අලුත් ඇමැති මණ්ඩලයක් ඊයේ පත්විය. ඒ ඇමැති මඩුල්ල සම්බන්ධයෙන් ජනපති හා අගමැති කෙසේ ක්‍රියාත්මක විය යුත්තේ දැයි අද ‘ලංකාදීප’ය ඔස්සේ රටට කරුණු කියන්නේ වරලත් ඉංජිනේරු ලලිත් කහටපිටිය මහතාය.

එක්සත් රාජධානියේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවල සාමාජිකයකු ද වන ඒ මහතා, මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය දැවැන්ත විදුලි පුවරු යනාදිය නිෂ්පාදනය කර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, මාලදිවයින හා මැදපෙරදිග රටවලට අපනයනය කරමින් ලංකාවට විදේශ විනිමය උපයා දෙන කේ.අයි.කේ. ව්‍යාපාර සමූහයේ නිර්මාතෘවරයා ද වෙයි.

නිදහස ලැබූ 1948 සිට අද දක්වාම ලංකාව දියුණු වෙමින් පවතින රටකි. දියුණු වෙන්නේම නැත. එසේ වී තිබෙන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් සියල්ලන්ම බනින්නේ දේශපාලනඥයන්ටය. එදා සිට මේ දක්වාම සිදුවී තිබෙන්නේ දේශපාලකයන් මත යැපීමය. දේශපාලකයන් කළේ තමන්ට හිතෙන හිතෙන දේවල්ය. එහෙත් රට විනාශ කිරීමට කොතරම් බලවේග තිබෙනවා ද කියා කිසිවකු හීනෙන්වත් හිතා නැත. බරපතළම ප්‍රශ්නය තිබෙන්නේ එතැනය.

සමස්ත ලෝකයේම තිබෙන්නේ බල අරගලයකි. ඒ අරගලයේ නිරත ලෝක බලවතුන්ට වුවමනා වී තිබෙන්නේ අපේ වැනි රටවල් තිබෙන තත්ත්වයෙනුත් පහළට ඇද දැමීමය. ඒ රටවලට තම ව්‍යාපාර කරගෙන, ඔවුන්ගේ අරමුණුවලට යා හැක්කේ අපේ රටවල් දියුණු නොවී දියුණු වෙමින් පැවැතියොත්ය. රට ඇතුළේ සිට ජාතීන් හැප්පීම ඔවුනගේ එක් උපක්‍රමයකි. ජාතීන් හැප්පීමට නොහැකි නම් එකම ජාතියකට අයත් කණ්ඩායම් අතර හෝ ගැටුම් ඇති කරයි. ඉතිහාසයේ හැමදාම අපේ රටේ ගැටුම් තිබිණි. එක දිගට අපේ රටේ ගැටුම් තිබිණි. එකදිගට අවුරුදු පහක් සාමකාමීව රට තිබුණේම නැත. එල්.ටී.ටී.ඊ., ජ.විපෙ., ජාතිවාදී, ආගම්වාදී, දේශපාලන මත ලෙස තිබූ ගැටුම් කෙළවරක් නැත. රට ඇතුළේ එවැනි ප්‍රශ්න ඇති කිරීමට වෙනම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයි. කරුමය වී තිබෙන්නේ කිසිවකු ඒ දෙස නොබැලීමය.

