IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?

ටොලමියානු ජ්‍යොතිෂ්‍ය ඇසින්

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය දැවැන්ත වෙනසකට ලක්වේ. ඒ අනුව රටේ ලග්නය මත සෙනසුරුද, ලග්නයෙන් දෙවැන්නේ රාහු සහ නෙප්චූන්ද, ලග්නයෙන් හතරවැන්නේ ගුරු සහ යුරේනස්ද, ලග්නයෙන් අට වැන්නේ කේතු ග්‍රහයාද සිටින ග්‍රහචාරයක් අනුව නව වසරේ දිශානතිය සකස් වේ. බොහෝ දෙනෙක් දැනටමත් මත පළකර ඇති ආකාරයට 2024 විපත්තිකර සහ බිහිසුණු කාලපරිචඡේදයක් වෙනු ඇතැයි විවිධ පුරෝකථන පළකර තිබේ. එහි සැලකියයුතු මට්ටමේ සත්‍යතාවක් තිබේ. 


සටහන - නදීෂා අතුකෝරල​


අදහස් දැක්වීම - කේ.සී.ජේ. රත්නායක


විශේෂයෙන්ම වසංගත රෝග, ස්වාභාවික විපත්, සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් ඇතිවෙන නොසන්සුන් වීම් බහුලවෙන සමයකි. ඊට අමතරව, මහජන සාමය බිඳවැටෙන, මහජන කැලඹීම් හට ගන්නාවූ නොයෙකුත් අඳුරු අදෘශ්‍යමාන බලවේග ජාතිකව සහ අන්තර්ජාතිකව ක්‍රියාත්මක වෙන කාලයක් බව අමතක නොකළ යුතුය. ලග්නයෙන් 8 වැන්නේ පිහිටි කේතු ග්‍රහයා විසින් කිසිවෙකුට එක්වර වටහාගත නොහැකි ආකාරයේ මතුපිටින් අබිරහස් ලෙස පෙනී යන සිදුවීම් මාලාවක් අගෝස්තු සිට නොවැම්බර් 15 අතර කාලයේදී නිර්මාණය කරනු ලැබේ. මේවා බෙහෙවින්ම රටේ මහජන සාමයට, රටේ දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි බරපතළ තර්ජනයක් ලෙස නැගීසිටීමට ඉඩ තිබේ. එමෙන්ම, ලග්නයෙන් දෙවැන්නේ පිහිටි රාහු සහ නෙප්චූන් සංයෝගය හේතුවෙන් රාජ්‍ය පාලකයන් සහ වගකිවයුතු අය විසින් කරනු ලබන ප්‍රකාශ හේතු කොටගෙන ඒ පැවති තත්ත්වය ගින්නට පිදුරු දමන්නාක් වැනි මහජන කැලඹීම් උත්සන්න කෙරෙන අවස්ථාවන් බවට පත්වීමට ඉඩකඩ තිබේ. දේශපාලනමය වශයෙන් රටේ කලබැගෑනි රාශියක් මතුවීමටද ඉඩකඩ පවතී. කෙසේ නමුත් අනාගත චිත්‍රය ව්‍යාකූල සහ තරමක අඳුරු බිහිසුණු තත්ත්වයත් පෙන්නුම් කරන නමුත් මෙම ග්‍රහචාරය තුළම සැඟව ඇති ග්‍රහ පිහිටීම් අනුව ඉතා පහසුවෙන් ඒ අඳුරු බිහිසුණු තත්ත්වය පාලනය කරගනිමින් රටේ සුබසිද්ධිය පිණිස කටයුතු සම්පාදනය කර ගැනීමට හැකියාව පවතී. 2024 වසරේ මැයි මාසය ආරම්භ වෙනවාත් සමගම, මෙතෙක් පවතින දේශපාලන බල තුලනය සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙන බව ද පෙන්නුම් කරයි. විශේෂයෙන්ම, රටේ ලග්නයෙන් 4 වැන්නේ ගුරු සහ යුරේනස් බලවත් වෙන හෙයින් දැනට කරළියට නොපැමිණ සිටින විපක්ෂ දේශපාලන බලවේග වඩාත් විප්ලවකාරී ලෙසත්  වඩාත් ප්‍රබුද්ධ ලෙසත් කල එළි බසිනු ලැබේ. ඊට  අනුසාරයෙන්, පවතින පාලක පක්ෂය බෙහෙවින්ම දුර්වල වීම දක්නට ලැබෙනු ඇත. එමෙන්ම රටේ රාජ්‍ය පාලකයන් විසින් කරනු ලබන අත්තනෝමතික, වගකීම් විරහිත ආවේගශීලී ප්‍රකාශයන් හේතුකොටගෙන එම දේශපාලන ධාරාවන් සහ සාම්ප්‍රදායික දේශපාලන බල මූලාශ්‍රයන් දැඩි ව්‍යාකුලත්වයකට සහ පරාජීත තත්ත්වයකට පත්වීමත් මැනවින් පෙන්නුම් කරයි. ජාතික සහ අන්තර්ජාතික අතපෙවීම් සහිත කුමන්ත්‍රණකාරී අභිරහස් සිදුවීම් නිර්මාණය කරන අයුරුද දක්නට ලැබේ. ඒ වගේම පවතින ග්‍රහචාරය අනුව මීළඟට පවත්වන්නට තිබෙන්නේ කුමන මැතිවරණයක් වුවත්, ඒ කිසිවකුටත් ඒකාධිකාරි අසහාය බලයක් නොලැබෙන බව පැහැදිලිව පෙන්නුම් කරයි. සාමූහික ඒකාබද්ධවීමකින් යුතු පාලන ක්‍රයක් ගොඩනැගීමට වැඩි ඉඩක් පවතින අතර එය සාම්ප්‍රදායික සන්ධාන ගතවීමක් හෝ සාම්ප්‍රදායික සභාග ආණ්ඩු මාදිලියක් නොව, වඩා නිර්මාණශීලී එහෙත් පෙරළිකාර අවස්ථාවක් වීමට වැඩි ඉඩකඩක් පවතී. රටේ ආර්ථිකය පැත්තෙන්, ඉදිරියේදී දැඩි අභියෝගයන්ට මුහුණ දීම පෙන්නුම් කරන අතර මහජන සාමය බිඳවැටීමේ තත්ත්වයන්ට ඉඩකඩ පවතී. ස්වාභාවික විපත් සම්බන්ධයෙන් ගත් කල, ගින්නෙන් සහ සුළඟින් හටගන්නාවූ දේපල හා ජන ජීවිතයට ඇතිවෙන පීඩාවන්ද වසංගත රෝග යනාදියෙන්ද රටේ ජන ජීවිතය අවුල් විය හැකිය. එමෙන්ම චර්ම රෝග සහ ජලය දූෂිත වී හට ගන්නා රෝග උත්සන්න වීමටත් අගෝස්තු සහ නොවැම්බර් අතර කාලයේදී ඉඩක් පවතින බව පෙන්නුම් කරයි. 2024 සමස්ත වශයෙන් ගත්කල, රටට අභියෝගාත්මක කාලයකි. රටේ තත්ත්වය එසේ වුවත්, ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමඟ ඔබ උපන් ලග්නයට සුබ අසුබ වෙන්නේ කෙසේදැයි ටොලමියානු ජ්‍යොතිෂ්‍ය අනුව විමසා බලමු.

