සැදැහැවත් බොදුනු දිවිය තුළ දිදුලන පින්බර සිහිනය වනුයේ සිය ජීවිත කාලයේ උතුම් දඹදිව බුද්ධ භූමිය එක්වරක් හෝ වන්දනා කර ගැනීමය. භාග්‍යවතුන් වහන්සේගේ උපත, සිරි සම්බුදු බව දහම් සක් සුතුර දෙසූ දහම් චේතිය සහ පිරිනිවී වැඩි නිබ්බාන චේතිය යන සිව් මහා ස්ථාන ශුද්ධාවෙන් වන්දනා කොට දහම් සංවේගය උපදවා ගැනීම සුගතිගාමී වීමට තරම් පින්පල උපදවන මහඟු පින්කමකි. දඹදිව වන්දනාව, අවබෝධයෙන්ම සිත පහදවා ගෙනම කළයුතු උතුම් පිනැති චාරිකාවක් විය යුතුය. එවැනි පින්බර බුද්ධ භූමි වන්දනාවකට සහභාගිවීමේ දුර්ලභ වාසනා මහිමය පන්සීයකට ආසන්න බොදුනු පිරිසකට මහමෙව්නා අසපු සංචිතය මගින් උදාකරදී තිබිණි, මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥාණානන්ද හා පිට්ටුගල මහමෙව්නා භාවනා අසපුවේ ගුණ විජය යන හිමිවරුද මෙම චාරිකාව සඳහා බැතිමතුන් හා එක්ව සහභාගී වූහ. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු නවයයි තිහට මිහින් ලංකා ගුවන් යානය, මෙම පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනම ශ්‍රීමුඛ සුදුවතින් සැරසුණු බැතිමතුන් හා එකව ගුවන් ගතවූයේ බැතිමතුන්ගේ සාධු නාදය මධ්‍යයේය. අපි පැය තුන හමාරක ගුවන් කාලයකින් අනතුරුව වරණාසී ගුවන්තොට බලා පැමිණියෙමු. ඉන්පසුව දීර්ඝ සුඛෝපභෝගී බස්රථ ගමනක අවසානය බුද්ධගයාව විය. බුද්ධගයාවේ සිට රජගහ නුවරට ඇත්තේ කෙටිදුරකි. බුද්ධ කාලයේ බලවත් රාජ්‍යයක් වූ මගධයේ අගනුවර වූයේ රජගහනුවරයි. මගධයේ අභිෂේක ලබාසිටියේ බිම්බිසාර රජතුමායි. බිම්බිසාර රජු සොතාපන්න වූ ශ‍්‍රාවකයෙකි. රජගහ නුවර පිහිටි ගිජුකුළු පව්ව සැදැහැවත් බොදුනුවන්ගේ මුදුන් මල්කඩක් බඳුයි. ගිජු ළිහිණියකුගේ හැඩය විදහාලන නිසා මෙම පව්ව ගිජුකුළු පව්ව ලෙස හැඳින්වේ. ගිජුකුළු පව්ව තරණය කරන මාවතේ, එදා දස දහස් ගණන් මහ රහතුන් මෙන්ම භාග්‍යවතුන් වහන්සේ දස දහස් වාරයක් වැඩම කළෝය. ගිජුකුළු පිවිසුම් මහ ගල් පඩි පෙළින් යුතුව තනා ඇත්තේ බිම්බිසාර රජතුමාය. මෙම ගල් පඩි පෙළ නවීකරණය කර ඇතත්, අද ද මෙම මාවත හැඳින්වෙන්නේ ”බිම්බිසාර පාත්” වශයෙනි. එදා සශ්‍රීක ඉසුරුමත් රාජ්‍යයක් වූ මගධයට අද උදාවී ඇති කලක්...? උග‍්‍ර වියළි කාලගුණයක් සහිත නිසරු කටු පදුරින් හෙඹි හුදකලා පෙදෙසක් වූ රජගහනුවර ගිජුකුළු පව්වේ පාමුල සිට කඳුමුදුනත දක්වාම යාචක සන්නිපාතයකි. ගිනියම් හිරුකිරණින් මෙන්ම, රක්ත තප්ත වූ මහ පොළොවේ උණුසුමින් දැවි දැවී සිඟමන් යදින බොහෝ යාචකයන්ගේ දෙනුවන් අන්ධය. ගිජුකුළු පාමුල සිට කඳු මුදුනත දක්වා බුදු පෙරහරක් සකස් විය. කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචිත ”ගිජුකුළු වන්දනා” පැදියෙන් බැතිමතුන් හා තරණයේ යෙදුණ සේක. ගුණ විජය ස්වාමීන් වහන්සේ අත සධාතුක කරඬුව විය. මහමෙවුනා අනගාරිකා මෙහෙණින් වහන්සේලා අත පූජා භාණ්ඩ විය. වන්දනා පැදි ගායනා මැද වෙහෙසකින් තොරවම ගිජුකුළු මුදුනතට පැමිණියෙමු. