කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



වැඩමුළුවකට ගිය අයකුට බස් රථයේදී වළලු‍ දමාගත් අතකින් කම්මුල අත ගා ගැනීමට සිදුවූ අපූරු පුවතක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.
මෙම පුද්ගලයා ජීවිතේ අග්ගිස්සේය. ප්‍රකට සමාජ සේවකයෙකි. මෑතකදී ඔහුට වැඩමුළුවකට ආරාධනාවක් ලැබුණේය. ඔහු එය මහ ඉහළින් පිළිගත්තේය. වැඩමුළුව පැවතියේ ගාල්ලේය. ගාල්ලේ උත්සව ශාලාවකය.
 එම වැඩමුළුවට එදා ඔහු ගාල්ලට ගියේ ඇල්පිටියේ සිටය. මගී ප්‍රවාහන බස් රථයකය. සෙනඟ කිටි කිටියේය. මැස්සෙක්වත් රිංගවන්න බැරි තරමට සෙනඟය. මගීන් නැගීම බැසීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. බස් රථයේ සෙනඟ තෙරපීමත් සමගම මගීන්ගේ පාවහන් එහෙමෙහේය. ඇඳුම් පැලඳුම්වලටද ඒ ආනිශංසමය.
අප කතානායකයාට ඉදිරියෙන් සිටියේ කතකි. ඔහු ඇයගේ පිටුපසිනි. සෙනඟ තෙරපීමත් සමගම ඔහු හා අර කාන්තාවද එකිනෙකාට තෙරපෙමින්ය. හිටි හැටියේම කාන්තාව ඔහුගේ කනට පහරක් ගැසුවේ නොහොඹිනා වචනද භාවිතා කරමිනි. වැඩේ නැගලා ගියේය. සෑමදෙනාගේම දෙනෙත් අවධානය ඔවුන් දෙදෙනා දෙසය. මිනිහට දැන් හොඳටම ලැජ්ජය. ඒ එක්කම මේ මොකක්ද උණේ ඔහුටද හිතා ගැනීමටවත් නොහැකිවිය.


තමා කළේ සෙනඟ අස්සේ තෙරපි තෙරපී සිටියදී කමීසය බොත්තම් දෙකකින් ඉවත්වී එය සාදා ගන්නට අත දැමීම සිහියට ආවේය. එහිදී තමාගේ අත ඉදිරියෙන් තෙරපි තෙරපී සිටි කතගේ පිටේ ගෑවුණු හැටිත් සිහියට ආවේය. වැඩේ තේරුණේය. කතට මෙ බව කීවේ කාටත් ඇසෙනසේය. එවිට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. ඔහු යාන්තම් ඇඟ බේරා ගත්තේ ඒ වනවිටත් කමීසයේ බොත්තම් දෙකක් ගැලවී තිබීමෙනි.
අනේ සොරි අංකල් කීවත් ඇය ගැසූ කනේ පහර තවමත් රිදුම් දෙන්නේ ඒ බව දත් අය අසනාවිටදීය.