස්වලට එන්නෙම නෑ. තාර පැදුරු එලා තිබුණා. ඒ දවස්වල කාපිරියෝ ට‍්‍රක්වල නැගලා එහාට මෙහාට ගියා. ගුවන් තොටුපොළට ටිකක් ඈතින් සුද්දන්ට බංගලා තිබුණා. සුදු මහත්තුරු පදිංචි වෙලා හිටිය බංගලාවක් තමා දැනට පොතුබෝව ඉස්කෝලෙ හරිය. "මම ඒ කාලෙ වඩු වැඩ කම්මල් වැඩ කරල ජීවත් උණා. මට දරුවො 10ක් සිටියා,” යයි ද ඩිංගිරි නයිදේ මහතා පැවසීය. දැනට අහස් යානා පිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින බී. ජයවර්ධන (82) මහතා මෙසේ අදහස් දැක්වීය. ඔය ගුවන් තොට හදන කොට මට වයස අවුරුදු 12යි. ඔය තැන තියන විශාල ගුහා තුනට අපි කීවේ මහා මින්ටේරි බෝක්කු කියලා. මගේ මහ ගේ තිබුණේ මීතැන්වල කියන ගමේ. මගේ තාත්තා, සීයා මේ ගුවන් තොටේ කුලියට වැඩ කළා. ඒ දවස්වල ගුවන් යානා හැමදාම ආවා මේ ගුවන් තොටුපොළට. මේ එන ගුවන් යානාවලට පේන්න බැලූම් උඩ යවලා ඒ බැලූම්වලට විදුලි ලාම්පුවක් ඇල්ලූවා. නූලෙන් උඩ යවපු බැලූම් අහසේ බල්බ් වගේ දිලිසුනා. හතරැස් කොටුවට උසට ගඩොලින් බැඳපු ලයිට් කණු තිබුණා. බිම ඉඳලා ස්විච් දැම්මාම කණුව උඩ බල්බ් දැල්වුණා. පිට්ටනිය වටේත් ඇතුළත් තාර පැදුරු එදා තිබුණා. උස වැඩි තැන් හැමදාම රහිනවා. ආය සමතලා කරනවා. මේකට පිරිසක් හිටියා කුලියට දමලා. මේ ප‍්‍රදේශය වටේම විදුලිය කම්බි ඇදලා තිබුනේ පොළව යටින්. ඒ කම්බි තඹ. ඒවාගේ ආරක්‍ෂාවට ඊයම් කම්බි තිබුණා. මිනිස්සු මේ තඹ කම්බි ගලවලා කඩවලට විකුණුවා. යුද්ධය අවසන් වෙන කාලේ මිනිස්සු වගාවට මේ භූමි යොදා ගත්තා දුම්කොළ, බටු, එළවළු ආදිය සඳහා. "මට මතකයි ඒ කාලෙ අපිට කන්ඩ තිරිඟු බෙදුවා. හාල් බෙදලා දුන්නා. ගෙවල් කඩා ඉවත් කළ අයට සල්ලිත් දුන්නා වන්දියට.” අහස් යානා පිටියේ ආර්. බේබි නෝනා (75) මහත්මිය කීවේ, අපි පුංචියි ඒ කාලේ. ගුවන් යානා ආවාම අපි ඈත ඉඳලා බලාගෙන ඉන්නවා ළඟට යන්න දුන්නෙ නෑ,” කියාය. මිල්ටේරි කාලෙ වලලපු තාර පැදුරු රෝලක් අපේ වත්ත කෙළවරෙත් තිබුණා. ඒ කාලේ අපි ඒ පැදුරු රෝල උඩ වාඩි වෙලා හිටයා මට මතකයි. පස්සේ කාලේ අහස් යානා පිටිය තිබුණ තාර පැදුරු ගලවලා ගෙවල්වලට එළා ගත්තා,” විනීතා මාලනී මහත්මිය කියයි.
විස්තර ඡායාරූප -- මාවතගම කාන්චනමාලා බණ්ඩාර
එදා ගුවන් තොටුපොළ අද තැනිතලා කුඹුරු යායක් ගුවන් තොටුපොළ භූමියේ තිබෙන දැනට දිරා යමින් පවතින සැතපුම් 1 /4 පමණ දිග අඩි 7ක් උසැති විශාල මිල්ටේරි බෝක්කු