 

 

මේෂ ලග්නය 

 

අවුරුද්ද පුරාම විපරිත උත්තේජනයක්

මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ ඊශාන, ගිනිකොන සහ නිරිත යන දිසාවන් මේ අලුත් අවුරුද්ද පුරාම විපරිත ලෙස උත්තේජනය වෙයි. සමස්තයක් වශයෙන් ගත් කල, 2024 ඔබට සෑම අතකින්ම අභියෝගාත්මක වේ. ගුරු සහ යුරේනස් ලග්නයෙන් 02 වැන්නේ පිහිටීම කැපී පෙනෙයි. රැඩිකල් විප්ලවකාරී වාග් විලාසයක් සහ ප්‍රබුද්ධ සන්නිවේදන හැකියාවක් ඔබ තුළින් විද්‍යමාන වෙයි. ගුරුවරුන්, දේශකයින් සහ අධ්‍යාපනික හෝ උපදේශනාත්මක වෘත්තීන්හි නිරත මේෂ ලග්න හිමියන් සුවිශේෂ ජයග්‍රහණ ලබා ගනී. එහෙත් ආ​ෙව්ගශීලී හැඟීම් පාලනය කර නොගතහොත් අනවශ්‍ය කරදර මතුවිය හැකිය. එසේම ලග්නයෙන් 12 වැන්න වූ ඊසාන දිශාවේ රාහු සහ නෙප්චූන් ස්ථානගතවීම එතරම් යහපත් නොවේ.  විපරීත අදහස් උදහස් ඉස්මතු වෙන හෙයින් ඒවායින් මුළාවට පත් වීමෙන් ගැලවීම පිණිස දැනුම් තේරුම් ඇති පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා ගැනීම මැනවි. කෙසේ වෙතත්, ලග්නයෙන් 11 වැන්නේ ගමන් කරන බලවත් සෙනසුරු ඔබට අවශ්‍ය දරා ගැනීමේ හැකියාව සහ අභියෝග ජයගැනීමේ වෙර වීරිය මැනවින් ලබා දෙන හෙයින් ඔබ වාසනාවන්තයෙක් වෙයි.

 

 

වෘෂභ ලග්නය

 

රැකියා උසස්වීම්

ලග්නය වූ නැගෙනහිර දිසාව ගුරු සහ යුරේනස් වෙතින් ඉතා බලවත් වෙයි. ඊශාන දිසාව වූ 11 වැන්න රාහු සහ නෙප්චූන් විසින් නිර්මාණශීලී වූද ආකර්ෂණීය වූද විප්ලවකාරී වූද ජයග්‍රාහී මාවතක් සකස් කරනු ලැබේ. ඒ සමඟම කේන්දරයේ ආලෝක මුදුන වූ උතුරු දිසාව හෙවත් 10 වැන්න සෙනසුරු වෙතින් වඩාත් බලවත් වෙයි. මේ ග්‍රහ පසුබිම අනුව 2024 අලුත් අවුරුද්ද වෘෂභ ලග්න හිමියන්ට විජයග්‍රාහී කාල පරිච්ඡේදයකි. ව්‍යාපාරික, දේශපාලන, සිනමා, සංගීත ආදී කලාත්මක වෘත්තීන්හි නිරත වෘෂභ ලග්න හිමියන්ට වඩාත් වාසිදායක වේ. අලුත් රැකියා ලැබීමට සහ රැකියාවේ උසස්වීම් සඳහා හොඳ අවස්ථාවක් උදාවේ. තමාගේම ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන වෘෂභ ලග්න හිමියන්ටද උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෘෂභ ලග්න හිමියන්ට ද මේ ඉතා යහපත් ආරම්භයකි. සමස්ත වශයෙන් ගත්කල, වෘෂභ ලග්න හිමියන්ට 2024 වර්ෂය කලකට පසු උදා වූ දුර්ලභ වාසනාවන්ත කාලයකි. 

 

 

මිථුන ලග්නය

 

සමාජ බලයක් සහ කැපී පෙනෙන ආකර්ෂණයක්

අභියෝගාත්මක එහෙත් ජයග්‍රාහී අලුත් අවුරුද්දකි. ලග්නයෙන් 10 වැන්නේ වූ රාහු සහ නෙප්චූන් පිහිටීම ඉතා ආකර්ෂණීය බලයක් නිර්මාණය කරයි. ව්‍යාපාරික දේශපාලන සංගීත කලා ක්ෂේත්‍රයේ නිරත මිථුන ලග්න හිමියන් අන් අය අභිබවා පහසුවෙන් සුවිශේෂ ජයග්‍රහණ හිමිකර ගනී. 12 වැන්නේ ගුරු සහ යුරේනස් පිහිටීම නිසා ඔබේ රැකියාව සහ විවාහ ජීවිතය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කැර ගැනීමට හේතුවක් නැත. වඩාත් පරිණතව සහ දූරදර්ශීව තීරණ ගැනීමේ පුහුණුව ඔබට එයින් ලබා දෙයි. අලුත් විෂය ක්ෂේත්‍රයන් හැදෑරීමට අවස්ථාව ලබා ගනී. එහෙත් ඔබ මෙතෙක් අනුගමනය කළ ජීවන රටාව, පදිංචි ස්ථානය රැකියාව සහ උසස් අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය වෙනස් නොකොට දිගටම පවත්වා ගැනීමට වගබලාගන්න. එමෙන්ම නායකත්වයක් සහ හොඳ මග පෙන්වන්නකු බවට පත්වීමටත් සමාජ බලයක් සහ කැපී පෙනෙන ආකර්ෂණයක් හිමිකැර ගැනීමට අවස්ථාව උදා කර ගනී.

 

 

කටක ලග්නය

 

විදෙස් මුදල් ඉපයීමට හෝ විදෙස් රැකියා වාසනාව

මෙතෙක් පැවති ජීවන රටාව රැකගැනීම ඔබට අභියෝගයක් සහ ජයග්‍රහණයක් වනු ඇත. ලග්නයෙන් 08 වැන්න වූ වයඹ දිසාවේ සෙනසුරු තව දුරටත් ගමන් කරමින් සිටින අතර එය අෂ්ටම ඒරාෂ්ටකයක්ය යන අනියත බිය සමඟ ජීවත් විය යුතු නොවේ. අක්මාව, වකුගඩු සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගයන්ගෙන් පෙළෙන කටක ලග්න හිමියන් තම ආහාර පාන, ඇවතුම් පැවතුම් පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. ඔබේ රැකියාව හෝ ව්‍යාපාරය අතහැරීමට හෝ වෙනස් කිරීමට ඔබ තුළින් ම සහ බාහිරින් විශාල පීඩනයක් එල්ල විය හැකි නමුත් එය වෙනස් නොකොට දිගටම පවත්වා ගැනීම මත ඔබේ මූල්‍ය ශක්තිය සුරක්ෂිත වෙයි. කෙසේ නමුත්, ඔබේ කෙන්දරයේ ඊශාන දිසාව වූ 11 වැන්නේ ගුරු සහ යුරේනස් ගේ පිහිටීම ඉතා බලවත් වේ.  විදෙස් මුදල් ඉපයීම හෝ විදෙස් රැකියා හෝ විදෙස් අධ්‍යාපනය ලබා ගැනීමට අපේක්ෂා කරන කටක ලග්න හිමියන්ට මෙය වඩාත් වාසිදායක අවස්ථාවක් වේ.

