IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


කොටි කතුන් යාපනයට

දෙමළ කොටි ශිෂ්‍ය සංවිධානයේ (එස්. ඕ.එල්.ටී.) සාමාජිකත්වය හිමි වීමත් සමග ඇයට එල්ටීටීඊ සංවිධානය සමග ආයතනික සම්බන්ධයක් ඇති වුවද ”ශර්මිලා” එයින් සෑහීමකට පත් වූයේ නැත. ඇගේ සැබෑ ඉලක්කය වී තිබුණේ සම්පූර්ණ ”කොටි කතක්” වී යුද පුහුණුව ලබා ගැනීමයි. එස්. ඕ.එල්.ටී. සාමාජිකත්වය යනු ඇයට ඒ සඳහා පළමු පියවර පමණි. එස්. ඕ.එල්.ටී. සංවිධානයෙන් ඇයට පවරනු ලැබූ වැඩ ඇය දුටුවේ ඉතා සරල ඒවා වශයෙනි. ශර්මිලා සහ ඇගේ පාසලෙන් සම්බන්ධ වූ අනෙක් තිදෙනාගේ කාර්යයන් වූයේ එල්ටිටීඊ යේ ”කලාතිල්” (යුදබිම) සඟරාව ඇතුළු ප‍්‍රකාශන බෙදා හැරීමත් විමුක්ති අරගලයට සහය දීමේ අවශ්‍යතාව පිළිබඳව සහෝදර ශිෂ්‍යාවන් සමග සාකච්ඡා කරමින් එම කරුණු ඔවුන්ට එත්තු ගැන්වීමත්ය. එමෙන්ම, උද්ඝෝෂණ පෙළපාලි හා වෙනත් කටයුතුවලට ශිෂ්‍යාවන් සහභාගි කර ගැනීමට උදව්වීමද ඔවුනට පැවරුණු කාර්යයකි. ඉහළ පංතියේ පාසලක් වන චුන්ඩිකුලි කාන්තා විද්‍යාලය තුළ බලයක් ගොඩ නගා ගැනීම ”මුරලි” ලැබූ විශාල ජයග‍්‍රහණයක් වූ අතර ඉන්පසුව ඔහු නිතර එහි ගියේය. එස්. ඕ.එල්.ටී. හි වැඩ කටයුතු කරද්දී ශර්මිලා නිතරම මුරලිගෙන් ඉල්ලා සිටියේ තමන්ට හමුදා පුහුණුව ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසයි. එසේ වුවද එය ප‍්‍රතික්‍ෂේප කළ මුරලි ඇගෙන් ඉල්ලා සිටියේ උසස් පෙළ සමත්ව වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී වෛද්‍යවරියක් වන ලෙසයි. ඇය හොඳින් විභාගය සමත්ව වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්වීම ඇගේ මව්පියන්ගේ බලාපොරොත්තුව බව ඔහු දැන සිටියේය. ඒ කාලයේ යාපනය ක‍්‍රියාත්මක වූ එල්ටිටීඊ යට එහි දේශපාලන අංශය යටතේ ක‍්‍රියාත්මක වූ කාන්තා අංශයක් ද තිබිණි. එම කාන්තා අංශය ක‍්‍රියාත්මක වුයේ ”ගයාත‍්‍රී” යන ආරූඪ නාමයෙන් හඳුන්වනු ලැබූ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් යටතේය. ඇය යටත් වූයේ එල්ටිටීඊ දේශපාලන අංශ නායක නැතහොත් දේශපාලන කොමිසාර් රාසයියා පාර්තිබන් හෙවත් තිලීපන්මය. යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ ගයාත‍්‍රී කාන්තා අංශය ගොඩ නගන ලද්දේ තිලීපන්ගේ උපදෙස් අනුවය. ඝනකම සහිත කාච යෙදූ උපැස් පැළඳ සිටි ගයාත‍්‍රී කරුණාවන්ත පාලිකාවක් බඳු වීය. කාන්තා අංශය සාමාන්‍ය වශයෙන් හඳුන්වන ලද්දේ ”නිදහසේ කිරිල්ලියෝ” වශයෙනි. එයට හේතු වූයේ එම අංශයෙන් නිකුත් කළ සඟරාව එම නමින් හැඳින්වීමයි. කාන්තා අංශයේ සාමාජිකාවෝ නිවසින් නිවසට ගොස් ප‍්‍රචාරයේ යෙදුනු අතර නිවෙස්වල සිටින කාන්තාවන් සමඟ දේශපාලනය පිළිබඳ සාකච්ඡා කළහ. එමෙන්ම එල්ටිටීඊයට මුදල් එකතු කිරීමටද ඔවුහු දායක වූහ. එමෙන්ම කෑම ඉවීමට උදව් කිරීම, තුවාල වූ සාමාජිකයන්ට ප‍්‍රථමාධාර දීම හා සාත්තු කිරීම ද ඔවුන් අතින් සිදුවූ කාර්යයන්ය. ”නිදහසේ කිරිල්ලියන්” අතරින් බොහෝ දෙනකුටද අවශ්‍ය වූයේ යුද පුහුණුව ලබා නිත්‍ය සෙබළියන් වීමටය. එසේ වුවද ඔවුන්ව පොරොත්තු ලේඛනයට ඇතුළත් කොට නවතා තිබිණි. එබැවින් ඔවුන්ට සිදුවූයේ එල්ටීටීඊ දේශපාලන අංශයේ සාමාජිකයන් ලෙස සිටිමින් ඉවුම් පිිහුම් කිරීමට සහ ආරක්‍ෂක මුර කපොලූවල සිටින පිරිමි සාමාජිකයන්ට ආහාර රැගෙන යාම වැනි කටයුතුවල යෙදීමටය. නිදහසේ කිරිල්ලියෝ යාපනයේ ”නිදහසේ කිරිල්ලියෝ” ආරම්භ කරන ලද්දේ ඇඩෙලා බාලසිංහම් බවට වැරදි වැටහීමක් ඇත. එය වැරදිය. ඇඩෙලා යාපනයට පැමිණියේ ඉන්දියානු හමුදාව පිටව යාමෙන් පසු යාපනයේ විශාල ප‍්‍රදේශයක් එල්ටීටීඊයේ පාලනයට යටත්ව තුබූ 1990 ගණන්වලින් පසුවය. ඊට පෙර අයට ඉන්දියාවේ සිටි එල්ටීටීඊ සාමාජිකාවන් සමග යම් යම් සබඳතා තිබිණි. පෙර කාලයේ යාපනයේ සිටි එල්ටීටීඊ ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට ඇඩෙලා සමග සම්බන්ධයක් නොතිබුණි. කෙසේ වෙතත් පසු අවස්ථාවක කාන්තා අංශය විධිමත් කිරීමට හා ප‍්‍රතිව්‍යුහගත කිරීමට ඇඩෙලා බාලසිංහම් ආධාර කළාය. එස්. ඕ.එල්.ටී. හි සාමාජිකාවන් හා යාපනයේ එල්ටීටීඊ කාන්තා අංශයේ සාමාජිකාවන්ගේ ඇතැම් වැඩ එකම ආකාරයේ වුවද ඒවා ක‍්‍රියාත්මක වූයේ වෙන වෙනම සංවිධාන වශයෙනි. ශර්මිලා සම්බන්ධයෙන් ගත්විට ඇයට අවශ්‍ය වූයේ නිදහසේ කිරිල්ලියන්ට සම්බන්ධවීම නොව කැපවුනු කොටි සටන්කාරියක වීමටය. කැපවුණු කොටි සටන්කාරියකවීමේ ඇගේ අභිලාශය වඩාත් තහවුරු වූයේ එල්ටීටීඊ ය තුළවූ ඇතැම් සිදුවීම් නිසාය. පළමු වරට 1986 දී එල්ටීටීඊය කාන්තා සාමාජිකාවන් විශාල පිරිසකට තමිල්නාඩුවේ මදුරෙයි ආසන්නයේ ඩින්ගිඩිගුල් හිදී හමුදා පුහුණුව ලබාදීමට කටයුතු කළේය. පිරිමි සටන්කරුවන්ට ලබාදෙන ආකාරයේම දුෂ්කර සම්පූර්ණ පුහුණුවක් මෙම කණ්ඩායමට ලබා දුන්නේය. පළමුවැනි කණ්ඩායමේ කාන්තා සාමාජිකාවන් වර්ග හතරකින් යුක්ත විය. ඉන් තිදෙනකු 1983 දී එල්ටීටීඊ විසින් පැහැරගනු ලැබුවේ පසුව ප‍්‍රභාකරන්ගේ බිරිඳ බවට පත්වූ මදිවදනීද සමගය. මදිවදනී ඒරම්බු ඇතුළු ගැහැණු ළමයින් කණ්ඩායමක් 1983 ජූලි කෝළාහලවලින් පසුව මාරාන්තික උපවාසයක යෙදුනේ අවතැන්වූ සියලූ සරසවි සිසුන් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගත යුතු බව ඉල්ලා සිටිමින්ය. එබඳු සාමකාමී විරෝධතාවන්ට විරුද්ධ වූ එල්ටීටීඊය උපවාස කළ ගැහැණු ළමයින් හතර දෙනකු පැහැර ගනු ලැබුවේ එක් අයකුගේ තත්ත්වය නරක අතට හැරීමත් සමගය. ඔවුන් ඉන්දියාවට රැගෙන ගොස් බාලසිංහම්ගේ නිවසේ රඳවා තබනු ලැබීය. ඔවුන් අතරින් ලස්සනම ගැහැණු ළමයා වූ මදිවදනී සමග පෙමින් බැඳුණු ප‍්‍රභාකරන් ඇය විවාහ කර ගත්තේය. එල්ටීටීඊ කාර්යාලයේ සේවය කරමින් සිටි අනෙක් තිදෙනා එල්ටීටීඊයට බඳවාගෙන අවි පුහුණුව ලබාදුන්නේ පළමු කණ්ඩායමේ සෙබළියන් වශයෙනි. දෙවැනි වර්ගය වූයේ 1983 දී ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ්. වැනි සංවිධානවලට බැඳී පසුව ඉවත් වූවන්ය. තෙවැනි වර්ගය ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ප්ලොට් සංවිධානවලට බඳවාගෙන ඉන්දියාවට රැගෙන ගිය ගැහැණු ළමයින්ය. මෙම කණ්ඩායම්වලට එල්ටීටීඊ ප‍්‍රහාර හා තර්ජන එල්ලවීමෙන් පසුව ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය නතරවූ තත්ත්වයට පත්වීම නිසා මොවුහු ඉන්දියාවේ කොටුවී සිටියෝය. වෙනත් කණ්ඩායම්වලින් බඳවාගනු ලැබූ අය එල්ටීටීඊයට බඳවා ගැනීමට ප‍්‍රභාකරන් එතරම් කැමැත්තක් නොදැක්වූ නමුත්, මේ ගැහැණු ළමයින් සම්බන්ධයෙන් එම ප‍්‍රතිපත්තිය වෙනස් කරනු ලැබීය. ඔවුන්ට සමාව දීමෙන් පසුව එල්ටීටීඊයට බැඳී යුද පුහුණුව ලැබීමට අවස්ථාව ලබා දුන්නේය. හතරවැනි වර්ගය නම් නැගෙනහිර පළාතෙන් හා වන්නියෙන් එල්ටීටීඊය විසින්ම බඳවා ගනු ලැබූ සාමාජිකාවන්ය. ඩින්ගිඩිගුල් හිදි සම්පූර්ණ යුද පුහුණුව ලද එල්ටීටීඊ සාමාජිකකාවන්ගේ පළමු කණ්ඩායම කොටස් හතරකට බෙදා මන්නාරමට එවනු ලැබූ අතර ඔවුන් සිටියේ මන්නාරම එල්ටීටීඊ අණදෙන නිලධාරී මර්සලින් ෆියුස්ලාවුස් හෙවත් වික්ටර් යටතේය. බෙදූ කණ්ඩායම් හතරට නායකත්වය දුන්නේ තීබා, සුගී, ජෙයා සහ අනෝජාය. ඩින්ගිඩිගුල්හි පුහුණුව ලැබූ එල්ටීටීඊ සාමාජිකාවන් අතරින් සියලූ අංශවල වැඩිම ලකුණු ලබාගත්තේ තීබාය. වික්ටර්ගේ මරණයෙන් පසුව මන්නාරම එල්ටීටීඊ අණදෙන්නා ලෙස පත් වූයේ හරිස්චන්ද්‍රන් නොහොත් රාධාය. රාධා සහ ඔහුගේ නියෝජ්‍ය නායක සාජහන් යටතේ මොවුහු දිගටම ක‍්‍රියාත්මක වූහ. ඒ අතර තමන්ගේ බිරිඳ බවට පත්වීමට සිටි සින්නියා හමුවී නිවසට එමින් සිටි කිට්ටු 1987 මාර්තු මාසයේදී තුවාල ලැබීය. ගැටුම් උත්සන්න වෙද්දී රාධා සහ සාජ්හන්ද සමග මන්නාරමේ සිට කණ්ඩායමේ වැඩි පිරිසක් යාපනයට කැඳවනු ලැබූහ. එල්ටීටීඊ සාමාජිකාවන් යාපනයට කැඳවනු ලැබූහ. යාපනයට එල්ටීටීඊ සෙබළියන්ගේ පැමිණීම ඉතා වැදගත් සිදුවීමකි. ගරිල්ලියෝ (ගරිල්ලා