වංශයේ ගරුත්වය රැකෙන්නට සවස් යාමයේ සිට කලු‍වර වැටෙන තෙක් ආගන්තුක  නිවසක රැඳෙන්නට ගිය අයකුට නින්දා අපහාස මැද වංශෙ කබල් ගාගෙන යාමට සිදු වූ පුවතක් යාපහුව අඩවියෙන් ඇසෙයි.
ඉර අවරට බැස යමින් තිබුණි. නාඳුනන අයකුගේ යතුරු පැදියක්  නිවහන ඉදිරියේ නැවතුණි. ”‍මල්ලී, මම අහවල් ගමේ, මගේ නෝනාගේ කකුල උලු‍ක් වෙලා. ඒකට බේත් බඳින්න බෝ පොතු ඕනෑ. මෙතැන හංදියේ බෝ ගහක් තියෙනවා. මට පොතු ටිකක් කපලා දෙනවද?”‍ පැමිණි අය ඉල්ලීමක් කළේය.
‘‘මහත්තයා, අපි පොඩි අඩියක් ගහන ගමන් ඉන්නේ. ඒ හින්දා මේ අය මෙතැන දාලා  මට නම් යන්න බෑ. පිහියක් දෙන්නම් ගිහින් වැඩේ කර ගන්න”‍. නිවැසියා කීවේය. පිහිය දුන්නේය. හෙතෙම පාටියට සෙට් වෙන්නට ගියේය.
එහෙත් ඔහු පිහිය අතැතිව එතැනට නොගොස් එතැනම සිටියේය.
‘‘ඇයි යන්නේ නැද්ද? ”‍ ඔවුහු විමසූහ.


‘‘නැ මල්ලිලා ටිකක් අඳුර වැටෙන කම් ඉන්නම්. දැන් ගියොත් ඒක හංදියේ ඉන්න අයට පේනවා. ඒක මගේ තත්වයට හොඳ නෑ. තව ටිකක් කලු‍වර වැටෙන කොට ගිහිල්ලා හෙමීට කපා ගන්නම්”‍
පාටිය ඉවරය. ඒ සැවොම පදම ඉක්මවා ඇත. ඔවුන් අවට ගමක සිට පැමිණි  ආගන්තුකයා වෙතට එයි.
‘‘උඹලාගේ ගමේ එවුන්ගේ මහ ලොකු  වංශේ. තොපි රෑට කාලා පහුවදාට කාපුවා කොච්චර පැහුරුවා දා කියලා ආපසු  හැරිලා බලන ජාතියක් කියලා හැම තැනම හංවඩු  ගැහිලා ඉන්නේ. නෝනට අමාරු නම් බෝ පොතු ගලවන කොට මොකක් ද ඇති ලැජ්ජාව.”‍
බීමත්ව සිටි අය කෑ කෝ ගසමින් ඔහුට බැණ වදි, එය යාබද කඬේක සිටි අයටද ඇසී ඔවුහු ද එහි ළඟා වූහ.
‘‘මේ බලාපල්ලා වංශෙ රකින්නට  කළුවර වැටෙනකම්  බෝ පොතු ගලවන්නට හංදියට යන්නේ නෑ”‍
එහි ආ හැමෝටම ඔහු  කීව දේ ඔවුහු  යළි යළි හඩ පටයක් එළි දක්වනවාක් මෙන් කියා සිටියහ.
එය ඇසු ඇසු එකා කොක් හඬලා සිනා සෙන්නට වූහ. එන පොට හොඳ නැති බව වටහා ගත් ඔහු නෝනට බෝ පොතු බඳින කකුලේ වේදනාවට වඩා එල්ලවෙන නින්දා අපහාසවලින් සිත රිදී ලැජ්ජාවට පත්ව බෝ පොතු ගැලවීම පසෙක තබා ගෙදර බලා පිටත් වුණාලු‍.

මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම