එය එසේ වුවද මේ ඍෂිකේෂියට මා කිරිකෝඩුය. තවමත් මා සිටින්නේ අතරමගය. එය මා නොදන්නා තැනකි. එය කුමනාකාරයේ තැනක් ද එහි පැවතුම් කෙසේද යන්න පිළිබඳව පැහැදිලි නැත. මෙහිදී මට ඇති එකම උපකාරය ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගෙන් ලැබුණ ලිපිය පමණි. ඒ ලිපිය මට ලැබුණ ආකරය ද විශේෂිතය. නාහිමියන් සමග කරනලද යම් යම් සාකච්ඡුාවලදී උන්වහන්සේ ඍෂිකේශිය පිළිබඳව සඳහන් කළ අවස්ථා බොහෝය. මට ද යම් අවස්ථාවකදී එහි යන ලෙස, වරින්වර උන්වහන්සේ සිහිපත් කර තිබිණි.

එහෙත් මා ඒ පිළිබඳව දැක්වු උනන්දුව ප‍්‍රමාණවත් නොවේ. 1998 දී පොසොන් පෝයට පසුව මා නාහිමියන් මුණගැසීමට තීරණය කරනු ලැබුවේ හේතු කීපයක් ඇතිවය. ධම්මසිද්ධි හිමියන්ගෙන් දැනගත් යම්යම් කරුණු නිරවුල්කොට තහවුරු කරගැනීම හා ධම්මසිද්ධි හිමියන් සම්බන්ධව ද යම් තොරතුරු ප‍්‍රමාණයක් දැන ගැනීමට තිබූ අවශ්‍යතා එහිලා මූලික විය.

දෙවැන්න වූයේ ඉදිරි වස්කාලයේ නාහිමිපාණන් වහන්සේ ගතකරන්නේ කෙසේද යන්න දැනගැනීමටත් ඒ කාලය තුළ උන්වහන්සේ ඇසුරේ ගතකිරීමට අවසර ලබාගැනීමටත් ය. මා මේ ගමන යාමට අදහස් කරමින් සිටිද්දී ‘‘සතීන්ද්‍රිය හිමියන්ට’’ හා උන්වහන්සේගේ පවුලේ ඥාතීන්ට නාහිමියන් බැහැදැක වැඳ පුදාගැනීමේ වුවමනාව තිබිණි. ඒ නිසා ඒ ගමන මා ගියේ එම පිිරිස ද සමගය.

අපි බළන්ගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයට ගියෙමු. එහෙත් උන්වහන්සේ කොළඹට වැඩමකර තිබිණි. කොළඹදී උන්වහන්සේ වාසය කරන ස්ථාන දෙකක් තිබේ. ඉන් එකක් චිත්ත විවේකාශ‍්‍රමයයි. එය කෝට්ටේ වික‍්‍රමසිංහ පුරයේ පිහිටා තිබේ. අනෙක මහරගම වටයවත්තයි. මින් කොතැනක උන්වහන්සේ වැඩසිටී ද යන්න පැහැදිලි නැත. එහෙත් අපි කොළඹට යාමට තීරණය කළෙමු. උන්වහන්සේ වැඩ සිටියේ මහරගම චන්ද්‍රසේකරාරාමයේය. අප එහි යනවිට උන්වහන්සේ තරමක වෙහෙසකින් හා රෝගී ස්වරූපයකින් පසුවූහ. ඒ උන්වහන්සේ තායිවානයේ සංචාරය නිමාකර පැමිණි අලූතය. ඒ ගමන තමන්ට සෑහෙන වෙහෙසකර වූ බව උන්වහන්සේ පැවසූහ. අප මුළින්ම නාහිමියන් මුණගැසුණේ උන්වහන්සේගේ කුටිය තුළදීය. උන්වහන්සේ  සිටියේ සයනය මත වැතිරගෙනය. තමන් වහන්සේට වඳින සියලූ දෙනාට අශිර්වාද කරන ලද්දේ තරමක අපහසුවෙනි

