රටක විදේශ ප්‍රතිපත්තිය හා එය ලෝකයේ සෙසු රටවල් සමඟ කෙසේ පවත්වාගෙන යන්නේ ද යන කාරණය වටා බලය සංසරණය වේ. රටවල් ඉහළම ප්‍රමුඛතාව දී ඇත්තේ, ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා විදේශ සම්බන්ධතා, ආර්ථික හා දේශපාලන පැවතුම්වලට අදාළ ප්‍රතිපත්ති, දේශපාලන පැවැත්ම, ආර්ථික කළමනාකරණය හා ආර්ථිකය පවත්වාගෙන යෑම හා යහපත් මිත්‍රශීලි විදේශ සම්බන්ධතා කෙරෙහිය. ඒ සියල්ල මත රටේ තත්ත්වයත්, ආර්ථිකයෙන් උකහාගත හැකි වාසි සහගත ස්වභාවයත් පිරික්සා බැලිය හැකි වේ.

විදේශ සේවා නිලධාරීන් එකිනෙකා මීවිත තොලගාමින් හා සමාජානුයෝජනය වෙමින් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල කීර්තිනාමය පවත්වාගෙන ගිය යුගය දැන් හමාර වී තිබේ. තානාපතිවරුන්ට ඵලදායිතා ප්‍රතිඵල පෙන්විය හැකි ඉලක්ක මේ වන විට දී තිබේ. ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන්, අපේ තානාපතිවරුන් මෙන් සැප වාහන, නිවාස හා අනාගත වාසි තකා කටයුතු නොකර ව්‍යාපාර සම්බන්ධතා ගොඩනගාගනිමින්, ඊට අදාළ ගිවිසුම් ඇති කරගන්නට වෙහෙසෙන අයුරු ඔබට පෙනී යනු ඇත.

තානාපතිවරු තම රටවල් නියෝජනය කරමින් පෙරමුණ ගන්නවුන්ගෙනුත් පෙරමුණේ සිටිනා අය වෙති. තමන්ගේ රටේ සුබසිද්ධිය තකා, එහි ප්‍රතිරූපය නංවාලමින්, ජාත්‍යන්තර ආර්ථික සබඳතාවලට ප්‍රමුඛත්වය දෙමින් ආර්ථික හා ව්‍යාපාර පදනම් කරගෙන ක්‍රියා කරන ඔවුනට සෑහෙන තරමින් වැටුප් ගෙවන අතර බදු ගෙවන්නන්ගේ මුදලින් උත්පාදනය වන අදාළ සියලු වරප්‍රසාද ද ඔවුනට පිරිනමනු ලබයි.

තානාපතිවරයකු ඉවසීමෙන් අනුනට ඇහුම්කන් දෙන උගත්, බුද්ධිමත් අත්දැකීම් සහිත නිපුණ පුද්ගලයකු විය යුතුය. තමා නියෝජනය කරන රටේ සියලුම ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් දැනුමක් ඔහුට තිබිය යුතුය. අපේ රට නියෝජනය කරන කී දෙනෙක් එකී අපේක්‍ෂිත මට්ටමෙන් කටයුතු කරන්නේ ද යන්න සාර්ථකව පිළිතුරු දෙන්නට අසීරු ප්‍රශ්නයකි. අපගේ ළඟම අසල්වැසි ඉන්දියානුවන්ගෙන්, අපි ඒ ගැන ඉගෙනගත යුත්තෙමු.
අපි ජිනීවා ගැටලුව සම්බන්ධයෙන් අමාරුවේ වැටී සිටිමුද? සත්තකින්ම නැත. අප එක්සත් ජාතීන් සමග නිසි අන්තර් ක්‍රියාවකට අදාළ පදනම දමා ගන්නා වසර මෙම වසර වනු ඇත. කොරෝනා වසංගතයට ස්ථිර විසඳුමක සලකුණක් නොපෙනෙන මායිමක අලුත් පිළිවෙළකින් සැදි ලෝකයේ නව රාජ්‍යතාන්ත්‍රික දැක්මක් අපට ඇතිකර ගත හැකිවනු ඇත. අප ඒ සමඟ ජීවත් වෙමින් ඒ තුළ පවතින ක්‍රමය සහ ඒ තුළ සිටිනා ජාතීන් සමඟ අපට වසන්නට සිදු වනු ඇත.

