මේ රටට සෑම ඛනිජ තෙල් බින්දුවක්ම ගෙන්වනු ලබන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙනි. නැතිනම් තෙල් ගෙන්වීමේ, තොග රැස්කර තබා ගැනීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය රජය සතුය. පාරිභෝගිකයනට තෙල් බෙදා හැරීමේ ඉන්ධන පිරවුම්හල්වලින් තුනෙන් එකක් පමණක් ”භාරත පැට්රෝලියම්” ඉන්දියානු තෙල් සමාගම සතුය. ඛනිජ තෙල් ගෙන්වීම හා බෙදාහැරීම රජය සතුකර ගෙන සිටීමේ වරදක් නැත. රජය වෙනුවෙන් එම කාර්යය පැවරී තිබෙන්නේ ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය. එසේම රට තුළ බෙදා හරිනු ලබන ඛනිජ තෙල් නිෂ්පාදනවල ප‍්‍රමිතියේ යම් වරදක් සිදුවන්නේ නම් ඒ හේතුවෙන් වාහන මඟ නවතින්නේ නම්; ආණ්ඩුවේ තෙල් නිසා වාහන හිමියන්ට යන්ත‍්‍ර සූත‍්‍ර අලූත්වැඩියා කිරීමට සිදුවන්නේ නම් එහි වගකීම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බාරගත යුතුය.

අප මේ නරඹන්නේ තෙල් ක්‍ෂේත‍්‍රයේ විගඩමද?


ඛනිජ තෙල් ආනයනයේ හා බෙදා හැරීමේ වගකීම දරමින් ගෙන්වන ලද නිෂ්පාදනයේ වරදක් සිදු වූ විට ඇඟ බේරා ගැනීමට නම් ආණ්ඩුවක් වෙනුවෙන් සංස්ථාවක් අවශ්‍ය නැත. වැරදිලාවත් මෙම වරද පෞද්ගලික සමාගමක් මගින් සිදු වුණි නම් එම සමාගමට එරෙහි ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ආණ්ඩුවක් යම් ආයතනයක වගකීම දරනවාත් සමගම එම ආයතනය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය වැඩි වැඩියෙන් තහවුරු වීම නිතැතින්ම සිදුවන්නකි. එසේම පඩි නඩි දීමනා හා සියලූ පහසුකම් බුක්ති විඳින්නේ ජනතාව වෙනුවෙන් විශ්වාසවන්ත වගකීමක් ඉටුකිරීමට බව අදාළ රාජ්‍ය ආයතනයේ සේවකයනට ද අමුතුවෙන් කියා දිය යුතු නැත. ඔවුනට ගෙවීම කරනු ලබන්නේ ඒ සඳහාය. මෙවන් ක්ෂේත‍්‍රයක වැදගත්කම සලකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අදාළ ආයතනයේ කැබිනට් වගකීම පවරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ඉදිරිපෙළ නායකයකුටයි. ඔහු සන්ධාන රජයේ පමණක් නොව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ද ජ්‍යෙෂ්ඨයෙකි. එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා වන්නේ ද අපේ රටේ ඛනිජ තෙල් බාර අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්තය. සුසිල් වෘත්තියෙන් නීතිඥයෙකි. එය ද නමට ඉදිරියෙන් එල්ලෙන කෑල්ලක් සේ නොව උසාවියේ හොඳට තර්ක විතර්ක ඉදිරිපත් කළ හැකි නීතිඥයෙකි. අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත කලබලයකින් තොරව සිනාමුසු මුහුණින් තර්කානුකූලව යමක් ඉදිරිපත් කළ හැකි දේශපාලනඥයකු ලෙස ද ප‍්‍රකටය. විවේචනයක දී ඔහුට තරහ යන්නේ නැත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ සියල්ල සැලකිල්ලට ගෙන සුසිල්ට අදාළ වගකීම බාරදුන්නා දැයි කියන්න දන්නේ නැත. රටක පැට්රෝලියම් ක්ෂේත‍්‍රය