තරු පැලැන්තියේ හෝටලයක උත්සවයකට ආරාධනා ලැබෙන්නේ කලාතුරකින්ය. එහි යන අවස්ථාවක ඉහළම සුඛෝපභෝගී වාහන පෝලිමේ නවතා තිබේ. එම වාහන අවට ආරක්ෂකයෝද පරිවාර වාහන ද සමග ගැවසෙති.

දියුණු රටක නම් මෙවැනි වාහන පාවිච්චි කරන්නෝ ධනයෙන් ආඪ්‍ය ඉසුරුමත් ව්‍යාපාරිකයෝය. ඉතාම ඉහළ තත්ත්වයේ නවීන වාහන මෙරට පරිහරණය කරන වැඩි දෙනෙක් දේශපාලනඥයෝය. පක්ෂ විපක්ෂ බේදයක් එහි නැත. මැති ඇමැතිවරු පමණක් නොව පළාත් සභාවේ නියෝජිතයෝ ද කලාතුරකින් පළාත් පාලන ආයතනවලට පත් වූ මහජන නියෝජිතයෝ ද එහි වෙති. 

නගරයේ පමණක් නොව එයින් බැහැර ද එසේ නොවන්නේ කලාතුරකින්ය. දේශපාලනඥයා ගමන් බිමන්හි යෙදෙන්නේ අති නවීන වාහන වලින් වන අතර සාමාන්‍ය ජනතාවට ඒවා සිහිනයෙන් හෝ පාවිච්චි කරන්නට ඉඩක් නොලැබේ. ගමන් කරන වාහනය බලය පෙන්වන සංකේතයක් වී තිබේ. මැති ඇමැතිවරුන් සාමාන්‍ය වාහනයක් භාවිතා කළොත් දේශපාලනඥයන් ගේ සමීප ආධාරකරුවන් ගෙන් කොටසක් ද ඊට කැමැති නැත.

එය මදිකමකි. ගෞරවය ඉහළින් ලබන්නට නම් අලුත්ම වාහනයක් අවශ්‍යය. වාහන, ඉන්ධන, අවශේෂ පරිවාර රථ, ආරක්ෂක භටයන් ඇතුළු සියලු දේ ගෙවන්නේ මහජන මුදලින්ය. ත්‍රස්තවාදී ප්‍රශ්න නැති රටක ආරක්ෂකයන් කුමට ද? ජනතාවගෙන් ආරක්ෂාවීමට ද? එපමණක් නොව මැති ඇමැතිවරුන්ට නිල නිවාස, වැටුප්, කාර්ය මණ්ඩලය, විදේශ සංචාර යනාදී වශයෙන් තවත් වියදම් ඇත.

විදේශ සංචාරයක නිරත වන දේශපාලනඥයන් ගුවන් යානයේ ඉහළම පන්තියේ ගමන් කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට කිසිසේත් ඔරොත්තු දෙන්නේ නැත. නිල සංචාරයක දී කැටුව යන කණ්ඩායම රටට විශාල බරකි. නවාතැන් ගන්නා හෝටල වල වියදම පවා එහි දී කරන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වල වටිනාකමින් කිසිසේත් පියැවිය නොහැකිය. මැති ඇමැතිවරුන් ඉසුරෙන් පිරි ජීවිත ගත කරන අතර පොදු ජනතාව වන්දි ගෙවන්නේ නොසෑහෙන සේ පැනවෙන බදුවලින්ය.

ශ්‍රී ලංකාවේ ගමන කොයිබට ද? නිදහස ලබා වසර හැත්තෑවකි. එම කාලය තුළ රටට ලැබුණ ජයග්‍රහණ තිබේ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවල ප්‍රගතියක් ඇත. දුප්පත් ජනතාවට සහන ලැබී තිබේ. රට යම් ප්‍රමාණයකට හිස ඔසවා ඇති බව පිළිගත යුතුය. එහෙත් දේශපාලනඥයන් නඩත්තු කරන පිරිවැය නිසි ආකාරයකට පාලනය කළේ නම් කොපමණ යහපත්ද? එම ධනයෙන් රටට ලබාගත හැකිව තිබුණ සේවාව කොපමණද? ජනතාවගේ වෛරය අවුළවනු වෙනුවට සාමකාමී රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කරගත හැකිව තිබුණි.