 කවදත් නා හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය කාලගුණය වැනිය. එක මොහොතක රෝගීව සිටින උන්වහන්සේ තව මොහොතකදී නිරෝගීව ද සිටිති. එදින ද එසේ ම විය. පැය භාගයකට පමණ පසුව උන්වහන්සේ කුටිය ඉදිරිපස ආලින්දයේ පුටුවක වැඩ සිටිනවා දක්නට ලැබිණි. මම නැවත ද උන්වහන්සේ වෙත ගොස් වස්කාලය පිළිබඳව විමසුවෙමි. එවිට  උන්වහන්සේ ඒ පිළිබඳව නිශ්චිත උත්තරයක් නොදෙන ලදී. සමහර විට ගෙදරක විය හැකිය යන්න පිළිතුර විය. එය නැවත ප‍්‍රශ්න කළ යුත්තක් නොවේ යයි මගේ හිත කිව්වේ ය. ඉන්පසු උන්වහන්සේ කුටිය දෙසට අත දිගුකර මේසේ උඩ තිබෙන කොලෙයි පෑනයි ගේන්නැයි පැවසූහ. මා ඒ කොලය ද පෑන ද ගෙනවිත් පිළිගැන්වීමි. උන්වහන්සේ එහි ලිපියක් ලිවූහ. එය තුනට නැමූ නාහිමිපාණන් වහන්සේ මා වෙත දිගුකර ඍෂිකේශි යද්දී ගෙනියන්නැයි පැවසූහ.

ඒ උන්වහන්සේගේ මේ ජීවිතයේදී උන්වහන්සේ හමු වූ අවසන් අවස්ථාවයි. අනතුරුව එළඹුන වස්කාලය තුළ උන්වහන්සේ අපවත් වූහ. අනඳමෙත් නාහිමියන් පිළිබඳව මට ඇති පැරණිම මතකය, මගේ වයස දොළහයේදී පමණ වූ මතකයකි. රසවාහිනි සඟරාවක (එම සඟරාව මට ලැබුණේ ධම්මසිද්ධි හිමියන්ගෙනි) නාහිමියන්ගේ ලිපියක් සහ ඡුායාරූපයක් පළවී තිබිණි. එම ලිපියේ සඳහන්ව තිබුණේ නාඩි වාක්‍ය හා සම්බන්ධ වූ තොරතුරුය. මම ඒ සඟරාව සුරක්‍ෂිතව තබාගතිමි. එමෙන් ම උන්වහන්සේගේ නම මගේ හිත තුළට තදින්ම කාවැදී රැඳිණි. ඒ අතරතුර කාලයේදී නාහිමියන්ගේ ශිෂ්‍යයකු වූ බටගල්ලේ මේධානන්ද නාහිමියන්ට අපේ ගමේ පන්සල පැවිරිණි. මිහින්තලා කන්දට දකුණෙන් පිහිටි කටුපොත කන්ද නමින් හැඳින්වෙන කඳුගැටයේ පිහිටි මේ පන්සල ආරණ්‍ය සේනාසනයකි. මෙම ස්ථානය අතීතයේ ප‍්‍රාචීන පබ්බත නම් විය. මේ ආරණ්‍යයේ  භාරකාරත්වය පැවරුනේ අනඳමෙත් නාහිමියන්ගේ ශිෂ්‍යයකුට බැවින්, උන්වහන්සේ ද ඉදිරියේදී මේ ස්ථානයට වැඩම කරන්නේය යන අදහස එකල කා තුළත් වීය. මේධානන්ද හිමියන් ද වරින් වර එම අදහස කුළුගැන්වූහ. ඒ හැම අවස්ථාවකම මගේ සිත බලාපොරොත්තු සහගත විය. එහෙත් ඒ බලාපොරොත්තුව ඉටුවන්නට කලක් ගතවිය. උන්වහන්සේ වඩිනවා යැයි පැවසූ හැම අවස්ථාවකම අවසාන මොහොතේ වැඩම කරන ලද්දේ, නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් යම්කිසි නා හිමිනමකි.

