24_PAGE_02_RASA

 

තොරණ දිගට ඇදෙන කතාවක්. පුරාණ කාලයේ සිට ඉදිවන තොරණ ගැන කතා බොහොමය. ජාතිභේද, කුලභේද, ආගම්භේද නොමැතිව ඉදිවන තොරණ ලාංකේය ජන සමාජයේ විසිතුරකි.

1
මරණයටත්, මඟුලටත්, පිළිගැනීමටත්, ප්‍රදර්ශනයටත් ආගම දහම වෙනුවෙන් පමණක් නොව වෙළහෙළඳාමටත් පුරාණයේ සිට, අත්තා මුත්තා කාලයේ සිට තොරණ ඉදිවන සැටි අපූරුය.


මහා භාරතයේ සාංචිහි තොරණ ඒ අතින් ඉතා වැදගත් කොට සැලකිය හැකිය. එය ඉතා පැරණි ස්ථාවර විචිත්‍ර ගල් තොරණකි. 


පටන් ගැනීමේදී සිද්ධස්ථාන සීමාව සැරසීමට සීමා වූ තොරණ වැඩිකල් නොයාදීම රජ මාලිගය කරාද පැමිණ ක්‍රමයෙන් එය ගෘහ නිර්මාණ කලාවේද අංගයක් වී තිබේ.


මකරා රුවට ඇත් සොඬක් වැනි සොඬක් ඇත. පාද - සිංහයා වැනිය. දෙකන් - සූකරයකුගේ වැනිය. ශරීරය - දියෙහි වසන මාළුවකුගේ මෙනි. දෙඇස් - හනුමාගේ ඇස් වැනිය. ඉදිරියට නෙරූ දත්ය.


ලෝකයේ උත්පාදනය මකරා මගින් මූර්තිමත් වන බව ඈත පෙරදිග රටවල විශ්වාසය වී තිබේ. මකරා දේව වරප්‍රසාදයේ සලකුණක් මෙන්ද ඔවුහු පිළිගනිති. දෙවිඳුන්ගේ වාහනය මෙන්ද කාම දේවයාගේ කොඩියෙහි සටහන ලෙස ද මකරා සැලකෙයි.


සුප්‍රකට සාංචි තොරණ අනුකරණය කරමින් මකර තොරණ පහළ වූ බවට විචාරකයෝ මත පළ කළහ. ඉන්දියාවෙන් ජනිත වූ මකර තොරණ බුද්ධාගමේ ව්‍යාප්තියත් සමග බුරුම, කාම්බෝජ, ලාවෝස්, චීන, කොරියා, ජපන් සහ බාලි යන අග්නිදිග ආසියාවේ රටවල් කරා ද ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ. තොරණේ ආරම්භය පිළිබඳ වැදගත් පතපොතකින් ඉදිරිපත් කළ හැකි කරුණු නොමැති අතර “තොරණ බැඳීම” නමින් කුඩා පුස්කොළ පොතක් තිබී ඇත. එහි පද්‍ය පනහක් ඇති බව පැවසෙන අතර මුද්‍රණය වූ බවක් දැනගන්නට නැත.


පන්තිස් කෝල්මුරයට අයත් මේ තොරණ දැක්වීම පත්තිනිය පිළිබඳ ශාන්තිකර්මයන් හිදී බෙරයෙන් නැගෙන, මෘදු කෝමල රිද්මයට අනුව ගී ගයන කපුවන් විසින් මිහිරි ලෙස ගැයෙන්නකි.


ලිපිබද්ධ සාහිත්‍යයෙහි තොරණ පිළිබඳ පැරැණිම සටහන් ලැබෙන්නේ රාමායනයෙහි සහ මහා භාරතයෙහිය.


මහා භාරතයෙහි රාජසූය යාග පර්වතයේ වීථි මිණි තොරණින් අලංකාරව තිබූ බව කිහිප තැනකම සඳහන් වෙයි.

