ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  අර්නස්ට් වඩුගේගේ මතකයෙන්....
එච්.ආර්.ජොතිපාල නැත්නම් ජෝතිගේ නිවෙස පිහිටා තිබුණේ මාලිගාවත්තේය. වත්මන් එච්.ආර්.ජෝතිපාල මාවත ලෙස නම්කර ඇති පාරේ පසෙක තිබුණු නිවාස සංකීර්ණයේය. ඊට නිවාස කිහිපයකට ඔබ්බෙන් තිබුණේ ප‍්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේගේ නිවෙසය. මේ නිවෙස් දෙක එක ළඟ පිහිටා තිබීම නිසා මේ ගායකයාත් මාධ්‍යවේදියාත් අතර පැවතියේ කල්‍යාණ මිත‍්‍රත්වයකි. බොහෝ සන්ධ්‍යාවන්හි මේ දෙදෙනා කලා ලොවේ තවත් මිත‍්‍රයනුත් සමග එකට එකතු වී මිත‍්‍ර සමාගම් පවත්වති. මධුවිතක් හුවමාරු කරගෙන ජෝතිගේ මියුරු ගීතයක රසය ද විඳ ගැණිනි. ජෝතිගේ අසල්වැසියා වූ පිනින් ඔහුගේ ගති ස්වභාවයන් ගැන මෙන්ම ඔහුගේ අතිශය පෞද්ගලික තොරතුරු ද දැන ගැනීමේ වාසනාව අර්නස්ට් වඩුගේට හිමිවිය. එසේම ඔහු ”සත්සර” නම් සංගීත පුවත්පත් විශේෂාංග කර්තෘවරයා ලෙස ජෝතිගේ ජීවිත කතාව ද කොටස් වශයෙන් ලිව්වේය. ඒ සියලූ කොටස් එකතු කර අමරණීය ජෝති නමින්ද හදවත රත්තරං නමින්ද ජෝතිගේ ජීවිත කතාව පොතකට ගොනු කළ වඩුගේ තරම් ජෝති ගැන කතා කරන්ට හපනෙක් ලංකාවේ නැත. ඉතින් ජෝති ගැන රස කතා මෙන්ම මතක සටහන් පෙළගස්වන්නට වඩාත්ම සුදුස්සා වන්නේද ඔහුමය. ජෝතිගේ විසිපස්වැනි ගුණසමරුව පැවැත්වෙන මේ මොහොතේ ඔහු පිළිබඳ රස මතක පෙළගැස්වීම උදෙසා අපි අර්නස්ට් වඩුගේ නම් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට ඇරයුම් කළෙමු. ”මට ඉස්සෙල්ලාම ජෝතිව මුණ ගැහුණේ ගාල්ලේදී...” වඩුගේ කතාව ආරම්භ කළේ ඔහුගේ පාසල් වියෙනි. ගාල්ලේ නගර ශාලාවේ ජෝතිගේ ප‍්‍රසංගයක් තිබුණා. ඒ ප‍්‍රසංගය බලන්න මමත් ගිංතොට ඉඳලා ගාලූ ගියා.  මගේ එක්ක තවත් යාළුවෙකුත් හිටියා. අපි යනකොට නගර  ශාලාවේ ඇඟිල්ලක් ගහන්න බැරිතරම් සෙනඟ පිරිලා. හුඟ දෙනෙක් හිටගෙනත් හිටියා. මමයි මගේ යාළුවයි දෙන්නත් හිටියේ හිටගෙනමයි. කොහොමහරි ජෝති සිංදු කියලා ඉවරවෙලා වේදිකාවෙන් ඉවතට ගියා. මමත් මගේ යාළුවත් එක්ක හෝල් එකෙන් පිටවෙලා වේදිකාව පැත්තට ගියා. ”අද නම් කොහොම හරි ජෝති අයියව මුණ ගැහිලා කතා කරලමයි මම ගෙදර යන්නේ.” ඒ යන ගමන් මම මගේ යාළුවට කිව්වා... ඒත් අපි වේදිකාව ළඟට යනකොට ජෝති අයියා වේදිකාව ළඟ නැහැ. මම එතන හිටිය අයගෙන් ඇහුවා කෝ ජෝති අයියා කියලා. ඒත් කවුරුවත් ජෝති ගැන හෝඩුවාවක් දුන්නේ නෑ. ගාල්ලට ඇවිල්ලත් ජෝතිව මුණ ගැහෙන්න බැරි