බඩුමිල පළාත් සභා ඡන්ද, කෝප් වාර්තා ආදී කාලීන මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් සභානායක වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි. ප‍්‍රශ්නය:- ආණ්ඩුව හැමවිටම කියන්නේ මේක වැඩකරන ජනතාවගේ අණ්ඩුවක් කියලයි. වැඩ කරන ජනතාව කොළඹට ගෙන්නලා ආණ්ඩුව මැයි දිනේත් ඉහළින්ම සැමරුවා. හැබැයි ඒ ජනතාව මැයි රැළිය ඉවරවෙලා ගමට යන්නත් කලින් ආණ්ඩුව ගෑස්, කිරිපිටි, පාන් මිල වැඩි කරලා, ජනතාව මත බර පටවන්න කටයුතු කිරීම වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවකට ගැළපෙනවාද? පිළිතුර:- ලෝකයේ රටවල් පාලනය කරන හැම රජයක්ම රජයේ ආදායම් සහ වියදම් අතර සමතුලිතතාවක් ඇති කරන්න අවශ්‍යයි. සමාජවාදය ක‍්‍රියාත්මක වූ සෝවියට් දේශය, කියුබාව ආදී රටවල් ගත්තත් එය අදාලයි. රටක ආර්ථිකය හැසිරවීමේදී දේශීය සාධක මෙන්ම ජාත්‍යන්තර සාධකත් සැලකිල්ලට ගත යුතු වෙනවා. ඒවා අමතක කරලා කටයුතු කරන්න කිසිම රජයකට බැහැ. අපි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් කියන එක හැමදාමත් කියනවා. අපේ රජය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. රාජ්‍ය සේවකයන්ට එක්සත් ජාතික පෙරමුණ රජය කාලේ අහිමි කරන්න ගිය විශ‍්‍රාම වැටුප නැවත ලබාදීලා එය සහතික කළේ අපේ රජය. එජාප ආණ්ඩුව රාජ්‍ය සේවය ලක්‍ෂ තුනකට අඩුකරන්න ගියා. අපි එය ලක්‍ෂ 13 දක්වා ප‍්‍රසාරණය කළා. උපාධිධාරීන්ට රැකියා දුන්නා. මෑතකදීත් උපාධිධාරීන් විශාල පිරිසකට රැකියා දුන්නා. හැමෝම කතා කරන්නේ ගෑස්, කිරිපිටි ගැන. ඇයි ඔය කියන කවුරුවත් එළවළු ගැන කතා නොකරන්නේ? අද හාල් කිලෝව රුපියල් 45යි 50යි. ඔය චෝදනා කරන කවුරුවත් ඒවා ගැන කතා කරන්නේ නැහැ. තෙල් මිල පාලනය කරන්න රජයකට බැහැ. ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් අනුවයි තෙල් මිල තීරණය වෙන්නෙ. ඉන්දියාවෙ තෙල් මිල වැඩියි. අපි ජනතාවට දෙන්න  ඕන හැම සහනයක්ම ලබාදීලා තියෙනවා.   ප‍්‍රශ්නය:- ආණ්ඩුවේ දූෂණ වංචා නතර නොකර ජනතාව පිට බර පැටවීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බව විපක්‍ෂය නිතර චෝදනා කරනවා. මේ හරහා ආණ්ඩුව විපක්‍ෂයේ චෝදනාවලට වලංගු භාවයක් ලබාදෙනවා නේද? පිළිතුර:- අල්ලස දූෂණ, මේවා හුදෙක් ජනමාධ්‍යවල පළවෙන වාර්තා පමණයි. මේ රටේ අල්ලස් කොමිසමක් කි‍්‍රයාත්මක වෙනවා. අල්ලස් දූෂණ ගැන ඒකට  ඕන කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන්. වෙනත් අපරාධයක් නම්, පොලිසියට පැමිණිලි කරන්න පුළුවන්. මේවා කියුම් විතරයි. නමුත් කවුරුවත් ඒවා ඔප්පු කරලා නැහැ. එහෙම ඔප්පු කළොත් රජයට පියවරක් ගන්න පුළුවන්.   ප‍්‍රශ්නය:- පළාත් සභා කීපයක් කලින් විසුරුවලා ඡන්දය තියන්න ආණ්ඩුව සූදානම් වන බවට ආරංචි පැතිර යනවා. පළාත් සභා සියල්ල එකවර විසුරුවලා ඡන්දය නොතිය කඩින් කඩ තියන්නෙ එකවර තියන්න බය නිසාද? පිළිතුර:- කිසිම බයක් අපට නැහැ. ආණ්ඩුව ව්‍යවස්ථාව අනුව පළාත් සභා සියල්ලේ මැතිවරණ එක්වර තියන්න බැහැ. මොකද මේ පළාත් සභාවල නිලකාලය එකවර අවසන් වෙන්නෙ නැහැ. පළාත් සභා විසුරුවන ක‍්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නියමිත