3
මේ වීථි තොරණ ගැන ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසෙහි කෘතීන් දෙකක් වන ශිලප්පදිකාරාමා සහ මණිමේඛලායි යන ද්‍රවිඩ මහා කාව්‍යයන්හිද කමනියව සඳහන් වෙයි.


සිංහලයේ ඉපැරණි පද්‍ය සාහිත්‍යයේ ද ඇතැම් ජාතක කතාවල ද තොරණ සඳහන්ය. තොරණ ආගම හා සම්බන්ධ වන බව සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් හි පිහිටා ඇති මඟුල් ලකුණු අතර මඟුල් තොරණ දෙකක් ද තිබෙන බව සඳහන් වීමෙනි. චෛත්‍යය, බෝධිය, පිළිමගෙය, දේවාලය ආදී පූජනීය ස්ථානවලට ඇතුළු වන දොරටුව තොරණකින් සැරසීම ආගමික චාරිත්‍රයක් බවට දියුණු වී ඇත්තේය. කලාකරුවන්ගේ විශේෂ අවධානයට එය ලක් වී ඇත්තේ තොරණ විශේෂ අංගයක් බවට පත් වීම නිසාය. 


මෙලෝ වශයෙන් ආරක්ෂාව ලබා ගැනීම සඳහා නොයෙක් දෙවි දේවතාවන් කෙරෙහි ගෞරව දැක්වීමට ජනතාවගේ ඇති ආශාවට ඉඩ ලබා ගැනීම සඳහා කලාකරුවා මකර තොරණ උපයෝගී කරගත් සැටියක් පෙනෙයි.


මෙය එක් උදාහරණයකි. සබරගමුව, මහ සමන් දේවාලයේ දේව පූජා පෙරහර අවසානයේ ගඟ මැදට ගොස් දිය කැපීම සඳහා දේව අඟුලක් පිළියෙළ කරනු ලැබේ. මේ අඟුලෙහි සැරසිලිවල මුල්තැන ලැබෙන්නේ මකර තොරණටය.


තොරං පරපුරේ මුල්ම විකාශනය වශයෙන් අයිල් තොරණ සැලකිය හැකිය. අයිල යන්නෙන් අදහස් කරන්නේ යක්ෂාදීන්ට පුදන ලද ආහාර තැබීමට යොදනු ලබන තටුවයි. මේ තොරණින් අදහස් කරන්නේ භූතයන් සතුටු කිරීමයි. මේ තොරණ සැදුණේ ගොක්කොළවලිනි.


අතීතයේ උත්සව අවස්ථාවල දී වීදි අලංකාර කොට ඇත්තේ මල් තොරණවලිනි. ථූපවංශයේ ද පූජාවලියේ ද ඒ බව සඳහන් වේ. එය ද ගොක්කොළ ආශ්‍රයෙනි. 


සප්ත නාරි තොරණ තවත් තොරණ වර්ගයකි. ඒ තොරණ බැලූ විට පෙනෙන්නේ ස්ත්‍රීන් සත් දෙනෙකු එකට ගැටලාගෙන සිටින අතර ඒ මැදින් ප්‍රවේශයට ඉඩ තබා ඇති අයුරුය. පිළිතොරණ කෙසෙල් ගස් දෙපස සිට වූ රඹ කැණේ (කෙසෙල් ගස්) බුලත් තොරණ ලිය තොරණ නිමැවී ඇත්තේ ඉපැරැණි ලියකම්වලිනි. සිංහ තොරණේ ඇත්තේ ඉපැරැණි සිංහ රූප දෙකකි. 


කීල තොරණ තවත් එක් තොරණකි. එය දකින්නට ලැබෙන්නේ කංකාරීවලදීය. දේවාල කෝවිල්වල තිබෙන පූජෝත්සවවලදී තැනෙන    “කාලපන්දම” ද කීල තොරණේම කොටසකි. එය සැකසෙන්නේ උසින් අඩු පුවක් කණු සතර දෙස පිහිටුවාය. කාලපන්දම ගසන්නේ තොරණ මුදුනේය. එයින් නැගෙන එළිය දැකුම්කලුය. මෙය බොහෝ විට ද්‍රවිඩ සාහිත්‍යයේ සඳහන් වෙයි.


