සූරියකන්ද ප‍්‍රදේශය

 

රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප‍්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදී. 

වරින් වර හමා යන දැඩි සුළගත් හිරිගඩු පිපෙන සීතලත් අවට සිටින්නන්ට පීඩාවක් එල්ල කරන බවක් පෙනෙන්නට නැත. ඔවුහු එකම අරමුණක් වෙනුවෙන් මහත් උත්සුකව බලා සිටිති. වසර පහකට අධික කාලයක් පොළොව යට වැළලී අභිරහසක්ව සිටි පිරිසක් යළි ගොඩ ගැනීමේ භාර¥ර කර්තව්‍යයට ඔවුන් අත ගසා ඇත. 

මෙය සිදු වෙමින් පවතින්නේ මහා පරිමාණ ව්‍යාපෘතියක් වශයෙනි. දාහත් වසරක් පුරා ශී‍්‍ර ලංකාවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳ දමමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට ජීවය කැවූ නව නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැතිනිය වී සිටින්නීය. මේ ඇගේ එක් ඡන්ද පොරොන්දුවකි. 

‘‘මා බලයට පත්වූ වහාම ඇඹිලිපිටියේ සිසු ඝාතනයේ සුලමුල හොයා වරදකරුවන්ට නිසි ද`ඩුවම් දෙනවා.’’ ඒ ඇය වේදිකාවේ දී දුන් පොරොන්දුවකි. ඇය කීවේ ඇඹිලිපිටියේ මිය ගිය සිසුන් ගැන සොයා බැලීමට ජාතික කොමිසමක් ද පත් කරන බවයි. බලයට පත්වී ජනාධිපතිවරණයට මුහුණ දීමට පෙරාතුව ඇය ඒ පොරොන්දුව කි‍්‍රයාවට නැංවූවාය. 
ඇය සිය පොරොන්දුව ඉටු කළ ද ඇඹිලිපිටියේ සිසු ඝාතනයේ රහස් හෙළි කැර ගැනීමට හැකියාව ලැබුණේ නැත. චන්ද්‍රිකා අගමැතිනිය තමන්ම එහි ගොස් ඉදිරිපත් වී සිසුන්ගේ සිරුරු සොයා කැණීම් කිරීම රට පුරා මහත් ආන්දෝලනාත්මක සිදු වීමක් වූයේය. මේ දේශපාලන මැදිහත් වීම නොවන්නට කිසි දිනක සූරියකන්දේ සමූහ මිනී වළ යළි හෑරෙන්නේ නැත.


සූරියකන්ද සමූහ මිනී වළේ පුද්ගලයන් 300කට අධික පිරිසකගේ සිරුරු මිහිදන් කැර ඇති බව බොහෝ දෙනකුගේ මතය වූයේය. ඇඹිලිපිටිය විද්‍යාලයේ ඝාතනයට ලක්වූ සිසුන් 25 දෙනාගේ සිරුරු ද එම ස්ථානයේ ඇති බවට පැහැදිලි සාක්ෂි තිබිණි. ළමයින්ගේ මාපියන් ද දිගින් දිගටම පැවසුවේ සිය දරුවන් මරා සූරියකන්දේ මේ වළට දමා ඇති බවයි. සූරියකන්දේ සමූහ මිනී වළ පිහිටා ඇතැයි කියන ස්ථානයේ අගමැතිනිය, ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු හා ප‍්‍රාදේශීය දේශපාලකයෝ ද ප‍්‍රදේශවාසී දහස් ගණනක පිරිසක් ද එතැනට රැුස්ව සිටියහ. සාමාන්‍ය මිනිසුන්ගේ මරණයක් නොව පාසල් සිසුන් ඝාතනය වී එකම ස්ථානයක සමූහයක් ලෙස වළ දමා ඇතැයි යන විශ්වාසයත් දේශපාලනික වශයෙන් ලැබුණු දැවැන්ත ප‍්‍රචාරයත් අති විශාල පිරිසක් පැමිණීමට හේතුවක් වන්නට ඇත. 