ගේම් ගහන සටකපට අන්ඩරයින්ට හොරකමට හොඳ තෝතැන්නකි. එ් බව ද ඇමැතිවරයාට අමුතුවෙන් කියාදිය යුතු නැත. මේ රටේ ආනයනයෙන් හතරෙන් එකක් (1/4) සිදුවන්නේ ඛනිජ තෙල් ක්ෂේත‍්‍රය හරහාය. බොරතෙල් ලෙස සියයට 30ක් ද පිරිසිදු කරන ලද පැට්රල් හා ඞීසල් ලෙස සියයට 70 ක්ද ඛනිජ තෙල් මෙරටට ආනයනය කරනු ලබයි. මීට අමතරව දැවි තෙල් ආනයනය ද ඉහළ ප‍්‍රතිශතයකින් සිදුවේ. මෙය වසරකට ඇමෙරිකානු ඩොලර් දශලක්‍ෂ 5000ක ආනයනයකි. වත්මන් රුපියල් වටිනාකමට සාපේක්‍ෂව රුපියල් දශ ලක්‍ෂ 665,000කි. ඉන් සියයට එකක් නොව සියයට බින්දුවයි දශම 5ක් එහා මෙහා කරගත්තොත් එම අත යට ගනුදෙනුවේ වටිනාකම පමණක් රු. කෝටි 332යි ලක්‍ෂ 50කි. මේ නිසා නිසි පරිදි අභ්‍යන්තර විගණනයක් සිදුවන, නිවැරදි ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියත් සමග ටෙන්ඩර් පරිපාටි කි‍්‍රයාත්මක වන, නිවැරැදි තොග පවත්වාගෙන යමින් හදිසි මිල දී ගැනීම් වළක්වන, උසස් ප‍්‍රමිතීන් නඩත්තු කළ හැකි රසායනාගාරවලින් සමන්විත පාරදෘශ්‍ය භාවයකින් කිය යුතු ආයතනයක් පවත්වාගෙන යෑමේ වගකීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙන්ම අදාළ අමාත්‍යාංශයට ද පැවරේ. ඊට හේතුව ජනතාවගේ මුදල් මිලියන දහස් ගණනින් මෙම ආයතනය හරහා හුවමාරු වන නිසාය. ජනතා මුදල් වනාහි සාංඝික දේපළට සමානය. එම වගකීමෙන් මිදීමට ඇමතිවරයාට, අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන්ට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට නොහැක. එහෙත් පසුගිය සමයේ අසන්නට ලැබෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බාල පෙට්රල්, බාල ඞීසල් බෙදා හැරීම් ගැනය. එසේම දැවි තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් ද ප‍්‍රශ්න ඇතිකරගෙන තිබෙන බවය. ” ඕවා යූ.ඇන්.පී. කාලවලත් වුණා.” අරටු ශී‍්‍ර ලංකා කාරයකුට එහෙමත් කිව හැකිය. ”ඒක නිසා වැඬේ නිවැරැදිව කරගෙන යන්න තමයි තමුසෙලා පත්කර ගත්තේ” කියා ද තවත් කෙනෙකුට තර්ක කළ හැකිය. මෙසේ අතීතය මතක් කර වර්තමානය වසා ගැනීම හෝ වගකීම්වලින් මිදීම දැන් එතරම් වලංගු වන්නේ නැත. වරදක් වී තිබේ නම් එය නිවැරැදිව හදා ගන්නා බව වචනයට පමණක් සීමා නොවිය යුතුය. බාල පැට්රල් ප‍්‍රශ්නයේ දී ඇමැතිතුමා එදා රටට පොරොන්දු වූයේ මින් ඉදිරියට එවැන්නක් සිදුවීමට ඉඩ නොතබන බවය. එහෙත් වරක් වූ දෙය නැවත වරක් සිදු වී තිබේ. සෝවියට් දේශයේ නිර්මාතෘ වී.