පහන් තොරණ මැටි පහන්වලින් අලංකාර වෙයි. දෙපස සිටින්නේ දැල්වුණු මැටි පහන් දෙකක් සහිතව සිටගත් කාන්තාවෝ දෙදෙනෙකි.
ගෙඩි තොරණට අයත් වන්නේ පොල්ගෙඩිම පමණකි. ගෙඩි තොරණ වෙනුවෙන් තොරණ කවි පොතක මේ කවිය ලියැවී තිබේ.


ගෙනෙන ගෙනෙන     වලු
තොරණෙ බැඳෙන     වලු
තොරණෙ බඳින    වලු
නැටි පරවෙන    වලු
නැටි පරවෙන     වලු
බිමට වැටෙන     වලු
බිමට වැටෙන     වලු
කොල්ලෝ කන     වලු


මෙය සුන්දර ජන හෑල්ලකි. නමුත් අද දවසේ නම් කොල්ලන්ට කන්න දෙන්නේ නැත. පොල් මුදලාලි ඉහළම ලංසු තබා ඇති බැවිනි.


පෙරහර තොරණ නම් තවත් තොරණකි. දෙදෙනෙකු (රූප) දෙපසින් විශාල ධජ පතාක දෙකක් ඔසවා ගෙන සිටින අයුරිනි. ගොක්කොළ හා කොඩි රෙදි වර්ගයක් උපයෝගී කරගෙන චිත්‍ර ද ඇතුළත් කර ඇත.

4
වෙසක් තොරණ ගැන අප දන්නවා වුවත් ආදි කාලේ වෙසක් තොරණ ඉදිවුණේ දුප්පත් ලෙසය. ගොක්කොළ පසුබිමේ බුද්ධ රූප කිහිපයක් තබා එදා ජාතක කතාවක් සිත්තම්කොට නොවේ ලියපත්, කඟවේන්නු, ලීස්තර, ගරාදි, නාරිලතා ඒ තොරණ කොයිකේත් සැරසිලි වී තිබිණ.


මේ තොරණ බොහොමයකට ප්‍රමුඛ තැනම ඉඩ ඇරී ඇත්තේ විහාර පවත පැවසෙන කවියකටය. ඒ මෙසේය.


මේ කවිය ආදිකාලේ වාද්දුව පොතුපිටියේ වාළුකාරාම විහාර තොරණේ සහ මාතර වැවුරුකන්නල පරණ විහාරයේ තොරණේ තිබුණු කවියකි.


“පොරණ මුනි මැඳුර දිරුමට     ගිය බැවිනි
සරණ ගත මෙගම් වැසි හැම     විය දමිනි
තොරණ සමග යළි පියේවී     කර වමිනි
තීරණ කළේ සුමන තෙර නමැති     ම විසිනි”


වයස අවුරුදු හැත්තෑපහ ඉක්මවූ පාදුක්කේ ගිමාරහාමි නෝනා බොහොම සැදැහැවත් උපාසිකාවකි. ඇයට ඇගේ ජීවිත පොත පෙරළන්නට මම අවස්ථාවක් උදා කළෙමි. මේ මාතාවගේ මන්දගාමී කතාබතාවට ඕනෑ තරම් කල් ගත හැකිය.


“ගොක්කොළවලින් විතරක් නෙමෙයි. පොල්කොළවලිනුත්, පොල්පිතිවලිනුත් තොරණ හදනවා. අපේ එක්කෙනා ගොක් කලාවෙන් කරන ඕනෑම වැඩක් දන්නවා. ඉස්සර එයා හොයාගෙන කට්ටිය එනවා. මරණෙට, මඟුලට, පිරිත් මණ්ඩපේට, ගොක්කොළ කලා වැඩ කරවා ගන්න. උන්දා මියැදුනාට පස්සේ ඒ කට්ටිය බොහොම දුක් වුණා. කවුරු හරි ආරාධනාවක් කළොත් කීයක්වත් ගන්නෙහෙම නෑ. ඒ ඇත්තා ගොක් කලාව විකුණාගෙන කෑවේ නෑ”
ගොබේ තියෙන කොළේ ගොබ කොළේය. ඒකම ගොක් කොළේ වෙන්නේ ඒක ළපටි පොල්කොළයක් බැවිනි. ඒකම ගොප්, වී ගොක්කොළේ වෙයි.