 

 

සිංහ ලග්නය

 

පෙරළිකාර තීරණ ගැනීමට සිදු​ෙවන වසරකි

ඔබේ කේන්දරයේ බටහිර, වයඹ සහ උතුර යන දිසාවන් 2024 අලුත් අවුරුද්ද පුරාම බලවත් වෙනු ඇත. 07 වැන්නේ සෙනසුරු විසින් ඔබට වාසිදායක වෙළෙඳ ගනුදෙනු හෝ සමාජ සබඳතා නිර්මාණය කරයි. 10 වැන්නේ ගුරු සහ යුරේනස් විසින් දේශපාලන, ව්‍යාපාරික, ක්‍රීඩා, සිනමා, කලා, සංගීත ආදී ක්ෂේත්‍රයන්හි නියුතු සිංහ ලග්න හිමියන්ට සුවිශේෂ ජයග්‍රහණ ලබා දෙයි. 08 වැන්නේ රාහු සහ නෙප්චූන් ග්‍රහ පිහිටීම ඉතා සබුද්ධික ලෙස භාවිතයට ගතහොත් එය ද වාසිදායක වෙනු ඇත. වෘත්තීය හෝ වෙළෙඳ ගනුදෙනු ආයෝජන දේපළ සහ හිමිකම් යනාදියෙන් අනපේක්ෂිත ලාබ ප්‍රයෝජන අත්කර ගත හැකිය. අපත්‍ය ආහාරපාන හා අනිසි ඇවතුම් පැවතුම් යනාදියෙන් පරිස්සම් විය යුතුවේ. ගින්දර, ගෑස්, රසායනික ද්‍රව්‍ය යනාදියෙන් මෙන්ම විෂ සහිත සතුන් සහ ශාක යනාදියෙන් හැකිතාක් ඈතින් සිටීමට ද වගබලා ගැනීම මැනවි.
කෙසේ නමුත් 2024 සිංහ ලග්න හිමියන්ට අභියෝගාත්මක සහ පෙරළිකාර තීරණ ගැනීමට සිදුවෙන ජයග්‍රාහී වසරකි.

 

 

කන්‍යා ලග්නය

 

විවාහ දිවියේදී ඉවසිලිවන්තව කටයුතු කළ යුතු කාලයකි

ඔබේ ලග්නයේ නිරිත බටහිර සහ වයඹ යන දිශාවන් බලවත් ලෙස උත්තේජනය වේ. නිරිත දිශාවේ තැන්පත් සෙනසුරු විසින් පහුගිය කාල වකවානුවේ පැවති අස්ථාවර භාවය වෙනුවට ආර්ථික සහ සමාජීය  තත්ත්වයන් සම්බන්ධ ස්ථාවරභාවයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව මැනවින් ලබා දෙයි. ඔබේ කේන්දරයේ බටහිර දිසාව හෝ 7 වැන්නේ තැන්පත් රාහු සහ නෙප්චූන් විසින්  ඔබේ සමාජ සම්බන්ධතා සහ  යුග ජීවිතයට, හවුලේ  කරන වෙළෙඳ ව්‍යාපාර අතුළු ද්විපාර්ශ්වීය ගනුදෙනු කෙරෙහි අහිතකර විපරිත තත්ත්වයන් නිර්මාණය කරනු ලැබේ. යුග ජීවිතය සම්බන්ධයෙන් තමාගේ තනි මතයට අනුගත නොවී දැන උගත් අයගේ උපදෙස් මත තීරණ ගැනීම ඉතා වැදගත් වෙයි. විවාහ ජීවිතයට පිවිසීමට සිටින අය මෙන්ම විවාහ දිවියක් ගත කරන සියලුදෙනාම මේ කාලයේ තරමක් ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වේ. කෙස් නමුත්, ඔබේ කේන්දරයේ වයඹ දිසාව වූ 9 වැන්නේ බලවත් ගුරු සහ යුරේනස්ගේ සංයෝගය කාලයකට පසු උදා වූ බලවත් සංයෝගයකි. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, විද්වත් වෘත්තීන්හි නිරත පර්‌යේෂකයින්ට, තරග විභාග යන ආදියට සූදානම් වෙන අයට මෙන්ම මෙරට මෙන්ම විදෙස් අධ්‍යපනයට යාමට බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න හිමියන්ට මේ ග්‍රහ පිහිටීම ඉතා බලවත් ලෙස උපකාර කෙරේ. දරුවන් සහ ප්‍රේමය පිළිබඳ යම් පසුබෑමකට ලක්ව සිටි කන්‍යා ලග්න හිමියන්ට සැලකිය යුතු මට්ටමේ සාර්ථකත්වයක් ළඟා කර ගැනීමටද මේ ග්‍රහ පිහිටීම ඉවහල් වේ. කෙසේ නමුත් ලග්න ශිර්ෂය වූ නැගෙනහිර මත තැන්පත්වෙන කේතු ග්‍රහයාගේ අහිතකර චර්යාව හේතු කොටගෙන ඔබ ඔබව අවතක්සේරු කිරීමට පෙළඹෙන අතර ඒ හේතු කොටගෙන ලබා ගතහැකි බොහෝ සමාජ ප්‍රතිලාභ ආර්ථික සම්පත් ඔබ විසින්ම අහිමි කරගන්නා ග්‍රහචාරයක් පෙන්නුම් කරනු ඇත. 