කලක් ගත විය. 1983 ජූලි කලබලවලින් පසුව මම ආරණ්‍යයේ නතරවීමි. ඒ පැවිදිවීම පිළිබඳව අධිෂ්ඨානය ඇතිවය. ඒ වන විට මම උපතින් දහතුන්වන වියේ පසුවීමි. ආරණ්‍යයේ සාමාන්‍ය දින චර්යාව වූයේ, දවල් දානයෙන් පසු සියලූ භික්‍ෂුන් කඳු ඉහළ කුටිවලට වැඩම වීමයි. නැවත උන්වහන්සේලා පහළට වඩින්නේ සවස පහටයි. වෙන කෙනකු නොවේ නම් පහළ ගල්ලෙන තුළ මා තනිව කාලය ගත කළ යුතුය. දුටු ගැමුණු රජතුමා සාදා පූජාකරනලද බව තහවුරු වන සෙල්ලිපියක් ද සහිත මෙම ගල්ලෙන සුවිසල් ය. ආරණ්‍යයේ දාන ශාලාවද, මුළුතැන්ගෙය ද ආගන්තුකයන් හා නේවාසිකයන් එක් රැුස්වන ශාලාව ද පැවතියේ මේ ගල්ලෙන තුළමය. ඒ ලෙනෙහි ඒ සඳහා ප‍්‍රමාණවත් ඉඩකඩක් තිබේ.

එක් දිනක් ගල්ලෙන ඉදිරිපස ගල උඩ වාඩිවී පොතක් කියවද්දී දවල් දෙකට පමණ කිසියම් භික්ෂුවක් තවත් සාමණේර හිමිනමක සමග ගල්ලෙන දෙසට වඩිනු දුටුවෙමි. මා උන්වහන්සේලා දුටුවේ ළඟටම පැමිණි පසුවයි. ආගන්තුක භික්‍ෂුවක් වඩින විට අනුගමනය කරන්නට උගන්වා තිබූ ආකාරයට වත් පිළිවෙත් ඉටු කළෙමි. ඉදිරියට ගොස් වැන්දෙමි. ඇතුළට වඩින්නැයි ආරාධනා කළෙමි. උන්වහන්සේ කිසිදු අපහසුතාවයකින් තොරව පඩි කීපය නැග ලෙන තුළට වැඩම කොට අසුනේ වැඩ සිටියහ. මේ ස්ථානය එතරම් පහසුකම් තිබු ස්ථානයක් නොවේ. ඊළගට මා කළයුතු වූයේ පැන් පිළිගැන්වීමයි. මා මුල්තැන්ගෙයි කළයෙන් පැන් කෝප්පයක් රැුගෙන විත් පිළිගැන්වීමි. පැන් කොප්පය රැුගෙන එනවිට, මා කියවමින් සිටි පොත උන්වහන්සේගේ අතේ විය. (හර්මන් හෙසගේ සිද්ධාර්ථ නවකථාවේ සිංහල පරිවර්තනය) උන්වහන්සේ පැන් කොප්පය වළඳද්ඳී ‘ඔය ළමයා ද මේ පොත කියවන්නේ’ යයි විමසූහ. ‘මම එහෙමයි’ යනුවෙන් පිළිතුරු දුනිමි. එවිට උන්වහන්සේ පොතේ පිටුවක් පෙරලා එහි පේලි කීපයක් මට පෙන්වූහ. මා ඒ  පිටුවත් පේලි කීපයත් මතක තබාගතිමි. එදා ඒ පිටුව හා පේලි මතක තිබුණා පමණි. එහි තිබු දේ තේරෙන්නට තවත් කලක් ගත විය.

එහෙත් එයින් ගම්‍ය වන අරුත තවමත් වැටහෙමින් පවති. එදාට වැඩිය අද වැටහෙන දෑ බොහෝ ය. හෙට තව බොහෝ දෑ එහි තිබෙනු දැකිය හැකිවනු ඇත. සිද්ධාර්ථ ගංගාවට ඇහුම්කන් දුන්නා සේම මම තවම ඒ වැකියට ඇහුම්කන්දෙමි. මගේ චිත්තාභ්‍යන්තරය  තුළ එය කොතෙක් කිඳා බැස ඇතිද යත් මට ඒ වදන් සිහියට නැගෙන්නේ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ වදන් වැලක් ලෙසිනි.

