කතරගම දේව අඩවියේ මෑතකදී වු හාස්කම් ගැන දිගින් දිගටම කතා කළෙමු. කතරගම දේවාලය වර්තමානයේ පිහිටි තැන ඉදිකිරීම සම්බන්‍ධ කතා පුවත් මහාවංශය, ජිනකලා වංශය, රසවාහිනී. මහාබෝධී වංශය, සහස්සවත්ථුපකරණය, සගසරණ වැනි පොත්වල ලියැවී තිබේ. ඊට අමතරව කතරගම ප‍්‍රදේශයෙන් හමුවු සෙල්ලිපි ගණනාවක්ද මේ ඉතිහාසය වර්තමානයට කියාදෙයි. හෙන්නානිගල, කොට්ටදැමුහෙළ, බෝවත්තේගල සහ කෝනගල සෙල්ලිපි වලින්ද කතරගම රාජධානිදිය පිළිබද විස්තර කෙරෙන බව පුරාවිද්‍යාඥයෝ කියති. කතරගම දෙවියන්ගේ උපත පිළිබදව ඉන්දියානු විශ්වාසවලට අමතරව ලාංකීය පැරැන්නන්ගේ මතයක් හෙළිකළේ කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන කපු නිලය භාරව කටයුතු කරන සොමිපාල ටී.රත්නායක මහතාය. රත්නායක මහතා පවසන කරුණු අනුව තෙවැනි ලංකා ගමනේදී කැලණියට වැඩි බුදුරජාණන් වහන්සේගේ කතරගම කිහිරි වනයට වැඩමවා තිබේ. එකළ රුහුණු රාජධානියේ රජකම්කර ඇත්තේ ‘‘මහාඝෝෂ’’ නම් රජකෙනෙකි. රජමාලිගයට කිලෝමීටරයක් තරම්වු දුරකින් කිහිරිවනය පිහිටා තිබී ඇත. රජු උදෑසන කිහිරි වනයේ සිරි නැරඹිට එද්දි උයනේ එක් ස්ථානයක බුදුරැස් විහිදෙනු දැක එතැනට පැමිණ බුදුන් වැද බණ අසා බෞද්ධයෙකුවු වි තිබේ. ඒ අවස්ථාවේ බුදුන් රජාණන් වහන්සේගෙන් ඉල්ලාගත් කේශධාතු නිධන්කොට කිහිරිවනයේ කිරිවෙහෙර මහාඝෝෂ රජුවිසින් ඉදිකර ඇත. මහාඝෝෂ රජු මරණින් පසු ඉන්දියාවේ සරවන විලේ  ඕපපාතික දෙවියෙකු ලෙස ඉපදී එම දෙවියන්ට ස්කන්ධ යන නම තැබු බව අතීත පුරාවෘතවල කියැවෙන බවද ප‍්‍රධාන කපු ධූරන්දර සොමිපාල ටී. රත්නායක මහතා කියයි. මේ කාලයේ කතරගමට නුදුරු අක්කර විස්ස නම් ප‍්‍රදේශයේ නන්ද නම් වැදි නායකයෙකු සිට ඇත. මුවැත්තියක් අසල ඉපදුනු වල්ලිඅම්මා දෙවගන හැදිවැඩි ඇත්තේ මේ නන්දනම් වැදි නායකයාගේ රැකවරණ මැදය. ඉන්දියාවෙන් මෙහි පැමිණි බව කියන අරුණගිරිනාදන් නම් තවුසෙක් මේ ප‍්‍රදේශයේ භාවනානුයෝගීව වැඩ වෙසෙද්දී මිහිරි නාදයෙන් ගී ගයන රූමත් තරුණියක් දැක තිබේ. අරුණගිරිනාදන් තවුසා සහ ස්කන්‍ධකුමරු අතර මිත‍්‍රත්වයක්ව පැවති අතර ඉන්දියාවට ගිය අරුණගිරිනාදන් ස්කන්‍ධ කුමරු හමුවී ගීගයන රූමත් තරුණිය ගැන දන්වා තිබේ. මේ තොරතුරු අසා ඇය සරණපාවා ගැනීමේ අදහසින් ස්කන්‍ධ කුමාරයා තම මිතුරන් දෙදෙනෙකුවු සිවලිංගම් සහ නබීර් යන  දෙදෙනා සමග පැමිණ වැඩහිටිකන්දේ ලැගුම්ගෙන තිබේ.  