යන්නෙහි ස්ත‍්‍රීලිංග පදය) ලෙස හඳුන්වනු ලැබූ සෙබළියන් යාපනයට පැමිණීමත් සමග එල්ටීටීඊයට සම්බන්ධ වීමේ විලාසිතාවක් ගැහැණු ළමයින් අතර පැතිර ගියේය. ගරිල්ලියන් ගැන බොහෝ ඡායාරූප සහිත විස්තර ”තලාතිල් සඟරාවෙහි” පළවිය. ගරිල්ලියක් වීමට දිගු කලක සිට ”දෙමළ කොටිකත” කතුවරියගේ තුබූ අභිලාශය මෙයින්  තහවුරු විය. සම්පූර්ණ සාමාජිකාවක් වීමේ ඇගේ උත්සාහය ඇය අලූත් කළාය. මේ අතර ආරක්‍ෂක තත්ත්වය වඩා අනතුරුදායක වනවිට ඇගේ පවුලේ අය සැලසුම් කළේ කොළඹ පදිංචියට යාමටය. එයට පෙර එල්ටීටීඊයට බැඳීමට ඇයට සිදුව තිබිණි. එල්ටීටීඊයද යාපනය රැක ගැනීමට තව තවත් සාමාජිකයන් බඳවා ගනිමින් සිටි නිසා ඇය කල්පනා කළේ තමන්ගේ ඉල්ලීම සාර්ථක කර ගැනීමට හොඳම අවස්ථාව මෙය බවයි. මුරලීට කරුණු එත්තු ගැන්වීමේ දිගින් දිගට දැරූ උත්සහය අවසානයේ සාර්ථක වීය. සංවිධානයට බැඳීමට ඇයට ඉඩදීමට මුරලි කැමැති වූවද ඊට පෙර දේශපාලන කොමිසාර් තිලීපන් හමුවිය යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය. ඒ අනුව තිලිපන් සමග ඔවුන්ගේ ඓතිහාසික හමුව සඳහා ”ශර්මලි” සහ අජන්ති තිරුතෙල් ටෙලිනි, එස් ඕඑල්ටී කාර්යාලයට ගියෝය. ඒ 1987 මැයි 7 දිනයි. එස් ඕඑල්ටී කාර්යාලයට තිලිපන් පැමිණි පසුව සම්මුඛ සාකච්ඡාව ආරම්භ විය. මුරලි සහ තිලීපන් දෙදෙනා චුන්ඩිකුලී විද්‍යාලයේ සිසුවියන් දෙදෙනාගෙන් තියුණු ලෙස ප‍්‍රශ්න කළහ. එම ප‍්‍රශ්න බොහොමයක අරමුණ වී තිබුණේ ඔවුන් දිරිමත් වී ඇති තරම හා අරමුණට කෙතරම් කැපවී ඇත්ද යන්න මැන ගැනීමයි. එක් අවස්ථාවක් වන විට මුරලිගේ කැමැත්ත ලැබුණු බව පෙනී ගියද තිලිපන් දැරුවේ එයට වෙනස් ආකල්පයකි. එල්ටීටීඊයේ යාපනය දේශපාලන කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ක‍්‍රියා පටිපාටිය සම්බන්ධ ප‍්‍රශ්න ඇති බවයි. අවුරුදු ගණනාවක් තිස්සේ දේශපාලන වැඩ කටයුතු වල නියැලී සිටින නිදහස් කිරිල්ලියෝ එනම් කාන්තා අංශ සාමාජිකාවන් යුද පුහුණුව ලැබීමට පොරොත්තු ලේඛනයේ සිටිති. ඔවුන් හා සැසඳීමේදී මේ ගැහැණු ළමයින් දෙදෙනාට දේශපාලන අත්දැකීම් නැති බව ඔහු ප‍්‍රකාශ කළේය. තිලීපන් කීවේ හමුදා පුහුණුවට බඳවාගැනීම සඳහා අඩු තරමින් වසර දෙකක දේශපාලන අත්දැකීම් අවශ්‍ය බවය. ඒ අනුව තිලීපන් මේ දෙදෙනාට කීවේ උසස්පෙළ අධ්‍යාපන කටයුතු කරමින් ස්වේච්ඡා පදනමින් සංවිධානයේ වැඩ කටයුතුවල යෙදී වසර දෙකක අත්දැකීම් ලබා ගන්නා ලෙසයි. එවිට මුරලි කීවේ මේ දෙදෙනා එස් ඕඑල්ටීයට කැපවී සේවය කළ බව හා ඔවුන්ට දේශපාලන දැනුම හා කැපවීම් ඇති බවය. ඒ අනුව ඒ මොහොතේ මුරලි