ජෝ බයිඩන් ජනාධිපති පදවියේ රාජකාරි භාරගත් සැනින් විදේශ ප්‍රතිපත්තිවලට අත තැබුවේ මැදපෙරදිග ප්‍රදේශවලට එල්ල කරන ගුවන් ප්‍රහාර නැවත ක්‍රියාත්මක කරමිනි. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිවලට හාත්පසින් වෙනස්ව යමින් ඇ.එ. ජනපද විදේශ ප්‍රතිපත්ති මූලෝපාය වෙනස් කරමින් වෙනස් දැක්මක් අනුව කටයුතු කරන්නට ගත්තේය. ඒ අනුව රුසියානු සමූහාණ්ඩුවේත්, චීනයේත් සමස්ත ලෝකයෙත් විදේශ ප්‍රතිපත්ති නැවත සකස්වනු ඇත.

රටවල් සතු බලය කුඩා හෝ ලොකු වුවත් විදේශ ප්‍රතිපත්තිය සෘජුවම සෙසු ලෝකයට සම්බන්ධ ආර්ථික හා ආර්ථික ප්‍රතිපත්ති සමග අන්තර් සම්බන්ධතා ඇති කරගනු ලබන්නේය.
ජිනීවාහි මේ දිනවල කුමක් සිදුවේද? ඇ.එ. ජනපදය මානව හිමිකම් කොමිසමට ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස නැවත අවතීර්ණය වීමට උත්සාහ දරමින් සිටී. මේ දිනවල ඔවුහු බලය පැවරීමට අදාළ කටයුතුවල නිරත වී සිටිති. ජිනීවා හි සිදුවන තවත් දෙයක් නම්, ප්‍රධාන වශයෙන් ආර්ථික හා දේශපාලන වාසි උදෙසා ස්වාධීන රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ හරස් කැපීම කරමින් ඒවායේ දේශීය ප්‍රතිපත්ති ව්‍යාප්ත කිරීමය.

මූලික සමූහයේ සාමාජික රටවල්, ඉදිරියේ එන මානව හිමිකම් කොමිසමේ සැසිවල දී ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන කටයුතු කරන්නට සැරසී සිටිති. එය අප්‍රිකානු රාජ්‍යවල සාමාජිකයන් 13කුගෙන් ආසියා පැසිෆික් රටවල සාමාජිකයන් 13 කුගෙන් නැගෙනහිර යුරෝපා සාමාජිකයන් 6 දෙනෙකුගෙන් ලතින් ඇමෙරිකානු කැරිබියන් සාමාජිකයන් 8 දෙනෙකුගෙන්, බටහිර යුරෝපා සාමාජිකයන් හත් දෙනෙකු (සියලුම සාමාජික රටවල් 47කි) ගෙන් සමන්විත වේ. මෙම සාමාජිකයන් එක්ව මානව හිමිකම් මහ කොමසාරිස්ගේ නායකත්වයෙන් හෙබි පොදු රැස්වීමක දී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය. අද දවසේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ සියලු අවධානය යොමු වී ඇත්තේ මානව හිමිකම් මහකොමසාරිස් වෙතය. අප නැවත එම කාර්යයේ නිරත වී සිටින අතර වෙහෙසී කළ යුතු කාර්ය රාශියක් අප ඉදිරියේ ඇත. අපගේ රාජ්‍යතාන්ත්‍රික නිපුණතා ඉවහල් කරගෙන ඔවුන් වෙනස් කරලීමට තවමත් ප්‍රමාද නැත.