වුණා. මම මගේ යාළුවට කිව්වා. ඒකනේ මමත් ආසාවෙන් උන්නේ ජෝති අයිය එක්ක කතා කරන්න. එතකොට යාළුවත් කිව්වා. ”අපි තව ටිකක් වෙලා කැරකිලා බලමුද” මං ඇහුවා ඔව්, බලමු තවම නම් ජෝති අයියා යන්න විදිහක් නෑ. යාළුවත් එහෙම කිව්වා. ඉතින් අපි නගර ශාලාව වටේ ඇවිදින්න පටන් ගත්තේ. කවුරුදෝ දෙන්නෙක් තාප්පෙට හේත්තුවෙලා කතා කර කර ඉන්නව මං දැක්කේ ඔය අතරේ. හඳ එළියට හෙවනැලි දෙකක් විතරක් පෙණුනත් මට හිතුනෙම එතන ජෝති අයියා ඉන්නවා කියලා. මම යාළුවත් ඇදගෙන ඉක්මන් ගමණින් එතනට ගියා. මම හිතුව හරි. එතන ජෝති අයියා හිටියා. අනිත් එක්කෙනා කරුණාරත්න අබේසේකර. මම මගේ සමරු පොතත් අරගෙන එතනට ගිහින් ජෝති අයියට දුන්නා. ජෝති අයිය පොත දිග ඇරලා පිටුවක් පිරෙන්න අත්සන ගහල පොත කරු අයියගේ අතේ තිබ්බා. මල්ලි මොකද කරන්නේ ජෝති අයියා ලස්සනට හිනාවෙලා ඇහුවා. දැනට නම් මුකුත් නෑ අයියේ  මං කිව්වා. මොනවද කරන්න බලාපොරොත්තුව ඊළඟට ජෝති අයියා ඇහුවා. මම කැමති පත්තරවලට ලියන්න. අපෝ අපෝ පත්තරවලට ලියල විතරක් මදි. මල්ලි පත්තර කර්තෘ කෙනෙක් වෙන්න  ඕන. ඊට පස්සේ මේ ජෝති අයිය ගැනත් ලිපියක් ලියන්න  ඕනෙ හරිද මල්ලී. ජෝති අයිය කිව්වේ මගේ පිටටත් අතක් තියලා. ප‍්‍රථම වතාවට තම පි‍්‍රයතම ගායකයාගේ ලෙංගතු වචන හදවතේ පුරවාගෙන ඔහුගේ අත්සන යෙදු සමරු පොත මහාර්ඝ වස්තුවක්සේ පපුවට තුරුලූ කරගෙන ගෙදර බස්රියට නැගුණු වඩුගේගේ පපුව අප‍්‍රමාණ ප‍්‍රීතියකින් පිරී තිබිණි. ඒ එන ගමනේදී තම මිතුරා  සමග ජෝති කී දේවල් යළි යළිත් සිහිපත් කළේය. කොහොම හරි ජෝති අයියව මුණ ගැහෙන්න ලැබුණනේ මචං ඒකනම් ලොකු දෙයක්. වඩුගේ කීවේ අප‍්‍රමාණ ප‍්‍රීතියෙනි. ඉන් කලකට පසුව අර්නස්ට් වඩුගේ මාධ්‍යවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයේ සේවය කළේය. ඔහුගේ නවාතැන් පොළ වූයේ සරසවිය ............ පුවත්පතයි. එහි ප‍්‍රශ්න උත්තර තීරුවක පාඨක ප‍්‍රශ්නවලට උත්තර ලිව්වේ වඩුගේය. ඒ වෙනකොට ජෝතිපාල චිත‍්‍රපට දෙක තුනකත් රඟපාලා තිබ්බා. ඉතින් එක පාඨකයෙක් ප‍්‍රශ්නයක් අහල තිබුණේ ජෝතිපාල ඉස්සරහට රඟපාන චිත‍්‍රපට මොනවද කියලා. ඇත්තටම ජෝතිගේ සිංදු මිසක එයාගේ රඟපැම් එච්චර   සාර්ථක වුණේ නෑ. ඒ නිසා මං උත්තරය විදිහට දුන්නේ මොනවා ජෝතිපාල රඟපානවද? කියලයි. ඇත්තටම ඒ උත්තරෙන් ව්‍යංගයෙන් කියවුනේ ජෝතිගේ රඟපෑම් අසාර්ථක බවයි. කොහොම හරි මේ උත්තරේ ජෝති දැකලා තිබුණා. ඒ ගැන එයා හිටියේ තරමක් අප‍්‍රසාදයකින් කියලත් මට