 

තුලා ලග්නය

 

ආත්ම ශක්තිය, අභියෝග ජය ගැනීමේ හැකියාව මැනවින් ලැබෙන වසරකි

තුලා ලග්නයෙන් උපන් ඔබේ කෙන්දරයේ දකුණ, නිරිත සහ වයඹ යන දිශාවන් පිළිවෙලින් උත්තේජනය වේ. පස් වැන්නේ වූ ත්‍රිකේණස්ථානයේ  තැන්පත් වූ සෙනසුරු ඔබ තුළ බෙහෙවින්ම ආත්ම ශක්තිය, අභියෝග ජය ගැනීමේ හැකියාව මැනවින් ලබා දෙයි. එය වෘත්තිය ජීවිතය, අධ්‍යාපනය, ප්‍රේමය සහ විවාහය ඇතුළු සියලුම ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි තිරය පිටුපස සිට උදව් කරන්නාවූ මහත් බලයක් ලෙස වසර පුරාම ක්‍රියාත්මක වේ. කේන්දරයේ 6 වැන්න වූ නිරිත දිශාවේ ඉතා බලවත්ව ගමන් කරන රාහු ග්‍රහයා විසින් මොතෙක් ඔබට සුව කරගත නොහැකි රෝගයක් තිබුණේ නම් ඒ සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාවන් උදා වේ. විදෙස් ගත වීම්, විදෙස් මුදල් ඉපයීම හෝ සම්බන්ධ වෘත්තීන්හි නිරත තුලා ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය තමාගේ ජීවිතේ ලැබුණු දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ප්‍රේමය සහ විවාහය මෙන්ම හවුලේ කරන කටයුතු වලදී පහුගිය කාලයේදී ඇතිවූ පසුබෑමේ තත්ත්වයන් සැලකිය යුතු මට්ටමින් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව උදාවේ. ඔබ දැනටමත් අධික මේදය හෝ රුධිරගත සීනි, අක්මාව හෝ වකුගඩු ආශි්‍රත රෝගාබාධයකින් පෙළෙන අයෙක් වේනම් ඉදිරි වසර ඔබට බෙහෙවින්ම පරිස්සම් වීම සඳහා ග්‍රහචාරය විසින් උපදෙස් දෙනු ලැබේ. සෞඛ්‍ය පැත්ත කෙරෙහි තරමක අවදානමක් ඇති කරන නමුත් ඔබට උසස් අධ්‍යාපනය, දේපල හිමිකම් ලැබීම්, තරග විභාග ජයග්‍රහණය කිරීමට මේ ග්‍රහචාරය හේතු වේ. ගින්දරෙන් මෙන්ම විෂ රසායනික ද්‍රව්‍ය වලින් පරිස්සම්වීම මැනවි. නුපුරුදු ආහාරපානයන්, විසකුරු සතුන්ගෙන් පරෙස්සම් විය යුතු වේ. කෙසේ නමුත් 2024 ඔබට කාලයකට පසුව උදා වූ ජයග්‍රාහි වර්ෂයක් වෙනු ඇත.

 

වෘෂ්චික ලග්නය

 

සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කාලයකි.

