රජය විසින් කෘෂිකර්මාන්තය කාබනිකකරණයට ලක් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට එරෙහි විශාල සංවාදයක් පවතියි. මෙයට එරෙහිව පිරිස් ඉදිරිපත් කර ඇති ප්‍රධාන තර්ක දෙක නම්, නිමවුම අඩුවීමෙන් විශාල ආර්ථික සහ සමාජ ව්‍යවසනයක් ඇති වන බව (පරිභෝජනය, නිෂ්පාදනය, ඒහා සම්බන්ධිත පුද්ගලයන්) සහ ගොවීන්ගේ ආදායම් පහළ යන අතර එසේ පහළ යාමෙන් ජනගහනයෙන් අතිමහත් කොටස වූ ගොවිජනතාව ආර්ථික පීඩාවකට සහ අන්ත දූගීබවට පත්වන බව යි. මෙම ලිපියේ අරමුණ මෙම තර්කවලට විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම වුවද ඊට පෙර ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ වර්තමාන තත්ත්වයේ සාරාංශයක් වෙත අවධානය යොමු කරමු. මන්ද යත් එය පසු දක්වන යෝජනා තේරුම් ගැනීමට උපකාර වන නිසාය.

ශ්‍රී ලංකාවේ වගාකරන මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 1.3කි. ඉන් සියයට 80ක් වතු ආශ්‍රිත නොවන ආහාර කෘෂිකාර්මික භෝග වගාවෙන් යුක්ත වේ. එය රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 34 කි. එහෙත් මින් හෙක්ටයාර 114,000ක භූමි ප්‍රමාණයක් පුරන් කුඹුරු ලෙස නිෂ්පාදන කාර්යයෙන් ව්‍යුක්තව පවතියි.

එසේම සමස්ත ශ්‍රම බලකායෙන් සියයට 23.73ක් කෘෂිකාර්මික කටයුතුවල යෙදේ. එහෙත් දළ දේශීය නිෂ්පාදනය සඳහා කෘෂිකාර්මික අංශයේ දායකත්වය සියයට 8.4කි.

මෙම තත්ත්වය නිසාම රටේ සමස්ත දුප්පතුන්ගේ ප්‍රමාණය වන සියයට 4.1න් සියයට 70කට වැඩි පුද්ගල සංඛ්‍යාවක් කෘෂිකාර්මය මුල්වූ ග්‍රාමිය අංශයේ ජීවත් වෙති.

තවමත් රටේ ජනතාවගේ ප්‍රධාන ආහාර වේල විවිධාංගීකරණය වී නොමැති වාතාවරණයක වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ 109කි. පසුගිය වසරේ (2020) රටේ වී නිමවුම මෙට්‍ර්ක් ටොන් මිලියන 4.5ක් වන අතර ඉන් නිපදවිය හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.925කි. එහෙත් රටේ සහල් පරිභෝජන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.34ක් පමණි. ඒ අනුව වර්තමානය වන විටත් සහල් මෙට්‍ර්ක් ටොන් මිලියන 0.585ක් අතිරික්තයක් කොතැනක හෝ පවතියි.

ශ්‍රී ලංකාව එළවළු ආනයනය නොකරන අතර අල, ලූනු, මිරිස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් පමණක් ආනයනය කරනු ලබයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ පසු අස්වනු නාස්තිය ඉතා ඉහළ තත්ත්වයක පවතියි.

රටේ වාර්ෂික සමස්ත ආහාර භෝග නිමැවුමෙහි සහල් සහ ඇටවර්ග අයත් නොවන භෝගවලින් සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් භාවිතයට නොගෙන ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා වූ අවකාශය තුළ විනාශයට පත්වේ. ගණන් බලා ඇති ආකාරයට 2016 වර්ෂයේදී කොළඹ මහ නගර සභාව ඉවත් කර ඇති ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 700කි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් සහ කොළඹ මැනින් වෙළෙඳපොළෙන් දිනකට ඉවත් කරන ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිවෙළින් මෙට්‍ර්ක් ටොන් 50ක් සහ මෙට්‍රික් ටොන් 30ත් 40ත් අතර ගණනකි.