ගොක්කොළවලින් තොරණ ගහලා ඒක මුදුනින් නිවන් සැප ලැබේවායි අකුරු තියන්නේ පොල්කොළෙන්. අරක කහපාටයි. මේක කොළ පාටයි. ඉතිං කැපිලා පෙනෙයි.


මේ තොරණ යටින් ඉලව් ගෙදරට එන හැමෝම සෝ බරයි. ඇහැට කඳුළු උනන්නේය. තුනී දුක ඝනකම වෙයි.


අපේ රටේ අනන්‍යතාව ලොවට විදහාපාන ක්‍රමයක් වන්නේ ගොක් කලාවයි. ගැමි ජනයා තොවිල් පවිල්වලට ද පිරිත් මණ්ඩපයට ද තොරණට ද ගොක් සැරසිලි යොදා ගත්තේ එයින් මැවෙන රූ සිරිය දැනගෙනය.ගොක්කොළ තොරණ බොහෝ විට සැදුනේ තනිමාලයටය.


ගිමාරනෝනා හාමිනේ කියන පරිදිම වාගේ අප ද දැන සිටින්නේ යුවතිපති දෙපොලට ආයුබෝවන් යැයි සඳහන්ව ගොක්කොළවලින්ම තැනෙන තොරණ ඇත්තේ මඟුල් ගෙවල්වල සැරසිලි අතර විරාජමානවය.


නොයෙක් අතට ගොක්කොළ වියා, විවිධ හැඩතලවලින් හැඩ සංවිධානය කෙරෙන ගොක්කොළ තොරණ වැඩිම වුණොත් පවතින්නේ තෙදිනකි. ඒවා දිලිසෙන්නට පොල්තෙල් ආලේප කළත් ඊට වඩා දින ගණනාවක් තබාගත හැකි නොවේ. ගොක්කොළ මැළවෙයි. එවිට තොරණම ගැලවෙයි.
ගිමාරානෝනා හාමිනේ යළිත් කතාවට එකතු වන්නීය.


තොරණවලට රූප මාලා එන්නේ වෙසක් පොසොං කාලෙට. ඒකත් දැන් වාණිජකරණෙට හසුවෙලා. බුද්ධාලම්භන ප්‍රීතියටත් මුදල් හදල් අය කරන්න පටන් අරං. 


විටට කන්න තියෙන පුවක් කැල්ලෙ මිලත් උස්සගන්න බුලත් මුදලාලිට සිද්ධ වුණේ තොරංවලට පුවක් ගස් කපලා. පුවක් ගස් කපාන ඇවිත් ඒ කඳන් බරගාණක් හිටෝලා සැකිල්ල හදලා ජාතක කතා චිත්‍ර ඒවායි එල්ලනවා. අපි තරුණ කාලෙ වෙසක් බලන්න ගිහිං තොරං බැලුවෙ ඒ ජාතක කතාවලට හිතේ පහන් හැඟීමක් ඇති කරගෙන. පස්සෙ කාලෙ බුදුරැස් මාලාවෙ ඉඳලා නොයෙක් වෛවාරන්න බල්බ් දැල්වෙන්න පටන් ගන්නවා. හුඟක් අය ගියේ රැස් විහිදෙන ලයිට් කන්දරාව බලන්න. පොඩි එවුන් වඩාන අපිත් ගියා. දැන් එවුන්ගෙ කර දඬු උස් ගිහිං. එක පුතෙක් ඉතාලියෙ. අනෙක් දුව අනුරාජපුරේ පදිංචි වෙලා.