අයි. ලෙනින් නම් පැවසුවේ වරක් වූ දෙයක් නැවත සිදුවන්නේ නම් එය ”විගඩමක්” කියලාය. අප මේ නරඹමින් සිටින්නේ මේ රටේ ඛනිජ තෙල් ක්ෂේත‍්‍රයේ එම විගඩම දැයි කියන්න දන්නේ නැත. ඇමතිතුමා පත්කළ ති‍්‍ර පුද්ගල කමිටුවම ගියවර ”බාල පෙට්රල්” ප‍්‍රශ්නයේ දී ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය හා නිසි පරිදි නීතිරීති හා රෙගුලාසි අනුගමනය කිරීමකින් තොරව අදාළ පෙට්රල් තොග ආනයනය කර ඇති බව නිගමනය කර ඇත. ඒ සම්බන්ධයෙන් මෙතෙක් සිදු වී තිබෙන්නේ එදා සිටි අමාත්‍යංශ ලේකම්වරයා පරිපාලන සංචිතයට යවා වානිජ කළමනාකරු සියලූ දීමනා සහිතව අනිවාර්ය නිවාඩු යැවීම පමණි. මෙම කි‍්‍රයා පිළිවෙතට ද දැන් වසරක් ගතවී ඇත. හදිසි ඇණවුම්වලට ලොල්කමක් දක්වන සමහර පැට්‍රෝලියම් නිලධාරීහු දළ වශයෙන් අපේ රටේ සති දෙකකට වරක් තෙල් නැවක් ගොඩ බෑ යුතු බව නොදන්නා බබ්බු නොවෙති. මේ නිසා හදිසි මිල කැඳවීම් තෙල් වෙළඳාමේ නිතර නිතර සිදුවීමට ඉඩක් නැත. එසේ නොවන තැනට කටයුතු සැලසීම අදාළ නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ වගකීමට යටත්වේ. මීට ඉහත බාල පෙට්රල් ගෙන්වීමෙන් ද අනුගමනය කර තිබෙන්නේ මෙම හදිසි මිල දී ගැනීම් කි‍්‍රයාවලියයි. එහි දී සංස්ථාවේ රසායනාගාර පරීක්‍ෂණවල දී පවා ඒවා බාල තෙල් බව හෙළි වී තිබියදීම බෙදා හැරීමට නියෝග දුන් නිලධාරීන්ට සීරුමාරුවට ගැලවී යාමට ඉඩදීම ප‍්‍රශ්නකාරීය. එසේම ඔවුනට ඔහුට එවන් හිතුවක්කාර බලයක් ලැබීම ද ප‍්‍රශ්නකාරීය. සමහර අමාත්‍යාංශ ලේකම්වරුන් ඇමැතිවරුන් අභිබවා යන ප‍්‍රවණතාවක් දක්නට ලැබෙනවා යැයි දැන ගැනීමට තිබේ. එහෙත් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත වැනි කෙනකුට එවැන්නකු දමනය කිරීමේ හොඳ හැකියාවක් නොතිබීමට විධියක් නැත. අවසානයේ නිලධාරීන්ගේ වැඩ නිසා ජනතාවගෙන් හා රටෙන් කන්න වෙන්නේ විෂය බාර ඇමතිවරයාට නම් එමගින් අපහසුතාවට පත්වන්නේ තමන් නියෝජනය කරන රජය නම් අනිවාර්යයෙන්ම අදාළ නිලධාරීන්ට එරෙහිව කඩුව අතට ගැනීමට ඇමතිවරයාට සිදුවනු ඇත. එහෙත් අමාත්‍ය සුසිල් නම් අතට ගත් කඩුවක් නැති ගාණය. කොහේවත් යන තක්කඩි රෑනක කි‍්‍රයාකාරකම් වෙනුවෙන් අත්දැකීම් සහිත තම දේශපාලන පරිචය පළුදු වීමට ඉඩහැර කම්මැලි ලෙස බලාසිටීම ද පුදුමසහගතය. සිංගප්පූරුවේ ”විටෝල් සමාගමට” ආදරය කරන අය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සිටින බව දැන් රහසක් නොවේ. කැබිනට් අනු කමිටුවක් මගින් අසාධු ලේඛන ගත කළ (බ්ලැක්ලිස්ට්) ”විටෝල් සමාගමට” නැවත ඛණිජ තෙල් ආනයනය පැවරෙන්නේ මේ ආදරය නිසා වාගේය. මේ ආදරය ගැන අමුතුවෙන් කිව යුතු නැත. කැබිනට් අනු කමිටු තීරණ තුට්ටුවකට ගණන් නොගන්නා සේය. විවිධ හේතු ඉදිරිපත් කර නැවත විටෝල් සමාගම කැඳවීමේ වගකිව යුත්තා හෝ යුත්තෝ කවරහුදැයි මේ වන විට රහසක් නොවේ. ප‍්‍රශ්නය ඇත්තේ මෙතැනය. විධිමත් ප‍්‍රසම්පාදන හා ටෙන්ඩර් පරිපාටියක් සහිතව සකි‍්‍රය අභ්‍යන්තර විගණන අංශයක් කි‍්‍රයාත්මක වුණි නම්, තෙල්වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කරන රසායනාගාර පද්ධතිය යාවත්කාලීන වී තිබුණි නම් කාට වුව ද මේ සෙල්ලම් මෙතරම් ලෙහෙසියෙන් කරගෙන යා නොහැක. එවැන්නක් නොවීමේ වගකීම තෙල් සංස්ථාවට පමණක් නොව අමාත්‍යාංශයට ද පැවරේ.