නබීර් යනු මුස්ලිම් ජාතිකයෙකි. ස්කන්‍ධකුමාරයා වැඩහිටිකන්දේ සිට වල්ලි අම්මා තරුණිය බැලීමට යද්දී දුටුගැමුණු රජුද අනුරාධපුර බලා යන්නට යුදසේනාව සමග එදා කප්පකන්දර නදී ලෙස හැදින්වු වර්තමාන මැණික් ගග අසලට පැමිණ තිබේ. මේ කාලයේ එළාර රජු සමග දුටුගැමුණු රජු යුදවැදුනු සමය විය. මාගම සිට පැමිණිම නිසා වු ගමන් වෙහෙස නිවාගැනීමට ගැල් ලිහා ගවයන්ටද තණ කවා, අහාර පිස අනුභවකර  විවේක ගන්නාලෙස සිය සේනාවට දුටුගැමුණු රජු පවසා ඇත. මේ ගැල්වල තිබී ඇත්තේ යුද්ධයට අවශ්‍ය දුනු- ඊතල ඇතුලූ යුද උපකරණත් සේනාවට අවශ්‍ය ආහාර ආදියත්ය. මේ කාලය වනවිට කිහිරිවනය සමීපයේ අෂ්ඨඵල බෝධිය පිහිටා තිබිණි. දුටු ගැමුණු රජු සේනාව රදවා අෂ්ඨඵල බෝධිය වන්දනා කරගෙන ඒමට පිටත්ව තිබේ. එසේ යද්දී හේනක් දැක එහි ගොස් හේනේ සිටි වයසක කාන්තාවකගෙන් කෑමට යමක් ඉල්ලා තිබේ. පැමිණ සිටින්නේ දුටුගැමුණු රජු බව නොදත් මහලූ කාන්තාව තමා දුප්පත් තැනැත්තියක් බවත් කෑමට ඇත්තේ සුනුසහල් පමණක් බවත් කියා සුනුසහල් කිරිබතක් පිළියෙල කරදී ඇත. උණු උණුවේ තැටියකට දැමු සුනුසහල් කිරිබත දුටුගැමුණු රජු අනුභව කර ඇත්තේ තැනින් තැනය. මෙය බලා සිටි මහලූ කාන්තාව පවසා ඇත්තේ ගැමුණු කුමාරයා යුද්ධ කරන ලෙස ආහාර අනුභව නොකර එක පැත්තක සිට පිළිවෙළකට අනුභව කරන ලෙසය. වල්ලි අම්මා කුමරිය බලන්නට ස්කන්‍ධකුමාරයා සෙල්ලකතරගමට යද්දී දුටුගැමුණු කුමාරයාගේ සේනාව දැක ඇත්තේ මේ අතරතුරේදීය. මහලූ වේසයක් ගත් ස්කන්‍ධ කුමාරයා සෙබළුන් වෙත ගොස් ගැල්වල ඇත්තේ මොනවාදැයි විමසා තිබේ. නාදුනන මහල්ලාට බොරුවක් කිය යුතුයැයි සිතු සෙබළු මේවායේ ඇත්තේ ‘‘උ`දු’’ යැයි පවසා තිබේ. මහල්ලා නොපෙනී ගිය පසු ආහාර පිසීමට ගැල්වලින් ආහාර එළියට ගැනීමට බලද්දී ගැල් සියල්ලේම තිබු ආහාර ‘‘උදු’’ බවට පත්වීම නිසා සෙබලූ පුදුමයට පත්ව තිබේ. අෂ්ඨඵල බෝධිය වැද ආපසු පැමිණි රජු ආහාර අනුභව කළේද යන්න සෙබළුන්ගෙන් විමසා ඇත. ඒ අවස්ථාවේදී සෙබළු මහල්ලාගේ කතාව පවසා සියලූම ආහාර ‘‘උදු’’ බවට පත්කළ මහල්ලා ගිය දෙස රජුට පෙන්වා දි තිබේ. මේ මහල්ලා අසාමාන්‍ය පුද්ගලයෙක් විය යුතුයැයි සිතූ දුටුගැමුණු රජු මහල්ලා ගිය දෙස බලා යද්දී මැණික් ගග මැද සිටින මහල්ලා දැක ඔබ කවුරුදැයි විමසා ඇත. ඒ මොහොතේ විශාල ජල කදක් මැණික් ගෙග් ගලාවිත් ඇති අතර මහලූ වෙස්ගෙන සිටි ස්කන්‍ධ කුමාරයා