එසේම, කෘෂි යෙදවුම් දෙස අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද රසායනික පොහොර ප්‍රමාණය 2014 සහ 2017 වසරවල මෙට්‍ර්ක් ටොන් 487,700ක් සහ 761,800වූ අතර එය තවතවත් ඉහළ යමින් 2019 වසරේ මෙට්‍ර්ක් ටොන් 1,260,053ක් වී තිබේ. මෙම දත්ත අනුව රසායනික පොහොර ආනයනයේ වාර්ෂික ඉහළ යාම සියයට 20කට වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇත. දේශීයව හෙක්ටයාරයක් සඳහා යොදවන පොහොර ප්‍රමාණය කිලෝ 139කට (2015 දී මෙය කිලෝ 300ක් විය) ආසන්න වේ.

එහෙත් දේශීය සහල් නිමවුම හෝ අනෙකුත් ආහාර නිමවුම් රසායනික පොහොර ආනයනය හෝ යෙදවීම ඉහළ ගිය වේගයෙන් ඉහළ ගොස් නොමැත.

එසේම මෙම කාලය තුළ සහල් ඇතුළු ආහාර භෝගවල මිල පමණක් දෙගුණයකට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. අනෙක් අතට රසායනික පොහොර සඳහා වැය කරන විදේශ විනිමය ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 220ත් 300ත් අතර ගණනකි. එපමණක් නොව ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ද ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 2ත් 3ත් අතර ගණනක් වැය කරයි. මේ අතර ඇපල්, දොඩම්, මිදි ආදියද ගැබ්වී ඇත.

එසේම කෘෂි භෝග සහ පොහොර අතර සහසම්බන්ධතාව හඳුනාගැනීම ද වැදගත් වේ. භෝගයකට අදාළ පරිසරයෙන් බාහිර පෝෂණය ලබාදිය යුතු වන්නේ ඇයි? මානවයාගේ පරිභෝජනය සඳහා එම භෝගයේ ඵලදාව ඉවත්කර ගැනීම මෙයට හේතුවයි. මේ අනුව, එම භෝගය සඳහාම හෝ එම භූමිය තුළ වගාකරන නව භෝගයකට බාහිර අවකාශයෙන් පෝෂණය ලබාදිය යුතු අතර එය කාබනික හෝ රසායනික විය හැක.

කෙසේ වුවද දිගුකාලීනව රසායනික පොහොර යෙදීමෙන් ශාකයේ මුල් පද්ධතිය සමග ජීවත්වන ශාකයට පෝෂණය ලබාදීමට උපකාර වන ක්ෂුද්‍රජීවීහු විනාශ වෙති.

පසුගිය වසර 50ක 60 කාලය තුළ පස සරුකරන සුවිශේෂී හැකියාවෙන් යුක්ත ක්ෂුද්‍රජීවීන් සියල්ල දැනටමත් විනාශකර ඇතැයි විශ්වාස කෙරේ. එහි ප්‍රතිඵලය බාහිරින් යොදවන පෝෂණය උරාගැනීමේ ශාකයට ඇති හැකියාව අඩුවන අතරම එම කාර්ය සඳහා ගතකරන කාලයද දිගු වීමයි. මෙම තත්ත්වය හේතුවෙන් යොදවන රසායනික පොහොර ප්‍රමාණයෙන් අතිවිශාල කොටසක් මුල් පද්ධතියෙන් පහළට කාන්දුවී ජල මූලාශ්‍රවලට එකතු වේ.

ශාකයට ඇති දුර්වල අවශෝෂණය කරගැනීමේ හැකියාව නිසාවෙන් ජල මූලාශ්‍රවලට එක්වන විෂ සංඝටක සහ බැර ලෝහ ප්‍රමාණයද දිගින් දිගටම ඉහළ යනු ලැබේ.