මෙය බැරෑරුම් ගැටලුවක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන සෑම ශ්‍රී ලාංකිකයකුම ශ්‍රීලංකාවේ අනාගත ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට හැකි තරමින් දායක විය යුතුය. ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවර ගැනීමට සැලසුම් කර තිබිය දී චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමේදී විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා පුරෝගාමීව කටයුතු කර ඇති බව පෙනී යයි. එහි දැඩි පියවර එක්සත් ජාතීන් හරහාත්, මූලික සාමාජික රටවල් සමූහය හරහාත් ක්‍රියාත්මක කිරීමට මාන බලමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඇතැම් රටවල් දිවා රෑ නොබලා තම මතයට අනෙක් රටවල් නම්මා ගන්නට උත්සාහ ගනිමින් සිටිති. අප වෙහෙසී කටයුතු කළහොත් මූලික රටවල් සමූහයේ මතය අපට වෙනස් කළ හැකිය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය මොහොතේ රට වෙනුවෙන් පෙනී නොසිට ශ්‍රී ලංකාව විවේචනය කරන රාජ්‍ය නොවන සංවිධාන හා සමාජ ක්‍රියාකාරීහු සිටිති. අහිතකර ප්‍රචාර සිදුවන්නට ඉඩ නොදී මේ රට වෙනුවෙන් පෙනී සිටීමට කාලයයි. කොරෝනා වසංගතයෙන් කරදරවලින් ගොඩඑමින් එහි හොඳ මට්ටමකට පැමිණ ඇති මෙම කාලයේ, අප ගන්නා සෑම පියවරක්ම රටේ ආර්ථිකයටත්, අනාගතයටත් බලපානු ඇත.

මිලියන ගණන් මුදල් ලැබෙන ඩයස්පෝරාවට එරෙහිව සටන් කිරීමේ කාර්යයේ යෙදෙමින් තානාපති සංසදයේ අප අසීරුවෙන් අරමුදල් සොයා ගනිද්දී, හිටපු අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ යෙදෙන දේශීය හා විදේශීය අරමුදල් ලැබෙන ප්‍රමුඛ ආයතනය වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කොහේ සිටීද?

අපගේ රටේ ප්‍රතිරූපයටත් ආර්ථිකයටත් ඉදිරියේ දී ජිනීවා ක්‍රියාමාර්ග නිසා සිදුවිය හැකි බලපෑම්වලින් රට ආරක්‍ෂා කිරීමට දායක වීමට මෙරටත්, විදේශවලත් සිටිනා ශ්‍රී ලාංකිකයන්ට කාලය පැමිණ තිබේ.
දේශීය ප්‍රතිපත්තිවල දිගුවක් වූ විදේශ ප්‍රතිපත්තිවලට ස්වාධීන රාජ්‍යයන්ගේ දේශීය නීතිය අනුව 2 (7) වගන්ති අනුව ආරක්ෂාව සැපයේ. එහෙත් ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ (VIII) වගන්තිය යටතේ බැවින් මෙම ආරක්‍ෂාව එහිදී සැපයෙන්නේ නැත.

ඇ.එ. ජනපදය, රුසියාව, චීනය, ජපානය, යුරෝපා සංගමය, එ. රාජධානිය යන ධනවත් රටවල් ධනය ගොඩගසාගෙන සංචිත රැස්කර ගෙන ඇත. එම රටවලට කුඩා ජාතීන් අවශ්‍ය වන්නේ තම භාණ්ඩ බෙදාහැරීම, ආර්ථික බලය හුවමාරු කරගැනීම, අමුද්‍රව්‍ය මූලාශ්‍ර ලෙස හා චන්ද්‍රිකා තාක්‍ෂණය සමිපයේ ස්ථානගතව තිබීම යන අවශ්‍යතා නිසාය. එම නිසා සම්පත් බහුල නොවූ කුඩා රටවල් දැඩි අසීරුතාවට පත් වේ. රටේ ප්‍රතිරූපය නැංවීමේ කටයුතුවලට නායකත්වය දිය යුතු මෑත දී පත් කරන ලද උගත් බුද්ධිමත් දක්‍ෂතා පූර්ණ තානාපති බලමුළුව හා විදේශ කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපති වන ප්‍රබල සම්බන්ධතා ඇති හිටපු අමාත්‍යවරයා හා එක් වී ක්‍රියාකාරී ලෙස අන්තර්ජාල සාකච්ඡාවල යෙදෙමින්, අපගේ මතයට වෙනත් රටවල මතය නම්මා ගැනීමට දැන් කාලය එළඹ ඇත.

