(කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපාධිපති,  ආචාර්ය ටියුඩර් වීරසිංහ)

ජනමාධ්‍ය යනු සාම්ප‍්‍රදායික නැතහොත් පූර්ව නූතන සමාජයේ අදහසකි. තොරතුරු සන්නිවේදනයට අදාළව නූතන සමාජයේ ඒ සඳහා වූ ප‍්‍රශස්තම යෙදුම වන්නේ සංහතික මාධ්‍යයි. එහෙත් ලංකාවේදී ශාස්ත‍්‍රීය අවකාශයෙහි උගැන්මෙහි සිට විෂය ක‍්‍රියාකාරී ක්‍ෂේත‍්‍ර දක්වා අපට තිබෙන්නේ සංකල්පීයව මෙන්ම භාවිතාවෙන් ද වරද්දාගත් ඉතිහාසයකි. විෂය ක‍්‍රියාකාරී ක්‍ෂේත‍්‍රයෙහි යම්කිසිවෙකු වෘත්තිකයකු වන්නේ ශික්ෂණයක් හා අධ්‍යාපනයක් සමඟින් වන අතර රටක පවතින වෘත්තිය ධූරාවලියෙහි අදාළ වෘත්තිය ස්ථානගත වන්නේ එම ක‍්‍රියාවලියට සාපේක්ෂවය.

එහෙත් ලංකාවේදී මාධ්‍යවේදියා ක‍්‍රියාකරන ක්‍ෂේත‍්‍රය කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. ඊට හොඳම හා ආසන්න උදාහරණය වන්නේ ආපදාපන්න අවස්ථාවලදී තොරතුරු වාර්තාකරණයේ සිට ආධාර බෙදාදීම දක්වා ජනමාධ්‍ය ආයතනවල භූමිකාව පැතිරී තිබීමය.

මාධ්‍යවේදියාගේ සමස්ත කාර්යභාරයත් වෘත්තිකභාවයත් ගොඩනැෙඟන්නේ තොරතුරු මත නම් වැදගත්ම දේ වන්නේ තොරතුරු සන්නිවේදනයයි. එහෙත් අප පෙර කී පරිද්දෙන් ඓතිහාසිකවම පවතින සීමා සමඟ තවමත් අපට සිටින්නේ නිශ්චිතව වෘත්තිය සලකුණු නොකළ මාධ්‍යවේදියෙකි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වඩා යහපත් මාධ්‍යකරණයක් වෙනුවෙන් යැයි කියමින් රජයේ පාර්ශ්වයෙන් මේ වනවිට මාධ්‍ය නියාමන පනතක් ගැන සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. එහෙත් ඇතැම් පාර්ශ්ව ඒ ගැන කතාකරමින් සිටින්නේ කුකුසෙනි. ඇතැම් ජනමාධ්‍ය සංවිධාන ද සෘජුවම එය විවේචනයට ලක් කරයි. ඒ නිසා ආණ්ඩුවේ මාධ්‍ය නියාමන ප‍්‍රවේශයෙහි ඇති දේශපාලන පසුබිම ගැන කතා කිරීම කාලෝචිත යැයි සිතමි. 

 ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වූ විට සිය රාජ්‍ය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවේ යෙදවීමට සංහතික තොරතුරු අවකාශය සංවිධානය කිරීමට අවශ්‍ය වේ. එමෙන්ම එම තොරතුරු ඒකරාශි කරන, සංස්කරණය කරන, බෙදාහරින යාන්ත‍්‍රණය යම්කිසි පාලනයකට නතුකිරීමටත් අවශ්‍ය වේ. ජනමාධ්‍ය ප‍්‍රතිව්‍යුහගතකරණය මේ ආණ්ඩුව බලයට පත්වනවිටම පැවැති අදහසකි.

එහෙත් එම ලේබලය පසුපස ඇති සැබෑ හරය වන්නේ වර්තමාන රජයේ සමාජ ආර්ථික වැඩපිළිවෙළ වන නව ලිබරල්වාදී වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කළ හැකි ආකාරයට ජනමාධ්‍ය නියාමනය කිරීමයි. සෑමවිටම අප විමැසිය යුත්තේ නියාමනය කුමක් සඳහාද කියායි. මෙතැනදී නියාමනය අන් කිසිවක් සඳහා නොවේ. නව ලිබරල් රාජ්‍ය වැඩපිළිවෙළ වඩාත් සුමට ලෙස වැඩි ප‍්‍රශ්නකිරීම්වලින් හා ප‍්‍රතිවිරෝධයන්ගෙන් තොරව දියත් කිරීම සඳහාය.