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ගිජුකුළු මුදුනත වන සුවඳ කුටිය තුළ අද ද උන්වහන්සේ ජීවමානව වැඩ සිටින් බැව් දැනේ. සුවඳ කැවූ රන්වන් පියුම් පන්සීයයක් ඇතුළු පූජාභාණ්ඩ රැසක් ජීවමාන භාග්‍යවතුන් වහන්සේ උදෙසාම පූජා කළෙමු. ගිජුකුළු පව්ව හා බැඳි ඓතිහාසික සිදුවීම් රැසකි. වක්කලි හිමියන්, භාගවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ ගිජුකුළු පව්වටය. ගිජුකුළු පාමුල සක්මනේ නිරතව හුන් බුදුන් වහන්සේගේ සිරසට දෙව්දතුන් ගල්කුළක් පෙරළුවේ ගිජුකුළු මුදුනත සිටය. භාග්‍යවතුන් වහන්සේගේ සිව්වනක් පිරිස ආරක්ෂා කරවනු පිණිස, සතරවරම් දෙව් රජුන් පැමිණ ආටානාටිය සූත‍්‍රය දේශනා කරන ලදදේ ගිජුකුළු මුදුනත දීය. එම ඓතිහාසික සිදුවීම පුනරාවර්තන කරමින්, භික්ෂූ, භික්ෂුණී, උපාසක උපාසිකා සිව්වනක් බුදු පිරිස ගිජුකුළු මුදුනතදී, ආටානාටිය සූත‍්‍රය සජ්ජායනා කළහ. ගිජුකුළු මුදුනත ආසන්නයේම ආනන්ද මහ රහතන් වහන්සේ වැඩසිටි කුටියද වෙයි. ඊට අමතරව ගිජුකුළු පව්ව සිසාරා, පසේ බුදුන් දහස් ගණන් වැඩසිටි ඉසිගිලි, පාණ්ඩව, කාලසිලා පව්වන්ද වෙයි. දඹදිව වන්දනාවේදී බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයක් දිනාගත් පින්බිමකි, සැවැත්නුවර දෙවුරම් වෙහෙර. දෙවුරම් වෙහෙර බලා පැමිණීමේදී, අනේපිඩු සිටුතුමා දෙවුරම් වෙහෙර කරවීමට ඉඩම ලබාගත් ජේත කුමරුන්ගේ මාලිගය ද පසුකර යෑමට සිදුවේ. අද දින සැවත්නුවර දෙවුරම් වෙහෙරේ, බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහ රහතුන් වහන්සේලා වැඩසිටි කුටි රැුසක නටබුන් දිස්වේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා සුවඳ සුදු හඳුන් වලින් නිමාකළ, වසර දහනවයක් පුරා උන්වහන්සේ වස් සමාදන්ව ගත කළ සුවඳ කුටිය අද ද ජීවමානය. එතුළින් අද ද උතුම්වූ බුදු සුවඳ ගලා ඒ. උන්වහන්සේගේ බුදු සිරුරේ, සිරිපා කමලේ පහස ලැබූ ගන්ධ කුටිය සිරසින් වන්දනා කිරීමට ඉඩහසර ලැබීම, දුලබ වාසනාවකි. මුළු ගන්ධ කුටිය පුරා උන්වහන්සේගේ මහා කරුණා ගුණැති ශාන්ත උණුසුම් සෙනෙහස ගලා හැළේ. උන්වහන්සේගේ මේ බුදුගුණ දහරාවට නතුවුවෝ නළල බිම තබා දහම් සංවේගයෙන් උපන් කඳුළින් ගන්ධකුටි ගැබ දෝවනය කරති. මෙම ගන්ධ කුටියේදී මහඵල ලබන්නට පින් පිරූ ශ‍්‍රාවක පිරිස කොතෙක්වීද? කෙතෙක් නම් දෙව් පිරිස් මැදියම් රැයේ පැමිණ දහම් පැන විසදාගත්තේවීද? සුවඳ කුටිය ආසන්නයේම ආනන්ද තෙරුන් වැඩසිටි කුටිය වෙයි. මුළු රැයපුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා නිදි වර්ජිතව පහන් ආලෝකයක් අතින්ගෙන කුටිය පැදකුණු කළ ආනන්ද තෙරුන්ට පූජා පිණිස, පින්වත් ශීල විජය ස්වාමීන් වහන්සේ නෙළුමක් මත දැල්වූ පහනක් ගෙන එම අතීත සිදුවීම පුනරාවර්තනය කළ සේක. බුදු සිරිපා අනුගමනය කරමින් සිය සිඟිති දෙපා ඒ අනුව තබා ඇවිදීමට උත්සහ දැරූ පුංචි රාහුල හිමියන්ගේ එම අපූරු සංවේදී පුවත සිහිගන්වන කංචුකයක් දෙවුරමේ රාහුල කුටිය වෙතද පූජා කළෙමු. මේ උතුම් දම්සභා මණ්ඩපයේදී උමතුවෙන් දිව ආ පටාචාරාවෝ, දරු දුකින් වියරු වැටුණු කිසාගෝතමි බුදු සසුනේ පිළිසරණ ලැබූහ. ගැබිනි වෙස්ගත් චිංචි මානවිකාව, මෙම දම්සභා ගැබට වැද භාග්‍යවතුන් වහන්සේට අවමං කළාය. දෙව්රමින් නෙරපන ලද චිංචිය, දිවගොස් පැන, නිරය බලා ගමන් කරන ලද ජලාශය පිහිටා ඇත්තේ ද දෙව්රම ආසන්නයේය. ගිලන්ව වැතිර සිට, බුදුන් දකින්නට එන ගමනේදී දෙව්දතුන් පණ පිටින් නිරයට වැදුණු ජලාශය ද ඒ අසලම පිහිටා ඇත. විශාල වෙල් යායක් මැද පිහිටි මේ ජලාශ අත්හැර කුඹුරු අස්වැද්දීමටත්, මලක් නෙළීමට හෝ ගඟ දියට නොබැසීමටත් අද ද සැවත්නුවර වාසීහු පරෙස්සම් වෙති. බුදුරදුන් දෙව්රමින් බැහැර වැඩි අවස්ථා වල පැමිණෙන බැතිමතුන්ගේ මල් සුවඳ දුම් පූජා භාණ්ඩ එහි අතුරා, හිස් අතින් යාමට පිළියමක් වශයෙන් ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කර ඇත්තේද මෙහිය. අසිරිමත් බුදු උපත සිදුවූයේ ලූම්බිණි සල් උයනේදීය. ලූම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේ බැවින් වීසා ලබාගත යුත්තේය. ලූම්බිණි පින් බිම තුළ බෝසත් පුතුගේ පා සලකුණු රැඳී පස් පිඩක් මෙන්ම බෝසත් පුතු හා මෑණියන් ප‍්‍රාතිහාර්යෙන් නැහැවුණු දිය දහරාව ද මායා බිසවුන් ස්නානය කළ ජලාශය ද එහි දැකිය හැක්කේය. බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූයේ වයස අවුරුදු තිස් පහේදීයි. හතළිස් පස් වසරක් පුරා ලෝක සත්වයනට දහම් දෙසමින් සිය බුද්ධකෘතිය ඉටු කර සේක. අනතුරුව මරුගෙන් ලද ඇරයුමින් අසූ වැනි වියේදී පිරිනිවී වදාළ කුසිනාරාවේ උපවර්තන සල් උයනට පිවිසෙන  ඕනෑම ශ‍්‍රද්ධාවන්තයකුගේ සිත සංවේගයෙන් බර වෙන්නේය. පිරිනිවී වදාළ ඒ උතුම් නිබ්බාණ චෛතිය අබිමුව, පෙහෙවත් සමාදන්ව වන්දනාවේ යෙදුණෙමු. හිසට කුඩයක්, පයට පාවහන් නොපැළඳ පා ගමනින්ම, සව් ලෝ සතුන් වෙත පතළ කරුණාවෙන් දහම් කෘතියේ නිරත වූ අසිරිමත් බුදු සිරිපා අපමණ විඩාවට පත්ව ඇති අයුරු මෙහි පෙනේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබියා වූ පින් සිරුර ද වෙහෙසින් යුතු ලෙස දිස්වේ.
පත්මා කුමාරි කංකානමගේ
සැවැත්නුවර පෙහෙවත් සමාදන්වූ පිරිස ලූම්බිණි පින්බිම ලූම්බිණි පින්බිම නිබ්බාන චෛත්‍යය පිරිනිවන් මංචකය