කාල සීමාව අවසන්වුණාම ඉබේම විසිරවෙනවා. දෙවැන්න ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හදාපු 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභාව විසුරුවන්න කියලා ආණ්ඩුකාරවරයාට කියන්න මහ ඇමැතිවරයාට පුළුවන්. ඒක මහ ඇමැතිවරයාට ව්‍යවස්ථාවෙන් දීපු අයිතියක්. ඡන්දයක් කල්දමනවානම්, ඒක තමයි නීතිවිරෝධී ඡන්දය කලින් තියනවා කියන්නේ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්‍ෂණයක්. ජීවන වියදම වැඩියි. ජනතාව අමාරුවෙන් ජීවත්වෙන්නේ කියල විපක්‍ෂය නිතරම කියනවා. විපක්‍ෂය කියන විදියට ජීවන වියදම ඉහළ ගිහිල්ලනම් ජනතාව ආණ්ඩුව ගැන කළකිරිල නම්, ආණ්ඩුවට විරෝධය පළකරන්න ජනතාවට මෙමගින් අවස්ථාවක් ලැබෙනවානේ. ඡන්දය කලින් පැවැත්වීම මගින් ජනතාවට ඊට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පිළිතුරු දෙන්න පුළුවන්. මැතිවරණය කලින් පැවැත්වීම ගැන අපි සතුටුයි. මීට පෙරත් ඡන්ද කලින් තියල තියෙනවා. ඡන්ද කලින් තියනවට විරුද්ධ ඊට මුහුණ දෙන්න බය අයයි.   ප‍්‍රශ්නය:- උතුරුමැද පළාත් සභාව කලින් විසුරුවා හැරීම වළක්වමින් අධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් පනවලා තියෙනවා. එම නියෝගය නිසා පළාත් සභාව කලින් විසුරුවන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැනේද? පිළිතුර:- උතුරුමැද පළාත් සභාව කලින් විසුරුවා හැරීමට එරෙහිව අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් අරන් තියෙනවා. නමුත් මෙහි අවසන් තීන්දුව දෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ අයිතිය තියෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයටයි.   ප‍්‍රශ්නය:- ආණ්ඩුව කඩින් කඩ පළාත් සභා ඡන්ද තියන්නෙ ආණ්ඩුව බලය යොදලා ඡන්ද දිනන්න කියලයි විපක්‍ෂය කියන්නෙ. ඒ චෝදනාව ගැන ඔබ මොකද කියන්නෙ.? පිළිතුර:- මේ ආණ්ඩුවට ඡන්ද දිනන්න ආණ්ඩුබලය යොදන්න අවශ්‍ය නැහැ. ජනතාව ඉන්නෙ අපිත් එක්ක විපක්‍ෂ කැඩිලා බිඳිලා. එක්සත් ජාතික පක්‍ෂය දෙකට තුනට කැඩිලා. ජනතා විමුක්ති පෙරමුණ සීසීකඩ, එජාපයේ කියනවා හරාකිරි කියලා. ඒකෙන් කියන්නෙ තමන්ගෙ බඩ තමන්ගෙ පිහියෙන්ම කපා ගන්න ඒකටයි. ඒවගේ විපක්‍ෂයක් තමයි අපේ රටේ තියෙන්නේ. එවැනි තත්ත්වයක් මත, ආණ්ඩුවට ඡන්ද දිනන්න ආණ්ඩුබලය යොදන්න අවශ්‍ය නැහැ. විපක්‍ෂය කෙරෙහි තියෙන ජනතා විශ්වාසය බින්දුවයි. මේක අපට ගෙදර ඉදලා දිනන්න පුළුවන් ඡන්දයක්.   ප‍්‍රශ්නය:- පළාත් සභා කලින් විසුරුවලා ඡන්ද තියන්න හදන ආණ්ඩුව උතුරේ පළාත් සභා ඡන්දය නොතියන්නෙ ඇයි කියලා සමහරු අහනවා. පිළිතුර:- ජනාධිපතිතුමා ඒ ගැන, එජාපයේ නියෝජ්‍ය අගමැතිවරයාම ඉතා පැහැදිලි ප‍්‍රකාශයක් කළා. අපි නැගෙනහිර පළාත් සභා ඡන්දය තියද්දී ඇයි ඉක්මනින් තියන්නෙ කියලා අන්තර්ජාතිකය කිව්වා. උතුරේ ජනතාව විශාල වශයෙන් පිටරටවල ඉන්නවා. දැනට තියෙන ඡන්ද ලැයිස්තුව අනුව උතුරේ ඡන්දය තිබ්බොත් සියයට 30ක් විතර ඡුන්දය දිලා ඡන්දය ප‍්‍රකාශ කළේ මෙච්චර අඩු පිරිසක් කියලා සමහරු කියාවි. අපි රට පුරා ජන සංගණනයක් කරගෙන යනවා. එම ජන සංගණනය කරලා ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරලා ඡන්ද දායක ලැයිස්තු හදන්න  ඕනෑ. යාපනයේ ඡන්දදායකයන් කොපමණ ඉන්නවාද මුලතිව්වල කොච්චර ඉන්නවාද කිලිනොච්චියේ කොච්චර ඉන්නවාද කියලා එතකොට අපට දැනගන්න පුළුවන්. මෙය නිවැරදි කරල. කාටවත් වැරැද්දක් කියන්න බැරිවෙන විදියට ඡන්දය තියනවා කියලයි ජනාධිපතිතුමා කිව්වේ.   ප‍්‍රශ්නය:- ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද ෆිනෑන්ස් ආයතනයේ කොටස් මිලදී ගැනීමේදී සිදුවූ විශාල පරිමාණයේ අක‍්‍රමිකතාවක් හේතුවෙන් රජය එම ගනුදෙනුව නතර කරල තියෙනවා. ගනුදෙනුවට වගකිවයුතු අයට එරෙහිව පියවරක් නොගත්තෙ ඇයිද කියන ප‍්‍රශ්නය ආණ්ඩුව හමුවේ තියෙනවා. පිළිතුර:- මේක හරියට තේ කෝප්පයක කුණාටුවක් වගේ, මොකද මේක කෙන්ද කන්ද කරල පෙන්නන්න හදනවා. ඒ විධියට කොටස් මිලදී ගන්න එක ජනාධිපතිතුමා නතර කරල තියෙනවා. යම් අක‍්‍රමිකතාවක් වෙන්න ගියා නම් ඒක නතර කරල තියෙනවා. මේ ගැන දැන් පරීක්‍ෂණයක් කරන්න යනවා. ඒ අනුව කවුරු හරි වැරැද්දක් කරල තියෙනවා නම් පියවරක් ගනීවි.   ප‍්‍රශ්නය:- කෝප් වාර්තාවෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ආණ්ඩුව පියවරක් ගෙන නැති බවට විපක්‍ෂය චෝදනා කරනවා. ඇයි ආණ්ඩුව ඔවුන් සම්බන්ධයෙන් පියවරක් නොගත්තෙ.? පිළිතුර:- කෝප් වාර්තාව සම්බන්ධයෙන් රජයට මොකුත් කරන්න බැහැ. කෝප් කමිටුවේ සභාපතිවරයා ඒ ගැන ගත හැකි පියවරයන් ගැන අදාළ ආයතනවලට දන්වා යවල තියෙනවා. මේ චෝදනා ගැන ජනාධිපතිතුමාට හෝ මැති ඇමැතිවරුන්ට ගිහින් විභාග කරන්න බැහැ. ඒවා පියවරෙන් පියවර ගන්න  ඕනෑ. කෝප් වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක එහි සභාපතිවරයා විදියට ඩිව් ගුණසේකර ඇමැතිතුමා සෑහෙන වෙහෙසක් උනන්දුවක් දරනවා. එතුමා රජයේ ඇමැතිවරයෙකු විධියට ඉඳිමින් මේ විධියේ නිර්ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා.   ප‍්‍රශ්නය:- යුද්ධය අවසන් කර වසර තුනයි. ඒත් තවමත් යුද්ධයෙන් අවතැන්වූවන් සරණාගත කඳවුරුවල සිටින බවට නැගෙන චෝදනා ගැන ඔබ මොකද කියන්නේ? පිළිතුර:- අවතැන්වූ ලක්‍ෂ තුනක පමණ පිරිසකගෙන් නැවත පදිංචි කරවන්න තව ඉතිරි වෙලා ඉන්නෙ 5000ක පමණ පිරිසක් ජාත්‍යන්තර නීතිය අනුව, බිම්බෝම්බ ඉවත් නොකර මේ පිරිස් පදිංචි කිරීම තහනම්. බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු රජය කරගෙන යනවා. එය අවසන්වූ වහාම මේ ඉතිරි පිරිසත් පදිංචි කරනවා.   ප‍්‍රශ්නය:- උගත්පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බව ආණ්ඩුව කිව්වත් තවම එය ක‍්‍රියාත්මක වෙලා නැහැ. විපක්‍ෂය කියන්නෙ ආණ්ඩුව ඒ ගැන කල්මරනවා කියලයි. පිළිතුර:- අපි එම වාර්තාවේ ක‍්‍රියාත්මක කළ හැකි සමහර දේවල දැනටමත් ක‍්‍රියාත්මක කරල තියෙනවා. මෙම වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව ජනාධිපති ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරල තියෙනවා. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීනව කළ යුතු දේවල් හඳුනාගෙන ප‍්‍රායෝගික හැකියාවන් කාලනිර්නයන් අනුව, අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම එම කමිටුවට පවරලා තියෙනවා.
සටහන - අජන්ත කුමාර අගලකඩ