මෙය පසුකාලීනව පානීය ජලය හරහා මිනිස් සිරුරට ඇතුල්වීම හේතුවෙන් වර්තමානයේ සකච්ඡාවට බඳුන්ව ඇති වකුගඩු රෝගය සහ පිළිකා රෝගය සඳහා නිමිත්ත ලෙස හඳුනාගෙන තිබේ. මෙම රෝග දෙක හේතුවෙන් දහස් ගණනක් පුද්ගලයන් වාර්ෂිකව මිය යන අතරම සෞඛ්‍ය සඳහා රාජ්‍ය වියදමත්, ජලය පිරිසුදු කිරීම, ජලය මිලදී ගැනීම, රෝහල්වෙත යාම, රැකියා කරන කාලය අඩු වීම ආදී සාධක මත පෞද්ගලික වියදම්ද දිගින් දිගටම ඉහළ යමින් පවතියි.

වර්තමානයේ උතුරුමැද පළාතේ සෑම පුද්ගලයන් 4න් එක් අයෙක් වකුගඩු රෝගයෙන් පීඩාවිඳිති. ඔහු බොහෝවිට ගෘහයේ අදායම් උපයන්නා වේ.

පවතින තත්ත්වය මෙසේ නම්, කාබනික කරණය සම්බන්ධිත පළමු තර්කය වන කාබනික පොහොර භාවිතයේදී සමස්ත කෘෂි නිමවුම පහළ යනු ලබයි නම් සහ එය එසේ වේ නම්, මෙම තත්ත්වය අවම හෝ ප්‍රතිශ්ඨාපනය කළ හැක්කේ කෙසේද?

මේ සඳහා පළමු යෝජනාවනම් ඉදිරි කන්න කිහිපයක කෘෂි නිෂ්පාදන වගාබිම් ප්‍රමාණය ඉහළ නැන්වීමයි. මතු දක්වා ඇති දත්ත අනුව වගා කළ හැකි ඉඩම්වලින් සියයට 5කට වැඩි ප්‍රමාණයක් පුරන් කුඹුරු ලෙස පවත්වාගෙන යනු ලැබේ. මේ අනුව කෘෂි බිම් භාවිතයේ පූර්ණ ධාරිතාවට යාම යම් ප්‍රමාණයකට හෝ නිෂ්පාදනයේ ඇතිවන පහළයාම අවමකරගත හැක.

දෙවැනි යෝජනාව නම් නිෂ්පාදනය කළ නිමවුම වඩා කාර්යක්ෂමව සහ නීතිවිරෝධී ගබඩාකරුවන්ගේ ග්‍රහනයෙන් මුදා ගැනීමයි.

එනම් පසුගිය වසර පමණක් සලකා බැලීමේදී සහල් මෙට්‍රික් ටොන් මිලියන0.585ක අතිරික්තයක් පැවතිය යුතුය. මෙම සහල් ප්‍රමාණය තිබෙන්නේ කොතැනද?

ඒවා භාවිත කරන්නෙ කුමන නිෂ්පාදන හෝ පරිභෝජන කටයුතු සඳහාද? මෙයට පිළිතුරු සැපයීමට රජය ඉතා ශක්තිමත්ව, ඍජුව, විනිවිදභාවයෙන් යුක්තව, අපක්ෂපාතීව සහ ප්‍රයෝගිකව ඉදිරිපත් විය යුතුය.

තෙවැනි යෝජනාව නම් කෘෂි ඉඩම් කාර්යක්ෂමව භාවිත කිරීමයි. ඉන් ඒක අක්කර නිමවුමේ යම් ඉහළ යාමක් අපේක්ෂා කළ හැක. මේ සඳහා ගොවීන්ගේ සහයෝගය, ගොවීන් දිරිමත් කිරීම මෙන්ම ඔවුනට සුදුසු උපදේශන ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

සිවුවැනි යෝජනාව නම් කෘෂිකර්මය කාබනීකරණය හේතුවෙන් කෙටිකාලයේදී ආහාර සැපයුමේ හිඟයක් ඇති වේ නම් එය නිවැරදිව ඇස්තමේන්තු කර එම ප්‍රමාණය ආනයනය කිරීමයි. මෙවැනි අවස්ථාවක ගොඩනැන්වෙන ප්‍රධාන ගැටලු දෙකක් නම්, විදේශ විනිමය සහ ආනයනික ආහාර කාබනික නිෂ්පාදනද යන්න යි. එහිදී, ආහාර සඳහා විදේශ විනිමය වැයවීම සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සහ අන්තර්භාණ්ඩ ආනයනයන කිරීමට ඇති හැකියාව අඩු කිරීමට හේතු වේ. පෙර දක්වා ඇති ආකාරයටම වර්තමානයේදී ද ශ්‍රී ලංකාව ආහාර ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ත් 2ත් අතර ගණනක් වැය කරයි. එහෙත් එහි ඇති ධනාත්මක තත්ත්වය නම්, කෘෂිරසායන සහ රසායනික පොහොර මගින් ආසනික් වැනි විෂ සහ අනෙකුත් දෑ භූමියට, පරිසරයට සහ ජලයට සංයෝගවීම අවම වී පුද්ගල සෞඛ්‍යට ඇති කරන බලපෑම යම් ප්‍රමාණයකට අඩුකරගත හැකි වීමයි.