බටහිර බලවතුන්ගේ වුවමනා මත ක්‍රියාත්මක වන කණ්ඩායම් හා පුද්ගලයෝ රැසක් අදටත් රට ඇතුළෙත් සිටිති. ඒ ඇතැමුන් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය නොවන සංවිධාන අටවාගෙනය. ඒවා ගැන නිසි සොයා බැලීමක් සිදු නොවෙයි. පාලකයන් කටයුතු කළේ තම පෞද්ගලික බල ව්‍යාපෘති මතය. රට හා ජනතාව ඔවුන්ට යළි අවශ්‍ය වූයේ බලය ලබා ගැනීමට පමණකි. පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වූයේ පාලකයන්ගේ බල ව්‍යාපෘති නිසා විය හැකිය. දෙස් විදෙස් ආරක්ෂක අංශවලින් අවස්ථා සියයකට ආසන්න ගණනක දී අනතුරු අඟවා තිබියදීත් පාස්කු ප්‍රහාරය සිදුවූයේ රට වනසන දෙස් විදෙස් බලවේග සම්බන්ධයෙන් පාලකයන් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ නිසාය. අවසානයේ ඉන් හානි වූයේ රටට හා ජනතාවටය.

රට වනසන බලවේග නැතහොත් බටහිර බලවතුන්ගේ වුවමනා මත කටයුතු කරන පුද්ගලයන් මැති ඇමැතිකම්, අගමැතිකම් කරමින් ආණ්ඩු ඇතුළේ ද සිටියා විය හැකිය. එසේම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආර්ථික මර්මස්ථානවල ද ඔවුන් සිටිය හැකිය. වාර්ගික සහෝදරත්වය හා ආගමික සහජීවනය නැතිවී ආර්ථිකමය වශයෙන් රට පල්ලම් බැස්සේ ඒ බටහිර බලවතුන්ගේ රූකඩවල ක්‍රියාකාරිත්වයේ මහිමයෙනි. ව්‍යවස්ථා සංශෝධන පවා සිදුවූයේ බටහිර වුවමනා මතය. එහෙයින් වර්තමාන රජයවත් ඒ ගැන සිතිය යුතුය. රජය රට නමැති ගොඩනැගිල්ල හදාගෙන යන විට තවත් පිරිසක් පැත්තකින් ඒ ගොඩනැගිල්ල කඩාගෙන එන බව වත්මන් පාලකයන්වත් මැනවින් අවබෝධ කරගත යුතුය. වටහා ගත යුතුය. ගොඩනැගිල්ල කඩන පිරිස් ඇතැම් විට ආණ්ඩුව ඇතුළේම සිටිය හැකිය. ඇතැම් විට ජනපතිට හෝ අගමැතිට සමීපව ද සිටිය හැකිය. එසේම ඉහත කී ආර්ථික මර්මස්ථානවල ද සිටිය හැකිය. බරපතළ ලෙස තේරුම් ගත යුත්තේ ඒ කිසිවකු සතුරු වේෂයෙන් පෙනී නොසිටින බවය. ඔවුන් පෙනී සිටින්නේම මිතුරු වේෂයෙනි. ඒ සතුරන් හා ඔවුන්ගේ ප්‍රහාර මැනවින් හඳුනා ගැනීමට පාලකයන්ට ව්‍යවහාර ඥානය (Commen Sence) තිබිය යුතුය. එසේම බුද්ධි අංශවලින් මනා ප්‍රයෝජන ගත යුතුය. එසේ නොකළහොත් රට දියුණු කළ නොහැකිය.

අනෙක් කාරණය බොහෝ රාජ්‍ය ආයතන එනම් සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු, අධිකාරි හා අමාත්‍යාංශවල ඉහළ සිට පහළටම සිටින අතිවිශාල බහුතරයකට ඒ ආයතන පවතින්නේ හා පවත්වාගෙන යන්නේ ඇයි දැයි නිසි වැටහීමක් හෝ අවබෝධයක් නැත. ඒ ඒ ආයතනවල වගකීම හා කාර්යභාරය කුමක්දැයි ඔවුහු කිසිවෙක් නොදනිති. දැනගැනීමට ඔවුනට වුවමනාවක් ද නැත. ඔවුන් සිතන්නේ ඒ ආයතන පවතින්නේ තම පැවැත්ම සඳහා බවය. ඒ තත්ත්වය අද අධිකරණ ක්ෂේත්‍රය දක්වාම ඔඩු දුවා තිබෙන බව රටට රහසක් නොවේ. එහෙයින් මේ තත්ත්වය වහාම දූරීභූත කළ යුතුය. ඒ ඒ රාජ්‍ය ආයතන තිබෙන්නේ ඇයි දැයි අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කාර්යාල කාර්ය සහායක දක්වා සියලු නිලධාරීන්ට හා සේවකයන්ට කියා දිය යුතුය. අවබෝධ කර දිය යුතුය. ඒ ආයතන පවත්වාගෙන යන අරමුණු ඉටුකිරීම ඔවුනගේ වගකීමක් බව සියලු නිලධාරීන්ට හා සේවකයන්ට අවබෝධ කර දිය යුත්තේ තරයේය.