1978 න් ආරම්භ වූ නව ලිබරල් වැඩපිළිවෙළෙහි තීරණාත්මක කාර්යභාරයක් එම අවධියේදීම ආරම්භ වූ රූපවාහිනී මාධ්‍යයට පැවැරුණේය. එවකට පැවැති පුවත්පත් හා සඟරා නව ලිබරල් වැඩපිළිවෙළ දියත්කිරීමෙහි රූපවාහිනිය තරම් සාර්ථක වුණේ නැත. මිනිසුන්ගේ සාම්ප‍්‍රදායික විඥානය, ආකල්ප හා චර්යා රැුඩිකල් ලෙස වෙනස්කිරීමෙහි සාර්ථක වූයේ රූපවාහිනියයි. මේ නිසා එවක සමාජයේ පැවැති යම් පුරුෂාර්ථ හර පද්ධති වෙනස් කිරීමට ඊට හැකිවිය.

ලිබරල්වාදී දෘෂ්ටිකෝණයෙන් ජයවර්ධන රජය අපේක්ෂා කළ වෙනස පසුගිය දශක හතරේදී අඩු වැඩි වශයෙන් සිදු විය. ජනවාරි 8 දේශපාලන වෙනසින් අලූත් ගමන ආරම්භ කරනු ලැබුවේ ඔවුන්ගේ දෙවැනි පරම්පරාව විසිනි. පෙර කී නව ලිබරල්වාදයේ දෙවැනි අදියර දැන් ආරම්භ වන්නේ ජාතික හා ගෝලීය වශයෙන් වෙනස් වූ සමාජ, ආර්ථික හා දේශපාලනික සන්දර්භයකය. මුල් අදියරට ජන සමාජයෙන් දේශපාලනික, නෛතික හා සමාජයීය වශයෙන් විශාල විරෝධතාවක් එල්ල වුව ද මෘදු හා දෘඩ බලය පාවිච්චි කරගෙන ජයවර්ධන රජය ඒවා පරාජය කළේය. විශේෂයෙන්ම නව ලිබරල් පිළිවෙතට එරෙහිව බුද්ධිමතුන් ගෙන ආ මත රූපවාහිනිය මගින් ඉතා තදින් යටපත් කළේය. විධායක බලය සංකේන්ද්‍රණය කරමින් සිදුකළ ව්‍යවස්ථා වෙනස ද ඊට පිටුබලයක් විය.

පැරැණි පුරුෂාර්ථ කුළුගැන් වූ ඉතිහාසය, සාහිත්‍ය, දර්ශනය ආදී විෂය පවා කප්පාදු කරමින් නව සමාජ වටිනාකම්වලට ගැළපෙන සේ අධ්‍යාපනය ද ප‍්‍රතිසංස්කරණය කළේය. දැන් ලංකාවේ සිටින්නේ එම දශක හතරේදී ඉපදුණු පිරිසය. එහෙත් දැන් දෙවැනි අදියරේදී තත්ත්වය වෙනස්ව අප පියමැන තිබෙන්නේ පශ්චාත් ලිබරල්වාදයක් කරාය. දැන් තිබෙන්නේ ජාත්‍යන්තරිකව ගත්කල එක්සත් ජාතින්ගේ සංවිධානයේ බලපෑම් හා නියාමන අභිබවා ගිය ගෝලීය උපරි සමාජයකි.

ලංකාවේ මාධ්‍ය අවකාශය, තොරතුරු අවකාශය හා මාධ්‍ය යාන්ත‍්‍රණය සකසාගත යුතුව ඇත්තේ ඊට ගැළපෙන අයුරෙනි. එය සකසාගැනීමේදී පාලකයන්ට පළමු අදියරට වඩා වෙනස්ව අලූත් අභියෝගයකට ද මුහුණදීමට සිදුව තිබේ. ඒ තීරණාත්මක කාර්යභාරයක් කරමින් සිටින නව මාධ්‍ය හෙවත් ෆේස්බුක් හා ට්විටර් වැනි සමාජ මාධ්‍යයයි.

ගෝලීය උපරි සමාජයේ වුවමනාවලට ගැළපෙන අයුරින් ආණ්ඩුව වැඩ කරගෙන යද්දී බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා එල්ල වන විරෝධතා ද තීව‍්‍ර වෙමින් තිබේ. ඊට බුද්ධිමය ස්ථරවලින් ද විශාල හඩක් එකතු වී තිබේ. මෙම තත්ත්වය කළමනාකරණයට පවතින මාධ්‍ය ප‍්‍රතිව්‍යුහගතකරණය කළයුතුය. මෙහිදී ජනමාධ්‍ය හැසිරීමේ ඇති හරසුන් ලක්ෂණ, සැහැල්ලූව මුසු වාණිජවාදී ලක්ෂණ ආදිය පෙන්වීමට බලධරයෝ කටයුතු කරති. එහෙත් එහි ඇති යටි අරමුණ නම් කෝටි සංඛ්‍යාත ජනකායකගේ මනස පශ්චාත් ලිබරල් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට ගැළපෙන සේ සකස්කිරීමය. තොරතුරු පනත පූර්වයෙන් පැමිණියේ ද එම වැඩපිළිවෙළේම කොටසක් හැටියටය. මාධ්‍ය නියාමනය හැටියට එන්නේ දෙවැනි පියවරය.