පස්වැනි යෝජනාව නම් පාංශූ ඛාදනය අවම කරන පස සංරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමයි. පසුගිය වසර 50ක 60ක කාලය තුළ කඳුරට ප්‍රදේශවල පමණක් පසේ මුල් තට්ටුවෙන් අඩියක පමණ ප්‍රමාණයක් සේදී ගොස් ඇත. මේ සඳහා ඉක්මන් සහ ක්‍රමවත් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

දෙවැනි තර්කය කාබනික පොහොර භාවිතයේදී ගොවීන්ගේ ආදායම් පහළගොස් ජනගහනයෙන් අතිමහත් කොටසක් වූ ගොවිජනතාව ආර්ථික පීඩාවකට අන්ත දූගීබවට පත්වේ යන්නයි. එසේ වේ නම්, ඉන් මිදී එම තත්ත්වය අවම කිරීම හෝ ඊට එදිරිව ගොවීන්ගේ ආදායම වර්ධනය කරන්නේ කෙසේද?

මේ සඳහා පළමු යෝජනාව නම් ගොවීන්ගේ වර්තමාන කෘෂිකාර්මික පිරිවැය අවම කිරීම යි. ගොවීන්ගේ රසායනික පොහොර සහ කෘෂි රසායනික පිරිවැය දිගින් දිගටම ඉහළ යමින් පවතියි. යොදවන රසායනික පොහොර ප්‍රමාණයෙන් අතිවිශාල කොටසක් මුල් පද්ධතියෙන් පහළට කාන්දුවී ජල මූලාශ්‍රවලට එකතුව ඒවා නැවතත් ජලය හරහා පුද්ගල සිරුරට ඇතුල්වීම වකුගඩු සහ පිළිකා රෝගවලට කාරකව වී අති මහත් ව්‍යසනයක් ගොවියාටත්, පුද්ගලයාටත්, පොදුවේ රටටත්, රජයටත් අත්කර දී ඇත. මෙය ගොවි ජනයාගේ අනාගත පරපුරේ පමණක් නොව සමස්ත අනාගත පරපුරේම සෞඛ්‍ය සහ ජීවන අපේක්ෂාව සම්බන්ධයෙන්ද තීරක සාධකය වනු ඇත.

මේ අනුව රසායනික පොහොර සත්‍ය පිරිවැය ඍජු සහ වක්‍ර යන දෙයාකාර වේ. කාබනික පොහොර භාවිතය මෙම පිරිවැය ද්විත්වයම අවම විය හැක. එහෙත් යෝග්‍ය සහ අවම පිරිවැය කාබනික පොහොර සහ කෘමි හා වල් නාශක ගොවීන්ට ලබාදිය යුතු අතරම ඒවා බහුල කළ යුතුය. ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය පුහුණුව සහ අවබෝධය ලබා දීමද වැදගත් වේ. සෑම කොම්පොස්ට් පොහොරක්ම කාබනික නොවන බවද බලධාරීන් අවබෝධ කරගත යුතුව ඇත.