ගොක්කොළවලින් ලෑලි, පොලිතින්වලින් තොරණ වෙනස් වී අනතුරුව රිජුෆෝම්වලින් ද තොරණ සැදුණු අයුරු අපි දනිමු. පුවක් කඳන්වලින් ද මිදී යකඩ බටවලට මාරු වූ තොරණ සැකිල් මත අතින් ඇඳි චිත්‍ර පමණක් නොව ඩිජිටල් මුද්‍රිත රූප පද්ධති ද පැමිණ තිබේ. ඒවාට පරිගණක පවා යොදා ගැනේ. ඒ බව ගිමාරා නෝනාහාමිත් දන්නීය.


තවත් තොරණ ජාතියක් ගැන අපට කීවේ පාදුක්කේ ඉන්දරේය. ඔහුට ඒ තොරණ ජාතිය ගැන මනා දැනුමක් තිබේ. 


බුලත් හපයක් සාරෙ සුබාවට හැපෙමින්ම කතාව පටන් ගත් පාදුක්කේ ඉන්දරේ උන්නැහේ කියන්නේ ගම් උදා තොරණ ගැනය.


“රණසිංහ ප්‍රේමදාස මහත්තයා කාලෙ සෑම අවුරුද්දකම ජූනි මාසෙ පැවැත්වුණා රටේ කොහේ හරි ගම් උදාවක්. ඒක මහා ප්‍රදර්ශනයක්. ගෙවල් සහිත අලුත් ගම්මානයක්. මේ ප්‍රදර්ශන භූමියෙ ඉදි වුණා විසාල තොරණක්. පසුබිම තැඹිලි පාටයි. උදාගම් ප්‍රදර්ශන භූමියෙ ප්‍රවේශයේ ඉදි වුණ ඒ තොරණ ගැහුවේ තුනී ලෑලි සහ රිජුෆෝම්වලින්. ඒ තොරණේ පුරෝගාමියා ජයසිරි සේමගේ කියන කලාකාරයා. ඔහු ඒ පළාතේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හැදියාව ඒ දැවැන්ත තොරණේ නිරූපණය කළේ සිත්තම්වලින් හා අර්ධ මූර්තිවලින්. මාස කිහිපයක් තිස්සේ ඒ තොරණ ඉදි වුණා. දැන් පිටරට ගිහිං ආපු ඇත්තෝ නවීකරණය කළ තොරණ ඉදි කරනවා.


පාදුක්ක ඉන්දරේ උන්නැහේගේ කතා බහෙන් පසුව අප හමුවුණේ තවත් මාතාවක්. ඇය ද උපාසිකාවක්. ඈ කියන්න ගත්තේ අමුතු තොරං ජාතියක් ගැනය. ඒවාත් අතීතයේ සිටම ඉදිවන බව කීවාය.


පොල්ගෙඩි, තැඹිලිගෙඩි, අන්නාසිගෙඩි, දොඩම්ගෙඩි පමණක් නෙමෙයි. බැලුම් තොරං, කොඩි තොරං ගැනත් අහුගෙඩි තොරං ගැනත් දැනගන්නට ලැබිණි.


පොල්ගෙඩි වලු පිටින් එල්ලපු තොරං වගේම තැඹිලිගෙඩි වලු පිටින් එල්ලපු තොරං ගැනත් අපට කීවේ පුස්සැල්ලේ නයි වෙද මහතායි.
පන්සලේ මල් වට්ටි වෙන්දේසිය වෙන්නෙ සල්පිලේ, ඒක ඉවර අහවර වෙලා වෙන්දේසි වෙන්නෙ පොල් තොරණ. ගමේ තියෙන පොල්, ලෙලි පිටින් එකතු වෙන්නෙ පන්සලට පූජා කරන්න.