ජනමාධ්‍ය සමාජයෙන් ඊට එල්ල වන විරෝධය අප තේරුම්ගත යුත්තේ මේ පසුබිමේය. මීට පෙර ලෝකය විග‍්‍රහ කරගනිද්දීලොව ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධතා හැටියට අප අර්ථකථනය කරගත්තේ ධනවාදය හා සමාජවාදය හෝ ධනපති පන්තිය හෝ නිර්ධන පන්තිය හැටියටය. එහෙත් දැන් ඒවා අවශේෂ ප‍්‍රතිවිරෝධතා බවට පත්ව ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය බවට පත්ව ඇත්තේ ගෝලීය උපරි සමාජයේ වුවමනාවට ජාතික රාජ්‍ය දක්වන ප‍්‍රතිචාරයයි. ගෝලීය උපරි සමාජය විසින් ජාතික රාජ්‍යන් ආර්ථික, සමාජ, දේශපාලනික වශයෙන් පාලනය කරනු ලබද්දී ඊට එරෙහිව ජාතික වශයෙන් නැගෙන හඩ දුබලය. ගෝලීය උපරි සමාජය නියෝජනය කරන ආණ්ඩුවක්ම බලයට පත් වූ විට ඔවුන්ට හඩ නැගීම තවත් දුෂ්කරය. කෙසේ වෙතත් ආණ්ඩුව ගෝලීය උපරි සමාජ වුවමනා ඉටුකරන්නට යද්දී ජනතාවගේ බිම් මට්ටමේ වුවමනා ඒවා සමඟ ගැටේ. එවිට මෙකී ගැටුම කළමනාකරණය සඳහා වූ මාධ්‍ය භාවිතයක් ආණ්ඩුවට වුවමනා වේ.

පැරැණි රාමුව තුළින් මේ වුවමනාව ඉටුකරගැනීමට ආණ්ඩුවට බැරිය. 1977 දී සිදුකළා මෙන් නව මාධ්‍ය මාදිලියක් ඊට අවැසිය. නියාමන මුහුණුවරින් දියත්වන්නේ එම වැඩපිළිවෙළය. රට අභ්‍යන්තරයේ යම්කිසි දේශපාලන ස්ථාවරභාවයක් පවත්වාගෙනයෑමේදී ජනමාධ්‍ය විශාල කාර්යභාරයක් සිදුකරයි. ආණ්ඩුවට ජනමාධ්‍ය මගින් එය කරගත හැකි නම් පෙර කී රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදවීම පහසු කරවයි.

මීට වසර කීපයකට පෙර රටෙහි අභ්‍යන්තරික වශයෙන් කිසියම් දේශපාලන ස්ථාවරභාවයක් තිබුණේය. එහෙත් ගෝලීය උපරි සමාජයෙන් ඊට විරෝධය එල්ල විය. විශේෂයෙන් සුමට ලෙස කරන බලපෑම් නොමඳව යොදාගත්තේය. ජනවාරි 8 දේශපාලන පෙරැුළියට රට අභ්‍යන්තරිකව පැවැති යම් යම් ගතික බලපෑව ද වෙනස සිදුවුණේ ඒ නිසාම නොවේ. කෙළින්ම කිවහොත් ඒවා ආණ්ඩු පෙරැුළියකට හෝ බල මාරුවකට ප‍්‍රමාණවත් නොවීය. ඊට දැඩිව බලපෑවේ රට අභ්‍යන්තරයේ ගතිකයන්හි විරෝධතා තීව‍්‍ර කරවනු ලැබූ ගෝලීය බලවතුන්ය. එහිදී ජනමාධ්‍ය මගින් සිදුකරන ලද දෘෂ්ටිවාදීමය බලපෑම සුළුපටු නැත. ඒ පෙරළිය සිදුවුණේ වාර්ගික, ආගමික, ජාතික සාධක පාවිච්චි කරමින් ඉතාමත් සූක්ෂ්ම ලෙසය.