පොත පසෙක තැබූ උන්වහන්සේ මගේ දකුණත ගෙන එහි රේඛා පරීක්‍ෂා කළහ. මම උන්වහන්සේ දෙස බලා සිටියෙමි. ඒ මොහොතේ උන්වහන්සේ මුහුණ තිබු ආකාරය තවමත් මට මතකය. අත පරීක්‍ෂා කරන ගමන් පන්සලේ හාමුදුරුවරු පහළට වඩින්නේ කීයට දැයි උන්වහන්සේ විමසූහ. පහටයි මම පිළිතුරු දුනිමි. ‘‘එහෙම නම් ආපහු වඩින්නම් ඒ ඇත්තන්ට බාධාකරන්න  ඕන්නෑ යි’’ පවසමින් උන්වහන්සේ පිටත් වීම සඳහා නැගී සිටියහ. එවිට කවුරු වැඩියා කියලා ද කියන්න  ඕනෑ යි විමසීමි. පිළිතුරු වශයෙන් උන්වහන්සේ ‘‘මේ බලන්ගොඩ හාමුදුරුවෝ...............’’ යයි පවසනවා මට මතකය.

මට මතක එපමණයි. සියල්ල අමතක විය. මේ කව්ද යන්න වටහාගත හැකි විය. මම පඩි කීපය බැස්සා නොව ඉගිලූණෙමි. මා නතර වූයේ ගෙඩිය ළඟයි. (ගෙඩිය යනු ආරණ්‍ය සේනාසනවල ගංඨාරය වෙනුවට භාවිතාවන දැවමය උපකරණයකි) හැකි වෙර යොදා ගෙඩිය ගැසීමි. එය නියමිත විදිහට නාද කළ ගෙඩියක් නොවීය. මගේ හිත තුළ ඇති වූ උද්දාමය නිසාම වූ පහර දීමකි. ගෙඩියේ හඬ ඇසූ අරණ්‍යවාසී හිමිවරු මොහොතකින් එහි වැඩම කළහ. නාහිමිපාණන්වහන්සේ ඉන් පැය භාගයකට පමණ පසු පිටත්ව ගියහ. එසේ පිටත් වෙද්දී එහි සිටි ධම්මසිරි හිමියන්ට මා බලංගොඩ රැුගෙන එන්නැයි පැවසූ බව පසුව දැනගතිමි.

ඒ මගේ පළමු මුණ ගැසීමයි. මේ මුණ ගැසීම් දෙක අතර කාලය තුළ බොහො දේ සිදු විය. මේ වන විට උන්වහන්සේ අපවත් වී මාස කීපයක් ගෙවී ගොස් තිබේ. මා ඒ දෙස උපේක්‍ෂා සහගතව බලා සිටිමි. උන්වහන්සේ සිය සාංසාරික ගමන් මගේ එක් පාරමිතාමය චර්යාවක නියුතුව සිටියහ. මිහිතලය මත එක් යුගයක කොටස් කරුවකු වූහ. එය දුෂ්කර කාල පරිච්ෙඡ්දයකි. ඒ බාධක උන්වහන්සේ අභිබවනය කළහ.   

අද මේ බස්රිය ගමන් කරමින් තිබෙන්නේ කලෙකට පෙර ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේ ගමන්කළ මගය. අදට වැඩිය දුෂ්කර වූ යුගයක මේ මග තොට සොයාගෙන උන්වහන්සේ එහි වැඩම කළහ. ඒ එළි කළ මග දිග අද මම ගමන් කරමින් සිටිමි. එදා දුෂ්කරකම් එලෙසින්ම මෙදා නැත. ඊට වඩා වූ පහසුකම් තිබේ. එහෙත් එදා සිටි උතුමන් අද ඍෂිකේෂිය තුළ නැත. එදා නාහිමියන් ඇසුරු කළ ඍෂිකේෂියේ සුවිශේෂී චරිතයක් වූ ස්වාමි නාරායනානන්ද තුමන් ද අද මෙහි නැත. එහෙත් එතුමන්ගේ ශිෂ්‍යයෝ එහි සිටිති.

