IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


ඔන්ලයින් පනතේ ඇති තතු

රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයට බරපතළ ලෙස බලපානු ලබන නව නීතියක් මේ සතියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. එම නීතිය වන්නේ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ ය. ඔන්ලයින් පනත ලෙසින් මේ දිනවල මාධ්‍ය හැඳින් වූයේ මෙම නීතියයි.

මෙම පනත පිළිබඳව රට තුළ පළල් සාකච්ඡාවක් සිදු නොවුණා පමණක් නොව මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වී ඇති තත්වයක එහි බලපෑම පිළිබඳව රටේ ජනතාවට එතරම් බැරෑරුම් අවබෝධයක් ද තවම නැත. ‘අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙන සමාජ මාධ්‍යවල පුවත් හුවමාරු කරන ඕනෑම අයෙක්’ මේ පනත එක් වරක්වත් කියවා තිබීම නුවණට හුරුබව මගේ අදහසය. එසේ නොමැතිව මෙතෙක් කාලයක් සමාජ මාධ්‍යවල තොරතුරු කිසිම වග විභාගයක් නොමැතිව හුවමාරු කළා සේ ඉදිරියටත් කරන්නට ගියහොත් මේ පනතට අනුව නවතින්නේ වසර 05ක සිර දඬුවමකින්ය.

මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නේ මීට දවස් 02 කට කලින් (24 බදාදා) පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘ඔන්ලයින් පනත’ ගැනය. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ Online saftey Act කියාය.

 

පනතේ අරමුණු

මෙවැනි පනතක් රටට අවශ්‍යද? යන කාරණය විශාල වශයෙන් සාකච්ඡාවට භාජන විය. එහෙත් රජයේ ප්‍රධානීන් ඒ කිසිදු සාකච්ඡාවක් අවධානයට ගත්තේ නැත. ඔවුන් හැසුරුණේ මීළඟ ඡන්දයෙන් තමන්ට දිනන්නට අපහසු වන්නේ සමාජ මාධ්‍ය නිසා යැයි සිතා ගනිමින් ඒ මාධ්‍ය අවකාශය යටත් කරන්නට නීතියක් හදනවා වැනි හදිස්සියකින්ය. මේ ආණ්ඩුවේ සමහරුන්ට නොතේරෙන කාරණයක් වන්නේ සිල්ලර කාරණා මත පදනම්ව බරපතළ නීති හැදීමෙන් තමන් ද අනතුරේ වැටීමේ ඉඩක් තිබෙන බවය.

තව මාස 09කින් පසුව රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්වන්නට නියමිතය. ඒ ජනාධිපතිවරයාගේ කාලයේ මේ නව නීතිය යහමින් පාවිච්චි කරන පළමු අවස්ථාව බවට පත්වීම අනිවාර්ය වන්නේය. ඒ ජනාධිපතිවරණය දිනන්නේ තමන් යැයි සිතාගෙන බරපතළ නීති පනවා ජනාධිපතිධුරයෙන් බැස යන්නට සිදුවුවහොත් මේ නීතිවලින් සිදුවන ප්‍රතිවිපාක තමන්ටම අත්විඳීමේ හැකියාවක් තිබෙන බව ඉතාමත් පැහැදිලිය.

මේ පනතේ 3 වැනි වගන්තියෙන් දක්වා ඇත්තේ එහි අරමුණු කවරේද යන්නය. එහි දැක්වෙන පරිදි පනතේ එක් අරමුණක් වන්නේ ‘අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක බියගන්වන සුළු හෝ පීඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීමෙන් ඇතිවන අලාභයකින් ජනතාව ආරක්ෂා කිරීම’ ය. මේ අරමුණ තුළ තිබෙන ව්‍යාකූල හා වාදභරිතභාවය මෙහි දක්වා ඇති විශේෂණ පද කීපයෙන්ම පැහැදිලිය. ‘අසත්‍ය, තර්ජනාත්මක, බියගන්වන සුළු, පීඩාකාරී’ යන විශේෂන පද 04ට වැටෙන ප්‍රකාශ’ යන පළල් හා විසුරුණු වපසරියක් මේ පනතේ අරමුණ ලෙසින් දක්වා ඇත. මෙහි ඇති බරපතළකම ඉතාමත් විශාල යැයි සිතෙන්නේ පනතේ 56 වැනි වගන්තියේ තිබෙන අර්ථ නිරූපන ඡේදයේ ‘අසත්‍ය ප්‍රකාශය’ යන පදයට පමණක් අර්ථයක් ලබාදී ඇති තත්වයකය. ‘තර්ජනාත්මක බිය ගන්වන සුළු සහ පීඩාකාරී’ යන වචනවලට අර්ථයක් එහි ලබා දී නැත. ඒවායේ අර්ථය මේ පනත බලාත්මක කරන ආණ්ඩු හා නිලධාරින් තම තමන් කැමැති පරිදි ලබා දීමට නියමිතය.