වෘෂ්චික ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ දකුණ, නිරිත සහ බටහිර යන දිශාවන් ඉතා මැනවින් උත්තේජනය වෙමින් තිබියදී 2024 අලුත් අවුරුද්ද උදා වේ. මෙහි 4 වැන්නේ වූ සෙනසුරුගේ බලය නිරුපද්‍රිත හෙයින් දේපළ හිමිකම් සම්බන්ධයෙනුත්, ඉදිකිරීම් හා කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙනුත් නිරත වෙන වෘශ්චික ලග්න හිමියන්ට හොඳ ප්‍රතිලාභ ලබාගත හැකිය. එමෙන්ම ස්ථාවර ආර්ථිකයක් සඳහා හොඳ ආයෝජන රැකියා අවස්ථා සොයමින් සිටි අයට ඉතාම සුබ පල ගෙන දේ. මේ වෙන විට ඔබේ කේන්දරයේ 5 වැන්න  ත්‍රිකෝණස්ථානයේ ගමන් කරන නෙප්චූන් සහ රාහු යන සංයෝගය ඔබේ රැකියාව, විවාහය, අධ්‍යාපනය, ප්‍රේමය කෙරෙහි ඇති කරන්නේ හිතකර බලපෑමක් නොවේ. මේ වෙන විට ඔබ රැකියාවක් කරමින් සිටින්නේ නම් අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් එළඹෙන කුමන බලපෑමක් මත වුවත් ඔබගේ කැමැත්තෙන් රැකියාව හැර යාම හෝ වෙනස් රැකියා සඳහා යොමු වීම මේ කාලය තුළ ඔබට අවාසි සහගත වෙනු ඇත. ප්‍රේමය සහ විවාහය  තුළ ඇතිවන්නා වූ වැරදි වැටහීම් හේතුවෙන් එකිනෙකා මග හැරීමේ හේතු මත අහිතකර තත්ත්වයන් උද්ගත විය හැකිය. ඒ නිසා ඔබ වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වේ. නෙප්චූන් සහ රාහුගේ සංයෝගය තරමක් විසකුරු වුවත් නෙප්චූන් ග්‍රහයා තනි වශයෙන් ගත් කල ඉතා නිර්මාණශීලී ප්‍රබුද්ධ අයෙකි. රාහුගෙන් ඇතිවෙන විසකුරු තත්ත්වය පිරිපහදු කොටගැනීමට ඔබ සමත් වෙන්නේනම් උසස් ගණයේ නිර්මාණශීලී හැකියාවක් සහ උසස් ගණයේ අධ්‍යාපනික හැකියාවක් ඔබ තුළින් මතු කර ගැනීමට ඉඩ කඩ පවතී. හවුල් කටයුතුවලින් වාසි ලැබේ. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම 2024 වර්ෂයේ අගෝස්තු සිට නොවැම්බර් අතර කාලයේදී ඔබ ගන්නා ආහාර පාන සහ  ගමන් බිමන් ආදියේදී වඩා පරිස්සම් විය යුතු කාලයකි.

 

ධනු ලග්නය

 

නිර්මාණශීලී ප්‍රබුද්ධ සිතිවිලි ඇති කරන කාලයකි.

ධනු ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ දකුණු දිශාව ගිනිකොන දිශාව සහ නිරිත දිශාව මැනවින් උත්තේජනයව තිබියදී අලුත් අවුරුද්ද උදා වෙනු ඇත. තුන් වැන්නේ පිහිටි සෙනසුරු විසින්  සහජ හැකියාවන් සඳහා හොඳ අවස්ථාවන් සපයා දෙන අතරේ ඔබේ කුසලතාවන් එළිදැක්වීමටත් මෙමගින් අවස්ථාව උදාවේ. මෙරට සහ එතෙර යන අංශ දෙකේදීම උසස් රැකියා අවස්ථා ලැබීමේ භාග්‍යය හිමි වේ. තම හැකියාවන් පරිදි රැකියා උසස් වීම් ලැබෙන කාලයකි. කේන්දරයේ හතරවැන්න වූ දකුණේ තැන්පත් වූ රාහු සහ නෙප්චූන් යන ග්‍රහයන්ගේ සංයෝගය ඔබට වඩාත් බෙහෙවින් හිතකර තත්ත්වයක් උදා කරනු ඇත. නෙප්චූන් විසින් ඔබ තුළ ඉතාම නිර්මාණශීලී ප්‍රබුද්ධ සිතිවිලි ඇති කරන අතර රාහු ග්‍රහයා විසින් ඒවා සමාජයේ වේගයෙන් ව්‍යාප්ත කිරීමටත් ඉන් ඔබට ලැබිය යුතු ප්‍රතිලාභ ලබා ගැනීමටත් විශාල සහායක් දෙනු ලැබේ. විවිධ පර්‌යේෂණයන්හි නිරත ධනු ලග්න හිමියන් වෙත්නම්, ඒ වගේම කලාව, ජනමාධ්‍ය ක්ෂේත්‍ර,  ක්‍රීඩා යනාදිය වැනි නිතර මහජන අවධානයට යොමුවෙන වෘත්තිකයෙක් නම් සමාජ ප්‍රසාදය ලබාගැනීමට හැකියාව ලැබේ. ඔබේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා 6 වැන්නේ  ගමන් කිරීම හිතකර තත්ත්වයක් නොවේ. අමාශ සහ ආහාර ජීරණ ක්‍රියාවලිය සම්බන්ධ රෝගාබාධයන්ගෙන් පෙළෙන සහ රුධිරගත මේදය, දියවැඩියාව, අක්මා වකුගඩු රෝග ඇති ධනු ලග්න හිමියෙක් වෙත්නම් පරිස්සම් විය යුතුය. යුරේනස් ග්‍රහයාගේ සහ ගුරුගේ සංයෝගය හේතුකොට ගෙන ඔබට එරෙහිව එන සතුරු බලවේග පහසුවෙන් මැඩ පවත්තා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සමස්තයක් ලෙස ගත් කල, සෞඛ්‍ය රැකගැනීමේ කොන්දේසියට යටත්ව ගත්කල 2024 ධනු ලග්න හිමියන්ට ජයග්‍රාහි වසරක් බවට පත්කර ගැනීමට හැකියාව පවතී.