අනඳ මෙත්් නාහිමි ඍෂිකේෂියේදී යෝගීන් ඇසුරු කරමින් කාලය ගත කළහ. එමෙන්ම එහිදී යම් යම් අභ්‍යාස ද ප‍්‍රගුණ කළහ. උන්වහන්සේ වැඩි කලක් ගතකර ඇත්තේ ස්වාමි යෝගානන්ද ආශ‍්‍රමයේ ය. වරෙක උන්වහන්සේ එම ආශ‍්‍රමයෙන් පිටත් වූ දවස මෙසේ සිහිපත් කරති.

‘‘ස්වාමි නාරායනානන්දතුමා මට පොත දීලා කිව්වා, මා මේ පොත කියෙව්වා දැන් මට මෙයින්  වැඩක් නෑ කියලා. මා ඔබට මෙය දැන් පරිත්‍යාග කරනවා කියලත් කිව්වා. ඊළගට මා සමග ස්වල්ප දුරක් ආවා. බස් එක එනතුරු ටික වෙලාවක් පේමන්ට් එකේ රැුඳී සිටියා. ඒ ඉන්න අතරතුර එතුමා කිව්වා මේ අපේ‍්‍රල් මාසේ ලබපු හැටියේ මැයි. මේ සැරේ අපේ‍්‍රල් උෂ්ණය බොහොම බලවත් වෙයි. ඒ නිසා ඉක්මනින් ලංකාවට එන එක නුවණට හුරුයි........ මේ මාසයේ මැද හරියේ තද උෂ්ණය එනවා. ඉවසාගන්න බැරිතරම් උෂ්නය ඇති වුණාම මා දීපු යෝග උපදේශ අනුව තමන්ගේ ඇඟවටා සීතල ඇති කරගන්න. එවිට උෂ්ණයෙන් පීඩාවක් වෙන්නේ නෑ කියලා එතුමා කිව්වා. ඉතිං එතුමන්ට ආචාර කරලා බසයට නැගිලා පිටත් වුණා’’

වර්ෂ 1999 මාර්තු මස එක් දිනයක හිමිදිරියේ මම ඒ බස් නැවතුම්පොලේදී බසයෙන් බැස්සෙමි.

 

 


 


අටලොස්වන පියවර
‘‘මහණෙනි, යම් සේ කන්දෙන් ගලා බසින, වැටුණ වැටුණ දේ පහළට ගෙන යන, දුර ගමන් යන, දුර ගමන් කරන වේගවත් සැඩපාර ඇති ගඟක් වෙයි. ඉඳින් එහි දෙතෙර වැවුණ වැලූක් තණ, කුස තණ, බබුස් තණ, බෙරු තණ, දුබලගස් ඇත. ඒවා ගඟට නැමී ඇත. ඒ ගෙඟ් සැඩපහරින් ගසා ගෙන යන මිනිසෙක් ඒවායෙහි එල්ලූණොත් ඒවා මුල් පස් සමඟ ඉදිරෙයි. එයින් මහා විනාශයට පත්වෙයි. එමෙන් මහණෙනි, ආර්යයන් නොදක්නා, නූගත් පෘථග්ජනයා..  . ඒ හේතුවෙන් මහා විනාශයට පත්වෙයි’’

භාගිරථ රජතුමා හිමාලය පර්වතයට වී දිගුකලක් තපස් රකිමින් සිටියේය. ඒ තපස වූයේ ලෞකික වූ සියලූ බැඳීම්වලින් තොරව වනේ ඵලාපල බුදිමින්, උපවාස කරමින් නිරන්තරයෙන් බ‍්‍රහ්ම නාමය සිහිකිරීමයි. දිගු කලකට පසු මේ අධිෂ්ඨාන පූර්වක තපස කෙරෙහි ප‍්‍රසාදයට පත් බ‍්‍රහ්ම, භාගිරථ ඉදිරියේ පෙනී සිටියේය. එසේ පාදුර්භූත වූ බ‍්‍රහ්ම ඔහු අමතා ‘‘ඔබට අවශ්‍ය මොනවා දැයි’’ විමසීය. එකල්හි භාගිරථ මෙසේ කීහ.