තිලීපන්ගෙන් ඉල්ලා සිටියේ මේ දෙදෙනා පිළිගන්නා ලෙසටයි. එවිට තිලීපන් කීවේ මේ දෙදෙනාම දක්‍ෂ ශිෂ්‍යාවන් බව හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි අය බවයි. ”ඔබ උපාධිය ලබාගෙන ඉන් පස්සේ සම්බන්ධ වන්නයි” ඔහු ප‍්‍රකාශක කළේය. දෙමළ ජනයා විශාල අනතුරකට මුහුණදී සිටියදී අධ්‍යාපනය වැදගත් නැති බව ඒ අවස්ථාවේ ශර්මලී ප‍්‍රකාශ කළාය. එමෙන්ම ඇය පෙන්වා දුන්නේ තිලීපන්ද ඔහුගේ වෛද්‍ය අධ්‍යාපනය අතහැර එල්ටීටීඊයට සම්බන්ධ වූවකු බවයි. තිලීපන් කළ ආකාරයෙන්ම ජනතාවගේ යහපත සඳහා අධ්‍යාපනය අතහැරීමට තමන්ටද අවශ්‍ය බව ”දෙමළ කොටිකත” ලේඛිකාව ප‍්‍රකාශ කළාය. එවිට තිලිපන් කතාව වෙනස් කළේය. ඔහු ඊළඟට කතා කරන්නට  පටන් ගත්තේ එල්ටීටීඊයේ පුහුණුව ලබන විට හා සාමාජිකයන් ලෙස විඳින්නට සිදුවන කරදර සහ අපහසුතා පිළිබඳවය. මේ දෙදෙනාම සාපේක්‍ෂ වශයෙන් වරප‍්‍රසාද ලත් ඉහල මැද පංතියේ ළමයින් බවත් පහසුකම් සහිත ජීවිත ගත කළ අය බවත් ඔහු ප‍්‍රකාශ කළේය. ”ඔබගේ අවශ්‍යතා බලන්න කිසිදු සේවකයෙක් නැහැ. ඔබගේ සියලූ කටයුතු ඔබටම කරගන්න වෙනවා” ඔහු පැවසීය. තිලීපන් වැඩිදුරටත් කීවේ ඔවුන්ට ලස්සන ඇඳුම් අඳින්න හෝ සැප පහසු ඇඳන්වල නිදාගන්න හෝ හොඳ ආහාර හෝ නොලැබෙන බවයි. එමෙන්ම පාවහන් නොමැතිව තද පොළොවේ ඇවිදින්න වන බවයි. ඔවුන් කරන්න කැමැති නැති බොහෝ දේ කරන්න වන බවද තිලීපන් ප‍්‍රකාශ කළේය. ගරිල්ලා ජීවිතය පිළිබඳ ආස්වාදයෙන් යුතුව නොසිතන ලෙසත් බොහෝ ප‍්‍රශ්නවලට හා පීඩාවලට මුහුණදීමට සිදුවන බවත් තිලීපන් ඔවුන්ට කීවේය. මේ ගැහැණු ළමයින් දෙදෙනා අධෛර්යට පත් කිරීමට තිලීපන් කෙතරම් උත්සාහ කළද දෙදෙනාම තමන්ගේ ස්ථාවරයේ දැඩි ලෙස රැඳී සිටියෝය. එල්ටීටීඊයට බැඳී යුද පුහුණුව ලැබීමේ අවශ්‍යතාව ඔවුහු තරයේ ප‍්‍රකාශ කළහ. අවසානයේ ඔවුන්ට ඉඩ දීමට තිලීපන්ට සිදුවිය. දෙදෙනාම භාරගන්නා බව පැවසූ තිලීපන් නිවාසවලට ගොස් නැවත සිතන ලෙසත් ඔවුන්ගේ තීරණය ගැන මව්පියන්ට ලිඛිතව දන්වා පැමිණෙන ලෙසත් උපදෙස් දුන්නේය. නැවත සිතා තීරණය වෙනස් කළාට කමක් නැතැයි ඔහු කීවේය. ඔවුන්ට කැමැතිනම්  උසස් පෙළ කිරීමෙන් පසුව පැමිණිය හැකි බවද ඔහු වැඩි දුරටත් පැවසීය. අධිශ්ඨාන සහගතවීම යෙහෙළියන් දෙදෙනා සිටියේ දැඩි අධිශ්ඨානයෙනි. ඔවුහු එතැනින් පිටව තම පාපැදිවල නැගී පැමිණියහ. ස්ටාට්ට් පටුමගේ තම නිවසට යාමග අජන්ති අකමැති වූයේ තම මවට මුහුණදීමට නොහැකි නිසාය. එබැවින් දෙදෙනාම පළමුව ගියේ යාපනයේ ටෙම්පල් රෝඞ්හි සිටි තම පංතියේ මිතුරියකු වන විජීගේ නිවසටය. එහිදී තම මාපියන්ට ලිපියක් ලියූ අජන්ති