සටහන - චමින්ද මුණසිංහ

බටහිර රටවල් පසුගිය කාලයේ හැසිරුණු ආකාරය පුළුල් කතාබහකට ලක්වුණි. මේ රටේ ඇතිවූ තත්ත්වය පිළිබඳව ඒ අය සෘජුවම දැක්වූ ප්‍රතිචාර එම කතාබහට මුලපිරුවේය. කුමන පක්ෂයක ආණ්ඩුවක් පැවතියත් එම ආණ්ඩුව සමග කටයුතු කිරීම විදේශ තානාපතිවරුන්ගේ සාමාන්‍ය පිළිවෙතය. තිබිය යුත්තේ කුමන ආණ්ඩුවක් ද යන්න තීරණය කිරීම හෝ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසීම හෝ විදේශ තානාපතිවරුන් අතින් සාමාන්‍යයෙන් සිදු වන්නක් නොවේ. 

 

එහෙත් පසුගිය මැතිවරණයේදීත් මේ අයගේ ක්‍රියා කලාපය අපි දුටුවෙමු. ඒ සම්බන්ධව නොයෙක් චෝදනා එල්ල වුණි. ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපතිවරයා පසුකාලීනව කළ ප්‍රකාශ අපට මතකය. ඒ වගේම ඇමෙරිකාවේ හිටපු විදේශ ලේකම් කළ ප්‍රකාශ සෘජුවම මේ රටේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය තහවුරු කළේය. අපේ රට ඇතුළුව ආසියානු රටවල් කීපයක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඇමෙරිකාව මුදල් වියදම් කළ බවට කළ ප්‍රකාශ හරහා පෙන්නුම් කරන්නේ කුමක්ද? තිබූ ආණ්ඩුව පෙරළා වෙනත් ආණ්ඩුවක් බලයට ගෙන ඒමට කළ මැදිහත්වීමය. මේ සියල්ල ඔවුන්ම ප්‍රකාශ කිරීම මෙතැන ඇති වැදගත් සාධකයයි. 

නිදහස ලැබූදා පටන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැවතුනි. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල් අතර ලංකාව පැරැණිම රටකි. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් එතරම් ඉතිහාසයක් අපට තිබේ. ජනාධිපතිවරුන් සහ ආණ්ඩු මාරු කිරීමට ජනතාව දිගින් දිගටම කටයුතු කළහ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක එසේ සිදුවන රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට යැයි කියමින් බටහිර රටවල් මුදල් වියදම් කිරීම පැහැදිලිවම තමන්ට හිතවාදී පාලනයක් ගොඩනැගීමට කටයුතු කිරීමකි. එය සම්ප්‍රදායට පටහැනිය. වැරැදි පියවරකි. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යන ආකාරයක් ද දකින්නට පුළුවන. පසුගියදා ඇතිවූ සිද්ධිවලින් එය මැනවින් තහවුරු වනු ඇත. 

බටහිර රටවල යම් න්‍යාය පත්‍රයක් මේ රටේ ක්‍රියාත්මක කිරීමේ වුවමනාවද මෙයින් පෙන්නුම් කරන තවත් කරුණකි. එම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි අවස්ථාවල දී ඔවුන් පැහැදිලිවම මේ රටේ පාලනයට ඇඟිලි ගසන බව පෙනෙන්නට තිබේ. මේ රටේ පාලන ක්‍රමය වෙනස් කිරීමේ දැඩි වුවමනාවක් බටහිරට තිබේ. යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපි මීට පෙර කතා කළෙමු. එය සකස්වී ඇත්තේ ද බටහිර යම් යම් අවශ්‍යතා ඉටුකර ගැනීමටය. මේ රටේ දී එම ලියැවිල්ල සකස් කළ ද එයට බටහිර ඇඟිලි ගැසීම් දැඩිව සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. ලෝක බලවතුන්ගේ බල අරගලයේ දී ලංකාව තිබිය යුත්තේ කුමන තැන ද යන්න නිශ්චය කර ගැනීමේ වුවමනාවක් ද මේ අයට තිබේ. රාජපක්ෂ පාලනය චීනයට සමීප වූ බව බටහිර භූ දේශපාලනය පිළිබඳ ලියැවී ඇති පොත්පත් සහ වෙනත් ලිපි ලේඛන ආදියෙන් විග්‍රහ කර තිබේ. ඒ අනුව ලංකාව සම්බන්ධයෙන් මතයක් ඔවුහු ගොඩනගා ගත්හ. එම සමීප වීම වෙනස් කිරීමේ වුවමනාවක් බටහිරට තිබුණි. 