ගැටලු සමඟ පිටතින් සහ ඇතුළතින් ඇති කරන පීඩනය එල්ල කරමින් ලෝකයේ ඉහළින් වැජඹෙන රටවල් තමන්ගේ වාසිය තකා අනෙක් සමස්ත රටවල් සූරාකන්නට මානබලමින් සිටී. විශේෂයෙන්ම බටහිර රටවල්, කුඩා රටවලට මෙම පීඩනය එල්ල කරමින් සිටී. සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, ඊශ්‍රායලය වැනි රටවල් කරන්නා සේ කුඩාවුන්ද, බලවතුන් මෙන් බලසම්පන්න බව පෙන්වීමට දැන් කාලය එළඹ තිබේ. ඉහත කී රටවල් විශාල රටවල් එල්ල කරන පීඩනය ඉදිරියේ නොනැමී සිටින්නට සමත්වී ඇත. කුඩා රටවල් එකට බැඳී අධිෂ්ඨානශීලීව  වෙහෙසී කටයුතු කොට තම බලය පෙන්විය යුතුය. සියල්ල මෙසේ සිදු වෙද්දී ඊශ්‍රායලය විසඳුම් යෝජනා 181කට මුහුණ දී ඇත. තවත් එවැනි යෝජනා 50ක් ඔවුන්ට ඉතිරිව තිබේ. එහෙත් න්‍යෂ්ඨික බලවතකු මෙන් එරට ජයග්‍රාහිව නැගී සිටී. ලෝක ආර්ථික බලවතුන්ට එරෙහිව සටන් වදින ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහිත ශක්තිමත් කුඩා රටවල් (කණ්ඩායම්) සමූහගත වී තිබේ. එම සමූහ සමග එක් වී රාජ්‍යතාන්ත්‍රික නිපුණතා සහ ආර්ථික උපාය මාර්ග භාවිත කරමින් ජාත්‍යන්තර ආර්ථික සබඳතාවලට මූලිකත්වය දීමට තරම් අප උපක්‍රමශීලි විය යුතු වේ.

සාර්ක් යනු යුරෝපා සංගමය මෙන් කටයුතු කිරීමේ අරමුණෙන් පිහිටුවා ගන්නා ලද ජාත්‍යන්තර සංවිධානයක් වුවද, සමූහයේ සාමාජික රටවල් අතර තරගකාරිත්වය නිසා අරමුණු ජය ගැනීමට අසමත් වූයේය. ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව යන රටවලින් එම සංවිධානය සමන්විත වේ. බෙංගාල බොක්ක සමීපයේ රටවල් වූ බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රීලංකාව තායිලන්තය, භූතානය, ඉන්දියාව, මියන්මාරේ සහ නේපාලය යන සාමාජික රටවල් එක්වී BIMSTEC සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ වෙළඳ භාණ්ඩ 175ක් සහ සමස්ත ආනයන භාණ්ඩ 235ක් සම්බන්ධ කටයුතු උදෙසාය.
ASEAN සංවිධානය සමන්විතව ඇත්තේ බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕස්, මැලේසියා, මියන්මාර්, පිලිපීන දූපත්, සිංගප්පූරුව, තායිලන්තය හා වියට්නාමය යන රටවලිනි. එකට එක් වී සමූහගතව රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගනිමින් ආර්ථික හා දේශපාලන ක්‍රියාකාරකම් උදෙසා කටයුතු කිරීම අපට වාසි සහගතය.