ඔවුන්ට දීම සඳහා එය ”විජි” අතට දුන්නාය. ඒ අතර ”විජි” හඩමින් උත්සාහ කළේ මේ දෙදෙනාගේ තීරණ වෙනස් කිරීමට ඔවුන් පොළඹවා ගැනීම සඳහාය. ”ශර්මිලා” රකා පටුමගේ තම නිවසට ගියාය. යාපනය කොටුවේ සිට එල්ලවන ෂෙල්වෙඩි ප‍්‍රහාර නිසා තුන්වැනි හරස්වීදියේ නිවසින් ඉවත්ව රාසවන් තොට්ටම් පාරේ තම දියණියත් සමග සිටින මවගේ නැන්දම්මා (ශර්මිලාගේ ආච්චි) බැලීමට ගිය විට මව නිවසේ නැති බව ඇය දැන සිටියාය. සිය දියනියන් සමග පසුදින යාපනයෙන් පිටවීමට සැලසුම් කරගෙන සිටි ශර්මිලාගේ මව මෙම ගමන ගියේ සමුගැනීමේ අවස්ථාවක් ලෙසටය. ”දෙමළ කොටි කත” කතුවරිය නිවසට යන විට එහි සිටියේ නැගනිය ”ශිරානි” පමණකි. ශර්මිලා තම මවට ලිපියක් ලියමින් කීවේ” මම තවදුරටත් ඔබගේ දියණිය නොවෙමි. මම ජනතාවගේ දියණියක් වෙමි. එම නිසා ජනතාව රැකගැනීමේ සටන සඳහා මම ඔබ හැර යන්නෙමි” යනුවෙනි. ඉන් පසුව තම රන් ආබරණ සියල්ල ගලවා බෑගයක දමා ඇය ලිපියත් සමග එය කුස්සියේ මේසයක් මත තැබුවාය. පොත්වලට ආසාකළ  ඇය තමන්ගේ කැමතිම පොත් කිහිපයක්ද බෑගයක දමාගෙන පිටත්ව ගියාය. යන්නේ කොහේද? කියා නැගනිය විමසු විට ඇය කීවේ තමන්ගෙ යෙහෙළියක වන විජිගේ නිවසට යන බවයි. සංගීත තරග ජයග‍්‍රහණ හිමිකරගත් මෙම ගැහැණු ළමයා තමන්ගේ ”ප්ලයින් පිජන්” පාපැදියේ නැගී ටෙම්පල් පාර වෙත ගියාය. එතැන සිට එච් ඕඑල්ටී කාර්යාලයට ඔවුන් දෙදෙනා ගියේ තමන්ගේ පාපැදි වලිනි එසේ යන අතර ”අජන්තී” හැඩුවේ තම මවගෙන් සමුගැනීමට නොහැකි වීම පිළිබඳවය. එසේ වුවද තමන්ගේ සැප පහසු ජීවිතයට ආයුබොවන් කියමින් තමන්ගේ ජනතාව වෙනුවෙන් විරෝධාර නව ජීවිතයක් සොයා යාමේ ඔවුන්ගේ අභිලාසයේ වෙනසක් සිදුවූයේ නැත. ඔවුන් එස් ඕඑල්ටී කාර්යාලයට යනවිට මුරලි සහ ඔහුගේ සහායක රාජන් ඔවුන් එන තෙක් එහි රැඳී සිටියහ. තමන් සඳහා ආරූඞ් නම් තෝරාගන්නා ලෙස දෙදෙනාට දැනුම් දෙනු ලැබීය. අජන්ති තෝරා ගත්තේ ඇගේ මවගේ නම වන ”නිර්මලා” යන්නයි. තමන් කැමැතිම ගුරුරියකගේ දියණියකගේ නමක් වූ ”ෂෙනුකා” යන්න ”දෙමළ කොටි කත” කතුවරිය තෝරා ගත්තා. එම නම බොහෝ දෙනා වැරදියට උච්චාරනය කරනු ඇතැයි අජන්ති ඇයට අවවාද කළාය. එය එලෙසම සිදුවූ අතර බොහෝ දෙනා ඇයට ආමන්ත‍්‍රණය කළේ ”ෂාත‍්‍රහා” යනුවෙනි. නිර්මලා සහ ෂෙනුකා දෙදෙනා විශ්ව විද්‍යාලය අසල පටු මගක නිවසකට කැඳවාගෙන ගිය මුරලි දියණියන් තිදෙනකු සිටින වැන්දඹු කාන්තාවකට ඔවුන්ව භාර දුන්නේය. එක් දොරක් වැසී වෙනත් දොරක් විවෘත විය. දැන් ෂෙනුකා නමින් හඳුන්වනු ලබන ගැහැණු ළමයා ඉදිරියේ දිග හැරෙන්නට පටන් ගත්තේ ”ගරිල්ලියක” ගේ ජීවිත අත්දැකීමයි.