සමූහ මිනී වළ හාරා සිරුරු කොටස් ගොඩට ගෙන ඒවායේ අනන්‍යතාව සොයා බැලීමේ වගකීමක් බාර වී තිබුණේ රුහුණ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය නිරිඇල්ලගේ චන්ද්‍රසිරි, කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එල්.බී.එල්. ද අල්විස් සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එස්.එම් කොළඹගේ යන මහත්වරුන් වෙතටය. 

අධිකරණ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ කෘතහස්ත විද්වතුන් වූ මේ තිදෙනාට මෙරට දී හමුවූ සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් අත්දැකීම් වූයේ නැත. නමුත් සිද්ධාන්ත අධ්‍යයනයෙන් හා විදෙස් රටවල සමූහ මිනී වළවල් කැණීමෙන් ලැබූවා වූ අත්දැකීම් සියල්ල මේ කාර්යය සඳහා යොදා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වන්නට ඇත. කැණීම් ආරම්භ වී ටිකෙන් ටික පස් ඉවත් කරද්දී එම ස්ථානයේ තිබී ඇටකටු හමු වන්නට විය. කුඩා අස්ථි කොටස් හමු වීමත් සමගම රැුස්ව සිටි බොහෝ දෙනා කෑ ගසා එතැනට යති. මාපියෝ හ`ඩා වැටෙති. පැය ගණනක කැණීම්වලින් පසු හිස්කබල කොටස් කිහිපයක් හා තවත් අස්ථි කොටස් බොහොමයක් මේ ස්ථානයෙන් ලැබිණි. මේවා අසලට දිව එන දේශපාලකයෝ එම අස්ථි කොටස් අතපත ගාති. 

සමූහ මිනී වළක් හෑරීමේ දී සාමාන්‍ය පිළිගත් සම්ප‍්‍රදාය හා විද්‍යාත්මක ක‍්‍රමවේද භාවිත කළ යුතුය. නමුත් සිදු වූයේ මිනී වළේ සියලූ තොරතුරු හා දත්ත දේශපාලකයන්ගේ මැදහත් වීම හේතුවෙන්ම විනාශ වී යාමයි. ඇඹිලිපිටියේ ඝාතකයන්ට ද`ඩුවම් දීමේ සැබෑ වුවමනාවක් තිබුණ ද නිසි සැලසුමක් නැතිව දේශපාලනික න්‍යාය පත‍්‍රයකට අනුව හෑරූ සූරියකන්ද සමූහ මිනී වළෙන් මතු කැර ගැනීමට තිබූ තොරතුරු රැුසක් එලෙස තව දුරටත් අභිරහසක්ම වූයේය. 
සාමාන්‍යයෙන් මතු වන අස්ථියක් හෝ අස්ථි කොටසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ දී ඒවා වෙන් නොවන හෝ කළවම් නොවන ආකාරයෙන් ඉවත් කළ යුතුය. ඉවත් කිරීමට පෙර ද ඡායාරූපයට නැගීම ආදිය කළ යුතුව තිබේ. මිනී වළ හෑරිය යුත්තේ ද පුහුණුව ලැබූ කම්කරුවන් පිරිසක් විසිනි. මෙතැන සිදු වූයේ ඒ සියල්ලටම වඩා වෙනස් වූ දෙයකි. දහස් ගණනින් රැස්ව සිටි පිරිස් පවා අස්ථි සොයා තමන්ට හැකි පමණින් හෑරීම් කරන්නට වූහ. හැ`ගීම් උත්සන්න වූ ඇතැම් දෙනා හමු වන අස්ථි කොටස් තම අතේ රඳවාගෙන හඩා වැළපුණහ. ඇතැම් දේශපාලකයන් කළේ මේ වළෙන් මතු වන හිස් කබලක් තම අතට ගෙන එය මාධ්‍යයට පෙන්න පෙන්නා තම මතය ප‍්‍රකාශ කිරීමයි. 