අසාදු ලේඛනගත කළ සමාගමකට පෙම් බැඳීම


එසේ නොවීමට හේතුව අධිකාරිවාදී නිලධාරී බලය ද? ජනතාව ඡන්දය දුන්නේ නිලධාරීන්ට නොවේ. අමාත්‍ය සුසිල් මහා ලේකම් ධුරය හොබවන එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. අවසානයේ ජනතාවට වගකිව යුත්තේ එම සන්ධානයේ දේශපාලන නායකයන් බව අමුතුවෙන් කිවයුතු නැත. ඉසෙඞ් ලකුණකට, තෙල් බින්දුවකට ආණ්ඩුවක් විනාශ වන්නේ නම් අසාධාරණයකි. එසේම ආණ්ඩුවක් අසාර්ථක වීමේ ගොඩට මේවා එකතු වන්නේ නම් එය ද එම ආණ්ඩුව පත්කළ ජනතාවට කරනු ලබන අපරාධයකි. එසේම රටේ නායකයාට ද කරනු ලබන අසාධාරණයකි. මැතිවරණයක් ළංවන විට මැතිවරණ අරමුදලට පොදියක් විසි කරන අය සූදානම් වන්නේ එවන් කෙටි කලක දී පොට්ටනි ලොරියක් පමණ උපයා ගැනීමටය. මේ වන විට එය මේ රටේ බොහෝ දෙනකුගේ ව්‍යාපාරයක් වී තිබේ. එසේම සමහර නිලධාරීන් කල්පනා කරන්නේ කාගේ හෝ පස්සේ එල්ලී සරුසාර තැනක පැලපැදියම් වී කීයක් හෝ උපයා ගැනීමටය. මෙවන් නිලධාරී ස්ථරයක් ද මේ වන විට විවිධ තැන්වල ස්ථානගත වී ඇත. මෙවන් පසුබිමක ඇමැතිවරයෙකු ”පැරණි මාෆියාවක් හොල්මන් කරනවා” යැයි පැවසීම පමණක් සාධාරණ වන්නේ නැත. විශේෂයෙන්ම සුසිල් පේ‍්‍රමජයන්ත වැනි ඇමැතිවරයකු ඒවාට බිය වන්නේ නම් ඇමැතිතුමාටත් මේ ආණ්ඩුවටත් දෙවියන්ගේම පිහිටය. ජනතාව දැන් මේ හැම කෙනකු හා හැම දෙයක් ගැනම සැක සංකා ඇතිකරගෙන සිටිති. අසාධාරණ ලෙස කිසිවෙක් එවන් සැකයන්ට භාජන විය යුතු නැත. වරක් වූ දෙය තව වරක් වී විගඩමක් වීමෙන් පසුවවත් ඇමතිතුමා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ”හිල්” වසා ශක්තිමත් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටීම හා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කිරීම වැදගත්ය. අතීත සිදුවීම් අනාගතයේ දී සිදු වන්නේ නම් සාධාරණය අසාධාරණය කෙසේ වෙතත් ඇමැතිවරයාට සම්බන්ධ පිරිස් පවා මේ ජරා ගොඩවල්වල කොනක ඇතැයි යන සැකය සමහර කෙනකුට මතුවිය හැකිය. එය වළක්වා ගැනීමේ වගකීම හෙට දවසේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ යහපත් කළමනාකාර මඬුල්ලකට බාරය. ඒ අය ගැන ඇස ගසාගෙන සිටීම තම කීර්තිනාමය හා ආණ්ඩුව වෙනුවෙන් ඇමැතිතුමාට බාරය.
වසන්තප‍්‍රිය රාමනායක