දැනගන්න ලැබුණේ” අර්නස්ට් වඩුගේ තවත් මතක සටහනක් දිග හරියි. එහෙත් ඔහුට ජෝතිගෙන් කිසිම ප‍්‍රතිචාරයක් ලැබුණේ නැත. කාලය ගෙවී ගියේය. කඳානේ ලින්ටන් සාප්පුවේ අනුග‍්‍රහයෙන් පැවති අවුරුදු කුමාරි තරගයකට සහභාගි වීමට වඩුගේට ද ඇරයුම් ලැබිණි. ඒකට ජෝතිත් නම්කර හිටියා. තව ටෝනි රණසිංහයි. ලංකාවේ ජනප‍්‍රිය නළුවො එහෙම ගොඩක් ඇවිත් හිටියා” වඩුගේ ඒ මතකය ද සිහිපත් කරයි. ”අවුරුදු කුමාරි තරගේ ඉවරවෙලා ? පාටියක් තිබුණා. මම ඒ කාලේ මත් වතුර බොන්නේ නැහැ. ඉතින් බියර් වීදුරුවක් පුරවාගෙන ටික ටික තොලගාලා පැත්තකට වෙලා හිටියා. ජෝතිපාලත් ඔය සාදයට ඇවිත් ඉන්නවා මං දැක්කා. ඒත් අර උත්තරේ ගැන ජෝති අප‍්‍රසාදෙන් ඉන්නවා කියලා කියන නිසා මට ජෝති ළඟට යන්න හිත දුන්නේ නෑ. ඔය වෙලාවේ ජෝති ළඟ හිටපු ටෝනි මගේ ළඟට ආවා. ”වඩු උඹ දැක්කනේද. ජෝති මගෙ එකක් කතා කලා. ටෝනි ඇහුවේ රහසෙන්. ”ඔව්” මං කිව්වා. මිනිහා ඇහුවේ අර්නස්ට් වඩුගේත් මෙතැන ඉන්නවද කියලා. ඒත් මං කිව්වා මිනිහා අහිංසකය මෙතන ප‍්‍රශ්න ඇතිකර ගන්න එපා කියලා! එතකොට ජෝති කිව්වේ මං  ඕකගේ කණ පලනවා කියලයි. වඩු පුළුවන්නම් මෙතනින් මාරුවෙලා යන්න...... ටෝනි කිව්වේ ජෝති දිහා හොරෙන් හොරෙන් බල බලා. ටෝනිගේ මූණෙත් හිනාවක්වත් නෑ. මෙයා කියන්නේ ඇත්ත තමා කියලත් මට හිතුනා. ඒත් මං වගක් නැතුව  වගේ ඔහේ හිටියා. චුට්ටකින් ජෝති මගේ ළඟට ඇවිත් කරේ අත දාගත්තා. මෙන්න මහ ලොකු මාධ්‍යවේදියෙක් බියර් බොනවා. බීපන් බීපන් විස්කි උගුරක් කියලා ජෝතිගේ අතේ තිබුණු විස්කි වීදුරුව මගේ කටට ළං කළා. ඒත් අර ජෝතිගේ රඟපෑම් ගැන මගෙන් වචනයක්වත් ඇහුවේ නැහැ. ඒ ජෝතිය. මේ ජෝති ඊට පසුකලෙක වඩුගේ ළඟම මිතුරකු බවට පත්වන්නේ ඔහු මාලිගාවත්ත මහල් නිවාසයට පදිංචියට පැමිණීමත් සමඟය. ”ජොති හරියට වෙලාවට වැඩ කළ කෙනෙක්. වඩුගේ කියන්නේ තම අසල්වැසියා පිළිබඳව සිය දෑසින්ම දුටු දේවල්ය. ”ජෝති උදේ පාන්දරම නානවා. ඊට පස්සේ මල් ටිකක් කඩාගෙන ඇවිත් බුදුන් වඳිනවා. හඳුන්කූරු පත්තු කරනවා. ජෝතිගේ ජීවිතේ පළමුවැනි ලොකුම රාජකාරිය තමා බුදුන් වැඳීම. ජෝතිගේ කාමරේක බුද්ධ පින්තූරයක් එල්ලලා. බුදු පිළිමයක් තියලා තියෙනවා. ජෝතිගේ අනිත් හොඳ පුරුද්ද තමා වෙලාවට වැඩ කිරීම. පත්තරේකින් කවුරු හරි එනවා කිව්වොත් ඔක්කොම වැඩ නතර කරලා වෙලාවට ඇවිත් බලන් ඉන්නවා. ”ඒ දවස්වල මම ජීවිත කතාව ලියද්දී සතියකට දවසක් ජෝතිගේ ගෙදරදී අපි මුණගැසුනා. කතා කළේ ජෝතිගේ කාමරේ ජෝතිගේ ඇඳේ ඉඳගෙන ඒ වෙලාවට සක්කරය ආවත් ජෝති කතා කරන්නේ නෑ. ජෝතිගේ සේවකයා මුනිදාසට කියන්නේ ජෝතිපාල ගෙදර නෑ කියන්න කියලයි...” එච්.