ඒ වගේම දෙමළ ඩයස්පෝරාව බටහිර රටවල තදින්ම ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. ඒ ඒ  රටවලට මොවුන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. මේ නිසා එම රටවල බලවත් පුද්ගලයන් අප රටේ ජනවාර්ගික ප්‍රශ්නයට මැදිහත්වීමකට යොමු කරවන්නට ඩයස්පෝරාවට හැකිවී තිබේ. ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට දෙමළ ඩයස්පෝරාව කොතරම් සම්බන්ධ වූවාදැයි අමුතුවෙන් කිවයුතු නැත. මානව හිමිකම් සමුළුව පවත්වන කාලවල දී දෙමළ ඩයස්පෝරාවේ හැසිරීම අනුව එම කාරණය හොඳින්ම තහවුරු කර ගන්නට පුළුවන. ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට ලබාදිය යුතු විසඳුම සම්බන්ධයෙන් බටහිර රටවල් සෘජුව මැදිහත් වන්නේ මෙම පසුබිම යටතේය. මේ ආකාරයට බටහිර රටවල් සෘජුවම අප රටේ කටයුතුවලට ඇඟිලි ගසන ආකාරයක් දකින්නට පුළුවන.  ලංකාවේ අභ්‍යන්තර කරුණුවලට ඉතා අසාධාරණ ලෙස ඇඟිලි ගැසීම කිසි ලෙසකින්වත් අමතක කළ නොහැක. අපේ ජනතාවට අවශ්‍ය දේ ක්‍රියාත්මක කිරීම වෙනුවට බටහිර රටවල අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට මැදිහත්වීම සුදුසු පියවරක් නොවේ. නුසුදුසු, නොගැළපෙන පියවරවලට එළැඹෙන අතර තර්ජනාත්මක ස්වරූපයෙන් බලපෑම් කිරීමට ද මොවුහු යොමුව සිටිති. සම්බාධක පැනවීම, පුද්ගලයන් ඉලක්ක කර සම්බාධක පැනවීම් සම්බන්ධව තර්ජනාත්මක ප්‍රකාශ නිකුත්වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව ඇති රටකට මෙවන් තර්ජනය කරන්නේ ඇයි? එය මතු කළ යුතු ප්‍රශ්නයකි. 

විධායක බලය ඇත්තේ ජනාධිපතිවරයාට බව මේ රටවල් අමතක නොකළ යුතුය. බටහිර රටවල් මෙතරම් විරෝධය දක්වන්නේ එම ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිවය. වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට මෙම බලවේගම ක්‍රියාත්මක වූ බව ද මතක් කළ යුතුය. එසේ නම් ඔවුන්ගේ වුවමනාව ද අනුව පත්කළ ජනාධිපතිවරයකු ඔවුන්ගේ අවශ්‍යතා ඉටු නොකරන අවස්ථාවලදී ඔහුට විරුද්ධව බලවේග නොඩනගන ආකාරය ද මේ හරහා ඔප්පුවී තිබේ. රට කෙරෙහි හෝ ජනතාව කෙරෙහි මේ අයට ආදරයක් නැත. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රය මේ බිමේ ක්‍රියාත්මක කිරීමය. 

පාර්ලිමේන්තුවේ කථානායක ගැලරියේ දී කාටවත් ශබ්ද නැගිය නොහැක. සමහර විදේශ සේවාවල පිරිස් හැසුරුණු අකාරය ගැනද ප්‍රශ්න මතුවි ඇත. මේවා කිසි ලෙසකින්වත් අනුමත කිරීමට හැකියාවක් නැත. මේවා හරහා යළි යළිත් පසක් කරන්නේ එකම යථාර්ථයකි. 
ජාතික නායකයන් රටවල් පාලනය කරන විට ඔවුන් කෙසේ හෝ පරාජය කර වෙනත් ආණ්ඩු බලයට ගෙන ඒමට බටහිර රටවල් පසුගිය කාලය පුරාම කටයුතු කළේය. 