‘‘ඔබතුමන්ගේ පිහිට නිසාවෙන් මට සියල්ල ලැබී ඇත.’’ ‘‘එම පිළිතුරින් ප‍්‍රසාදයට පත් බ‍්‍රහ්ම ‘‘නුඹට අවශ්‍ය යමක් වේ නම් පවසන්නැ’’යි කීය. එකල්හි භාගිරථ මෙසේ පැවසීය. ‘‘දෙව්ලොව වසන ඔබගේ දියණිය වන ගංගා කුමරිය පෘථිවිය වෙත ලබාදෙනු මැනවි.’’ එකල්හි බ‍්‍රහ්ම සිය දියණිය ‘‘ගංගා කුමරිය’’ පෘථිවිය වෙත එවනු ලැබුවාය.

ඒ ‘‘ගංගා’’ නම් වු නදියේ උප්පත්ති කථාවයි. භාරතීය සංස්කෘතියේ ජීවන උල්පත, ගංගා නදියේ ඇරඹුම සිදුවන්නේ සෘෂිකේශියෙන් උතුරේ පිහිටි හිමවත් කඳු අතරයි. ජන වික්‍ඳ්ක්‍ඳාණය තුළ ගංගා නදිය යම් සේ පූජනීය ද එලෙසින්ම මේ ප‍්‍රදේශයේ භූමිය ද පූජනීය ය. මෙහි සියලූ පර්වතයන්, කඳු සිඛරයන්, පාංශු ස්ථරයන්, දියදහරාවන් පූජනීය වේ. ඒ නිසාම ඒ එකිනෙක හා බැඳුන පූජනීය වෘතාන්ත ජන වික්‍ඳ්ක්‍ඳාණය තුළ රැව්පිළිරැව් දෙමින් පවති.
ගංගා මාතා ජී හෙවත් ගංගා නදියේ උපත පිළිබඳව ජන වික්‍ඳ්ක්‍ඳාණය තුළ එවැනි වූ වෘත්තාන්තයක් පවතිද්දී සොබා දහමේ නියාමයන්ට අනුව ගංගා නම් වු නදිය (ගංගා නම් ගඟ) හිමාලීය කඳු අතර නිර්මාණය වෙමින් පහළ තැනිතලා වෙත ගලා හැළෙමින් පවතී. එය ඇරඹුණේ කවදාක සිට ද යන්න පිළිබඳව නම් මිනිසාට අවබෝධයක් නැත. එය නම් දෙවියන්ම දන්නා දෙයකි. ගංගාවේ ආරම්භය සිදුවන්නේ සෘෂිකේශියේ ඉහළ ගංගෝත්තරියේදී ය. සාම්ප‍්‍රදායික පිළිගැනීම අනුව ගංගාවේ ආරම්භය ගෝ මුඛයයි. ගෝ මුඛය යනු ගොනකුගේ මුවේ හැඩය ගත් (එසේ වුවද එවැනි හැඩයක් නම් එම ලෙනේ දක්නට නැත. සමහරවිට පසුකලෙක භූවිපර්යාසයන් සිදුවී හැඩය වෙනස් වූවාද විය හැකිය) ගල්ලෙනකි.

මිනිස් ඇසට ග‍්‍රහණය වන ගංගා නදියේ පළමු දිය දහර ගලා එන්නේ එතැනිනි. එසේ හෙයින් මෙම ස්ථානය නදියේ ඇරඹුම ලෙස පිළිගැනීම හේතු යුක්තිය. ඉන් ඉහළදී දකින්නට ලැබෙන්නේ මිදුන අයිස් (ග්ලැසියර* තට්ටුය. එම අයිස් තට්ටු දියවෙමින් ඊට යටින් ගංගාවේ ආරම්භක දිය දහරා ගලාවිත් ගෝ මුඛය තුළින් පහළට ගලා හැලේ. සැබවින්ම මේ පිහිටීමම අද්භූත ජනක හැඟීම් අවුලූවාලයි. එසේ හෙයින්ම ගෝ මුඛයෙන් ඉහළ කොටස ආකාශ ගංගාව ලෙස පැරණියෝ නම් කළහ.