සිටි තැන ජලයෙන් යටනොවී එතැන වටකර දෙපැත්තෙන් ජලක`ද පහළට ගලාගොස් තිබේ. මහලූ වෙස් ගත් ස්කන්‍ධකුමාරයා රජුට ගග මැදට එන ලෙස ආරාධනා කර ඇත. එහෙත් විශාල ජල පහර එතැනට යන්නට බාධාවක් බව රජු දන්වා තිබේ. මහලූ වෙස් ගත් ස්කන්‍ධකුමාරයා පවසා ඇත්තේ රජුගේ අතේ ඇති අසිපතින් ජලය දෙබැකරගෙන එන ලෙසය. සිය අසිපතින් ජලයට පහරක් ගැසු විට ජලය දෙබෑවී  රජුට ගග මැද සිටින ස්කන්‍ධකුමාරයා ළගට යන්නට හැකිවී තිබේ. මෙය සැබැවින්ම ආශ්චර්යයක් නිසා මේ තැනැත්තා එසේමෙසේ කෙනෙකු විය නොහැකි යැයි රජු අවබෝධකරගෙන තමන් කවුද යන්නේ කුමකටද කියා විස්තර කර ඇත. මේ ආශ්චර්යවත් පුද්ගලයා ගැන පැහැදීමක් ඇතිකරගත් දුටුගැමුණු රජු ඔහුට  වැද තමන් යන යුද්ධයෙන් දිනන්නට ආශිර්වාද ඉල්ලා ඇත. යුද්ධය දිනු පසු මේ අදෘශ්‍යමාන පුද්ගලයාට වැඩ සිටීමට රන් උලූ සහිත මාළිගාවක් තනවා දෙන බවට පොරොන්දුවී එතෙක්  වැඩහිටීමට තාවකාලික අතුපන්දලමක් සාදාදි යුද්ධයට පිටත්ව ගොස් තිබේ. එළාර රජු හා යුද වැදුණු දුටුගැමුණු රජු යුද්ධයෙන් ජයගෙන තමන්වු පොරොන්දුව ඉටු කිරිමට කතරගමට පැමිණ ඇත. යුද්ධයට යද්දී අතරමගදී හමුවු පුද්ගලයා සොයාගන්නේ කෙසේදැයි සිටින අතරතුරදී වැඩහිටිකන්ද දෙසින් රතුඑළියක් විහිදෙනු දැක රජු එහිගොස් ඇත. වැඩහිටිකන්දට ගිය දුටුගැමුණු රජුට කතරගම දෙවියන් ජිවමානව දැක ගැනීමට ලැබුනු බව ජනප‍්‍රවාදයේ එන බව කතරගම මහ දේවාලයේ ප‍්‍රධාන කපුමහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පවසයි. එතැනදී පෙරවු පොරොන්දුව සිහිකර රන්උලූ සහිත දේවාලය තැනීමට ස්ථානයක් පෙන්වාදෙන ලෙස දුටුගැමුණු රජු කතරගම දේවියන්ගෙන් ඉල්ලා තිබේ. කලියුගයේදි මිනිස්සුන්ට දැඩි ආර්ථික අහේනියක් එන නිසා රන්උලූ මාළිගාවක් තැනුවහොත් මිනිසුන් අතින් ඊට හානිවිය හැකි බැවින් එය තම නමටද අගෞරවයක් වන බව දන්වා රණ්කොත් මාලිගයක් පමණක් ඉදිකරන ලෙස රජුට දන්වා තිබේ. ඉන්පසු වැඩහිටි කන්දේ සිට ඊතලයක් විද්ද කතරගම දෙවියන් එම ඊතලය වැටුණු තැන දේවාලය ඉදිකරන ලෙස දුටුගැමුණු රජුට දැන්වු බවද එම ජනප‍්‍රවාදයේ කියැවෙයි. වර්තමාන කතරගම දේවාලය තනා ඇත්තේ ඒ ඊතලය වැටුණු තැනය. මහාඝෝෂ රජුගේ මාළිගාව තිබුණේ එතැන යැයි විශ්වාසයක්ද පවතී. දේවාලය තැනීම සදහා ඉන්දියාවෙන්  වාස්තු ශිල්පින් ගෙන්වාගෙන තිබේ. දේවාලය තැනු පසු දුටුගැමුණු  රජ්ජුරුවන්ගේ වස්තූන් එහි