ඞී.බී.එස්. ජෙයරාජ් විසිනි /පරිවර්තනය - සී. ජේ. අමරතුංග
දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 1 දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 2 දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 3 දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 4 දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 5 දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 6 රහීම් (වමේ) කිට්ටු (වමේ සිට හතරවැන්නා) යාපනයට පැමිණෙමින්... ශර්මලා



අදහස් (0)

කොටි කතුන් යාපනයට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 191 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


සංස්කෘතික විප්ලවයක අවශ්‍යතාව
2024 මැයි මස 24 99 2

ලෝක පූජිත භෞතික විද්‍යඥ සහ සාපේක්ෂතා න්‍යායේ නිර්මාතෘ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට ප්‍රකාශයක් පහත එන පරිදි ය. “නූතන ලෝකයේ විද්‍යාත්මක අවශ්‍යතා


ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි
2024 මැයි මස 24 97 0

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සිද්ධියක් පසුගිය දින කිහිපය පුරාම අප පුවත්පත වාර්තා කළේ ය. එම සිදුවීම නම්, ඉන්දියා


දිවියට සවියක් වන බුදු සිරිතෙහි ගුණ
2024 මැයි මස 23 38 0

වර්තමානයෙහි නිතර අසන්නට ලැබෙන මැසිවිල්ලක් වන්නේ, ආදර්ශයට ගත හැකි පුද්ගලයන් නැති බවයි. මෙය මුළු මහත් සමාජයම මුහුණ දෙන කාලීන ගැටලු‍වකි. අපේ සමාජයේ විවිධ


බුදුන්ගේ උතුම් මිනිස්කම
2024 මැයි මස 23 88 0

ලෝකයේ සෑම ආගමකම පාහේ ශාස්තෘවරයා දෙවි කෙනෙකි. එසේත් නැතිනම් දේව දූතයෙකි. එක්කෝ ගැලවුම්කාරයෙකි. එහෙත් ශාස්තෘවරයා ලෙස මනුෂ්‍යයකු පෙනී සිටින ලෝකයේ එකම දහ


සියලු ලෝ සතුන්ට විමුක්තිය උදාවේවා!
2024 මැයි මස 23 36 0

උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය අදය. මෝහාන්ධකාරයේ ගිලී අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට ලක්ව සසර කතරේ අතරමංව සිටින සකල සත්වයන්ට විමුක්තියේ මග ප්‍රඥාවේ ඇසින


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 925 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2480 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2125 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site