මේ රටවල් පාලනය කළේ එක්කෝ හමුදා නායකයෙකි. නැතිනම් පැවතියේ හමුදා ආණ්ඩුය. ලිබියාව, මියන්මාරය එයට උදාහරණය. මෙම රටවලට බටහිර බලවේග ඇඟිලි ගැසුවේ ප්‍රාජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ වුවමනාව පෙරටු කරගෙනය. ආණ්ඩු පෙරළා දැමුවේ ඒ අනුවය. එහෙත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව පැවතියේ නිදහස ලැබීමටත් පෙර සිටය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඡන්ද බලයෙන් මන්ත්‍රීවරුන් පත්කර ගැනීමෙන් ඒ බව තහවුරු වනු ඇත. නිදහස ලැබුණු පසු ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම ස්ථාපිත කර ජනතාවට අවස්ථාව ලබාදී තිබුණි. යම්යම් කාලවල දී ඡන්දවලට ඇඟිලි ගැසීම් වූ බව ද අමතක නොකළ යුතුය. එහෙත් දශකයකට වඩා පෙර පටන් නිදහස් ඡන්දයෙන් පාලකයන් මාරු කළ බව පැහැදිලිය. මෙතරම් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව ඇති රටකට අනිසි ලෙස ඇඟිලි ගැසීම බෙහෙවින්ම අසාධාරණය. මෙයින් යළිත් තහවුරු වන්නේ බටහිර න්‍යාය පත්‍රය මේ රටේ ක්‍රියාත්මක කිරීමේ වුවමනාවය. 

ජනතා කැමැත්ත අනුව පාලකයන් පත්කර ගැනීමේ අයිතියට විරුද්ධවීමට බටහිර රටවලට කිසිදු අයිතියක් නැත. ජනතාවගෙන් පත්වූ ජනපතිවරයකු ක්‍රියා කළ යුතු ආකාරය තීරණය කිරීම ජාත්‍යන්තරයට අයත් වූවක් නොවේ. යම් ප්‍රශ්නයක් තිබේ නම් අධිකරණය හමුවට යාමට ඕනෑම කෙනෙකුට පුළුවන. එහෙත් එවන් පියවර නැත. 

බටහිර ඉලක්කවලට යාමට ඇති බාධා ප්‍රජාතන්ත්‍ර විරෝධී බව මේ අයගේ ක්‍රියාවලින් පැහැදිලිය. මේ රටේ ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට වෙනත් රටකට අයිතියක් නැත. ජනාධිපතිවරයා ජනතාවට බලය දීමට පවා බටහිර බලවේග එරෙහිවී තිබේ. මහජන ඡන්දයට මේ බලවේග විරුද්ධ වන්නේ ඇයි? 

යහපාලන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල් දැම්මේය. පළාත් සභා මැතිවණ පැවැත්වූවේ නැත. එවන් අවස්ථාවල මේ බලවේග කිසිදු හඬක් නැගුවේ නැත. 2015 දී තුනෙන් දෙකක ආණ්ඩුවක් පවතිද්දී වෙනත් ආණ්ඩුවක් පත් කළේය. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තරය නිහඬය. ඒ වගේම අගවිනිසුරුවරයා ඉවත් කළේ ලිපියකිනි. ඒ අවස්ථාවේ බටහිර රටවල් වචනයක් කතා කළේ නැත. එහෙත් පසුගිය දා ඇතිවූ සිද්ධියේ දී මහත් ආන්දෝලනයක් ඇති කළේය. පත්වූ අගමැතිවරයා හමු නොවීමට පවා විදේශ තානාපතිවරු යොමුවී සිටියහ. මෙවන් අත්තනෝමතික  ක්‍රියා අනුමත කළ නොහැක.