කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



   රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සවයේදී කන පැලෙන්න බී අමුතුම ආකාරයේ අමාරුවක වැටී පොලිසියෙන් ද කැඳවීමට සිදුවූ අපූරු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
විවාහ මංගල උත්සවය තිබුණේ ගං ඉවුරක් පාදක කර ගනිමින් තිබූ හෝටලයකය. එහි වාහන අංගනය අංශ කිහිපයකින්ම සමන්විතවී තිබිණ. මෝටර් රථ එක කොටසකය. එය ටිකක් දුරින් පිහිටා තිබුණේය. ඒ ඉතාමත් ආරක්ෂාකාරී තැනකය. හෝටලයේ පහළ මහලේය.
ත්‍රීරෝද රථ අංගනය තව තැනකය. යතුරු පැදි ගාල් කිරීමට වෙන්කර තිබුණේ ගං ඉවුර ආසන්නයේමය.
කට්ටිය කමින් බොමින් සිටියහ. සෙට්වීමට තිබුණේ ගං ඉවුරේම සකසා තිබූ කබානා එකක් ඇතුළේය. ගඟෙන් එන ශීතල  මද නල ස්පර්ශයත් එක්කම දෙකක් තුනක් දා ගත් ඇතැම් අයට බඩුය. බඩු වැඩිවූ අය ඒ ආසන්නයේ තිබූ ආපනශාලාවෙන්ම රාත්‍රී ආහාර  ගත්තෝය. ඒ ඔවුනට එම හෝටලයේ ඉහළ මාලයට තරප්පු පෙළ නැගීමට අමාරු නිසාත් සිතට දැනුනු අලසකම නිසාත්ය. 
ගඟේ ශීත සුළං ස්පර්ශයෙන් එකක් දෙකක් දා ගත් අප කතානායක තෙමේටද දැන් බඩුය. ඒ නිසාම ඔහු ඒ ආසන්නයේම තිබූ ආපනශාලාවෙන් රාත්‍රී ආහාරය ගත්තේය. මිතුරන්ගෙන් සමු ගත්තේ නිවසට යන්නය. ඒ සඳහා ඔහු වැනි වැනි ආවේ තමා ආ යතුරු පැදිය සොයා යතුරු පැදිය නතර කළ ස්ථානයටය.


එහි යතුරු පැදිය නැත. ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේය. වෙරි බැස්සේය. මෑතකදී ගත් අලු‍ත්ම යතුරු පැදිය කවුරුන් හෝ උස්සා ඇත. ඔහු යළිත් ඒ වෙනකොටත් කමින් බොමින් සිටි මීතුරන් අතරට ගියේය.කට්ටිය සිතුවේ ඔහු ආයෙත් පැමිණියේ සෙට් වෙන්නට යයි සිතායඔහු තමාටවූ අලකලංචිය මිතුරන්ට  කීවේය. සෙට්වීම පසෙක තබා මිතුරෝ මිතුරා පැමිණි යතුරු පැදිය සෙවීමේ මෙහෙයුම දියත් කළහ. එහෙත් ඔවුනට හමුවූවේ යතුරු පැදිය නම් නොවේ. එක මිතුරෙක් නගරයේ තමන් දන්නා පොලිස් නිලධාරියෙකුට මේ බව දැන්වීය. ඒ අනුව සිය හිතවතාගේ කීම අහක දැමීමට බැරි නිසා එම පොලිස් නිලධාරියා තවත් අයකු සමග ඔවුන්ගේ යතුරු පැදියෙන් එම ස්ථානයට ආවේය.           
එම පොලිස් නිලධාරීන් දෙදෙනාට යතුරු පැදිය නැතිවීමේ පැමිණිල්ල ඉදිරිපත් කළේය. ටික වේලාවක් කල්පනා කළ පොලිස් නිලධාරියකු කීවේ කෝ බලන්නකෝ ආ යතුරු පැදියේ යතුර කියාය. එවිට ඔහු කලිසම් සාක්කුවෙන් ගත් යතුර පොලිස් නිලධාරියාට දික් කළේය. එය අතටගත් පොලිස් නිලධාරියා කීවේ මේක යතුරු පැදියක යතුරක් නොව මෝටර් රථයක යතුරක් කියාය.එවිට ඔහුට සිහිවූයේ තමා වෙනදා සෑම දේකටම යන යතුරු පැදිය නිවසේ තියා විවාහ මංගල උත්සවයක් නිසා සිය මෝටර් රථයෙන් පැමිණි බවය.
තමාටවූ අලකලංචිය පොලිස් නිලධාරීන්ට හා මිතුරන්ට ඔහු කීවිට ඒ අය ඒ අවස්ථාවේදී බඩ අල්ලගෙන සිනා සී ඇත්තේ වෙන කරන්න දෙයක් නැතිකමටය.