ප‍්‍රතිඵලය වූයේ සූරියකන්ද සමූහ මිනී වළ හෑරීමේ විද්‍යාත්මක අපේක්ෂා විනාශ වී යාමයි. එහෙත් පැමිණ සිටි දේශපාලන බල අධිකාරිය ද රැුස්වූ ජනතාව ද එක්ව සමූහ මිනී වළේ හමු වන අස්ථි කොටස් තෝරාගත නොහැකි අයුරින් කළවම් කිරීම මේ විද්‍යාත්මක පර්යේෂණයට බාධාවක් වූයේය.  
මෙවන් කලබලකාරී තත්ත්වයක් හමුවේ කැණීම් කිරීම ප‍්‍රයෝජන නැති බව කියූ අධිකරණ වෛද්‍යවරු කැණීම් අතරමග නවතා දැමීමට තීරණය කළහ. සොයාගත් අස්ථි කොටස් පවා විද්‍යාත්මකව කාණ්ඩගත කිරීමට නොහැකි වන ආකාරයට අස්ථි කොටස් අවුල් වී තිබිණි.

එකල ශී‍්‍ර ලංකාවේ දී ඞී.එන්.ඒ. පරීක්ෂණ කිරීමට අවශ්‍ය පහසුකම් තිබුණේ නැත. පහසුවෙන් හඳුනාගත හැකිව තිබූ ඇතැම් සිරුරු කොටස් මිශ‍්‍ර වී තිබුණෙන් විදෙස් රටකට යවා ඞී.එන්.ඒ. පරීක්ෂණ පවත්වා අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනීම ද අසීරු වී තිබිණි. මේ හේතුවෙන් සූරියකන්දේ සමූහ මිනී වළ සම්බන්ධ අවසන් වාර්තාවක් ද ඉදිරිපත් කිරීමට අධිකරණ වෛද්‍යවරුන්ට නොහැකි විය. එය මෙලෙස මිහිදන් වූවන්ට කරන ලද බලවත් අසාධාරණයකි.

 

 

දේශපාලන බලපෑම් හා මැදහත් වීම හේතුවෙන්ම මහත් ආන්දෝලනාත්මක ලෙස හෑරීම ආරම්භ වී පසුව නිවැරදි අනාවරණයකින් තොරව අතරමග නවතා දැමූ මිනී වළක් වෙත් නම් එය ශී‍්‍ර ලංකාවේ සූරියකන්දේ සමූහ මිනී වළ පමණි. කෙසේ වෙතත් භීෂණ සමයේ මිය ගිය අය සොයා සමූහ මිනී වළ හෑරීම ඉදිරියට ගෙන යාමට හෝ තව දුරටත් එවැනි සොයා බැලීමක් කරන අවස්ථාවේ දී වඩාත් විධිමත්ව හා ආරක්ෂාකාරීව කිරීමේ ක‍්‍රමවේදයක් ගොඩ නැගීමට අවශ්‍ය බව රජයේ පාර්ශ්වයට ඒත්තු ගියේය.  

ප‍්‍රධාන සැකකරුවන්ට විරුද්ධව රත්නපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතිනි. අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඇසින් දුටු සාක්කි අතිශයින්ම වැදගත් විය. නඩුව පවත්වාගෙන යාම පවා අසීරුතා රැුසකට බඳුන් වන්නට වූයේය.

1988/89 කාලයේ ඇතිවූ කැරලි, කැරලි මර්දනය කිරීමට රජය ගත් කි‍්‍රයා මාර්ගයක ප‍්‍රතිඵලයක් ලෙස සූරියකන්ද සමූහ මිනී වළ බිහිවී තිබිණි. දේශද්‍රෝහීන් ලෙස සැක කරන ලද තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන හමුදා කඳවුරුවලට හෝ තාවකාලිකව අටවාගත් කඳවුරුවලට ගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කර බුරුතු පිටින් ඝාතනය කැරිණි. ඇතැම් තරුණයන් ටයර් දමා අමු අමුවේ පුළුස්සා දමනු ලැබිණි. භීෂණ සමයේ දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ඝාතනය වූ බොහෝ අය අතරට අහිංසක පාසල් සිසුන් ද ඇතුළත් වන්නේ කිසිදු වග විභාගයකින් තොරවය. 