ශ්‍රී ලංකාව විසඳුම් යෝජනා ප්‍රතික්‍ෂේප කළ යුත්තේ ඇයි? අප වෙන කුමක් කරන්නද? මේ වන විටත් වැරදිබව කියා අප ප්‍රතික්ෂේප කර ඇති (30/1) යෝජනා මෙදා සාදා ගත යුතු යයි ඔබ කියන්නේද? අප එම විසඳුම් යෝජනා ප්‍රතික්ෂේප කළ යුතුවා පමණක් නොව ඒවාට එරෙහිව නිසි කරුණු දක්වමින් නිර්දය ප්‍රහාර එල්ල කිරීම ද කළ යුතුවේ. ශ්‍රී ලංකාවට එරෙහිව වෙහෙස නොබලා කටයුතු කරමින්, ඩයස්පෝරාව දෙන වැරදි තොරතුරුවලින් නොමග ගොස් ඇති මූලික රටවල් සමූහයේ චෝදනාවලට එරෙහිව සංඛ්‍යා ලේඛන සහිතව රාජ්‍යතාන්ත්‍රික සබඳතා යොදාගෙන අප එකී ප්‍රහාර එල්ල කළ යුතු වේ.

ශ්‍රී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ.ය උදෙසා ළමා සොල්දාදුවන් සූදානම් කරමින්, කාන්තා එල්.ටී.ටී.ඊ. සමූහයේ නායකත්වය දැරූ ත්‍රස්තවාදී කටයුතුවල දී පුරෝගාමීව ක්‍රියා කළ ඇඩෙලා බාලසිංහම් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද? Geneva Crisis The Way Forward” පොතේ, සංඛ්‍යා ලේඛන සහ නිවැරදි කරුණු ඇසුරෙන් අපට එල්ල වූ මරණ සංඛ්‍යාව පිළිබඳ වැරදි චෝදනාවලට නිසි පිළිතුරු දී තිබේ. එක්සත් රාජධානියේ නේස්බි සාමිවරයා සහ ඔස්ට්‍රේලියාවේ රොබර්ට් ද විශිෂ්ට ලෙස කරුණු දක්වමින් විස්තර ඉදිරිපත් කොට ඇත.

අපට ඉදිරිපත් කරන්නට ප්‍රබල කරුණු ඇත. ඇතැම් කරුණු අපට ඵලදායී ලෙස ඉවහල් වන අතර ඇතැම් ඒවා එසේ නොවේ. අවාසනාවකට මෙන් අකාර්යක්ෂමතාව ඇත්තේ අපගේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පැත්තෙන් සහ ක්‍රියාකාරීන්ගේ පැත්තෙනි. අහඹු තර්ක විතර්කවල නොපැටලී සත්‍ය කරුණු සහ සංඛ්‍යාලේඛන අධ්‍යයනයක් මත පිහිටා අප කෙරේ නම්මා ගැනීමේ ව්‍යාපාරය තානාපතිවරු කීදෙනෙක් කරත්ද? බොහෝ රටවල් අප රටේ ගැටලුව බොස්නියාවේ සහ දකුණු අප්‍රිකාවේ සිදුවූ ගැටලු හා සසඳා වැරදි මතවල පිහිටා සිටිති.