 

මකර ලග්නය

 

වෘත්තිය හැකියාවන්ගෙන් ඉහළ පෙළේ ජනප්‍රසාද

මකර ලග්නයෙන් උපන් කේන්දරයේ ගිනිකොන දිශාවත් දකුණු  දිශාවත් නිරිත දිශාවත් මැනවින් උත්තතේජනයව තිබියදී 2024 අලුත් අවුරුද්ද උදා වේ. ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරන සෙනසුරු ලග්න ඒරාෂ්ටකයක්ය යන අනියත බිය තවදුරටත් ඇතිකරගත යුතු නොවේ. මෙය ඔබට ස්ථාවර ආර්ථිකයක් හා ස්ථාවර වෘත්තීමය තත්ත්වයක් ඇති කර ගැනීමට බෙහෙවින්ම උදව් වේ.  කේන්දරයේ තුන් වැන්න වූ ගිනිකොන දිශාවේ බලවත් වෙන නෙප්චූන් සහ රාහු විසින් වෙනදාට වඩා නිර්මාණශීලීභාවයක් සහ ඔබගේ හැකියාවන් සමාජගත කිරීමටත් සමාජයේ වැඩි ආකාර්ෂනයක් ජනප්‍රසාදයක් සහ ජනකාන්තභාවයක් ලබා ගැනීමටත් උදව් උපකාර සලසන හෙයින් නව නිර්මාණ කරන මකර ලග්න හිමියන්ට මේ කාලය ඉතාම වාසනාවන්ත කාලයකි. ඒ වගේම ක්‍රීඩා, සිනමා, සංගීත, ජනමාධ්‍ය ක්ෂේත්‍ර සහ මහජනතාවගේ අවධානයට වැඩිපුර ලක්වෙන ක්ෂේත්‍රයන්හි නිරත මකර ලග්න හිමියන්ට සමස්ත වසර පුරාම තම වෘත්තිය හැකියාවන්ගෙන් ඉහළ පෙලේ ජනප්‍රසාදයක් දිනා ගැනීමටත් හොඳ වෘත්තිය අවස්ථාවන් ලබා ගැනීමටත් මෙරට සහ එතෙරින් ධනය ලැබීමටත් හොඳ පසුතලයක් නිර්මාණය වේ. එමෙන්ම ලග්නයෙන් පස්වැන්නේ වූ ත්‍රිකොණස්ථානයේ ක්‍රියාත්මක වෙන ගුරු සහ යුරේනස් සංයෝගය උසස් අධ්‍යාපනය හදාරන්නන්ට සහ අධ්‍යාපන පර්යේෂණ කටයුතු වලට ඉතා ප්‍රබල පිහිටීමකි. අලුත් විෂයයන් ඉගෙන ගැනීමට වාසනාව ඇති අතර තරග විභාග වලින් ජයගැනීමේ හැකියාව ඇත. සමස්ථයක් ලෙස ගත්කල, වෘෂභ ලග්න හිමියන් මෙන්ම මකර ලග්න හිමියන්ටද විජයග්‍රාහි වසරකි.

 

 

කුම්භ ලග්නය

 

දේපළ හිමිකම් වාසනාව

කුම්භ ලග්නයෙන් උපන් ඔබේ කේන්දරය නැගෙනහිර, ගිනිකොන, දකුණ යන දිශාවන් විපරිත ලෙස උත්තේජනය වෙමින් තිබියදී 2024 අලුත් අවුරුද්ද වුදා වේ. ලග්නය මත මේ මොහොතේ ක්‍රියාත්මක වෙන සෙනසුරු ඔබට ලග්න ඒරාෂ්ටකයක් උදාකරන්නේය යන අනියත භීතිය තවදුරටත් තබාගත යුතු නොවේ. ලග්නය මත මේ මොහොතේ ක්‍රියාත්මක වෙන සෙනසුරු ඔබ තුළ ආත්ම ශක්තිය, ස්ථීරභාවය, මැනවින් ලබා දෙන හෙයින් එය ඔබට ආශීර්වාදයක් වෙනු ඇත. කෙසේ නමුත් ලග්නයෙන් දෙවැන්න වූ ගිනිකොන දිශාවේ ගමන් කරන රාහු සහ නෙප්චූන් යන ග්‍රහ සංයෝගය හිතකර සංයෝගයක් නොවේ. අහාර විෂ වීම් ඇතිවිය හැකි බැවින් ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් විය යුතුවේ. හවුල් කටයුතු වලට දායකවීම්‍ වලින් වැළකී සිටීම නුවණට හුරු වේ. එමෙන්ම තුන් වෙනි පාර්ශ්වයන් සමග කටයුතු කිරීමේදී අන් අයගේ  මුදල් සම්බන්ධයෙන් හානි පැමිණවිය හැකි බැවින් අන් අයගේ කටයුතු වලට මැදිහත් වීම හැකිතාක් වැළකී සිටීම මැනවි. කේන්දරයේ දකුණු දිශාව වු හතර වැන්නේ ඉතා බලවත්ව ගුරු සහ යුරේනස් ගමන් කරන හෙයින් දේපල හිමිකම් වාසනාව ඇත. ලංකාව තුළ සහ විදේශගත උසස් අධ්‍යාපනයට මෙන්ම විදෙස් රැකියාවකට යාමට සූදානම් වූවන් වේ නම් සාර්ථක වෙනු ඇත. කෘෂිකාර්මික හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කුම්භ ලග්න හිමියන්ටත් මේ කාලය සාරවත් ප්‍රතිඵල ලැබෙන කාලයකි. එමෙන්ම චර්ම රෝග හටහැනීමට වගේම ඒවා ශරීරය පුරා පැතිර යාම සිදුවිය හැකි බැවින් සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.