 

කොමිෂන් සභාව

මේ පනතේ අරමුණු ඉටු කර ගැනීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන බව එහි 04 වැනි වගන්තියෙන් දක්වා ඇත. මෙම කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් 05 දෙනකු පත් කිරීමත්, ඒ අතරින් එක් අයකු එහි සභාපති වශයෙන් පත් කිරීමත් 5 සහ 6 වැනි වගන්තිවලින් ඉදිරිපත් කර ඇත. මේ පත් කිරීම් තනිකරම ජනාධිපතිවරයාගේ පත් කිරීම් වශයෙන් මුලදී ගැසට් කර තිබුණි. එහෙත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පරිදි එය සංශෝධනය කර ඇත. ඒ අනුව දැන් මෙම පත් කිරීම කරන්නේ ජනාධිපතිවරයා වුවත් එම පත් කිරීම නිර්දේශ කරන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව මගින් ය.

මේ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නිර්දේශ සහ නියමයන් පිළිබඳවත් යමක් පැවැසීම වැදගත් ය. පනතේ වගන්ති 56 කි. ඒවායින් වගන්ති 37ක් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, ඒ නිසා සංශෝධනය කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවල ඉදිරිපත් විය. පනත් කෙටුම්පතක සියයට 50කට වඩා වැඩි වගන්ති ප්‍රමාණයක් සංශෝධනය කළ යුතු යැයි නිර්දේශ වූ විට සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඒ පනත් කෙටුම්පත ඉවත දා අලුත් පනතක් කෙටුම්පත් කිරීමය. එහෙත් මෙහිදී සිදු වූයේ එහි අනෙක් පැත්තය. ඒ පරණ පනත් කෙටුම්පත ඉදිරිපත් වූ අතර ඒ ඒ වගන්ති සඳහා කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් විය. සංශෝධන ඇතුළත් පිටු 22ක වාර්තාවක් කාරක සභා අවස්ථාව සඳහා ආණ්ඩුව යොමු කර තිබුණේ මේ තත්වය තුළය.

 

පනතේ 19 වැනි වගන්තිය

මේ පනතේ වගන්ති විශාල ගණනක් ඉතාමත් වාදභරිත ඒවා බව මම මුලදී පැවැසුවෙමි. ඒවා අතරින් ඉතාමත් ප්‍රශ්නකාරී වගන්තිය ලෙසින් මට පෙනෙන්නේ මෙහි එන 19 වැනි වගන්තිය යි. එම වගන්තියෙන් කියවෙන්නේ ‘අනෙකකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීමේ’ වරද ලෙසින් හඳුන්වන නීතියයි.

ඩිජිටල් අවකාශයේ තිබෙන සංකීර්ණ තත්වය හමුවේ මෙම වරද හරහා නිවැරැදි පුද්ගලයකු වරදකරුවකු බවට පත්වීමේ බරපතළ අනතුරක් මේ තුළ ඇත. සරලව සිතුවහොත් යම් පුද්ගලයකු විසින් වෙනත් අයකුගේ නම සහ සත්‍ය තොරතුරු යොදා ගනිමින් මේ වරද කළහොත් වරදකරු වන්නේ මා මුලින් සඳහන් කළ නම සහ තොරතුරු අදාළ පුද්ගලයා ය. එය තවත් පැහැදිලි කළහොත් මෙසේ දැක්විය හැකිය.

X නමැති පුද්ගලයකු විසින් Y නමැති පුද්ගලයකුගේ නම සහ ඊ මේල් ලිපිය යොදා ගනිමින් Y නමින් සමාජ මාධ්‍ය ගිණුමක් ගොඩනගා ගත්තා යැයි සිතමු. මෙසේ ගොඩනගන ලද Y ගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉහත සඳහන් ‘අනෙකකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීමේ’ වරද සිදුකළහොත් වරදකරු වන්නේ X නමැති පුද්ගලයා නොව Y නමැති නම අයිති පුද්ගලයාය.

මෙම වගන්තිය සංශෝධනය කිරීමට විෂය භාර අමාත්‍යවරයා ද එකඟවී ඇතත් එය සිදුකරන බව කියන්නේ ඉදිරියේ දී සංශෝධනයක් හරහාය. මේ සතියේ සම්මත වූ පනතට අනුව සිදුවන්නේ මා ඉහතින් සඳහන් කළ තත්වය යි.

 

අවසාන පරිශීලකයන් සහ අන්තර්ජාල අතරමැදියන්

මෙම පනතේ දැක්වෙන තවත් එක් බරපතළ කලාපයක් වන්නේ ‘අවසන පරිශීලකයන්’ සහ ‘අන්තර්ජාල අතරමැදියන්’ සම්බන්ධව නීති පැනවීමය. ඊට අමතරව ‘අන්තර්ජාල සේවා සපයන්නා’ යන කලාපය ද මෙම නීති කෘත්‍යය යටතේ එක් කර ඇත. එසේම ‘සමාජ මාධ්‍ය වේදිකාව’ හෙවත් Social Media Platform ලෙසින් අර්ථ නිරූපනය කර ඇති කොටසද බරපතළ සංකීර්ණතා සහිත ඒවාය. ඒ අනුව ලංකාව තුළ සිටින ‘අවසාන පරිශීලකයන් කීප දෙනකුට සම්බන්ධවීමට ඉඩ ලබාදෙන’ සමාජ මාධ්‍ය වේදිකා මේ යටතේ නියාමනය කිරීමට නියමිතය.

 

පොදු ප්‍රශ්න කීපයක්

මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු කාරණා බොහෝය. එහෙත් ඒ සඳහා මේ සටහනේ ඉඩක් නැත. එහෙත් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු කීපයක් සංක්ෂිප්තව සටහන් කළ යුතුය.

මෙම පනත හේතුවෙන් රටේ නෛතික ක්ෂේත්‍රයේ සහ නියාමන ආයතන අතර අර්බුදයක් ඇති විය හැකිය. මෙම පනත ක්‍රියාත්මක කිරීමට යාමෙන් ඩිජිටල් ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. (දැනටමත් ආසියානු අන්තර්ජාල සාමුහිකය ඔවුන්ගේ විරෝධතාව දක්වා ඇත.

එසේම රට තුළ දත්තවල ආරක්ෂාවට සහ සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලිකත්වයට බරපතළ තර්ජනයක් සිදුවිය හැකිය.

මේ සියල්ලටම වඩා බරපතළ ගැටලුවක් විය හැක්කේ ‘අනර්ථකාරී ප්‍රකාශ’ හෙවත් "Harmful Content” යන කලාපයේ සිදුවිය හැකි අර්ථකථන අර්බුදය යි. දේශපාලන වශයෙන් යම් පුද්ගලයකු හෝ යම් සංවිධානයක් වෙතට පීඩනයක් හෝ හිංසාවක් කිරීමට ඒ ඒ කාලවල පාලනය සිදුකරන ආණ්ඩුවලට බලයක් ලබාදීමක් මේ තුළ සිදුවන බව ඉතාමත් පැහැදිලිය.

තවත් පැත්තකින් ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ප්‍රශ්න ගණනාවක් මේ මගින් ඇතිවීමේ ඉඩක් ඇත. නිදසුනක් ලෙසින් ජාත්‍යන්තරව පවතින වෙළෙඳ සන්නාම වන Google, Uber වැනි ඩිජිටල් වේදිකා මෙරටින් ඉවත්වීමක් සිදුකළහොත් ඇතිවන තත්වය බැලිය හැක. එවැනි තත්වයකදී රටේ ආර්ථික ක්ෂේත්‍රයට එහි බරපතළ ප්‍රතිවිපාක ඇති කරවන බව ඉතාමත් පැහැදිලිය. Booking.com වැනි ඩිජිටල් වේදිකාවක් නොමැති තත්වයක් ඇති වුවහොත් රටේ සංචාරක ව්‍යාපාරයට දෙවියන්ගේම පිහිටය. ආණ්ඩුව හැසිරෙන්නේ මේ එකක්වත් එතරම් වැදගත් කමක් නැති ගානටය. ඒ අය සිතන්නේ ඊළඟ ඡන්දය දිනන්නට නම් සමාජ මාධ්‍ය හරහා සිදුවන විවේචනය යටපත් කළ යුතුය යන කැරට් අලය දෙස බලාගෙනය.

සන්නිවේදනය යනු හුදු ජනතාවගේ අමතර අවශ්‍යතාවක් නොව සත්භාවාත්මක අවශ්‍යතාවකි. මිනිසුන් සිතීම, කථා කිරීම, ඇවිදීම වැනි ස්වභාවික ක්‍රියාකාරකම් නැවැත්විය නොහැකිය. සන්නිවේදනය ද එවැනි තත්වයක් බව නොදැනීම ආණ්ඩුවේ කඩා වැටීමේ පදනම බව මගේ අදහසය. එය රටේ කඩා වැටීම බවට පත්වීමට පෙර මේ පනත සංශෝධනය කළ යුතු බව මගේ කිවිදා දැක්මය.

 

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (1)

ඔන්ලයින් පනතේ ඇති තතු

Balasuriya Thursday, 01 February 2024 05:36 PM

නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ අධිකරණය මගිනි. නීතියේ ඇති වගන්ති හරියාකාරව අර්ථ දැක්වීමට විනිශ්චයකාර වරුන්ට බුද්ධිය තිබේ. අධිකරණය මගින් වරදකරු කරනතෙක් විත්තිකරු නිවැරැදි බව අපගේ නීතියේ මූලික කරුණයි. අධිකරණයට පෙර සමාජ මාධ්‍ය මගින් දඬුවම් කිරීම සමාජයකට හිතකර නොවේ. සමාජ මාධ්‍ය යම් පාලනයකට යටත් විය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 253 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 207 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 225 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 524 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 417 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 153 1

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1563 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1464 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site