සූරියකන්දේ එවැනි පාසල් සිසුන් විශාල පිරිසක් ඝාතනය කර වළලා දමා ඇතැයි යන පුවත දනන් තුඩ තුඩ රැුව් දෙමින් තිබිණි. පරාජයේ අන්තයටම කිඳා බැස තිබූ විපක්ෂයට ජීවය කවන ලද්දේ ලලිත්-ගාමිණී දෝෂාභියෝගය හා චන්ද්‍රිකාගේ හදිසි සම්ප‍්‍රාප්තියයි. පැවති පාලනය පෙරළා දමා නව රජය පැමිණි අවස්ථාවේ එදා ආණ්්ඩුවෙන් හා භීෂණයෙන් පීඩා විඳි පිරිස් සිටියේ අමුතුම උද්යෝගයකිනි. සූරියකන්දේ සමූහ මිනී වළ හෑරීමේ මූලාරම්භය පැමිණෙන්නේ එතැනිණි. 

සූරියකන්ද සමූහ මිනී වළේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වළ දැමූ බව ප‍්‍රසිද්ධ කාරණයක්ව තිබිණි. භීෂණ සමයේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වූයේ දයානන්ද ලොකුගලප්පත්ති නමැති අයෙකි. ඔහුගේ පුත‍්‍රයා ද මේ පාසලේම ඉගෙනුම ලැබුවේය. ලොකුගලප්පත්ති එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන හෙංචයියෙකි. ඔහු ප‍්‍රදේශයේ අණසක පතුරාගෙන සිටියේ විදුහල්පතිවරයකුට හිමි වන ගෞරවය භාවිත කරමින් නොවේ. ඉන රැඳි පිස්තෝලයක් තිබෙනවා යැයි කියූ කතාවත් නාහෙට නාහන ගතිගුණයත් හේතුවෙන් කිසිවෙකුත් ඔහුට සමීප වූයේ නැත. නිරන්තරවම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට සහභාගි වන ලොකුගලප්පත්ති විදුහල්පතිතුමා කිසිවෙකුටවත් බියක් දැක්වූයේ නැත. ඔහුගේ මේ ගතිගුණ හා දේශපාලන කි‍්‍රයාකාරිත්වය සූරියකන්දේ සමූහ මිනී වළ බිහි වීමට බලපෑවේය. 


එකී විදුහල්පතිගේ පුත් ලොකුගලප්පත්ති ශිෂ්‍යයා උසස් පෙළ හදාරමින් සිටිය දී ඔහුගේ සිත් ගත් ශිෂ්‍යාවක් ද වූවාය. ඒ පවිත‍්‍රා රන්මලී සිසුවියයි. විදුහල්පති පුත‍්‍රයා රන්මලීගේ ආදරය වරින් වර ඉල්ලා සිටියේය. එහෙත් ඇගෙන් ඊට නිසි අනුබලයක් ලැබුණේ නැත. එයට හේතුවී තිබුණේ ද ඔහුගේ පියාගේ නොහික්මුණු හා සැර පරුෂ කි‍්‍රයා කලාපයයි. 

ඔහුගේ මේ ආදරණීය ඉල්ලීම අන් සිසුන්ට දැනෙන්නට වූ පසු ඔහු ටිකෙන් ටික මිතුරන්ගේ අවඥාවට ලක් වන්නට විය. එහි ප‍්‍රතිඵලය වූයේ පාසල් සිසු සිසුවියන් දෙපිරිසකට බෙදීමයි. එක් කණ්ඩායමක් විදුහල්පති පුතාගේ පාර්ශ්වය නියෝජනය කළ අතර අනෙක් කණ්ඩායම විදුහල්පති පුත‍්‍රයාට එරෙහි වන්නට විය. 

ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ගෙන ගිය අරගලයට පාසල් සිසුන් ද සහභාගි වෙමින් සිටි බැවින් රජයේ දැනුම් දීම වූයේ විදුහල්පතිවරයා විසින් මාපියන් හා සිසුන් දැනුම්වත් කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ රැුස්වීම් කිහිපයක්ම පැවැත්විණි. මේ එක් රැුස්වීමක් අවසන් කර විදුහල්පතිවරයා සිය නිවස වෙත යමින් සිටියේය. පාසලේ සිසුන් අතරින් නැග ආ හූ හඩක් ක‍්‍රමයෙන් වර්ධනය වන්නට විය. කෝපයට පත් විදුහල්පතිවරයා ‘‘තොපිට මම හොඳ පාඩමක් උගන්වනවා’’ යැයි කියමින් සිසුන් දෙසට ගුගුලේය. හූ හඩ නතර වූයේ නැත. 