පුරවැසියන් හා දේශීය කර්මාන්තකරුවන් ලෙස අපට එසේ කීමට සිදුවී තිබෙන්නේ ඇයි දැයි ඒ කවුරුත් තේරුම් ගත යුත්තෝය. උදාහරණයකට අපි විදුලිබල ක්ෂේත්‍රය ගනිමු. එහි පවතින්නේ බරපතළ අර්බුදයකි. විදුලිය වැඩියෙන් නිපදවිය හැකි හිරු එළිය, සුළඟ, මුහුදු රළ හා දැව රට ඇතුළේ අනන්තවත් තිබිය දී රටට අවශ්‍ය විදුලියෙන් සියයට 70කට වඩා නිපදවන්නේ රටට පිටින් ගෙන්වන ඉන්ධන හා ගල් අඟුරුවලිනි. එසේ ඒවායෙන් විදුලිය නිපදවද්දීත් අඛණ්ඩව විදුලිය සැපයිය නොහැකිය. නිතර විදුලිය කපා හරියි. බිඳ වැටීම් ද නිතර වෙයි. විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම වැනි ආයතනවල වගකීම් නිසි ලෙස ඉටුවන්නේ නම් ඒවා එසේ විය නොහැකිය. ඒ ආයතනවල දෑ හිතකාමීන් සිටින්නේ නම් හිරු එළිය, සුළඟ වැනි පුනර්ජනනීය සම්පත්වලින් වැඩි වැඩියෙන් විදුලිය නිපදවන්නේ නැතිව ඉතා අමාරුවෙන් හා අපහසුවෙන් උපයා ගන්නා ඩොලර්වලින් ඉන්ධන හා ගල්අඟුරු ගෙන්වන්නේ ඇයි? පැහැදිලිවම එසේ වන්නේ අදාළ රාජ්‍ය ආයතනවල වගකීම් ඉටු නොවන නිසාය.

මගේ මේ විවේචනය සියලු රාජ්‍ය ආයතනවලට අදාළය. විශේෂයෙන් රාජ්‍ය, සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගෙන් ඔබේ ආයතනය පවතින්නේ හා පවත්වාගෙන යන්නේ ඇයි දැයි ඇහුවොත් ඒ බොහෝ අයට නිශ්චිත හා පැහැදිලි පිළිතුරක් දිය නොහැකි බව මට නිසැකය. සංස්ථා මණ්ඩලවලට පමණක් නොව දෙපාර්තමේන්තු හා අමාත්‍යංශවලට ද මේ විවේචනය අදාළය. ආයෝජන මණ්ඩලය තිබෙන්නේ රටට ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමටය. එහෙත් ඒ මණ්ඩලය පසුගිය කාලයේ ලබාගෙන තිබෙන ඍජු විදේශ ආයෝජන මොනවාද? කොතෙක්ද? කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඔවුන්ගෙන් අපේක්ෂා කරන වගකීම මෙහෙවර නිසි ලෙස ඉටු කර තිබේද? අපනයන සංවර්ධන මණ්ඩලය ඒ නමින්ම හැඳින්වෙන වගකීම නිසි ලෙස ඉටුකර තිබේ ද? මගේ පිළිතුර නම් නැත යන්නය. එවැනි පිළිතුරක් දෙන තැනට මා තල්ලු කර තිබෙන්නේ ඒ ආයතනවල සිටි හා සිටින නිලධාරීන් හා ලොකු කුඩා සේවකයන්ය.

අපනයන සංවර්ධන මණ්ඩලය ඇතිකර තිබෙන්නේ ලංකාවේ අපනයන වර්ධනය කිරීම සඳහාය. රටේ අපනයන ආදායම වැඩිකර ගැනීම සඳහාය. ඒ අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති සකසා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසුවේ නම් ඔවුන් ධෛර්යමත් කළේ නම් අපට මෙසේ කතා කරන්නට සිදු නොවෙයි. පසුගිය අවුරුදු 30ක් තිස්සේ ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින්නේ සුළු වර්ධනයකි. එය වර්ධනයක් හැටියට පෙනෙන්නේ රුපියල්වලින් බැලුවොත් පමණකි. ඩොලර්වලින් ගණනය කළහොත් වර්ධනයක් ඇත්තේම නැති තරම්ය. රුපියල්වලින් ගණනය කරන විට එය වර්ධනයක් ලෙස පෙනෙන්නේ ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව අපේ රුපියලේ වටිනාකම අඛණ්ඩව බාල්දුවන නිසාය. අපනයන සංවර්ධන මණ්ඩලය තිබෙන්නේ කුමන කර්තව්‍යය සඳහා ද? ඒ කර්තව්‍ය ඉටු කිරීම සඳහා කළ යුත්තේ මොනවාද? කියා නිවැරැදිව තේරුම්ගෙන කටයුතු කළා නම් අපට මෙවැනි විවේචන කිරීමට මඟ පෑදෙන්නේ නැත.

වගකීම් නිසි ලෙස ඉටු නොකරන බවට මා නගන චෝදනාව රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ ප්‍රධානීන්ට පමණක් නොව ඇමැතිවරුන්ට ද අදාළය. ඉතිහාසයේ සිටි ඇතැම් ඇමැතිවරුන් යටතේ ඒ ඒ අමාත්‍යාංශවලට අයත් ඇතැම් සංස්ථා මණ්ඩල ‘ජොබ් ෆැක්ටරි’ බවට පත්විය. විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැක්විය හැකි සුපිරි උදාහරණයකි. ඇමැතිකම ලැබුණු ගමන් තම පාක්ෂිකයන්ගෙන් හා ඥාති මිත්‍රාදීන්ගෙන් ලංවිම පිරවීම සෑම ඇමැතිවරයකුම කළ ක්‍රියාවකි. සතොස හා සළුසල වැනසුණේ මේ නිසාය. ඉතා මෑත යුගයක සිටි සංස්කෘතික ඇමැතිවරයකු සංස්කෘතික ත්‍රිකෝණය ද ඒ තත්ත්වයට පත් කළේය. ඇමැතිවරුන් එසේ කටයුතු කිරීමෙන් ප්‍රදර්ශනය වන්නේ ඒ ඇමැතිවරුන්ගේ මොළයේ තරමය. තම අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින සංස්ථා, මණ්ඩල හා දෙපාර්තමේන්තු ජනතා බදු සහ දඩ මුදල්වලින් පවත්වාගෙන යන්නේ ඇයි දැයි බොහෝ ඇමැතිවරු නොදනිති. ඒ ආයතන මගින් රටත් ජනතාවත් සුඛිත මුදිත කළහොත් තමන්ටත් තම ඥාතීන්ටත් පාක්ෂිකයන්ටත් ඒ ප්‍රතිලාභම හිමිවන බව ඔවුනට නොදැනෙයි, නොපෙනෙයි, නොතේරෙයි.

එහෙයින් ඇමැතිවරුන්ට ද ඉලක්ක දිය යුතුය. ඔබ ඔබේ අමාත්‍යංශය හා ඒ යටතේ පවතින ආයතන මෙහෙයවිය යුත්තේ මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා බව ඇමැතිවරුන්ට කියා දිය යුතුය. ඒ ඒ අරමුණු ඉටුකරගත යුතු කාල සීමාවක් ද සියලු ඇමැතිවරුන්ට ලබාදිය යුතුය. එය ජනපතිගේ හා අගමැතිගේ වගකීමකි. කාර්ය භාරයකි. ඇමැතිවරුන් තම වගකීම් ඉටු නොකරන්නේ නම් සහ ඉලක්ක සපුරන්නේ නැති නම් ඒ ගැන දෙවරක් නොසිතා ඒ ඇමැතිවරුන් ඉවත් කළ  යුතුය. එසේ කිරීම ද ජනපතිගේ හා අගමැතිගේ වගකීමකි, කාර්ය භාරයකි. එසේ නොකර අකාර්යක්ෂම හා දූෂිත ඇමැතිවරුන් නැළවීම තවදුරටත් කරගෙන ගියහොත් ලංකාව ඉදිරි අනාගතයේ දීත් පවතිනු ඇත්තේ දියුණු වෙමින් පවතින රටක් ලෙස මය. මෙය දියුණු රටක් වන්නේම නැත. එහෙයින් අකාර්යක්ෂම හා දූෂිත ඇමැතිවරුන් නැළවීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ජනපති හා අගමැති වහාම දුරස් විය යුතුය. ලංකාව පෙරදිග රටකි. එහි උපන්නෝ පෙරදිග මිනිස්සුය. පෙරදිග දර්ශනයට අනුව නැළවිය යුත්තේ වයස අවුරුදු පහට අඩු දරුවන් (ලාලයේත් පංච වර්ෂානි) පමණකි.

රට හා එහි ජනතාවගේ අභිවෘද්ධිය, දියුණුව හා සංවර්ධනය අරමුණු කර ගනිමින් ජනපති හා අගමැති ඇමැතිවරුන්ට ලබා දෙන ඉලක්ක සපුරන්නේ නම් ඒ ඇමැතිවරුන්ට දැනට වඩා වරප්‍රසාද ලබා දුන්නද ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඥාති සංග්‍රහය සහ නුසුදුස්සන්ට රැකියා හා උසස්වීම් දීමේ පිළිවෙත වහා අත්හැර දැමිය යුතුය. එසේම විදේශ විනිමය අනවශ්‍ය ලෙස එතෙරට ගලායාම වැළැක්වීමට නව රජය ගත් පියවර හා තහංචි යම් කාලයක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක විය යුතුය. අලුත් මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත සැප වාහන ගෙන්වා ගැනීමට ඉඩදුන්නොත් යළිත් විදෙස් විනිමය එතෙරට ගලා යයි. එහෙයින් අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන පිළිවෙතේ සිට කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. එසේම එය ජනතාවගේ ද අභිලාෂයයි. අවසාන වශයෙන් කිව යුත්තේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය මෙරට ඇති කළේ නිවැරැදි එහෙත් ජනප්‍රිය විය නොහැකි තීන්දු ගැනීම සඳහා බවය. පෞද්ගලික අවශ්‍යතා හා බටහිර බලවතුන්ගේ වුවමනා මත ඇති කළ සංශෝධනවලින් ජරා ජීර්ණව තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා ජනපති හා මහා මැතිවරණ දෙකේ දී දුන් පොරොන්දු පරිදි ජනතාවාදී නව ව්‍යවස්ථාවක් සකස් කර සම්මත කර ගැනීම නව රජයේ ප්‍රමුඛ වගකීමකි. වහාම එය නොකළහොත් රටට අවාසිදායක විදෙස් ගිවිසුම් අත්සන් කළ යුතු බවට බටහිරින් එන බලපෑම් තවත් තීව්‍ර විය හැකි බව අපේ වැටහීමයි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)