ධනය නාස්ති නොකරන සහ රට ගොඩනඟන සැලසුම් හදන්නට හැකියාව තිබුණි. එසේ තිබිය දී තව තවත් සමාජයෙන් යැපෙන පිරිස වැඩි කරන යෝජනා ක්‍රියාවට නැඟේ. බලයට පත්වන විට කැබිනට් මණ්ඩලය අඩු කරන බව සඳහන් කරන නමුත් පක්ෂ එකතු වී රට පාලනය කරන බව පෙන්වා ඇමැතිකම් වැඩි කරගෙන ඇත. 
ආසන මට්ටමක් සහ කාන්තා නියෝජනයක් බව ප්‍රකාශ කරමින් පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කළේය.

සභිකයන් සංඛ්‍යාව අසීමිතව නංවා ගෙන තිබේ. ප්‍රතිඵලය අනුව බලන විට කාන්තා නියෝජනයක් නැත. පරාජයවූ සභිකයන් ලැයිස්තුවෙන් පත් කර ඇත. ජනතාව ප්‍රතික්ෂේප කළ අය පත් කිරීමට ජාතික ධනය වියදම් කර ඡන්දයක් පැවැත්වූයේ කුමටද? කොට්ඨාස සහ ලැයිස්තු වශයෙන් ක්‍රමයක් අනුමත කරගැනීමෙන් පළාත් සභා මට්ටමින් කරන ලද විකෘතිය පළාත් සභාවල ද භාවිතා කළහොත් රට ඉතාමත් දරුණු ආර්ථික සහ සමාජ අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකිය.

මැති ඇමැතිවරුන් සහ නිලධාරී පැලැන්තිය නඩත්තුව කළ නොහැකි තරමට පත්වීම ප්‍රශ්නයකි. වියදම් පියවා ගැනීමට තවත් බදු වැඩි කරමින් සිටිති. ලැජ්ජාවක් බයක් නැති දේශපාලන ක්‍රමය රටට හිරිහැරයක් වී ඇත. ජනතාව මෙම අර්බුදය නොතකා නොසලකා සිටින්නේ මන්ද? තමන් කෙරෙහි අනුකම්පාවක් නැති පැවැත්මට එරෙහිව සංවිධානාත්මක ජනතා විරෝධතාවක් ඇති නොකරන්නේ ඇයි?

පොදු ජනතාවට මේ තත්ත්වය ගැන යම් අවබෝධයක් ඇත. ජනතා සංවිධාන මෙම ක්‍රමය වෙනස් කළ යුතු බව තේරුම් ගෙන තිබේ. ඡන්දය ඉල්ලන්නට වේදිකාවට නඟින දේශපාලනඥයෝ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බව කියති. ක්‍රමය වෙනස් කර ප්‍රතිසංස්කරණය ඇතිකරන බව ප්‍රකාශ කරති. ජනතා කැමැත්ත ලබා ගන්නේ ව්‍යාජවය. අවස්ථා ගණනාවක දී එසේ සිදුවී ඇත. එහෙත් රැවටිල්ලේ කෙළවරක් නැත. යහපත් අරමුණු ඇතිව බලයට පත්වන දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයෝ තවදුරටත් මෙකී අවුල් සහගත ක්‍රමයෙන් නඩත්තු වෙමින් සිටිති. 

පවතින රාමුව දෙස බලමු. පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන වශයෙන් දේශපාලන තල තුනක් රටට තිබේ. මේවා තව දුරටත් අවශ්‍යද? තාක්ෂණික හා විද්‍යාත්මක වශයෙන් දියුණු වූ යුගයක දේශපාලනය යල් පැනගිය එකක් විය යුතු නැත. අවශ්‍යතා සොයා බලා නිසි ප්‍රතිශෝධන කළ යුතුය. විධායක ජනාධිපති ධුරය ශ්‍රී ලංකාව එක්තරා මට්ටමකට දියුණු වන තෙක් අවශ්‍ය බව මෑත කාලීන අත්දැකීම් සනාථ කරයි.

පාර්ලිමේන්තුව තුළ පක්ෂයකට ස්ථාවර බලය ලැබෙන සෘජු ඡන්ද ක්‍රමයක් අවශ්‍යය. අති විශාල වියදමක් ඡන්දයට වියදම් කරන්නට සිදුවී ඇති මනාප ක්‍රමය ගැන තීරණයක් ගැනීම සුදුසුය. එය මහා දූෂණයකට මඟ පාදා තිබේ. මේවා සම්පූර්ණයෙන්ම වෙනස් කර සුළු ජාතික නියෝජනය ලබා ගැනීම වෙනුවෙන් උගත් නියෝජනයක් වෙනුවෙන් සෙනෙට් සභාවක් වැනි ව්‍යුහයක් සකස් කිරීම වරදක් නැත. 

පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති සම්පාදනයට යොමු විය යුතුය. මහා මාර්ග, පාලම්, විදුලිය වැනි යෝජනා ක්‍රම ඇරඹීම හෝ විවෘත කිරීම පාර්ලිමේන්තුවේ විෂයයක් නොවේ. මැති ඇමැතිවරු ඒවා කළ යුතු නැත. එය පළාත් පාලන ආයතන වල රාජකාරියකි. ලෝකයේ සමහර රටවල විශේෂයෙන් යුරෝපා රටවල මගී ප්‍රවාහනය, විදුලිය සම්පාදනය හා රෝහල් පාලනය ප්‍රාදේශීය පාලනයට අයත් රාජකාරියකි. මහ ආණ්ඩුව ඒවායේ ජාතික ප්‍රතිපත්ති සකස් කරයි.

එහෙත් ශ්‍රී ලංකාවේ නගර සභාව, ප්‍රාදේශීය සභාව කළ යුතු දේ පාර්ලිමේන්තුව පවරා ගෙන ඇත. නීති රීති, ප්‍රතිපත්ති හා මුදල් වෙන් කිරීම කළ පසු ඒවා ක්‍රියාත්මක කිරීමට පළාත් පාලන ආයතන ප්‍රමාණවත්ය. අනෙක පළාත් සභා කුමටද? ඒවා අහෝසි කිරීමෙන් මෙරට පරිපාලනයේ විශාල දුර්වලතා ප්‍රමාණයක් මඟහරවාගත හැකිය. අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අංශ ඒ අතර තිබේ. පාසල් දස දහසකට වඩා නැත. ඒවා පාලනය කරන්නට ජාතික හා පළාත් මට්ටමින් අමාත්‍යංශ හා ඇමැතිවරු සිටිති. මුළු රටට ඇති බස් රථ ප්‍රමාණය තිස් දහසකට අඩුය.

පළාත් හා ජාතික මට්ටමින් අමාත්‍යාංශ තිබේ. අධ්‍යාපනය හා ප්‍රවාහනය යන අංශවලට මෙපමණ ඇමැතිවරුන් හෝ නිලධාරීන් අවශ්‍යද? එසේ තිබිය දී පවා දරුවන් පාසලට ඇතුළත් කිරීම මවුපියන්ට අතිශය අවමානයක් ගෙන දෙන තැනකට පත්ව තිබේ. ගමන බිමන සඳහා බස් නැත. අනෙක් සියලු අංශ වල ද මෙම පිරිහීම තිබේ. ජනතාව නඩත්තු කරන්නේ මෙවැනි ව්‍යුහයකි. අවසානයේ දී දේශපාලකයන් හා නිලධාරීන් නඩත්තුව සඳහා බදු ආදායමෙන් සෑහෙන කොටසක් වෙන් කරන්නට සිදුවී තිබේ. ජනතාවට ද පලක් නැත.

ලෝකයේ සිදුවන පරිවර්තනය දෙස බලා අලුතින් හිතන්නට අවශ්‍යය. මහජන චීන සමූහාණ්ඩුව නොබෝදා සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කළේය. බිලියනයකට වැඩි ජනගහනයක් සහිත රටකි. එය සමස්ත ලෝක ජනගහනයෙන් හතෙන් එකකට ආසන්නය. භූමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව මෙන් එකසිය හතළිස් ගුණයක් විශාලය. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන විසි එකකි. චීනයේ අගනුවර වන බෙයිජිං හි ජනගහනයට අඩුය.

කැබිනට් සංශෝධනය අනුව සමස්ත චීනය පාලනය කරනු සඳහා ඇමැතිවරුන් හා කොමසාරිස්වරුන් විසි හය දෙනෙකු තෝරා ගෙන තිබේ. චීනයේ මුළු රටටම අමාත්‍යංශ විසි එකකි. අනෙක් ආයතන පහ කොමිෂන් බව සඳහන් කළ යුතුය. මෙම අමාත්‍යාංශ සහ කොමිෂන් සභා සුළු ප්‍රමාණය දැවැන්ත චීනය පාලනය කරන්නට ප්‍රමාණවත් ද? අපගේ රටේ හිතන අන්දමට නම් කිසිසේත් ප්‍රමාණවත් නැත. 