ආර්. ජෝතිපාල කිසියම් කාලයක ලංකාවේ කාර්යබහුල ගායන ශිල්පියා වූයේය. හැම චිත‍්‍රපටියකම පසුබිම් ගීත ගායනා කළේ ඔහුය. ලංකාවේ ජනකාන්ත නළුවන් හුඟදෙනෙකුටම ජෝතිගේ හඬ හරියටම ගැලපුණේය. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය පමණක් නොව තවත් නළුවන් රාශියකටම ජෝතිගේ හඬ නියමෙට ගැලපුණි. ආනන්ද ජයරත්න, පේ්‍්‍රම් ජයන්ත්, ඩොමී ජයවර්ධන, අශෝක පොන්නම්පෙරුම, ඇන්තනී සී. පෙරේරා, ජෝ අබේවික‍්‍රම, ටෝනි රණසිංහ, බැප්්ටිස් ප‍්‍රනාන්දු, සේනාධීර රූපසිංහ, රෝයි ද සිල්වා, රොබින් ප‍්‍රනාන්දු, ස්ටැන්ලි පෙරේරා, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග ආදීන් ද ඒ අතර විය. මොකක් හරි සිංදුවක් රෙකෝඩින් තියෙනවා නම්, ජෝති ඒකට ලෑස්ති වෙන්නේ බොහොම උනන්දුවෙන්. සාමාන්‍යයෙන් ජෝති මත් වතුර බොන කෙනෙක්නේ. ඒත් රෙකෝඩින් එකක් තියෙනවා නම් කලින්දාට ජෝති බොන්නේ නෑ.....” වඩුගේ කියන්නේය ”දන්නවද? වතාවක් ජෝතිට ස්වීප් එකකුත් ඇදුනනේ” මේ ඔහුගේ මතකයට එන තවත් රස කතාවකි. මං හිතන්නේ ඒක දෙවෙනි දිනුම. ජාතික ලොතරැයියේ දෙවැනි දිනුමට ඒ පාර හතලිස් දාහක් හරි හැට දාහක් හරි හම්බවුණා” ඒකෙන් ජෝති මොකක්ද කළේ? පහුවෙනිදාට ඉවරයි. ජෝති එහෙම සල්ලි අතේ තියාගත්තු මනුස්සයෙක් නෙවෙයිනේ. කොච්චර හම්බවුණත් පහුවෙනිදාට අතේ සතේ නෑ. මට මතකයි එක දවසක් ජෝති මාව එයාගේ කාර් එකෙන් ඔෆිස් එකට එක්කගෙන ගියා. ඒ කාලේ ජෝතිට තිබුණෙ ඩිලූක්ස් කාර් එකක්. හුඟාක් ලොකු කාර් එකක්. යන ගමන් තැඹිලි කරත්තයක් දැකලා නතර කළා. වඩු අපි තැඹිලි ගෙඩියක් බීලා යමුද කියලා. ඊට පස්සේ තැඹිලි ගෙඩි දෙකක් බිව්වා. පර්ස් එකෙන් රුපියල් දාහක් අරගෙන තැඹිලි වෙළෙන්දාට දුන්නා. අනේ සර් මාරු නැහැනේ. මට රුපියල් විස්සක් දෙන්න. තැඹිලි වෙළෙන්දා කිව්වේ ඔලූව කස කසා. ලොකු උන්නැහේ  ඕක තියාගන්න. ජෝති කිවේවෙ හිනාවෙවී. ”පව්නේද අහිංසකයා” ජෝති කාර් එක ස්ටාට් කරන ගමන් මගේ දිහා බලලා කිව්වා. ඔන්න ඔය විදිහට තමයි ජෝතිගේ ස්විප් දිනුම දවසින් ඉවර වුණෙත්. ජෝතිට වියදම් කරගෙන නෙමේ. මිනිස්සුන්ටම දීලා. ඊළඟට වඩුගේ ගේ මතක පොතේ පිටු පෙරලෙන්නේ ජෝති රාත‍්‍රිය ළඟය. යුගයක අතිශයින්ම ජනප‍්‍රිය වූ ඒක පුද්ගල ගී ප‍්‍රසංගය වූ ජෝති රාත‍්‍රිය