පුවක් කඳන් හෝ උණ ගස් ආධාරයෙන් හෝ සැකිල්ල නිමවා ගැනුණු තොරණේ ඒ පොල් නැත්නම් තැඹිලි එල්ලලා වෙන්දේසි වෙනවා. මෙතැන පොල් මුදලාලි කෙනෙකුත් ඉන්නවා. උන්දැ වැඩි මිලට ඒක ඉල්ලලා ගන්නවා. අරගෙන පොල් ටික විකුණලා ඒ ආදායම පන්සලට පූජා කරන්නයි ඕනැ කරන්නේ. නමුත් දන්නවානේ පොල් මුදලාලිගෙ විතරක් නෙමෙයි අනෙක් මුදලාලි ගොල්ලන්ගෙත් හැටි. පූජා කිරීම දෙවැනියට දාලා ලාභෙ සාක්කුවට දාගන්නෙකනෙ කෙරෙන්නේ. 


පන්සලේ පමණක් නොව පල්ලියේ ද පොල්, තැඹිලි තොරං ඉදිවෙන්නේය. ආරංචි හැටියට මාළු බහුලව හසුවන මුහුදු කරේ කරවල තොරං ද සෑදී ඇති බව කියැවේ. අපි කතෝලික බැතිමතුන්ගේ බැතියට ළං වූ පොල් තොරං, තැඹිලි තොරං සහ ජපමාලේ තොරං ගැන සොයන්නට මීගමුව හා වැලිවේරිය පැත්තට ගියෙමු.


තරුණ පියතුමකු වූ “ෆාදර් ෂෙමාන්” හමුවූයේ රාගම ශුද්ධ වූ පේදුරුපාවුළු කතෝලික පල්ලියේදීය. දහවලට ආසන්න මොහොතේ දී ෂෙමාන් පියතුමා යුහුසුලෙන් කටයුතු කිහිපයක නිරත වී සිටියේ තම කාර්යාලය ඇසුරේමය.


ඒ පළාතටම දැවැන්ත වූ පොල් තොරණක් පසුගියදා ඉදිකැරී තිබුණු බවට වූ ආරංචිය සත්‍යයක් වූයේ එහිදීය. පොල්ගෙඩි හාරදහසක තොරණේ විස්තර එතුමා මට පවසන්නට වූයේ තම කන්තෝරු කාමරයේ මේසය ඉදිරිපිට අසුනක මට ඉඳගන්නැයි කළ ඇරියුමත් සමගය. ඊට පල්ලියට සම්බන්ධ පාවුළු කවය සංවිධානයේ තරුණ දෙපළක් ද එක්වූහ.


“ෂෙමාන් ෆාදර්” මුලින් දොඩමළු විය.


“මේ පල්ලියේ මේ වගේ දැවැන්ත පොල් තොරණක් හදලා තියෙන්නෙ අවුරුදු 50කට විතර පස්සෙයි. ඒ කාලෙ හදපු තොරණ මෙපමණ විශාල නැහැ. මගේ ගම වේයන්ගොඩ නිසා එහේ පල්ලියකයි මා මුලින් සිටියේ. පල්ලියට පිවිසෙන ගේට්ටු කණුවල ප්‍රමාණයට ඒ පල්ලිය ඉදිරිපිට තැනෙන තොරණවල පළලත් ඊට සරිලන උසත් තීරණය වුණා. නමුත් දැන් මේ පල්ලියෙ ගේට්ටුව පළලයි. ඉතිං පොල් තොරණ එක කණුවක් අඩි 5ක් 5 1/2ක් විතර විශාල වෙනවා. පල්ලියට පොල් ලැබෙන්නේ ගමේ ගෙවල්වලින්. එක පවුලකින් ඕනෑ තරම් පොල්, ලෙලි පිටින් නැටි පිටින් අරන් එතහැකියි. මේ සැරේ අපට ලැබුණා පොල්ගෙඩි 4000ක්. ඉස්සර වේයන්ගොඩ පල්ලියෙන් හදපු තොරණ තිබුණෙ පොල්ගෙඩි 1500යි.


පොල් තොරණක් ඉදිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ තොරණින් පස්සෙ ඒවා පල්ලියෙන්ම විකුණනවා. මේ දවස්වල නම් රුපියල් 30 විතර ගාණේ. ඒ එකතුවන මුදල් අපේ අරමුදලට එකතු වෙනවා. ඒ අරමුදල තිබෙන්නේ දුප්පත් පවුලකට නිවසක් තනා දීමටයි. අප ඒක කරනවා. 