ඔහු පැවසූ පාඩම සඳහා පිඹුරුපත් සැකසිණි. ඒ සඳහා ඔහු හා සැලසුම් සකස් කළේ පාසල ආසන්නයේ හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසකි. විදුහල්පතිවරයාගේ දේශපාලන සම්බන්ධතා මේ සඳහා බෙහෙවින් උපකාරි විය. ඒ වන විටත් හමුදා භටයන්ට පාසල් භූමිය ආගන්තුක ස්ථානයක් වූයේ නැත. ඔවුහු නිතර නිතර පාසලට පැමිණ යති. හමුදා භටයෝ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිට අංකල් යනුවෙන් ආමන්ත‍්‍රණය කළහ. 

තමන්ට හූ කියූ සිසුන් හඳුනා ගැනීමේ කාර්යය සඳහා විදුහල්පතිවරයා යොදා ගත්තේ ඔහුගේම පුත‍්‍රයාය. විදුහල්පති පුත‍්‍රයාට ද මෙය අනගි අවස්ථාවක් වූයේය. තමන් සොයා ගිය පේ‍්‍රමය නොලැබී යද්දී සමච්චල් කළ සගයන්ගෙන් පළි ගැනීමට හොඳම අවස්ථාව මෙය බව ඔහු තීරණය කළේය. පුත‍්‍රයා විදුහල්පති පියාට පාසල් සිසුනගේ නාම ලේඛනය නොපැකිලිව ලබා දුන්නේය. එහි ඉහළින්ම නම සඳහන් වූයේ හූ කියූ සිසුවාගේ නම නොවේ. ඔහුගේ පේ‍්‍රමය ගැන කියමින් උසුළු විසුළු කළ සිසුවාගේ නම මුලටත් අන් අයගේ නම් අනු පිළිවෙළිිනුත් සඳහන් කර තිබිණි. මෙය ඔහුගේ පෞද්ගලික පළි ගැනීමකි. 

මේ ලේඛනය අනතුරුව තිබුණේ හමුදා කඳවුරේය. දින කිහිපයකින් ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් අතුරුදන් වූහ. 

මෙලෙස ඝාතනය වූවන් අතර ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ඉගැන්වූ ගුරුවරුන්ගේ දරුවෝ ද වූහ. දරුවන් ඝාතනය කැරුණු බවත් ඔවුන් සූරියකන්දේ වළ දමා ඇති බවත් මාපියෝ දැන සිටිය ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ඒ ගැන නීතිය කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. දිගින් දිගටම පැමිණිලි කළ ද 1994 වර්ෂය වන තුරු කිසිදු සාධාරණයක් ඉටු වූයේ ද නැත. 


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැතිතුමිය මූලිකත්වයෙන් හෑරුවේ මේ සිසුන් වළ දමා ඇතැයි කියූ සමූහ මිනී වළයි. එහි කැණීම් ආරම්භ වූයේ මහේස්ත‍්‍රාත් නියෝගයෙන් වුව ද ඒ හෑරීමේ ප‍්‍රතිඵලය සාර්ථක නොවූ බව දැන් ඉතිහාසයට එක්ව තිබේ. එදා දේශපාලන බල අධිකාරියේ උනන්දුව හා බලපෑම නොවුනේ නම් දහස් සංඛ්‍යාත පිරිස් මේ කාර්යයට සහභාගි නොවූයේ නම් ඇඹිලිපිටියේ සිසු ඝාතනයේ සුල මුල හෙළිදරව් වනු ඇත. පහසුවෙන් අනාවරණය කැර ගැනීමට හැකියාව තිබූ ඇඹිලිපිටියේ සිසු ඝාතනය දැන් අභිරහසක්ව සූරියකන්දේ වැළලී තිබේ. 

මිනී වළ හාරන අවස්ථාව 

 

සමූහ මිනී වළ ඇති ස්ථානය