දර්ශන වාර දෙසීය ගණනක් පැවැත්වුණ අතිශය ජනප‍්‍රිය වූවකි. මරදානේ ටවර් රඟහලේදීම එහි දර්ශන වාර දෙසිය ගණනාවක් පැවැත්විණි. ජෝති රාත‍්‍රියට හැමදාමත් සෙනඟ පිරුනේ එක දවසක් කොළඹ හිඟන්නෝ දෙන්නෙකුත් ජෝති රාත‍්‍රිය බලන්න ඇවිත් හිටියා. සතේ දෙකේ කාසිවලින් රුපියල් දහය දහය හදාගෙන ඇවිත් හිටපු මේ හිඟන මිනිසුන් දෙන්නට ටිකට් ගන්න බැරිවුණා. දහයේ ටිකට් ඉවර වෙලා. පනහේ ටිකට් විතරයි තියෙන්නේ. ටිකට් දෙන මනුස්සයා කිව්වා. අනේ සර් අපි මේ රුපියල් දහය එකතු කර ගත්තෙත් දවස් ගණනක් හිඟා කාලා. අපි කොහොමද රුපියල් පනහක් හොයන්නේ. කොහොම හරි අපට අපේ බුදු සර්ගේ සිංදු අහන්න ටිකට් දෙකක් දෙන්න. මේ හිඟන මිනිස්සුත් ඇවිටිලි කරනවා. ටිකට් දෙන අය මේ මනුස්සයින්ට ටිකට් දෙන්නෙත් නෑ. උන් දෙන්න යන්නෙත් නෑ. කොහොම හරි මේ කතාව ජෝතිගේ කණට ගියා. ජෝති එතෙන්ට ආවා. මොකද ලොකු උන්නැහැල ජෝති ඇහුවේ හිනාවෙවී. අනේ බුදු සර් අපි ආවේ සර්ගේ සිංදු අහන්න. සර්ගෙම සිංදු කියලා රුපියල් දහයක් හොයාගෙන. ඒත් ටිකට් ඉවරලූ සර්. හිඟන්නෝ දෙන්නා කිව්වේ බොහොම බැගෑපත්ව ”මේගොල්ලො තමයි මල්ලි නියම රසිකයො..” ජෝතිපාලම ටිකට් දෙන එක්කෙනාට එහෙම කියල අර හිඟන මනුස්සයෝ දෙන්නව ශාලාවට එක්ක ගිහින් ප‍්‍රධාන අමුත්තගේ දෙපැත්තෙන් වාඩි කෙරෙව්වා. ජෝති කළේ ඒ වගේ වැඩ. අර්නස්ට් වඩුගේ සිනාසෙන්නේ සතුටෙනි ”තව දවසක් ජෝති මාර වැඩක් කළානේ” ”ඒ මොකක්ද?” ටවර් රඟහලේ ජෝති ප‍්‍රසංගයක් තිබුණ. මම ඒක බලන්න යනකොට ප‍්‍රසංගය පටන් අරගෙන. මම සද්ද නැතුව හෝල් එකට ඇතුල්වුණා. ඒ වෙලාවේ ජෝති කිය කියා හිටියේ සිහින අහසේ වසනේතේ සිංදුව. මෙන්න එකපාරටම සිංදුව මැද්දෙදි ජෝති එනවුස්මන්ට් එකක් දෙනවා. ඔව් ආදරණීය රසිකයනි, දැන් ශාලාවට ඇතුල් වුණේ අපේ රටේ ප‍්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ. අපි අද මෙතන සිංදු කියන්නේ එයා හින්දා.. ඒ වෙලාවේ මාව බලන්න මිනිස්සු පුටුවලින් නැගිට්ටා. ජෝති කියන්නේ ඒ වගේ මනුස්සකම් තියෙන පුදුම මනුස්සයෙක්. ඒ වඩුගේගේ ජෝති පිළිබඳ මතක සමුදායෙන් අල්ප මාත‍්‍රයකි. කලා ලෝකයේ ජෝති පිළිබඳ දන්නා බොහෝ දෙනා අතරින් බොහෝ දේ දන්නා මිනිසාය. තවත් රස මතක අනන්තවත් ඔහු සතුවනු ඇත. එහෙත් ජෝති මතක මෙපමණකින් නවතා අපි අර්නස්ට් වඩුගේ ප‍්‍රවීණ මාධ්‍යවේදියාට සමුදුන්නෙමු.
ශාන්ත කුමාර විතාන
චන්ද්‍රානි ගුණවර්ධන සමග යුග ගීයක් ගයමින්... ජෝති රාති‍්‍රයදා  දියනිවරු සමග