තැන්පත්කර මෙම දේවාලයේ පුදපුජාවන් ඉරහද පවතිනා තුරු පැවැත්වීම පිණිස පන්සිය පනස් පස් දෙනෙකුගෙන් යුතු කපුපරපුරක් පුහුණු කර ඔවුන්ට බාරදී තිබේ. ඔවුන් පුහුණු කරවීමට ද ඉන්දියාවෙන් බෙරවාදන ශිල්පීන් ද දුටුගැමුණු රජු විසින් ගෙන්වාගෙන  ඇතැයි පැවසේ. මේ රාජකාරීකරුවන්ට ජීවත්වීම පිණිස රජුගේ ඉඩම් ප‍්‍රදානය කර ඇත. අක්කර දොළොස්දහසකින් යුතු නන්දිමිත‍්‍ර පරපුරට දුන් කටගමුව නින්දගම මේ රාජකාරීකරුවන්ට දුන් ඉඩම් යැයි සැලකේ. ඊට අමතරව තවත් අක්කර අනුදහසක් වෙන්කර ඒවා බදුදී ලබන ආදායමෙන් කතරගම ඇසළ පෙරහර මංගල්‍යය, අවුරුදු මංගල්‍යය සහ ඉල් පෙරහර පැවැත්වීමට දුටුගැමුණු රජු නියම කළ බවද ඉතිහාසයේ කියැවෙයි. එතැන් පටන් නොකඩවා කතරගම පෙරහර පවත්වා තිබේ. නමුත් ක‍්‍රිස්තුවර්ෂ 1638දී ලංකාව ආක‍්‍රමණයකළ  ඕලන්ද ජාතිකයන් ක‍්‍රි:ව: 1700දි පමණ රුහුණු පුරවරයද ආක‍්‍රමණය කර වැව් අමුණු කඩා බිද දැමීය. මේ හේතුවෙන් කුඹුරු පුරන්වී ගියේය. ගොඩවගාවන් ද වැනසී ගියේය. කතරගම දේවාලයට ලැබෙන ආදායම නැතිවී ගියේය. පෙරහර කිරිමට විශාල බාධාවක් විය. කතරගම දේවාලයේ තේවාවන් බාරව සිටි කපුපරපුරේ ඇත්තෝ එදා දේවාලයේ බාරකාරත්වය ඉසිලූ මහබෙත්මෙ (වර්තමානයේ බස්නායක නිළමේ) හමුවීමට කටගමුවේ සිට මාගම වලව්වත්තට පැමිණ ඇත. හැන්දෑවේ අදුර වැටීමෙන් පසු කපු පරපුරේ අයට මහබෙත්මෙ හමුවී තිබේ. අදායම නොමැතිව පෙරහර මංගල්‍යය පැවැත්වීමට නොහැකිවීම ගැන දෙපාර්ශ්වය සාකච්ඡාකර කරමින් සිට ඇත. ඔවුන් සාකච්ඡා කළ ස්ථානයට නුදුරින් පිහිටි නිදන්ගලෙන් එකවරම එළියක් විහිදුවා අදෘශ්‍යමාන පුද්ගලයෙක් පිරිස අතර දිස්වි තිබේ. ‘‘සතර දිග්බාගයෙන් බැතිමතුන් ගෙන්වා දෙන්නම්.  ඒ බැතිමතුන් දෙන පඩුරුවලින් පෙරහර කරලා උන්ට ආශිර්වාද කරපල්ලා. පෙරහර නොකර ඉන්න එපා’’ යැයි පවසා එම අදෘශ්‍යමාන පුද්ගලයා අතුරුදන්ව තිබේ. එම සිද්ධියෙන් පසු කතරගමට විවිධ ජාතීන් විවිධ ආගමිකයන් වැල නොකැඞී එන්නට පටන්ගෙන තිබේ. එදා  නිදන්ගල මුදුනේ දිස්වු අදෘශ්‍යමාන පුද්ගලයා වෙන කිසිවෙක් නොව කතරගම දෙවියන් යැයි විශ්වාසයක් ඇත.
අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම අෂ්ඨඵල බෝධිය කතරගම දේවාලය. ඉදිරිපස අතුසෙවිලි කර ඇති කොටස අතුපන්දලම ලෙසින් හදුන්වයි කතරගම කිරිවෙහෙර කතරගම මහ දේවාලයේ ප‍්‍රධාන කපු නිලය හොබවන   සොමිපාල ටී රත්නායක