කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
අනියම් පෙමක් සොයාගෙන පැමිණි යුවතියක සහ ‘නමක්’ නිසා සාමකාමීව පවුල් කෑ අඹුසැමි දෙදෙනකු ‘කෙහෙවලු’ පටලවා ගත් කතාවක් කැබිතිගොල්ලෑවට තරමක් දුරින් පිහිටි ගමකින් අසන්නට ලැබුණි.
පදවිය ප්‍රදේශයට නෑකම් කියන ගම්මානයක සිට පැමිණි රූමත් යුවතියක් කැබිතිගොල්ලෑවට තරමක් දුරින් පිහිටි, අප පෙර සඳහන් කළ ගමට පැමිණ එම ගමේ කඩයකට ගොඩ වූවාය.
ඇය මුදලාලි මහතා හමු වී තරුණයකුගේ නමක් සඳහන් කර ඔහුගේ නිවෙසට යන මාර්ගය විමසා සිටියාය.
ඇය කියූ එම නම සඳහන් තරුණයා මුදලාලි මහතා හොඳින් දන්නා හඳුනන, එම කඩයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පදිංචිව සිටි අයෙකි. ඔහු ඉතා ගුණගරුක ලෙස ගම් ප්‍රදේශයේ ජීවත් වූ ආරක්ෂක අංශයක රැකියාවක නියුතු එක් දරු පියෙකි.
මුදලාලි මහතා රූමත් යුවතියගෙන් තරුණයා හමුවට යන හේතුව නොවිමසා ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ඇය ද නංවාගෙන අදාළ තරුණයාගේ නිවෙස කරා ගියේය.
“ඔන්න ළමයෝ අරයගේ ගෙදර. එයාට කතා කෙරුවා නම්...” යැයි තරුණියට කීවේය.
නිවෙසෙහි මිදුලට ගොස් නතර කළ ත්‍රිරෝද රථයෙන් තරුණිය වහා බිමට බැස තරුණයාගේ නම කිහිප වරක්ම ආමන්ත්‍රණය කළාය.
“දෙන දෙයියෝ දෙනකොට ටොකු ඇන ඇන දෙනවා” යන කියමන පසක් කරමින් කරුමයක මහත ක්‍රියාත්මක වෙමින් තිබුණි. එවේලෙහි එම නිවෙසෙහි අදාළ තරුණයා සහ ඔහුගේ බිරිඳ කුමකට හෝ බහින්බස් වෙමින් සිටියහ.
කෝපයෙන් මුහුණ රතු කරගෙන සිටි අදාළ තරුණයාගේ බිරිඳ වහාම දොරකඩට පැමිණ “කවුද, මොකටද, මොකක්ද හේතුව” ආදි වශයෙන් ප්‍රශ්න කිහිපයකින් මිදුලේ සිටි තරුණියට ගසා දැමුවාය.
තරුණිය කාරුණික ලෙස ඇයට අවශ්‍ය තරුණයාගේ නම සඳහන් කොට “අක්කේ, ඒ මම යාළු වෙලා ඉන්න එක්කෙනා. මට එයා මීට් වෙන්න ඕනෑ” යැයි සඳහන් කරනවාත් සමගම ඇය යක්ෂණියක සේ ආවේශ වී කොස්සක් අතට අරගෙන ගෙතුළ සිටි තම සැමියා සොයා ගෙට දිව්වාය.
යුවතිය සෙවූ අදාළ තරුණයා එළියට පැමිණ “මම මෙයා ජීවිතේටවත් දැකල නෑ. මොකක්දෝයි තමුසේ මේ කරන්නේ. ඔහේ මාව අඳුරනවා ද” යැයි ඇසුවේය.
තරුණිය “අනේ අයියේ, මම හොයන්නේ ඔයා නෙමෙයි. එයාගේ නමත් ඔයාගේ නම වීම ගැන මට සමාවෙන්න. මටයි වැරැදිලා තියෙන්නේ. මට සමාවෙන්න. අනේ මුදලාලි, ඉක්මනට මාව අරගෙන යන්නකෝ...” යැයි බියෙන් ගැහෙමින් ත්‍රිරෝද රථයට නැගගත්තාය.
ත්‍රිරෝද රථයේ මුදලාලි “මේ ළමයාට මොකුත් කියන්න එපා. එයා විතරක් නෙවෙයි මමත් වැරැදියි. අපි පස්සේ විස්තර කතා කරමු පුතා...” යනුවෙන් පවසා ත්‍රිරෝද රථය දූවිලි නංවාගෙන මිදුලෙන් පිටව ගියේය.
මේ සිදුවීම අසල්වැසි නිවෙස්වල පිරිස් සහ ගමේ කිහිපදෙනකු දැනගත් පසු “ම ට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතර ද” යනුවෙන් අදාළ තරුණයා දුටු විට පවසනවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd