1977 මැතිවරණ ප‍්‍රතිඵලය මේ රටේ වමේ මන්තී‍්‍රවරුන් සියල්ලම පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට තරම් ප‍්‍රබල විය. එය එතෙක් මේ රටේ මැතිවරණ ඉතිහාසයේ හා පාර්ලිමේන්තු නියෝජනයේ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමකි. මේ නිසා එදා වමේ ව්‍යාපාරයේ සිටි ප‍්‍රබලයන් රැසකටම පාර්ලිමේන්තු අසුන් අහිමි විය. 1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ මෙම සුවිශේෂ ජයග‍්‍රහණයේ නියමුවා වූ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පවා මේ කාරණය ගැන අවංකවම සතුටු වූයේ නැතැයි සඳහන් වේ. විශේෂයෙන් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර ඇස්.ඒ. වික‍්‍රමසිංහ හා බර්නාඞ් සොයිසා යන වමේ නායකයන්ගේ පරාජය ගැන ඔහු කම්පා වූ බව එවකට දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට රහසක් විය. ඊට හේතුව ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නායකයන් ලෙස ජයග‍්‍රාහී එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් පවා සැලකූ නිසයි. එහෙත් වමේ පුළුටක් නැති පාර්ලිමේන්තුව පැවැතියේ 1980 දක්වා පමණි. ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කලවාන මන්තී‍්‍ර සරත් මුත්තෙට්ටුවේගම ගේ පැමිණීමත් සමඟම පාර්ලිමේන්තුවේ වම නැවත සලූ විය. මෙතැන් සිට සරත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අභීත හඬ නැඟුවේය. එදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ්මන් ජයකොඩි මන්තී‍්‍රවරුන් ඔහු හැඳින්වූයේ විපක්‍ෂයේ හදවත කියලාය. 1980 ට පසු නැවත විපක්ෂය අළුගසා දමා අවදිවූයේ සරත් නිසාය. සරත් එදා විපක්‍ෂයේ සිටි අවංක, නිර්භීත හා ජනපි‍්‍රය නායකයා විය. 1986 හදිසි රිය අනතුරකට මුහුණ දී සරත් මුත්තෙට්ටුවේගම අභාවප‍්‍රාප්ත වීමත් සමඟම යළි පාර්ලිමේන්තුව තුළ වමේ හඬ නිහඬ විය. විපක්‍ෂයේ හදවත ගොළු විය. එදා කාගේත් කතාබහට ලක්වූයේ විපක්‍ෂයට සරත්ගේ අඩුව පියවීමට තවත් නායකයකු සොයාගන්නේ කෙසේද කියලාය. එය කාලාන්තරයකට අඩුවක් සේ පවතිණු ඇතැයි බොහෝ අය විශ්වාස කළහ. එය එසේම වූයේ නැත. ඊට හේතුව සරත් මුත්තෙට්ටුවේගම ගෙන් පසු කලවාන අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි කොමියුනිස්ට් පක්ෂයේ නවක මන්තී‍්‍රවරයා නිසාය. ඔහු එදා පාර්ලිමේන්තුවේ කළ මුල්ම කතාව වුවද කාගේත් ආන්දෝලනයට හා අවධානයට ලක් විය. සරත්ගේ අඩුව සැපිරිණ. ඔහු වත්මන් පාර්ලිමේන්තුව ද නියෝජනය කරන ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩියු ගුණසේකරය. හෙතෙම ”කෝප් කමිටුවේ” සභාපතිවරයා මෙන්ම වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකි. මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් කීපදෙනා අතුරින් ඩියු එක් ප‍්‍රධාන නායකයකු බව අමුතුවෙන් කිවයුතු නැත. ඩියු ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, රත්නසිරි වික‍්‍රමනායක, ආර්. සම්බන්ධන්, රනිල් වික‍්‍රමසිංහ, ආචාර්ය සරත් අමුණුගම මේ අය අතුරින් කැපී පෙනේ. හෙට දවසේ කාට හෝ මේ රටේ ව්‍යවස්ථාමය හා ව්‍යුහාත්මක වෙනසක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් තිබේ නම් මේ අත්දැකීම් බහුල පළපුරුදු දේශපාලන නායකයන්ගෙන් වැඩක් ගත හැකිය. නැතිනම් මොනවා හෝ දොඩවමින් එදාවේල ටුවර්ස් දේශපාලනයේ යෙදී යුද්ධයෙන් පසු උදා වූ ”නව නන්දිකඩාල්” සමය නිකරුණේම ගෙවාදැමිය හැකිය. පසුගිය පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් පසුව ද ඩියු ගුණසේකර ඇමැතිවරයා කදිම යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව දැන් කාටත් රහසක් නොවේ. එය ඔහු විසින් ගෙන එන ලද්දේ නැගෙනහිර පළාත් සභාව සම්බන්ධයෙනි. ඩියු තම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ සන්ධාන රජයේ කොටස්කාර පක්ෂයක් වන ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා ලෙසිනි. කොමියුනිස්ට් පක්ෂයේ මතයද එයම යැයි උපකල්පනය වේ. ඩියු තම යෝජනාවෙන් ඉල්ලා සිටියේ නැගෙනහිර පළාත් සභාව තුළ ”සර්ව පාක්ෂික පළාත් සභාවක් පිහිටවමු” යනුවෙනි. ඔහු එය ලිපියක් මගින් ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරයාටය. මෙය ලේකම්වරුන් දෙදෙනකු අතර ලිපි හුවමාරුවකට වඩා සංධානය තුළ සාකච්ඡාවට ගතයුතු යෝජනාවක් වනවාට කිසිදු සැකයක් නැත. ඔහු එම ලිපියෙන් සඳහන් කරන පරිදිම මෙය කොමියුනිස්ට් පක්ෂයේ හුදෙකලා ලියවිල්ලක් වී නැත. ඊට පෙර ඩියූ ආණ්ඩුවේ හා විපක්ෂයේ පක්‍ෂ නියෝජනය කරන නායකයන් කීපදෙනකු සමඟම මෙම අදහස සාකච්ඡාවට බඳුන් කර ඇත. ඒ සියල්ලගෙන්ම ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණු බව අදාළ ලියවිල්ලෙන්ම ගම්‍ය වේ. ”අප මේ ලිපිය ඔබ වෙත එවන්නේ වාම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ කීපයකම නායකයන්ගේ අදහස් විමසා හා ඔවුන්ගේ කැමැත්ත අනුවයි” යනුවෙන් එහි සඳහන් වේ. ඒ අනුව ඩියුගේ ලිපිය මෑත කාලයේ ඉදිරිපත් වූ බරක් සහිත දේශපාලන යෝජනාවක් බව පෙනේ.  එසේ ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන යම් දුරකට සිංහල අන්තවාදීන් යැයි සමහරුන් හඳුන්වන පක්ෂවල නායකයන් පවා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩියු ගුණසේකරගේ යෝජනාවට අනුකූලතාවක් දක්වා ඇතැයි දැන ගැනීමට තිබේ. මෙය නව දේශපාලන ප‍්‍රවණතාවක මතුවීමක්දෝයි කියන්න දන්නේ නැත. ඩියු තම ලියවිල්ලෙන් ප‍්‍රධාන කාරණා පහක් මේ රටේ දේශපාලන පක්ෂ නායකයන්ගේ අවධානයට යොමු කරයි. නැගෙනහිර, සෙසු පළාත්වලට වඩා වාර්ගික, ආගමික හා සංස්කෘතික වශයෙන් සුවිශේෂ පළාතකි. එසේම දේශපාලන ආර්ථික හා සමාජයීය වශයෙන් අනෙක් පළාත්වලට වඩා පසුගාමීය. ඔවුන් වර්තමානයේ මුහුණ දෙන ගැටලූ සංකීර්ණ වන හෙයින් එ්වාට විසඳුම් ලබා ගැනීමට සාමූහික ප‍්‍රවේශයක් හා ප‍්‍රයත්නයක් අවශ්‍යය. එසේම මෙම පළාතේ භූ දේශපාලන, ආර්ථික හා යුද උපාය මාර්ගයන්ට ගොදුරුවීමට වැඩි ඉඩකඩක් පවතී. නැගෙනහිර ජනතාව පසුගිය වසර 30 කට වැඩි කාලයක් යුද්ධයට මැදි වී අනේක විධ හිංසා හා පීඩනයට ලක් වී ඇත. මේ නිසා මතබේදයට තුඩුදෙන දේශපාලන ගැටලූ විසඳීම මධ්‍යම මට්ටමින් ජාතික නායකත්‍වයට ඉඩ දී නැගෙනහිර පළාත තුළ ටික කලකට හෝ සර්ව පාක්ෂික පරිපාලනයක් පිහිටුවීමේ හැකියාව හා යෝග්‍යතාව සොයන්නැයි අමාත්‍යවරයා තම පක්ෂය ද නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඉල්ලා සිටී. එසේම සර්වජන ඡුන්දය මඟින් පිළිබිඹුවන නැගෙනහිර පළාතේ බිම් මට්ටමේ දේශපාලන යථාර්ථයද ඇමැතිවරයා තම ලිපියෙන් ඉඟිකර ඇත. ඔහු නොකියා කියන්නේ එක්සත් ජනතා නිදහස් සංධානය ඉදිරියෙන් සිටියද නැගෙනහිර පළාතේ පැහැදිලි බහුතර ජයක් කිසිම දේශපාලන ධාරාවකට ලැබී නොමැති බවයි. එය නැගෙනහිර බිම් මට්ටමේ යථාර්ථයයි. එසේ නම් මේ යථාර්ථයට පමණක් නොව රටේ ජාතික සමගියට අත්තිවාරමක් දැමීමට වුවද හොඳම විසඳුම සර්වපාක්‍ෂික පරිපාලනයක් ගැන කතිකාවතක් ඇතිකර ගෙන එකඟතාවකට පැමිණීමය. මීට එ.ජා.ප. එකඟතාව ද මහා ලේකම් තිස්ස අත්තනායක වෙතින් පළ විය. පසුගියදා මේ හා සමාන මතයක් ඍජුවම ඉදිරිපත් කළේ රෙජිනෝල්ඞ් කුරේ ඇමැතිවරයාය. ”නැගෙනහිර පළාත් සභාවේ උද්ගත වී ඇති තත්ත්වය අවස්ථාවක් කරගෙන සිංහල, දෙමළ හා මුස්ලිම් පක්‍ෂවලින් යුක්ත පළාත් සභාවක් පිහිටුවා බලය බෙදාගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජාතික සමඟිය ඇති කිරීමට තමන් සූදානම් බව ශී‍්‍ර ලංකා රජය ලොවට පෙන්වාදිය යුතුය. (කළුතර පැවැති මාධ්‍ය හමුවකදී) රෙජිනෝල්ඞ් කුරේ ඇමතිවරයා දරන අදහසද ඩියුගේ මතයට සමගාමීය. එහෙත් එ.ජ.නි. සන්ධානය තුළ මෙම අදහස සාකච්ඡාවට බඳුන් වී ඇති බවක් නොපෙනේ. මේ වන විට නැගෙනහිර පළාතේ මහ ඇමැති ධුරයට එක්සත් ජනතා නිදහස් සංධානයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරයෙක් පත්ව සිටී. ඔහු මුස්ලිම් ජාතිකයකු වන නජීබ් ඒ. මජීඞ් ය. පාක්ෂික දේශපාලනික ආකල්පයෙන් එය නිවැරදි විය හැකිය. එහෙත් ඉන්දියාව, බටහිර ජාත්‍යන්තරය හා දෙමළ ඩයස්පෝරාව මවිත කරවන මට්ටමේ තීන්දුවක් ගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් රට වශයෙන් අප අහිමිකරගෙන ඇත. වෙනම රටක් හා ස්වයං පාලනයක් ඉල්ලා සිටි ආර්. සම්බන්ධන්ලා නැගෙනහිර පළාත් සභාවට තරග කිරීමෙන් එම ක‍්‍රමයට අනුගත වී ඇත. දේශපාලනික වශයෙන් ඔවුන් සර්ව පාක්ෂික පළාත් සභාවක් හරහා එහි පරිපාලනයටද සම්බන්ධ කරගත්තා නම් ඉදිරි කාර්යන් පහසුවනු ඇත. අහිමිකරගෙන ඇත්තේ එම අවස්ථාව බව පෙනේ. ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ”පරිදියට” බෙදන බලය ”පරිදියේ” පාලනය මඟින් රට කැඞීමේ හෝ ”ස්වයං පාලනයක්” වෙත යොමුකරන්නේ නම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ඡන්දයකින් අදාළ පළාත් සභාව විසුරුවා හැරිය හැකිය. ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස, වර්ධරාජා පෙරුමාල්ගේ උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරියේ එම විධිවිධානය යටතේය. එසේ නම් වත්මන් පළාත් සභා ක‍්‍රමයට බියවීමට ප‍්‍රායෝගික හේතුවක් නොපෙනේ. එය රටේ අවාසනාවද අවස්ථාවාදී දේශපාලනයේ වාසනාවදැයි කියන්න දන්නේ නැත. දේශපාලනයේදී අප සර්වපාක්ෂිකව කල්පනා කළ යුත්තේ තමන්ට අවාසිවන විටදී හෝ අනෙක් අය ”රවුමේ යැවීමට” පමණක් නොවේ. ජාතික සමඟිය හා ජාතික රාජ්‍යයක් ගොඩනැඟීම වෙනුවෙන්ද එය කළ යුතු වන්නේය. සිවිල් යුද්ධයෙන් අනතුරුව ඉතාලිය එක්සත් වීමෙන් පසු එහි නායකයකු වූ ”මැසීමෝ ඩැසග්ලියෝ” මෙසේ පැවසීය. ”අපි දැන් ඉතාලියක් ගොඩ නැඟුවා. මෙතැන් සිට අපි ඉතාලි ජාතිය බිහිකළ යුතුයි”. ඒ ඔහුගේ අදහසයි. දකුණු අපි‍්‍රකානු සිවිල් යුද්ධයෙන් පසු එළඹි ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු ”අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයට” ආසන මට්ටමින් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගැනීමට ආසන කීපයක අඩුවක් දක්නට ලැබුණි. මේ සම්බන්ධයෙන් අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ සමහර නායකයෝ කම්පාවට පත්වූහ. එහෙත් අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ නායක නෙල්සන් මැන්ඩෙලා සතුටු විය. ඔහු තම සගයන් අමතා කීවේ තමාගේ ප‍්‍රාර්ථනය වූයේද එවැන්නක් යන්නය. ”සහෝදරයා ද්‍රෝහියෙක්! ඇයි එහෙම හිතන්නේ. අපට තුනෙන් දෙකක් නොලැබීම ගැන ඔබ මෙතරම් සතුටු වන්නේ ඇයි?” ”අපට තුනෙන් දෙකක් ලැබුණා නම් අප හිතුවක්කාර වී සකස් කරන්නේ අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ ව්‍යවස්ථාව මිස රටේ ව්‍යවස්ථාව නොවෙයි.” ”දැන් අපට සියලූම පක්ෂ සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ද එකඟතාව මත රටේ (ද. අපි‍්‍රකාවේ) ආණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථාව සැකසිය හැකියි”. නෙල්සන් මැන්ඩෙලාගේ පිළිතුර විය. ඔහුට විරුද්ධ වූ සියල්ලටම නැණ නුවණ පහළ වූයේ එවිටය. ”සහෝදරයා නිවැරදියි” කාගේත් පිළිතුර විය. අපේ රටේ ඩියු ගුණසේකර රතු ඇමැති සහෝදරයාත් නැගෙනහිර පළාත් සභාව සම්බන්ධයෙන් නොකියා කීවේ මෙවන් කතාවක්ය. එහෙත් ඊට ඇහුම්කන් දීමට දකුණු අපි‍්‍රකාවේ මෙන් දේශපාලනයක් අපේ රටේ නැතුවා වාගේය.
වසන්තප‍්‍රිය රාමනායක
ඩිව් රෙජිනෝල්ඞ් මජීඞ් සම්පන්දන්