ඇත්තවශයෙන්ම රජයේ වැඩපිළිවෙල සමඟ සසඳද්දී ජනමාධ්‍ය මගින් දැන් ප‍්‍රකාශයට පත්වන වැඩසටහන් නියාමනයට කිසිදු අවශ්‍යතාවක් නැත. ප‍්‍රවෘත්ති, වැඩසටහන් ලෙස විකාශය කෙරෙන අපරාධ, භීෂණ, විනෝදකාමී දේ ආණ්ඩුව අපේක්ෂා කරන දෘෂ්ටිවාදයට නැතිවම බැරිය. එය ආණ්ඩුවේ පැත්තෙන් සාධනීයය. ඇතැමුන් සිතන්නේ නියාමනය කිරීමට යත්න දරන්නේ මේ වැඩපිළිවෙළ යැයි කියාය. එහෙත් ඇත්ත එය නොවේ.

නියාමනය කරන්නට යන්නේ එය නොවේ. බොහෝ අය සිතන්නේ නියාමනය කරන්නට යනවා යැයි කියනවිට තොරතුරු වාර්තාකරණයේදී සත්‍යගරුක වීම, ආචාර ධාර්මික වීම ආදිය ඇතිකිරීම යැයි කියාය. එහෙත් මේ නියාමනය මැයෙන් සිදුකරන්නට යන්නේ වාණිජවාදයේ පතුලට වැටීම ගැන ජනමාධ්‍යට විවේචනාත්මක ලෙස එල්ල වන සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික අදහස් වාරණය කරන්නටය. ජනමාධ්‍ය සමාජය මේ ප‍්‍රවේශය ගැන මීට වඩා උනන්දු විය යුතුය. සාංහතික මාධ්‍යත් නව මාධ්‍යත් දැන් වැඩකරන්නේ ඒකාබද්ධවය. තරුණ ප‍්‍රජාව අතරේ මේ මාධ්‍ය ව්‍යාප්තවීම වේගවත්වීම සමඟ සමස්ත සමාජයම නිර්වින්දනය කළ තත්ත්වයකට පත්වේ. ගෝලීය උපරි සමාජයේ බලවේග හා බහුජාතික සමාගම් මගින් ජාතික ආර්ථිකයේ දේශපාලනයේ සිදුවන ප‍්‍රතිසංස්කරණ හමුවේ නිර්වින්දනය වූ තත්ත්වයකි.

ජනතාව මෙම ප‍්‍රතිසංස්කරණ හමුවේ දක්වන්නේ උදාසීනභාවයකි. උද්ඝෝෂණ කරන්නට ඔවුහු නොසිතති. ජනමාධ්‍ය ද උත්තේජනයක් දෙන්නේ නැත. මෙය ඉතාම භයානක තත්ත්වයකි. ආණ්ඩුව පස සකසමින් සිටින්නේ එවැනි තත්ත්වයකටය. ගෝලීය වශයෙන් ගත්විට 2008, 2009 කාල වකවානුවලදී ලිබරල්වාදය අර්බුදයට ගිය තරම නිසාම ලෝක පරිමාණයෙන් ජනතාවට ඒ ගැන තිබූ විශ්වාසය ද අහිමි විය. දැන් ලිබරල්වාදයක් ඇත්තේ ද නැත. දැන් තිබෙන්නේ පශ්චාත් ලිබරල්වාදයකි. ගෝලීය වශයෙන් අර්බුදයට ගොස් තිබෙන ලිබරල්වාදී ප‍්‍රතිපත්ති නැවත මෙරටෙහි ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම උභතෝකෝටිකයකි. එවැනි ප‍්‍රතිපත්තියක් දියත් කිරීමට උත්සාහ කිරීම මා සිතන්නේ දේශපාලනික වශයෙන් අනවබෝධය නිසා හටගන්නකි.

මෙම අර්බුදය උග‍්‍ර වන තරමට මාධ්‍යට තාවකාලික ලාභ උත්පාදනය පහසු කරයි. මෙම සාර්ව දේශපාලන ක‍්‍රියාවලිය ගැන උනන්දුවෙන් විමසාබලන ජනමාධ්‍ය සම්ප‍්‍රදායක් අපට නැත. සැබෑ දේශපාලන යථාර්ථය ගැන කියැවෙන තොරතුරක් මහජනතාවට සන්නිවේදනය වෙද්දී ඊට සමගාමීව සන්නිවේදනය වන විනෝදයට බර සැහැල්ලූ තොරතුරු ප‍්‍රමාණාත්මකව වැඩිය. රජය නියාමනයෙන් අපේක්ෂා කරන්නේ ජනමාධ්‍යයෙන් දැනට සිදුවන මේ නිර්වින්දනකරණ කාර්යභාරය සිය දේශපාලන ප‍්‍රතිපත්තියට ද අනුගත වන සේ වඩා හොඳින් සිදුකරගැනීමටය.

(සටහන - බිඟුන් මේනක ගමගේ)