තානාපතිවරු බුද්ධිමතුන් හා දේශහිතෛශී මතධාරීන් හා එක්ව කටයුතු කළ යුතුය. ඔවුන් ලිපි කීයක් පළකොට ඇත්තේද? අන්තර්ජාල සාකච්ඡා කීයක් මෙහෙයවා තිබේද? දේශප්‍රේමී පුරවැසියන්ගෙන් රටට ඇති ආදරය වෙනුවෙන් කුමක් කර ඇත්තේ ද කියා ඔවුන් කීදෙනෙක් විමසා තිබේද? අවශ්‍ය දේ කිරීමට තවමත් ප්‍රමාද නැත. ඊශ්‍රායලය විසඳුම් යෝජනා 180 ක් හා 50 කට එරෙහිව සටන් කළේය. අපට විරුද්ධව ඇත්තේ 9ක් පමණකි. තතු ඉගෙන අපි නිවැරදි වෙමු. මෙය කරමින් පවතින කාර්ය භාරයක් නිසා අප දැන් හෝ කටයුතු ආරම්භ කළ යුතුය. අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීමේ දී තානාපතිවරුන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ යුතුය. රජය විසින් නිසි තානාපතිවරුන් ඒ සඳහා තෝරා පත්කළ යුතුය. කථනයේ හා ලිවීමේ දක්ෂතාව ඇති රාජ්‍යතාන්ත්‍රික දක්ෂතා කඩිනමින් උකහා ගත හැකි අය ඒ සඳහා යොදා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සම්බන්ධයෙන් ලෝකයට දී ඇත්තේ තනිකර වෙනස් චිත්‍රයකි. මෙරට දෙමළ ජනගහනයෙන් සියයට 60 දෙනා ජීවත් වන්නේ උතුරු නැගෙනහිරට පිටතින් බවත් බහුතරයක් දෙමළ ජනයා ජීවත් වන්නේ කොළඹ බවත් ලෝකය දන්නේද? රටේ ආර්ථික බලය ඇත්තේ දෙමළ සහ මුස්ලිම් ජනයා අතේ බවත් එය සිංහල බහුතරය විසින් ඉවසා වදාරාගෙන ඔවුන් හා අන්තර් විවාහ ඇතිව සහ රට පුරා ව්‍යාපාර කටයුතු බෙදා හදාගෙන ඉන්නා බව ලෝකය දනීද?

ලෝකයේ වෙන කිසිම ප්‍රදේශයකට වඩා මෙරට සුළුතර ජනයා ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇත. ඇඑජ යෙන් එ.රාජධානියේ සුළුතර ජනයාට වඩා වැඩි ආරක්ෂාවක් මෙරට සුළුතර ජනයාට ඇත. උතුරු නැගෙනහිර සිදුකර ඇති සංවර්ධන කටයුතු හා අධ්‍යාපනය උදෙසා ප්‍රදේශයේ සිදුකොට ඇති ආයෝජන හා ඒවායේ ආර්ථික වාසි කොපමණ වේද?

අපට බොහෝ මිතුරු රටවල් ඇත. අනෙක් රටවල් ද අප රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලින් දිනාගත යුතුය. අපට යහපත් වූ නිසියාකාර, පහසුවෙන් අවබෝධකර ගත හැකි විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුය. අපට  ඉගෙන ගන්නට බොහෝ දෑ තිබේ. ඒ අතර තානාපති මෙහෙවර ආශ්‍රයෙන් බොහෝ දේ වර්ධනය කළ යුතුය. මෙම සටන ජයගැනීම අසීරු නැත. මෙය අනාගත ලෝකයටම පාඩමක් වියයුතුය.

ශ්‍රී ලංකාවට එරෙහි ඩයස්පෝරා ක්‍රියාධරයන් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබූ කරුණු පදනම් කරගනිමින් මෙම විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබීම කනගාටුවට කරුණකි. එ. ජාතීන් ඇසුරේ දේශපාලනය බලපාන බැවින් මෙහි ඇත්තේ එක් ආකාරයක දේශපාලන සංග්‍රාමයකි. ලෝක ප්‍රජාව හමුවේ අපගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙහෙයවා ඒවාට බුද්ධිමත්ව මුහුණ දිය යුතුය.


(***)
2021 මාර්තු 13 Weekend FT හි පළවූ
Foreign Policy Powers Within and outside
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