දෙවැනි යෝජනාව නම්, පාරිභෝගික මිල ස්ථාවර හෝ අඩු කරමින් ගොවිපොළ මිල ඉහළ නැන්වීමයි. ගොවිපොළ මිල සහ පාරිභෝගික මිල අතර පරතරයේ ප්‍රධාන අංග නම්, ප්‍රවාහන වියදම, අතරමැදි ලාභ, පසු අස්වනු නාස්ති, සැකසුම් පිරිවැය යන ආදියෙන් යුක්ත වේ. වෙළෙදපොළ වඩා කාර්යක්ෂම කිරීමෙන් ගොවිපොළ මිල තවදුරටත් ඉහළ නන්වාගත හැක. එහිදී විශේෂයෙන් අතරමැදියන්ගේ අසාධාරණ ලාභය අඩු කිරීම සහ අනවශ්‍ය අතරමැදියන් ඉවත් කිරීම, යටිතල පහසුකම් සහ ප්‍රවාහන ක්‍රමවේද දියුණු කිරීම මගින් පසු අස්වනු නාස්තිය අවම කළ යුතුය.

තෙවැනි යෝජනාව නම්, කෘෂිකර්මය කාබනිකකරණය හේතුවෙන් පොදු ජනතාවට ඇතිවන සෞඛ්‍ය වියදමේ පහළ යාමෙන් කොටසක් නැවතත් කෘෂිභාණ්ඩ හරහා යොවීන්ට විතැන් කිරීම යි. එසේම වර්තමාන තත්ත්වය තුළ ගොවීන් වැයකරන පානීය ජල පිරිවැය, ජලය පිරිසුදු කිරීමේ සහ රත් කිරීමේ වියදම, ගොවීන්ගේ සෞඛ්‍ය ඉහළ යාම තුළින් අඩු වන වියදම සහ වැඩ කිරීමේ හැකියාව සහ කාලය ඉහළ යාමේ වාසිය ආදිය මගින් නැවතත් ගොවීන්ගේ ශුද්ධ ආදායම් ඉහළ නංවාගත හැක.

සිවුවැනි යෝජනාව නම් ගොවීන්ගේ ආදායම පහළ යාම රැකගැනීම සඳහා කාබනිකකරණය හේතුවෙන් පාරිසරික සහ සෞඛ්‍ය අංශ සඳහා රාජ්‍ය වියදමේ අඩුවීමේ යම් කොටසක් නැවතත් රජය විසින් ගොවීන්ගේ ආදායම් ඉහළ යන ආයෝජන සඳහා වැය කිරීම දැක්විය හැක. උදාහරණ ලෙස කෘෂිකර්මික භාණ්ඩ සහ ආහාර සම්බන්ධිත වෙළෙඳපොළ, ප්‍රවාහනය, ගබඩාකරණය ආදී යටිතල පහසුකම් වර්ධනය කළ යුතුය.

පස්වැනි යෝජනාව නම් කෘෂි නිෂ්පාදන අපනයනයේදී විශේෂිත කාබනික කෘෂි නිෂ්පාදන සඳහා සම්බන්ධිත ඉහළ මිලක් ගෙවීමට කැමති පාරිභෝගික කණ්ඩායම්වලට සැපයුම් කිරීමයි. ලෝකයේ කාබනික කෘෂිභාණ්ඩ සඳහා පවතින මෙම වාසිසහගත තත්ත්වය නිසි ආකාරයට කළමනාකරණය කිරීමෙන් එහි වාසිය ගොවීන් වෙත සම්ප්‍රේෂණය කර ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීමෙන් ඔවුන්ගේ ආදායම  ඉහළ යාමක් අපේක්ෂා කළ හැක.

මෙම යෝජනා සමහරක් කෙටිකාලීන වුවද ඇතැම් ඒවා මධ්‍යකාලීන සහ දිගුකාලීන වේ. එහෙත් බොහෝ යෝජනා සඳහා රජය බරපතළ ලෙස මැදිගත්වීම සහ එම මැදිගත්වීම් වල අවංකභාවය අනුව කෙටිකාලීනවත්, ප්‍රායෝගිකවත්, අවශ්‍ය කාලයට සහ ප්‍රමාණයට ප්‍රතිඵල ළගාකර ගත හැක. ඒ සඳහා ආර්ථික ලාභයකින් තොරව කැපවීමට කැමති ප්‍රමාණවත් තරම් දේශීය කෘෂිවිද්‍යාඥායන්, කළමනාකරුවන්, විද්වතුන් පමණක් නොව රටට ආදරය කරන ගොවිජන සමූහයක්ද අප රට තුළ සිටින බව අමතක නොකළ යුතුය.

(***)