සිංගප්පූරුවේ ඇමැතිනියක තමන්ගේ කාර්යාලයට එන්නේ සිය කුඩා වාහනය පදවාගෙනය. එරට ඇමැතිවරුන්ට තීරු බදු රහිත ක්‍රම නැත. බි්‍රතාන්‍යයේ අගමැතිවරු පවා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරති. නිතර දුම්රියේ ගමන් කරන අතර අවශ්‍ය දේ මිල දී ගන්නට වෙළඳ සල්වලට ගොඩවන අවස්ථා තිබේ. බි්‍රතාන්‍ය රජ පවුල පවා ජනතාවට සමීප වීමට ප්‍රයත්න දරන අතරවාරයේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ පරිවාර රථ සහ ආරක්ෂකයන් පිරිවරාගෙන ජනතාවගෙන් ඈත් වී සිටින්නට තැත් කරති.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි එරට නිපදවන සාමාන්‍ය වාහනයක් භාවිත කිරීමට සූදානම් වූ අතර ආරක්ෂක හේතු මත එයට ඉඩ ලැබුණේ නැත. මහ ඇමැති වශයෙන් ඔහු භාවිතා කළේ ඉන්දියානු සරල වාහනයකි. ආරක්ෂාව අනුව නිල වාහනයේ තරා තිරම හෝ පරිවාරක රථ සැපයීම මානුෂිකය. එහෙත් කිසිම ආරක්ෂාවක් අනවශ්‍ය මෙරට මහජන නියෝජිතයන් මහ මඟ ගමන් කරන විට ජනතාවගේ හාස්‍යයට ලක්වන බව සඳහන් කළ යුතුය. 

සවුදි අරාබිය තෙල් මිල අඩු වන විට එරට වියදම් අඩු කරන්නට පියවර ගත්තේය. පළමුවෙන් කළේ පාලකයන්ගේ වැටුප අඩු කිරීමයි. සවුදි රජ පවුලේ සාමාජිකයන් ගේ බලය අඩු කළේය. ඇමරිකානු ඩොලර් බිලියන විස්සක් රජයේ වියදම් කපා හැරීමෙන් ඉතිරි කරගත්තේය. ඇමරිකාව එරට රාජ්‍ය වියදම් විශාල වශයෙන් පාලනය කරයි. රාජ්‍ය ලේකම්වරුන්ට (ඇමැතිවරු) ගමන් වියදම් අනුමත මටට්ම ඉක්මවා යා නොහැකිය. නිලධාරීන්ට ද එසේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ බලයට පැමිණි ධනවත් කණ්ඩායම සුපුරුදු පරිදි ආණ්ඩුවේ බිලට ගුවනින් ගමන් කරන්නට ගොස් අමාරුවේ වැටී ඇත.

ට්‍රම්ප් ආණ්ඩුවේ සෞඛ්‍ය හා මානව සම්පත් ලේකම්වරයා අනුමත සීමාව ඉක්මවා වියදම් කරමින් පළමු පන්තියේ ප්‍රවේශ පත්‍ර වලින් ගුවන් ගමන් වල නිරතවීම ප්‍රශ්න කිරීමෙන් පසු ඉල්ලා අස්විය. මුදල්, පරිසර ඇතුළු තවත් ලේකම්වරු හා නිලධාරීහු අනිසි වියදම් නිසා විවේචනයට ලක්ව සිටිති. මහජන මුදල් අඩුවෙන්ම වියදම් කළ යුතු අතර අත්‍යවශ්‍ය අවස්ථාවක සීමාව ඉක්මවා වැය කිරීමට නම් කලින් අනුමැතිය ලබා ගත යුතුය.

වියදම් සීමාව ඉක්මවන විට තමන්ගේ මුදලින් පරතරය පියැවීමට ද ක්‍රමයක් අනුගමනය කළ යුතුය. ඇමරිකාවේ නීතිය එපමණ බලවත්ය. ඇමරිකානු හමුදා නිලධාරීන්ට පවා අතිශය තීරණාත්මක හේතුවක් මත වැඩි මිල ගුවන් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කළ යුතු නම් ආසන වෙන්කිරීමට කලින් අනුමැතියක් ලබාගත යුතුය. විශාල ආර්ථික දියුණුවක් සහිත එනම් ලෝකයේ විශාලතම ආර්ථිකය සහිත රටවන ඇමරිකාව මැති ඇමැති හා නිලධාරී වියදම් පාලනය කරන්නේ එසේය. 