ගෝ මුඛයට තරමක් දුරින් නැගෙනහිරින් පිහිටි බේද්‍රරනාත් හා බදිරනාත් නමින් හැඳින්වෙන දිය දහර දෙක රුද්‍රප‍්‍රයාගය නමින් හැඳින්වෙන ස්ථානයේදී එකට හමුවේ. එතෙක් කුඩා දිය දහරක් වන ගංගාව සුවිසල්ව ගලා හැළෙන්නට පටන්ගන්නේ මේ ස්ථානයේ සිටය. ආරම්භක ස්ථානයේ සිට කි.මී.30ක් පමණ දකුණින් පිහිටි ගංගා දෑලවර භූමිය සෘෂිකේශිය නමින් හැඳින්වේ. මෙය දිගු කලක් පැවිද්දන්ගේ වාස භූමිය වූ අතර මෑත භාගයේ සිට හින්දු ආගමේ කේන්ද්‍රස්ථානයක් බවට ද බටහිර ලෝකයේ ප‍්‍රබල ලෞකික සංස්කෘතියට අභියෝග කළ ආධ්‍යාත්මික සංස්කෘතියක කේන්ද්‍රස්ථානය බවට ද පත්විය. හිමාලීය චින්තන ගවේෂණයේදී මේ භූමිය ද ඉතාම වැදගත් වේ.

භාරතීය සංස්කෘතියේ ජීවනාලිය ගංගා නදිය බවට පත්වන්නේ ඒ මහා ජලකඳ ඔවුන්ගේ ආර්ථික දේශපාලනික ක‍්‍රියාවලියේ සාධකයක් නිසා පමණක් නොව ඔවුන්ගේ චින්තනයේ උල්පත් සේම මහෝඝයන් ද මේ නදිය ආශ‍්‍රිතවම බිහිවූ නිසාවෙනි. යම් විදිහකින් ඔබට ගංගෝත්තරීයේ සිට බෙංගාලයේ ගංගා මෝය තෙක් සංචාරය කළහැකි නම් භාරතීය සංස්කෘතියේ පැහැදිලි හරස්කඩක් දැකිය හැකි වනු ඇත. එය භාරතීය චින්තනය අධ්‍යයනය කිරීමේ මග ද වනු ඇත. ගංගා නදියේ උල්පත් ගංගෝත්තරි ප‍්‍රදේශයේ පවතින්නා සේම භාරතීය චින්තනයේ උල්පත්ද එම ප‍්‍රදේශයේම දකින්නට ඇත.

සෘෂිකේශිය දිගුකලක සිට පැවිද්දන්ගේ වාසස්ථානයක් විය. එහෙත් බුදුරදුන් ජීවමාන කාලයේ හෝ ආසන්න පසු කාලයේ හෝ මෙම ප‍්‍රදේශයේ ජනප‍්‍රියතාවක් හෝ ප‍්‍රකට බවක් දකින්නට නැත. පැරණි බෞද්ධ සාහිත්‍යයේ හෝ ජෛන සාහිත්‍යයේ හෝ වෛදික සාහිත්‍යයේ හෝ මේ ප‍්‍රදේශය ගැන සඳහන් නොවේ. ජාතක පොතේ එන සමහර කරුණු අනුව ඒ මේ ප‍්‍රදේශය යැයි සිතෙන අවස්ථා ඇත. රාමායනය හෝ මහභාරතයේ කතුවරුන්ගේ සටහන් සාම්ප‍්‍රදායික පිළිගැනීම් තරම් පැරණි නොවේ. මේ ප‍්‍රදේශය පිළිබඳ පැරණිම සටහන් දකින්නට ඇත්තේ අශෝක යුගයේය. එම යුගයේ මේ ප‍්‍රදේශය හැඳින්වූයේ අහෝගංගා පබ්බත හෝ උපරිගංගා පබ්බත යන නම්වලිනි. එය වත්මන් ගංගෝත්තරී යන්නට සමාන වේ.


(මතු සම්බන්ධයි)
 



 


දෙවියන්ගේ ද්වාරය හරහා සෘෂිකේශියට