පල්ලියට එන අපේ බැතිමතුන් පිළිගැනීම, ශාන්තුවරයාට ගරු කිරීම, ශාන්තුවරයාගේ මැදිහත්කම පතා බැතිමතුන් යාඥාවට පෙලැඹවීම, ඉදිකරන්නන්ගේ සංස්කෘතික හා නිර්මාණ හැකියාව පෙන්වීම, ඉදි කරන්නන් අතර සමගිය සහෝදරත්වය ඇති කිරීම යන කාරණා පොල් තොරණ පසුබිමේ තිබෙනවා. මෙවර පාවුළු කවය සාමාජිකයන් 35කින් යුක්තයි. ඔවුන් කවුරුත් පුදුමයට පත් කරවමින් මෙම දැවැන්ත පොල්තොරණ ඉදි කළා දින 7කින් එකාවන්ව මහත් කැපවීමෙන්.


පාවුළු පොල් තොරණේ නිමාව අපූරුය. ඒ ගැන අපට කීවේ පාවුළු කවයේ සහෝදරයන් දෙදෙනෙකි.


“අපේ පල්ලිය ගමේම පවුල් කොට්ඨාස (නුවාන) 8කට බෙදලා තියෙනවා. හැම නුවානකින්ම අපට ලොකු සහයක් ලැබුණා. සැකිල්ල බැන්දෙ පුවක් කඳන් 15කින් දෙපැත්තෙ එක කණුවක් අඩි 5යි. රාත්‍රියට තොරණ එළිය කළේ ෆ්ලෑෂ් ලයිට්, ස්පොට් ලයිට්වලින්. සතියක් පුරා තොරණ ප්‍රදර්ශනය වුණා. පොල් වලු එල්ලුවේ පුවක් පටිවලින්.


අඩි 15ක් 20ක් තරම් උස ඇති ඒ සුවිසල් තොරණෙහි පොල් සියල්ල ලැකර්වලින් වර්ණ ගන්වා තිබිණ. තොරණ මුදුනින්ම යකඩින් තනා ගෝණිවලින් ආවරණය කොට වර්ණ ගන්වා ඇති බෝට්ටුවකි. තොරණ දෙපසෙහි එක් පසෙක විශාල යතුරක් පින්තාරු කර ඇති අතර අනෙක් පසෙහි ඇත්තේ කඩුවකි. මේ ගැන තරුණයා කියන්නේ කතෝලිකයන් පමණක් දන්නා කතාවකි.


ඒ තමයි පේදුරුතුමාට බාරදුන් ස්වර්ග රාජ්‍යයට ඇතුළුවන යතුර. කඩුවෙන් සංකේතවත් වන්නේ පාවුළුතුමා සභාවේ ආරක්ෂකයා නිසා එය එතුමාට අයත් බව. තොරණ මුදුනේ මැද ඇති බෝට්ටුවෙන් නිරූපණය වන්නේ පේදුරුතුමා ධීවරයකු බවයි.


තොරණ සංස්කෘතිය සම්බන්ධතා ගොඩනගන්නකි. උදව්කරන්නන්ට අවස්ථාව සලසන්නකි. 


මෙනයින් බලන කල, ගෙඩි පලතුරු උපයෝගීත්වයෙන් බොහෝමයක් තොරණ බැඳෙන බව පැහැදිලිය. 


මේ අතර ඇපල් ද තිබෙන බව ආරංචි වෙයි.


පන්සලේ සල්පිලේ ඉදිවන ගෙඩි තොරණ පල්ලියේ භූමියේ ඉදිවන ගෙඩි තොරණක් පමණක් නොව මුස්ලිම් බැතිමතුන්ටත් තොරණ තිබිය හැකි බවට විවාදයක් නැත.


තොරණක ප්‍රතිලාභ දිළින්දාට සෙතක් වන්නේ නම් එතරම් පුණ්‍යකර්මයක් තවත් නැති බව කිව හැකිය.

m