 

මීන ලග්නය

 

විදෙස් අධ්‍යාපනයට, විදෙස් රැකියාවට සුබ කාලයකි 

මීන ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ ගිනිකොන දිශාව වූ දෙවැන්න විපරිත ලෙස උත්තේජනය වෙමින් තිබියදී අලුත් අවුරුද්ද උදා වේ. එමෙන්ම නැගෙනහිර දිශාව වූ ලග්නය මත රාහු සහ නෙප්චූන් ග්‍රහයන්ගේ පිහිටීම එක්තරා අතකින් යහපත් වෙන අතර තවත් පැත්තකින් අයහපත් වේ. විශේෂයෙන්ම ඔබ තුළ හට ගන්නා වූ ඔබ පිළිබඳ  අධිතක්සේරුවකට හෝ අවතක්සේරුව යන අන්ත දෙකටම නොයා මැදිහත් සිතකින් ඔබේ හැකියාව සහ අවස්ථාවන් තක්සේරු කරගැනීමට ඔබ සමත් වෙන්නේ නම් මේ වසර ඔබට අභියෝගාත්මක ආරම්භයක් වෙනු ඇත. යුග ජීවිතය පිළිබඳ තීන්දු ගැනීමේදී තමාගේ තනි මතයට වඩා අන් අයගේ අදහස් වලට සවන් දීම සිදු කිරීම යහපත් වේ. මානසික පීඩනය තරමක් වැඩිවිය හැකි හෙයින් සූරිය පිරිත, හෝ අභිසම්භිධාන පිරිත සජ්ඣායනා කරන්නේ නම් ඔබට එළඹීමට තිබෙන අයහපත් දේවල් වලින් මිදීමට උපකාරි වේ. කෙසේ නමුත් ඔබේ කේන්දරයේ ගිනිකොන දිශාවේ තැන්පත් වෙන ගුරු සහ යුරේනස් විසින් ඔබේ ශරීරයේ අස්ථි පද්ධතිය සහ ස්නායු කෙරෙහි තරමක අහිතකර භාවයක් ඇතිකරවන හෙයින් ශාරීරික ව්‍යායාම හා ඇවතුම් පැවතුම්වලදී විශේෂයෙන්ම ස්නායු රෝගාබාධ, කොඳු ඇට පෙළ ආශි්‍රත රෝග පීඩා ගෙනදිය හැකිය. ඒ නිසා සෞඛ්‍ය පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුවේ. එමෙන්ම විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටන අයට මෙන්ම විදෙස් අධ්‍යාපනයට යාමට උත්සාහ කරන මීන ලග්න හිමියන්ට මෙය උචිත කාලයක් වේ. එමෙන්ම ක්‍රීඩා සහ දේශපාලන, ව්‍යාපාරහි නිරත මීන ලග්න හිමියන්ටත් මේ කාලය තරමක රැඩිකල් විප්ලවකාරී තීරණ ගැනීමට බල කෙරේ. නමුත් තනි මතයට හිතුවක්කාර තීරණවලට නොයා යුතුය. ලග්නයෙන් 12 වැන්නේ සෙනසුරු ගමන් කළත් එය ලග්න ඒරාෂ්ටක යන අනියත බිය ඇතිකරගත යුතු නැත. ඔබේ ග්‍රහචාරය තරමක් අහිතකර නමුත් ලග්නයෙන් 12 වැන්නේ පිහිටන සෙනසුරු ඔබට ඒ සියළු අභියෝග ජය ගැනීමට හැකි ශක්තිය නොඅඩුව සපයා දෙන හෙයින් අභියෝගයන් ජය ගැනීමේ හැකියාව පවතී.
 



අදහස් (1)

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?

Samansantha Thursday, 18 April 2024 06:29 PM

මෙව්වා බොරුනේ.. මොවුන් කියන්නේ කෝ මේ කියපු දේවල් එකක්වත් වුණාද? කුම්භ ලග්නයට මොවුන්ට පිස්සු අය බොරු කියනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා
2024 අප්‍රේල් මස 29 232 3

ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හම


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 411 0

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 753 1

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 148 1

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 791 4

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 196 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1788 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site