ශ්‍රී ලංකාව මහජන මුදල් පරෙස්සමෙන් වියදම් කරන ක්‍රමයක් අනුගමනය නොකරන්නේ ඇයි? එහෙත් නීති පොත් වල පරිහරණය කළ යුතු ආකාරය දක්වා තිබේ. බලය ඇති දේශපාලඥයෝ ඒවා මග හරිති. සාමාන්‍ය වාහනයක ගමන් කරන, පෞද්ගලික කටයුතු වලදී නිල වාහනය භාවිතා නොකරන සහ විදේශ ගමනක දී පවා පිරිමැසුම් පන්තියේ සාමාන්‍ය ජනතාව සමඟ ගමන් කරන දේශපාලන නායක නායිකාවන් මෙරට සිටි බව සිහිපත් කරන්නට අවශ්‍යය.

එහෙත් මෑත කාලය තුළ ක්‍රමය විකෘති වී තිබේ. මහජන මුදල් ගැන තැකීමක් නැත. ජනතා පරමාධිපත්‍යය ගැන කිසිම සැලකිල්ලක් නැත. ධනය හා බලය තමන් රිසි පරිදි පාවිච්චි කරන්නට දේශපාලනඥයෝ නැඹුරු වී සිටිති. අරපිරිමැස්ම හා කැපවීම ගැන ජනතාවට දේශනා කරමින් සිටිති. එය ඉතා අවිනීත සහ දුර්දාන්ත තත්ත්වයකි. මහ ජනතාවගේ බදු ඉතාම වගකීමකින් පරිහරණය කළ යුතුය. 

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් තනතුරකට පත් වූ පසු එය තමන්ට ළඟා විය හැකි ඉහළම තැන සේ සලකා එතැන අත් නොහැර එහි නොමැති වරප්‍රසාද පවා භුක්ති විඳින බව පෙනේ. අල්පේච්ඡතාව සහ නිරහංකාර බව හමුවේ ලෝකයේ ජන නායකයෝ ශ්‍රේෂ්ඨත්වයට පත් ව සිටිති. හැසිරෙන අන්දම අනුව ජනතාන්ත්‍රිකත්වයට පත් වෙති. ගෞරවය හා අභිමානය බලහත්කාරයෙන් ලබාගත නොහැකිය.

ප්‍රකට ලෝක නායකයකු වූ නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානු ජනාධිපති ධුර කාලයේ කතාව ඔහු විසින්ම ලියමින් සිටි අතර අභාවයෙන් පසු කාලයක ඔහුගේ සටහන් අනුව යමින් එය සම්පූර්ණ කළේ ඔහුගේ සමීපතමයෙකි. “ඉතාම වෙහෙසකර ගමනකින් අනතුරුව ගිරිමුදුනකට ළඟා වූ පසු එයට ඉහළින් ඇති නැග යා යුතු තවත් කඳු ඇති බව තමන් අනාවරණය කරගත් රහස” බව එහි එක් තැනක සඳහන් කරන මැන්ඩෙලා “එක තැනෙකට පැමිණි පසු එහි නතර වී අවට බලමින් සම්පූර්ණ ආස්වාදය ලැබීමට වඩා මොහොතක විවේක ගැනීමෙන් පසු තමන් සතු වගකීම අවබෝධ කරගෙන අවසානයක් නැති සර්ව සම්පූර්ණ නිදහස උදෙසා වූ තම දීර්ඝ ගමන නැවත ආරම්භ කරන්නට වීර්ය ගතිමි යැයි” දක්වා තිබේ.

තමන්ට පැවරුණ කාර්යය අවසන්ව නැති අතර අවට සිරි විඳිමින් සුවපහසුවෙන් සිටීමට වඩා ජනතාව වෙනුවෙන් නැවත පර්වතයක් තරණය කළ යුතු බව පිරිපුන් විශිෂ්ට නායකයන් අවබෝධ කරගෙන තිබේ. මෙරට උස් තැන් වල සිටින නායකයන් මැන්ඩෙලා ගේ වචනවල යටි පෙළ තේරුම් ගත යුතුය.